Skip to content

පටුනට යන්න

සතුන් දෙවි දුන් ත්‍යාගයක්

සතුන් දෙවි දුන් ත්‍යාගයක්

සතුන් දෙවි දුන් ත්‍යාගයක්

ඔබ සත්ව උද්‍යානයකට හෝ සර්කස් සන්දර්ශනයකට ගිහින් තිබෙනවාද? එතැනදී ඔබට දකින්න ලැබුණ කේසර සිංහයෙක් නැත්නම් විශාල සයිබීරියානු ව්‍යාඝ්‍රයෙක් වැනි ලස්සන සතෙකුව අල්ලන්න හෝ අත ගා බලන්න ඔබට ලොකු ආශාවක් ඇති වුණාද? සමහරවිට සතුන්ව පුහුණු කරන කෙනෙකු හෝ උන්ව බලාගන්නා කෙනෙකු එසේ කරනවා දැක ඔබ ලොකු සතුටක් ලබන්න ඇති. අවුරුදු 2,000කට පමණ ඉහතදී බයිබල් ලේඛකයෙක් මෙවැනි දෙයක් සඳහන් කර තිබීම උනන්දුවට කාරණයක්. “සෑම වර්ගයකම වන මෘගයෝද කුරුල්ලෝද බඩ ගා යන සත්තුද මුහුදු සත්වයෝද මනුෂ්‍ය වර්ගයා විසින් මෙල්ල කරනු ලබති. එමෙන්ම මෙල්ල කර තිබේ.”—යාකොබ් 3:7NW.

ඕනෑම සතෙකුට ආදරය, කරුණාව පෙන්වා උගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වුණොත් ඌව යාළු කරගන්න බැරි වෙන එකක් නැහැ. සතුන් ගැන සැලකිලිමත් වෙන මිනිසුන් සතුන්ව හීලෑ කරගෙන උන් සමඟ බැඳීම් ඇති කරගෙන තිබෙන ආකාරය දැකීමෙන් ඇත්තෙන්ම මහත් ප්‍රීතියක් ලැබිය හැකියි. අලි ඇතුන්, සිංහයන්, කොටියන්, රාජාලීන්, කිඹුලන්, සර්පයන් හා මත්ස්‍යයන්ව පවා හීලෑ කරගෙන තිබූ බව රෝම ලේඛක ප්ලිනි සඳහන් කළා. ඔහුත් තම ලේඛන කටයුතුවල යෙදී සිටියේ බයිබල් ලේඛක යාකොබ් තම පොත ලියූ කාලයේදීමයි.

එහෙත් මිනිසා සතුන්ව හීලෑ කරගෙන තම සුරතලුන් වශයෙන් උන්ව ඇති කිරීමට පටන්ගත්තේ ඊට බොහෝ කලකට පෙර සිටයි. යාකොබ් හා ප්ලිනි ඒ ගැන ලිවීමට සෑහෙන කාලයකට පෙර සිට ඊජිප්තුවේ වැසියන් වනසතුන්ව හීලෑ කරගෙන උන්ව සුරතලුන් වශයෙන් ඇති කළා. අද සමහර රටවල සත්ව උද්‍යානවල දකින්න ලැබෙන බොහෝ සතුන්ව නිවෙස්වලදී පවා දැකගන්න පුළුවන්.

මිනිසා සමඟ පැවැත්වූ මුල් සම්බන්ධකම්

මිනිස් ඉතිහාසය පිළිබඳව ලියැවුණු පැරණිතම වාර්තාව වන බයිබලයේ සඳහන් කරන්නේ මුල් මිනිසා වූ ආදම් සතුන්ට නම් තැබූ බවයි. “මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 2:19, 20) සතුන්ට සුදුසු නම් තැබීම සඳහා ආදම් උන්ව ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න ඇතැයි කියා සිතිය හැකියි. නමුත් ඔහු එසේ කරද්දී ඔහුට කිසිම ආරක්ෂිත පියවරක් ගැනීමට අවශ්‍ය වුණේ නැහැ. වනසතුන්ගෙන් පවා ඔහුට කිසිම තර්ජනයක් එල්ල වුණේ නැහැ. ඇත්තෙන්ම ඔහු උන් සමඟ සාමයෙන් සිටියා. සතුන්ව වට කරගෙන සිටි ඔහුට කොයි තරම් තෘප්තියක් ලැබෙන්න ඇද්ද කියා සිතා බලන්න!

සතුන්ව රැකබලා ගැනීමේ වගකීම දෙවි ආදම්ටත් ඔහුගේ බිරිඳටත් භාර දුන්නා. බයිබලයේ සඳහන් වෙන පරිදි දෙවි මනුෂ්‍යයන්ට අණ කළේ, “මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩ ගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කරන්න” කියායි. දෙවිගේ මුල් අරමුණ වූයේ එයයි.—උත්පත්ති 1:26.

