Skip to content

පටුනට යන්න

දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමේ වරදක් තියෙනවාද?

දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමේ වරදක් තියෙනවාද?

යෞවන අය අසති . . .

දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමේ වරදක් තියෙනවාද?

“දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීම, දුර බැහැර ප්‍රදේශ දෙකක සිටින පෙම්වතුන් තම ආදර බස් හුවමාරු කරන හසුන්පත්වල තැන ගෙන තිබෙනවා” කියා අමෙරිකාවේ එක් ප්‍රසිද්ධ සඟරාවක පවසා තිබුණා.

දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීම කියන්නේ මොකක්ද? එයට ඇතුළත් වෙනවා ලිංගික කාරණා එළිපිට කතා කිරීම හෝ ඊට ඇහුම්කන් දීම. * එහි නියැලෙන අය තම ලිංගික ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා බොහෝවිට ස්වයං වින්දනයේ යෙදෙනවා. අසභ්‍ය කතා බහ කෙරෙන්නේ පූර්ව විවාහ ඇසුරේ යෙදෙන අය අතර වුණත් දැන හැඳුනුම්කමක් නැති අය අතර වුණත් එය ජනප්‍රිය වී තිබෙන ආකාරය තැතිගන්වනසුලුයි. සමහරෙක් ඊට ප්‍රසිද්ධියේ අනුබල දෙනවා.

“ඒක තමයි ලිංගික සම්බන්ධකම් පවත්වන්න පුළුවන් ආරක්ෂා සහිතම ක්‍රමය” යනුවෙන් එක් කාන්තාවක් කියා සිටියා. මෙයට බොහෝදෙනෙක් එකඟ වන බව පෙනෙන්නට තිබෙනවා. ඊට උදාහරණයක් පෙන්වනවා නම්, HIV වයිරස් ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා 2000 ඔක්තෝබර් මාසයේදී රුසියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කණ්ඩායමක් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම මගින් දූරකථනය හරහා කරනු ලබන ලිංගික තෘප්තිය ලබාගැනීමේ ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට පෙලඹුණා.

අනෙක් පුද්ගලයන් නම් මෙම ක්‍රමයට දිරි දෙන්නේ ලාභ ලබාගැනීමේ චේතනාවෙන්. අසභ්‍ය දේවලට සවන් දිය හැකි දූරකථන සේවාවන් අමෙරිකාවේ පමණක් ඩොලර් මිලියන ගණන් උපයන ව්‍යාපාරයන් බවට පත් වී තිබෙනවා.

මෙම ක්‍රියාව මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ මන්ද? එක් ග්‍රන්ථයක (The fantasy factory) එය මෙසේ විස්තර කර තිබුණා. “සමීප සබඳතා ඇති කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලිංගික සබඳකම් පැවැත්වීම අනතුරුදායකයි. එමගින් ලිංගිකව බෝ වන රෝග වැලඳීමේ අවදානමක්, චරිතයට සහ වෘත්තියට හානියක්, අන් අයගේ ගැරහුම් අවමන්වලට ලක්වීමේ බියක් මෙන්ම “විකෘති ලිංගික ආශාවන්” නිසා අනිසි ප්‍රතිඵලයන්ද ඇති විය හැකියි. දූරකථනයෙන් ලිංගික ආශාවන් පිනවාගැනීමේදී මේ කිසි කරදරයක් නැහැ.”

දූරකථනය මගින් කරන මෙම අයථා ක්‍රියාවේදී වෙනත් පුද්ගලයෙක් සමඟ ශාරීරික සබඳකමක් නොපවත්වන බව සත්‍යයක්. නමුත් එයින් අදහස් වෙනවාද එහි කිසි වරදක් නැති බව සහ එහි කිසිම අවදානමක් නැති බව?

දූරකථනයෙන් කරන මේ අයථා ක්‍රියාව අනතුරුදායක නැද්ද?

