Skip to content

පටුනට යන්න

අපට බලාපොරොත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි?

අපට බලාපොරොත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි?

අපට බලාපොරොත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි?

මීට ඉහත ලිපියේ සඳහන් වූ පිළිකා රෝගයට ගොදුරු වූ ඩැනියෙල් නම් ළමයා දැඩි බලාපොරොත්තු තබාගෙන සිටියා නම් තත්වය කුමක් වෙන්නට තිබුණාද? ඔහු පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුව වෙන්නට ඉඩ තිබුණාද? ඔහු අද දිනත් ජීවතුන් අතර සිටීවිද? බලාපොරොත්තුවක් නිසා කෙනෙකුට සුවය අත් වේය යන මතයට වඩාත් ඇලී සිටින අය පවා එවැනි නිගමනයකට එළඹීමට ඉක්මන් නොවන්නට පුළුවනි. ඇරත් මෙහි අතිවැදගත් කරුණක් සැඟවී තිබෙනවා. ඒ තමයි, බලාපොරොත්තුව ගැන අධිතක්සේරුවක් කිරීමද නුසුදුසු දෙයක් බව. එය සෑම රෝගයකටම සුවය ගෙන දෙන ප්‍රතිකාරයක් නොවේ.

CBS (කොලොම්බියා විකාශන ආයතනය) නම් ප්‍රවෘත්ති වැඩසටහනක පැවති සම්මුඛ සාකච්ඡාවකදී නේතන් චර්නි නමැති වෛද්‍යවරයා බරපතළ තත්වයක සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී බලාපොරොත්තුවේ ඇති බලය ගැන අධිතක්සේරුවක් කිරීමේ අන්තරාය ගැන අනතුරු ඇඟවූවා. “සමහර ස්වාමිපුරුෂයන් තම භාර්යාවන් ප්‍රමාණවත් ලෙස භාවනා කිරීම්වල නියැලුණේ නැහැ කියා සහ ධනාත්මක සිතිවිලි ඇති කරගෙන තිබුණේ නැහැ කියා ඔවුන්ට බැණවදින අවස්ථාවන් අප දැක තිබෙනවා.” වෛද්‍ය චර්නි තවදුරටත් කීවේ මෙසේයි. “සිතිවිලිවලින් ලෙඩ රෝග පාලනය කිරීමට හැකිය යන අදහස දරන අය තම ලෙඩේ දරුණු අතට හැරීම රෝගියෙකුට පාලනය කළ හැකිය යන වැරදි මතය දරනවා. රෝගීන්ගේ තත්වය දරුණු අතට හැරෙන විට, මේ මතය දරන අය කියන්නේ එම රෝගීන් තමන්ගේ පිළිකා ගෙඩි පාලනය කිරීම පිණිස හරි හැටි භාවනාවේ යෙදී සිතිවිලි පාලනය කරගෙන නැහැ කියලායි. එහෙම කියන එක හරිම අසාධාරණයි.”

ඇත්තවශයෙන්ම කියනවා නම්, දරුණු මාරාන්තික අසනීපවලින් පෙළෙන්නන් ජීවත් වීමට දැඩි සටනක් කරනවා. ඔවුන් තුළ වරදසහිතභාවයක් ඇති කිරීමෙන් ඔවුන් දැනට කරන ඒ දැඩි සටනට තවත් බර පටවන්නට එම රෝගීන්ගේ හිතවතුන්ට කිසිසේත් අවශ්‍ය නැහැ. එසේනම්, බලාපොරොත්තුවකින් කිසිම පලක් නැහැ කියන එකද අප මෙතැනදී නිගමනය කළ යුත්තේ?