කිට්ටු බැඳීම් දිගටම පවතී

මිනිසා සතුන්ව නිසි අයුරින් යටත් කරගන්නා විට එය මහත් සන්තෝෂයට හේතු විය හැකියි. සතෙකුට ඉතා ආදරයෙන් සලකන විට ඌ අගනා මිතුරෙක් හා පවුලේ සාමාජිකයෙක් බවට පත්වීමටත් ඉඩ තිබෙනවා. අවුරුදු දහස් ගණනකට ඉහතදී එයාකාරයේ බැඳීම් තිබූ බව දිලිඳු මිනිසෙකුට සිටි ‘එකම කුඩා බැටළු පැටියෙකු’ පිළිබඳව බයිබලයේ ලියැවුණු වාර්තාවකින් හෙළි වෙනවා. එම දිලිඳු මිනිසා හා ඔහුගේ බැටළු පැටියා ගැන සඳහන් කරමින් ප්‍රොපේත නාතාන් දාවිත් රජුට මෙසේ පැවසුවා. “බැටළු වැස්සිය ඔහුගේ කෑමවලින් කමින්ද ඔහුගේ කුසලානෙන් බොමින්ද ඇති දැඩි වූවාය. ඔහු ඒ බැටළු වැස්සි සිය ළයෙහි හොවාගත්තේය. ඒ වැස්සි ඔහුට දුවක මෙන් වූවාය.”2 සාමුවෙල් 12:1-3, නව අනුවාදය; අකුරු ඇල කළේ අපය.

සතෙක් හිතමිතුරෙක් නැත්නම් පවුලේ සාමාජිකයෙක් බවට පත් විය හැක්කේ කෙසේද කියා අද දින සිටින බොහෝදෙනෙකුට තේරුම්ගැනීම පහසුයි. සිම්බාබ්වේහි අගනුවර වන හරාරේ අසල ජීවත් වෙන පවුලක් අද්දුටු දේ ගැන මොහොතකට සිතන්න. එම පවුලේ දෙමව්පියන් ඔවුන්ගේ සෑම දරුවෙකුටම සුරතල් බල්ලෙකු බැගින් තෑගි කළා. දිනක් වයස අවුරුදු අටක්ව සිටි ඔවුන්ගේ එක් පුතෙක් ඔහුගේ බල්ලා සමඟ ඇවිදිමින් සිටියා. ඒ අතරතුරේදී ඔහු ඉදිරියේ තිබුණු ගසකින් මම්බා ලෙස හැඳින්වෙන විශාල විෂඝෝර සර්පයෙකු බිමට වැටුණා. සර්පයා දරුවාට පහර දීමට ඔන්න මෙන්න කියා තිබියදී බල්ලා විදුලි වේගයෙන් මැදට පැන දරුවාගේ ජීවිතය බේරගත්තා. ඒ බල්ලා ඒ පවුලේ අයට කොයි තරම් වටිනා වස්තුවක් වෙන්න ඇද්ද කියා ඔබට තේරුම්ගත හැකිද?

බිහිරි අය ගොඩක් අගය කරනවා ඔවුන්ට උපකාර කිරීම සඳහා පුහුණු කර ඇති බල්ලන්ව. එක් කාන්තාවක් මෙසේ විස්තර කරනවා. “කවුරුහරි ගෙදරට ඇවිල්ලා බෙල් එක ගහද්දී ට්වින්කි මං ගාවට ඇවිත් මගේ කකුලට ගහලා ඉස්සරහ දොර ගාවට මාව ගෙනියනවා. ඒ වගේම මගේ විදුලි උදුනේ සීනුව නාද වුණාම ට්වින්කි මං ගාවට දුවගෙන එනවා. ඊට පස්සේ මම එයාගේ පස්සෙන් යනවා. මගේ ගෙදර ගින්නක් ඇති වුණොත් හරි දුමක් නඟින්න පටන්ගත්තොත් හරි අනතුරු අඟවන සීනුවක් නාද වෙනවා. ඒකට මගේ අවධානය යොමු කරන්නත් අනතුරක් ඇති විය හැකි බව පෙන්වීම සඳහා බිම දිගා වෙන්නත් ට්වින්කිව පුහුණු කරලා තියෙනවා.”