යෞවන කාලයේදී ලිංගික ආශාවන් ඉතාමත් ප්‍රබලයි. බයිබලයේ එම කාලය හඳුන්වා තිබෙන්නේ “යොවුන් වියේ ඇති වන හැඟීම්වල උච්චාවස්ථාව” ලෙසයි. (1 කොරින්ති 7:36NW) ජීවිතේ මෙම වැදගත්ම කාලයේදී ක්‍රිස්තියානි යෞවන යෞවනියන් “තමාගේ ශරීරය ශුද්ධව, ගෞරවයෙන් යුක්තව පාලනය කරගන්නේ කෙසේදැයි” කියා ඉගෙනගත යුතුයි. (1 තෙසලෝනික 4:4NW) එයින් අදහස් වන්නේ ඔබේ ලිංගික හැඟීම් පාලනය කරගන්නේ කොහොමද කියලා ඔබ ඉගෙනගන්න ඕනේ කියන එකයි. ලිංගික කාරණා පිළිබඳව යහපත් හා සමබර දෘෂ්ටියක් තබාගැනීම සඳහා මෙය ඉතා වැදගත්.

දූරකථනය යොදාගෙන කරන මෙම අයථා ක්‍රියාවෙන් යම් කෙනෙකුට තම ලිංගික හැඟීම් පාලනය කරගැනීමට නොව තම හැඟීම් පිනවාගැනීමට ඉඩ සලසා දෙනවා. එපමණක්ද නොව එමගින් විරුද්ධ ලිංගයේ අය පිළිබඳව ලබා දෙන්නේ පහත් විකෘති ප්‍රතිරූපයක්. බයිබලයේ උගන්වන්නේ ලිංගික සම්බන්ධකම් පැවැත්විය යුත්තේ විවාහ වූ අය පමණක් බවයි. (හෙබ්‍රෙව් 13:4) නමුත් දූරකථනයෙන් මේ ක්‍රමයට අදහස් හුවමාරු කරගැනීම මගින් විවාහ නොවී ලිංගික ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා යෞවනයන්ව දිරිගැන්වෙනවා. බයිබලයේ උගන්වන්නේ සැබෑ සන්තෝෂය ලැබෙන්නේ දීමෙන් මිස ලැබීමෙන් නොවන බවයි. (ක්‍රියා 20:35NW) නමුත් කෙනෙකුට තමන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා අන් අයව යොදවාගැනීමට දූරකථනය හරහා කෙරෙන ලිංගික ආශාවන් පිනවාගැනීමේ ක්‍රමය උල්පන්දම් දෙනවා. බයිබලයේ විවාහක යුවළයන්ට උපදෙස් දෙන්නේ අන්‍යෝන්‍ය ප්‍රේමය සහ විශ්වාසය මත පදනම්ව සමීප සබඳතාවන් පවත්වන ලෙසයි. (එපීස 5:22, 33) දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමේදී දිරි දෙන්නේ නොදන්නා කෙනෙකු සමඟ එම පුද්ගලයාගේ හැඟීම් ගැන කිසි තැකීමක් නොකර සම්බන්ධකම් පැවැත්වීමටයි.

විනාශකාරී පුරුද්දක්

පුරාණ කොරින්තිය, අනාචාරකම්වලින් පිරුණු නගරයක් ලෙසටයි ප්‍රසිද්ධව තිබුණේ. ප්‍රේරිත පාවුල්ට එහි සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ ලිවීමට සාධාරණ හේතු තිබුණා. “සර්පයා කපටිකමින් ඒව රැවටුවාක් මෙන්, ඔබේ මනසද ක්‍රිස්තුස්ට පෙන්විය යුතු අවංකකමින් හා නිර්මලකමින් අහකට යන තරමට යම් විදිහකින් හෝ දූෂ්‍ය වේවිදැයි මම භය වෙමි.” (2 කොරින්ති 11:3NW) අද දින සිටින යෞවනයන්ව දූෂ්‍ය කිරීමට සාතන් යොදාගන්නා ක්‍රමවලින් එකක් තමයි දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමේ ක්‍රමය.