නැහැ. කොහෙත්ම නැහැ. උදාහරණයක් වශයෙන්, එම වෛද්‍යවරයාම වේදනාව සමනය කිරීමේ ප්‍රතිකාර පිළිබඳ විශේෂඥයෙක්. ඔහු කෙළින්ම රෝගයට එරෙහිව සටන් කරන හෝ ජීවිතය දීර්ඝ කරන ප්‍රතිකාර ක්‍රම යොදාගන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු රෝගියා ජීවත් වන තාක් කල් ඔහුට වඩාත් සුවබර හා ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට හැකි කරවන ප්‍රතිකාර ලබා දෙන කෙනෙක්. ඉතා දරුණු තත්වයක සිටින රෝගියෙකුට වුණත්, මනස වඩාත් සතුටින් තබන ප්‍රතිකාර ක්‍රම යොදාගැනීම වටින බව එවන් වෛද්‍යවරුන් විශ්වාස කරනවා. බලාපොරොත්තුවකට රෝගියෙකුව සතුටින් තැබිය හැකි බවටත් ඊටත් වඩා දෙයක් කළ හැකි බවටත් සෑහෙන සාක්ෂි තිබෙනවා.

බලාපොරොත්තුවක වටිනාකම

“බලාපොරොත්තුවක් යනු ප්‍රබල ප්‍රතිකාරයකි,” කියා සහතිකවම පවසන්නේ වෛද්‍ය සඟරාවකට ලියන වෛද්‍ය ඩබ්. ජිෆර්ඩ් ජෝන්ස්. මාරාන්තික තත්වයක සිටින රෝගීන්ට දෙනු ලබන සැනසිල්ලේ, උදව් උපකාරවල සහ සහයෝගයේ අගය නිර්ණය කිරීමට ඔහු විවිධ අධ්‍යයන අත්හදා බැලුවා. මේ ආකාරයේ සහයක් රෝගීන්ට දීමෙන් ඔවුන්ව වඩාත් බලාපොරොත්තු සහිත ධනාත්මක ආකල්පයකින් තැබීමට සමත් වෙන බවයි නිගමනය කෙරෙන්නේ. වර්ෂ 1989දී කරන ලද එක් අධ්‍යයනයකදී සොයාගනු ලැබුවේ එවන් සහයෝගයක් ලැබූ රෝගීන් වැඩි කලක් ජීවත් වන බවයි. නමුත් මෑතකදී කරන ලද පර්යේෂණවලින් ඒ පිළිබඳව එතරම්ම සාක්ෂි සොයාගෙන නැහැ. කෙසේවෙතත්, සැනසීම, උදව් උපකාර සහ සහයෝගය ලබන රෝගීන් මානසික අවපීඩනයෙන් හා වේදනාවෙන් පීඩා විඳින්නේ එවන් සහනයක් නොලබන රෝගීන්ට වඩා අඩුවෙන් බවත් අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා.

සර්වශුභවාදය [හැම දෙයකම හොඳ පැත්ත බැලීම] සහ සර්වඅශුභවාදය [හැම දෙයක්ම නිෂ්ඵලයි] යන ආකල්ප මගින් කිරීට හෘද රෝගී තත්වයන් කෙරෙහි ඇති බලපෑම ගැන කරන ලද අධ්‍යයන ගැන සලකා බලන්න. මිනිසුන් 1,300කට වැඩි පිරිසක් සමන්විත කණ්ඩායමක් ඔවුන් ජීවිතය දෙස බලන්නේ සර්වශුභවාදීවද නැතහොත් සර්වඅශුභවාදීවද කියා ඉතා සියුම්ව පරීක්ෂාවට ලක් කෙරුණා. ඉන් අවුරුදු දහයකට පසුව කෙරුණු අධ්‍යයනයකදී සොයාගනු ලැබුවේ එම මිනිසුන්ගෙන් සියයට 12කට වැඩි පිරිසක් යම් ආකාරයක කිරීට හෘද රෝගී තත්වයන්ගෙන් පීඩා විඳි බවයි. ඒ අය අතරින් සර්වශුභවාදී අයට වඩා දෙගුණයක් පමණ සිටියේ සර්වඅශුභවාදී අයයි. මහජන සෞඛ්‍යය පිළිබඳ හාවඩ් පාසැලේ සෞඛ්‍යය හා සමාජ චර්යාව පිළිබඳ සහකාර මහාචාර්ය ලෝරා කුබ්සන්ස්කි මෙසේ අදහස් දක්වනවා. “‘ධනාත්මකව සිතීම’ යමෙකුගේ සෞඛ්‍යයට හොඳය යන අදහසට වැඩිපුර සාක්ෂි ලැබී තිබෙන්නේ යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් අසන්නට ලැබුණු තොරතුරු නිසයි. නමුත් හෘද රෝග සම්බන්ධ ක්ෂේත්‍රය තුළ මෙම අදහස සනාථ කරන සැබෑ වෛද්‍යමය සාක්ෂි ගණනාවක් පළමු වතාවට මෙම අධ්‍යයන මගින් හෙළි කරනවා.”