අන්ධ අය හා ඔවුන්ට මඟ පෙන්වීම සඳහා පුහුණු කර ඇති බල්ලන් අතර පවතින අගනා සබඳතාවන්ද ඉතා සුවිශේෂයි. එවැනි මඟ පෙන්වන බල්ලන්ව පුහුණු කරන්නෙකු හා මඟ පෙන්වන ඇස් (සිංහලෙන් නැත) නමැති කෘතියේ කර්තෘද වන මයිකල් ටකර්ගේ අදහසට අනුව, එම බල්ලන්ට පුළුවන් අන්ධ කෙනෙකුට අලුත් ජීවිතයකට දොරටුව විවෘත කර දෙන්න. එවැනි සුරතලෙක් සිටීමෙන් “ඔවුන්ට නිදහස්ව හා ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවද පහසුවෙන් ගමන් බිමන් යෑමේ හැකියාව මෙන්ම හොඳ මිතුරෙක්ද ලැබෙනවා.” එවැනි බල්ලන් හා ඔවුන්ගේ ස්වාමිවරු අතර පවතින බැඳීම ඇත්තෙන්ම ප්‍රියජනක දසුනක්!

සුරතල් බල්ලන් වෙනත් ආබාධවලින් පෙළෙන අයටද අගනා සේවයක් පිරිනමනවා. දූරකථනය අතට ගෙනත් දෙන්නත්, ලියුම් කවරවල මුද්දර ඇලවීම සඳහා ඒවා ලෙවකන්නත්, රෝද පුටුවකට සීමා වූ ආබාධිත කාන්තාවකගේ බල්ලෙකුව පුහුණු කර තිබෙනවා! විධාන 120කට කීකරු වීම සඳහා පුහුණු කර ඇති තවත් බල්ලෙක් සිටිනවා. වෙළඳසැලක රාක්කවල තිබෙන බඩු අරං දෙන්න පවා ඌට පුළුවන්. ආබාධිතයෙක් වන උගේ ස්වාමියා තමාට අවශ්‍ය භාණ්ඩය කුමක්ද කියා පෙන්වන්නේ ලේසර් කිරණයක් නිකුත් කරන විශේෂ උපකරණයක් භාවිත කරමිනුයි. කිරණය යම් භාණ්ඩයක් මත පතිත වූ විට බල්ලා එය රාක්කයෙන් ඉවතට ගෙන තම ස්වාමියා වෙතට රැගෙන යනවා.

වයෝවෘද්ධ වූ අයටද සුරතල් සතුන්ගෙන් ප්‍රයෝජනයක් තිබෙනවා. “බොහෝවිට මහලු වියේ පසු වෙන අය සමාජයෙන් වෙන්ව සිටින නිසා,” බල්ලන් ඇතුළු වෙනත් සුරතල් සතුන් “ඔවුන්ගේ ජීවිතයට අරමුණක්, අර්ථවත් බවක් එක් කර දෙනවා” කියා එක්තරා පශු වෛද්‍යවරයෙක් අදහස් දැක්වූවා. ද ටොරොන්ටෝ ස්ටාර් නමැති පුවත්පතේ වාර්තා වූ පරිදි “පාළුව තනිකම මැකීම සඳහා සුරතලුන්ව ඇති කරන විට මානසික පීඩනය අඩු වන බවත්, වෛද්‍ය පරීක්ෂණවලට යෑමට සිදු වෙන වාර ගණන අඩු වන බවත් හෘදයාබාධවලින් ඉක්මන් සුවය ලබන බවත් පෙනෙන්න තිබෙනවා.”

ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙම සිත්ගන්නාසුලු අදහස ඉදිරිපත් කරනවා. “වරප්‍රසාදයක් ලැබුණු විට ඒ සමඟම වගකීමක්ද පැවරෙන බව දරුවන්ට තේරුම් කර දීමටත් ඔවුන්ට ලිංගික කාරණා ගැන යමක් ඉගැන්වීමටත් සුරතලුන් ඇති කිරීමෙන් ප්‍රස්තාව උදා වෙනවා. වැඩි කල් යෑමට කලින් සතුන් සංසර්ගයේ යෙදෙන බව දරුවන් දකිනවා. ඉන්පසු ගැබ්ගැනීමේ කාලයත් ඔවුන්ට දකින්න ලැබෙන අතර පැටව් බිහි කිරීමේදී සහ උන්ව රැකබලා ගැනීමේදී ඇති වෙන විවිධ අභියෝගද ඔවුන්ගේ අවධානයට ලක් වෙනවා.”

සුරතලුන්ට දක්වන ආදරය

සතුන් මිනිසුන්ට දක්වන පුදුමාකාර ලැදියාව නිසා සමහර අය තම පවුලේ සාමාජිකයන්ටත් වඩා තම සුරතලුන්ට ආදරය දක්වන්න පෙලඹෙනවා. සමහර අවස්ථාවල දික්කසාද නඩු විභාගවලදී දේපළ සම්බන්ධයෙන් ඇති වෙන ආරවුල් නිරාකරණය කිරීමේදී සුරතලෙකු අයිති වෙන්නේ කාටද යන්න නීත්‍යනුකූලව තීරණය කරනු ලබනවා. ඒ විතරක් නොවෙයි, සමහර අය තම අන්තිම කැමති පත්‍රයෙන් සුරතලුන්ට විශාල ධන සම්භාරයක් පවා ප්‍රදානය කරනවා.