සමහර යෞවනයන්ට මෙම දූරකථන අංකවලට කතා කිරීම පාලනය කළ නොහැකි පුරුද්දක් වී තිබෙනවා. එක් තරුණයෙක්, අපි ඔහුව ජිම් කියා හඳුන්වමු. ඔහුගේ උදාහරණයෙන් යම් කෙනෙකු මෙයට කොතරම් “ඇබ්බැහි” විය හැකිදැයි කියා දැකගත හැකියි. ජිම් එක් වෙළඳ පුවරුවක එවන් දූරකථන අංකයක් තිබෙනවා දුටුවා. ඔහු එම අංකය මතකයේ තබාගෙන, පසුව ඔහුට ඇති වූ කුතුහලය නිසා එම අංකයට කතා කළා. ඉන්පසු ඔහු එම අංකයට නිතර නිතර කතා කිරීමට පටන්ගත්තා. වැඩි කල් යන්න පෙර ඔහුට ගෙවන්න සිදු වුණා ඩොලර් 600ක දූරකථන බිලක්!

අවිවාහකව සිටින ඔබ ලිංගික ආශාවන් උත්තේජනය කරගැනීමත් දෙවිගේ වචනයේ සඳහන් උපදෙස්වලට පටහැනි දෙයක්. එහි දිරිමත් කරන්නේ, “වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව . . . වැනි කාරණා හා බැඳි, පොළොවේ තිබෙන ඔබේ අවයව නසා දමන්න” කියායි.—කොලොස්සි 3:5NW.

පූර්ව විවාහ ඇසුරේදී ඇති විය හැකි අනතුරු

විවාහ වීමේ බලාපොරොත්තුව ඇතිව පූර්ව විවාහ ඇසුරක් පවත්වන වැඩි වියට පා තබා ඇති යෞවනයන් ගැන මොනවාද කියන්න තියෙන්නේ? පෙම්වතුන් දෙදෙනෙක් තම ආදර හැඟීම් එකිනෙකාට ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක්. බයිබල් කාලයේ විසූ දේවභය තිබූ තරුණ කාන්තාවක් තම පෙම්වතා ගැන මෙසේ පැවසුවා. “මම මාගේ ප්‍රේමවන්තයාගේය, ඔහුගේ ආශාවද මා කෙරෙහිය.” (සාලමොන්ගේ ගීතිකාව 7:10) විවාහ දිනය ළඟා වෙද්දී යුවළක් ඉතාමත් පුද්ගලික කාරණා ගැන සාකච්ඡා කිරීම සුදුසුයි. නමුත් ආදර හැඟීම් ප්‍රකාශ කිරීමේදී දූරකථනයෙන් ලිංගික හැඟීම් පිනවාගැනීම සුදුසුද?

එය සුදුසු නැහැ. පොරොන්දු දී තිබෙන යුවළයන් පවා ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදෙස පිළිපැදීමට බැඳී සිටිනවා. “වේශ්‍යාකමද සියලු ආකාරයේ අපවිත්‍රකම හෝ ගිජුකම හෝ ඔබ අතරේ සඳහන්වත් නොකරන්න. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත. එමෙන්ම ලජ්ජාසහගත හැසිරීම, මෝඩ කතා, අසභ්‍ය විහිළු යන නුසුදුසු දේවල නොයෙදී, ස්තුති දීමෙහි නිරත වන්න. මන්ද, වේශ්‍යාකම් කරන්නෙකුටවත්, අපවිත්‍ර කෙනෙකුටවත්, ගිජු කෙනෙකුටවත්, (එනම් රූප වඳින්නෙකුටවත්) ක්‍රිස්තුස්ගේ සහ දෙවිගේ රාජ්‍යයෙහි කිසි උරුමයක් නොලැබෙන බව ඔබම අවබෝධ කරගෙන තිබෙන හෙයින් ඔබ ඒ ගැන දැන සිටින්නහුය.”—එෆීස 5:3-5NW; කොලොස්සි 3:8.