ඇතැම් අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ තමන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වලයයි කියා සිතා සිටින අය, තමන්ට හොඳ සෞඛ්‍ය තත්වයක් තිබෙනවා කියා සිතන අයට වඩා, ශල්‍ය කර්මයකින් පසුව සුව වෙන්නේ ඉතා සෙමින් බවයි. ජීවිතය ගැන ශුභවාදීව සිතන අයගේ ආයු කාලය දීර්ඝ බවද කියැවෙනවා! තමන් වයසට යෑම පිළිබඳව මහලු අය දරන ධනාත්මක හා ඍණාත්මක සිතිවිලි ඔවුන්ට බලපාන ආකාරය එක් අධ්‍යයනයකින් සොයා බැලුණා. මෙම මහලු පුද්ගලයන්ව පරිගණක ක්‍රීඩාවලට යොමු කෙරුණු අතර, වයස්ගත වීම හා වැඩිමනත් ප්‍රඥාව සහ පළපුරුද්ද සම්බන්ධව කළ පණිවුඩ පරිගණක තිර හරහා වේගයෙන් යනවා ඔවුන් දුටුවායින් පසුව, වැඩි ශක්තියකින් හා ජවයකින් ඔවුන් ඇවිද ගිය බවක් සොයාගැනුණා. ඇත්තෙන්ම, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයේ වර්ධනය සති 12ක් තිස්සේ ව්‍යායාම කිරීමකින් ඇති වන සෞඛ්‍ය වර්ධනයට සමාන වුණා!

බලාපොරොත්තුව, සර්වශුභවාදය සහ ධනාත්මක ආකල්ප වැනි එවන් චිත්තවේගයන් සෞඛ්‍යයට හිතකර බව පෙනෙන්නට ඇත්තේ ඇයි? මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරු සැපයීම සඳහා සමහරවිට විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් තවමත් මිනිස් මනස හා ශරීරය ගැන තේරුම්ගෙන නැතිව ඇති. එහෙත්, මේ විෂය ගැන හදාරන විශේෂඥයන්ට තමන් ලබා ඇති දැනුම, පළපුරුද්ද හා නිරීක්ෂණය මත යම් නිගමනවලට එළැඹෙන්නට හැකියි. නිදසුනක් වශයෙන්, ස්නාසාවේදී මහාචාර්යවරයෙක් මෙසේ අදහස් දක්වනවා. “සතුටින් හා බලාපොරොත්තුවකින් සිටීම හොඳයි. එසේ සිටින අවස්ථාවල ඇති වන මානසික පීඩනය හුඟාක් අඩුයි. ඇරත් ඒ තත්වයන්හිදී තමයි, ශරීරය ප්‍රමුදිත වෙන්නේ. මිනිසුන්ට වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට කළ හැකි තව එක් දෙයක් තමයි සතුටින් හා බලාපොරොත්තුවකින් සිටීම.”