එසේනම්, සුරතලුන්ගේ ඕනෑ එපාකම් බලාගැනීම සඳහා ඇපකැප වූ විවිධ ආයතන විශාල වශයෙන් ලාභ ඉපයීම ගැන පුදුම විය යුතු නැහැ. සුරතලුන් ඇති කිරීම පිළිබඳව අනන්ත අප්‍රමාණ උපදෙස් සපයන පොත් පත් හා සඟරා කන්දරාවක් තිබෙනවා. සමහර අය විශාල මුදලක් වැය කරමින් තම සුරතලුන්ට ඉතා සැපදායක ජීවිතයක් ලබා දෙන්න සූදානමින් සිටින බව දන්නා සමහර ආයතන එවැනි අයට හිතේ හැටියට ගත හැකි නානාවිධ දේවල් නිෂ්පාදනය කරනවා.

උදාහරණයකට, සුරතලුන්ගේ නානාප්‍රකාර සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කරන ඉහළ පෙළේ පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් පැතිය හැකියි. සුරතලුන් සඳහා මනෝ වෛද්‍යවරුන් සිටින අතර ඔවුන් සමහර අවස්ථාවලදී සුරතලෙකුගේ දුක්මුසු ස්වභාවය නැති කිරීම සඳහා බෙහෙත් (විෂාදනාශක) නියම කරන්න පවා පුළුවන්. සුරතලුන් සඳහා නීතිඥවරුන්ද රක්ෂණ නියෝජිතයන්ද සිටින අතර සුරතලුන්ව පිරිසිදු කිරීම, අලංකාර කිරීම සහ පුහුණු කිරීම වැනි සේවාවන් සපයන විශේෂ ආයතනද තිබෙනවා. සුරතලුන් සඳහා අවමඟුල් කටයුතු පිළියෙළ කරන අතර උන්ව ක්ලෝන කිරීමට පවා ඇතමෙක් ඉදිරිපත් වී සිටිනවා. ඒ සෑම සේවාවක් සඳහාම විශාල මුදලක් අය කරන බව අමුතුවෙන් කිව යුතු නැහැ!

මෙතෙක් සලකා බැලූ කරුණුවලින් පැහැදිලි වෙන්නේ සුරතලුන් ලෝ වටා සිටින බොහෝදෙනෙකුගේ ආදරයට පාත්‍ර වී ඇති බවයි. සතුන්ට ආකර්ෂණය වීම (සිංහලෙන් නැත) නමැති තම පොතේ වෛද්‍ය ජෝනිකා නියූබි අදහස් දක්වන්නේ මෙසේයි. “බල්ලෙක් වල්ගේ වන වන අපි ගාවට දුවගෙන ඇවිල්ලා, ‘ඔයා ගෙදර ආපු එක තමයි දවසේ ප්‍රියතම අද්දැකීම’ කියන්නාක් මෙන් අපිව ලෙවකද්දී, ඌ අපිට ‘ආදරෙයි’ කියා නිගමනය කිරීම සාධාරණයි.” ඇත්තෙන්ම බොහෝදෙනෙක් තම සුරතලුන්ට “ආදරය” දැක්වීමට පෙලඹෙන්නේ ඇයි කියා තේරුම්ගැනීම පහසුයි.

එහෙත් සුරතලෙකුට මනුෂ්‍යයෙකුට වාගේ සලකන්නට යෑමෙන් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. මිනිස් සබඳතාවලින් ලැබෙන තෘප්තිය, සන්තෝෂය සුරතලෙකුගෙන් ලබාගත නොහැකි බව අප මතක තබාගත යුතුයි. ඒ වගේම, ග්‍රාමීය පරිසරයකින් නගරබද පරිසරයකට සුරතලෙකුව ගෙන එන විට උන්ට මෙන්ම උන්ගේ ස්වාමිවරුන්ටද ගැටලු කිහිපයක් මතු විය හැකියි. ඊළඟ ලිපියේදී අපි එම කාරණා ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

[13වන පිටුවේ පින්තූරය]

ඈත අතීතයේ සිටම වනසතුන්ව හීලෑ කර තිබෙනවා

[හිමිකම් විස්තර]

ජියොවානි ස්ට්‍රඩානොගේ The Great King of the Parthians Hunts With His Tame Panthers නම් චිත්‍රයෙන් කොටසක්: © Stapleton Collection/CORBIS

[14වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල් දේශයේ එඬේරුන් බැටළු පැටියන්ව ඉතා ආදරයෙන් රැකබලා ගත්තා

[15වන පිටුවේ පින්තූර]

සුරතලුන්ට පුළුවන් ආබාධිතයන්ට හා වයෝවෘද්ධ අයට උදව් කරන්න