පෞද්ගලික රහස්‍ය කතා බහ මගින් දූෂිත සිතුවිලි ඇති වෙනවා නම් හෝ ස්වයං වින්දනයට පෙලඹීමක් ඇති වෙනවා නම් හෝ එය යෙහෝවා පිළිකුල් කරනවා. ඒ වගේම එයින් දෙවිගේ ප්‍රතිපත්ති කඩ කිරීම වැනි දරුණු දෙයක් වීමට පවා පුළුවන්. ඊට නිදසුනක් පෙන්වනවා නම්, එකිනෙකාගෙන් දුරස්ව ජීවත් වූ එක්තරා පෙම්වතුන් දෙදෙනෙක් එකිනෙකාව දැනහඳුනා ගැනීම සඳහා මුලින්ම දූරකථනයෙන් නිතර නිතර කතා කරමින් සිටියා. වැඩි කාලයක් ගතවීමට පෙර දුරාචාරමය මාතෘකා ගැන කතා කිරීමට ඔවුන් පටන්ගත්තා. ඉන්පසු ඔවුන් ලිංගික කාරණා ගැන එළිපිටම කතා කිරීමට පටන්ගත්තා. එකට මුණගැසෙන්න ඔවුන්ට අවස්ථාව ලැබුණ විගස ඔවුන් අපවිත්‍ර ලෙස හැසිරීම පුදුමයට කාරණයක් නෙමෙයි.

දෙවිව සතුටු කිරීමට අපට වුවමනාවක් තිබෙන නිසා දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමේ අවකල් ක්‍රියාවෙන් වැළකී සිටීමට අපි උපරිම වෑයමක් ගනිමු. අපට එය කළ හැක්කේ කොහොමද?

‘ඔබේ ශරීරයට පහර දෙන්න’

දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීම නැවැත්විය නොහැකි පුරුද්දක් විය හැකියි. අපට යෙහෝවාගේ අනුමැතිය දිනාගැනීමට අවශ්‍ය නම් ‘අපේ ශරීරියට දැඩි ලෙස පහර දෙමින්, වහලෙකුව ඇදගෙන යන්නාක් මෙන් එය ඇදගෙන’ යා යුතුයි. (1 කොරින්ති 9:27NW) ඔබ එම අවකල් ක්‍රියාවේ නියැලෙනවා නම් එය නවතා දැමීමට උපකාරය නොපතන්නේ ඇයි? මුලින්ම මේ ගැන ඔබේ දෙමාපියන්ට පැවසීම හොඳ දෙයක්. සමහරවිට ඔවුන් කලබල විය හැකියි. නමුත් ඔවුන් තමයි ඔබේ හැසිරීම නිරීක්ෂණය කිරීමට හොඳම තත්වයක සිටින්නේ. එවිට යළිත් පසුබෑමකට ලක් නොවන අයුරින් ඔබට උපකාර කරන්න ඔවුන්ට පුළුවන්. ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සක්ෂිකාරයන්ගේ සභාවේ වැඩිමහල්ලන්ද ඔබට උපකාර කිරීමට සතුටෙන් සිටියි. ඒ වගේම ඔබට උපකාර කරන්න ඔවුන්ට හැකියාවත් තිබෙනවා.

ඔබ පූර්ව විවාහ ඇසුරක් පවත්වනවා නම් දූරකථනයෙන් කතා කරන විට පවා නිර්මලව සිටින්න අදිටන් කරගන්න. විවාහ ගිවිසගෙන සිටින ලැටීෂියා මෙහෙම කියනවා. “නිර්මලව සිටින්නේ කොහොමද කියා පවසා තිබෙන බයිබල් උපදෙස් අඩංගු ප්‍රකාශන මගේ පෙම්වතායි මමයි කියවනවා. යහපත් හෘදය සාක්ෂියක් පවත්වාගැනීම සඳහා අපිට ලැබුණ උපදෙස් අපි හුඟාක් අගය කරනවා.” ඔබේ කතාව වැරදි දිශාවට ගමන් කරන විට එය වෙනස් කිරීමට ධෛර්යය උපදවාගන්න. ඔබේ කතා බහ පවිත්‍රව තබාගැනීමේ අවශ්‍යතාව ගැන දෙදෙනාම එකතු වී සාකච්ඡා කරන්න.

සමහර රටවල දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීමට අදාළ දැන්වීම් රාත්‍රි කාලයේදී රූපවාහිනියෙන් ප්‍රචාරය කරනවා. එම නිසා රෑ වන තෙක් රූපවාහිනිය නැරඹීමෙන් වළකින්න. ස්වයං වින්දනයෙන්ද දූෂිත සිතුවිලි නැසෙනවා වෙනුවට එම සිතුවිලි තව තවත් පෝෂණය වන නිසා එම අපවිත්‍ර ක්‍රියාවෙන්ද ඔබ වැළකී සිටිය යුතුයි. * යහපත් සිතුවිලි මනසට ගැනීමෙන් අපවිත්‍ර සිතුවිලි මනසෙන් ඉවත් කිරීමට හැකියි. (පිලිප්පි 4:8) ගොඩනංවනසුලු කතා බහක නියැලෙන මිතුරන්ව ආශ්‍රය කරන්න. ඔබේ අදිටන ශක්තිමත් කරගැනීම සඳහා බයිබලය සහ ක්‍රිස්තියානි ප්‍රකාශන දිනපතා කියවන්න. මෙලෙස කටයුතු කිරීමෙන් දුරාචාරමය දේවල් ගැන සිහින මැවීමද ඔබේ සිතුවිලි දූෂණය වීමද වළක්වාගත හැකියි. සියල්ලටම වඩා වැදගත් දෙයක් තිබෙනවා. ඒ උපකාරය පතා දෙවිට යාච්ඤා කිරීමයි. ප්‍රේරිත පේතෘස් පැවසුවේ “ඔහු ඔබ ගැන සලකන නිසා ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න” කියායි.—1 පේතෘස් 5:6, 7NW.

“යෞවන අයට වැරදි ආකාරයේ ලිංගික ආශාවන් පිනවාගැනීම සඳහා තිබෙන පෙලඹීම ඉතාමත් ප්‍රබලයි” කියා බ්‍රසීලයේ ක්‍රිස්තියානි යෞවනියක් පවසනවා. නමුත් ඔබ මුහුණ දෙන අභියෝගයන් යෙහෝවා දන්නවා. ඔහු ඉදිරියෙහි නිර්මලව සිටීමට අවශ්‍ය හැම උපකාරයක්ම ඔහු ඔබට දෙන බවට නිසැක වන්න.—එපීස 6:14-18.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මේ හා සමාන දූෂිත ක්‍රියාවක් තමයි සයිබසෙක්ස් හෙවත් අන්තර්ජාලය හරහා කරනු ලබන ලිංගික හැඟීම් පුබුදුවාලන සංවාදවලදීද සිදු වන්නේ.

^ 24 ඡේ. ස්වයං වින්දනය නමැති ගැටලුවෙන් මිදීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන යෞවනයන් අසන ප්‍රශ්නක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන ප්‍රකාශනයේ 198-211 දක්වා පිටු බලන්න.

[10, 11වන පිටුවේ පින්තූරය]

දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීම සහ සයිබසෙක්ස් ඉතා ජනප්‍රිය වෙමින් තිබෙනවා

[10, 11වන පිටුවේ පින්තූරය]

පූර්ව විවාහ ඇසුරේ යෙදෙන යුවළයන් අපවිත්‍ර කතා බහේ නොයෙදීමට පරෙස්සම් විය යුතුයි

[12වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනය සහ ක්‍රිස්තියානි ප්‍රකාශන කියවීමෙන්, නිර්මලව සිටීම සඳහා ගත් ඔබේ අදිටන ශක්තිමත් කරගැනීමට ඔබට හැකියි