එම සංකල්පය ඇතැම් වෛද්‍යවරුන්ට, මානසික විශේෂඥයන්ට සහ විද්‍යාඥයන්ට අලුත් යමක් වෙන්නට පුළුවනි. නමුත් බයිබලය අධ්‍යයනය කරන අයට නම් එය එසේ නොවේ. මීට වසර 3,000කට පමණ පෙර, ප්‍රඥාවන්ත සලමොන් රජ මෙම අදහස දේවානුභාවයෙන් යුතුව මෙසේ ලියා තැබුවා. “ප්‍රීතිමත් සිත ඖෂධයක් මෙන් යහපතක් කරයි. නමුත් කලකිරුණු ස්වභාවයකින් ඇට වියළවයි.” (හිතෝපදේශ 17:22NW) මෙහි දක්වා ඇති සමබර අදහස ගැන සැලකිල්ලට ගන්න. ප්‍රීතිමත් සිතක් යම් රෝගයක් සුවපත් කරන බවක් මෙම පදයේ කියන්නේ නැහැ. නමුත් එහි පවසන්නේ “එය ඖෂධයක් මෙන් යහපතක් කරයි” කියායි.

ඇත්තවශයෙන්ම, බලාපොරොත්තුව කියන දෙය ඖෂධයක් වුණා නම්, එය රෝගීන් සඳහා නිර්දේශ නොකරන්නේ කිනම් වෛද්‍යවරයාද කියා ඇසීම සාධාරණයි. ඊටත් වඩා, සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩා ඔබ්බට විහිදී ගිය වෙනත් පැතිවලටද බලාපොරොත්තුවකින් තිබෙන වාසි ප්‍රයෝජන බොහෝයි.

සර්වශුභවාදය, සර්වඅශුභවාදය සහ ඔබේ ජීවිතය

සර්වශුභවාදී අදහස් දරන අය තම ධනාත්මක ආකල්ප නිසා බොහෝ පැතිවලින් ප්‍රයෝජන ලබන බවයි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ. පාසැලේදී, රැකියාවේදී හා මලල ක්‍රීඩාවලදී පවා ඔවුන් ඉතා හොඳින් කටයුතු කිරීමට ප්‍රවණතාවක් දක්වනවා. නිදසුනකට, කාන්තා ධාවන ශූරීන් සම්බන්ධ අධ්‍යයනයක් කෙරුණා. ක්‍රීඩා උපදේශකවරුන් එම ක්‍රීඩිකාවන්ගේ මලල ක්‍රීඩා කෞශල්‍යයන් පිළිබඳව සම්පූර්ණ විශ්ලේෂණයක් ඉදිරිපත් කළා. ඒ අතරම, එම කාන්තාවන්වම සමීක්ෂණයට භාජන කෙරුණු අතර, ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ බලාපොරොත්තු ගැන ඉතා හොඳින් අධ්‍යයනය කෙරුණා. එයින් හෙළි වූයේ, එම ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් පිළිබඳව ක්‍රීඩා උපදේශකයන් සැපයූ දත්තවලට වඩා, එම ක්‍රීඩිකාවන් තුළ තිබූ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවේ හැඟීම්වලින් ඔවුන් ජයග්‍රහණය කරනවාද නැද්ද යන්න ගැන වඩා නිවැරදිව කීමට හැකියාවක් තිබූ බවයි. බලාපොරොත්තුව මගින් එතරම් ප්‍රබල බලපෑමක් ඇතිවීමට හේතුව මොකක්ද?

සර්වශුභවාදයේ විරුද්ධ පැත්ත හෙවත් සර්වඅශුභවාදය ගැන අධ්‍යයනය කිරීමේදී බොහෝ දෑ හෙළි වී තිබෙනවා. වර්ෂ 1960 ගණන්වලදී, යම් පර්යේෂණවලින් සතුන්ගේ හැසිරීම් පිළිබඳව අනපේක්ෂිත සොයාගැනීමක් සිදු කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් “තමා විහින්ම අසරණ වීම” යන යෙදුම නිර්මාණය කිරීමට පර්යේෂකයින් පෙලඹුණා. මේ හා සමාන දුර්වලතාවකින් මිනිසුන්ද දුක් විඳිය හැකි බව ඔවුන් සොයාගත්තා. නිදසුනක් වශයෙන්, මේ සම්බන්ධව යම් පර්යේෂණවලට භාජන කරන ලද මිනිසුන්ව අමිහිරි ශබ්දයක් සහිත පරිසරයක තබා යම් බොත්තම් කිහිපයක් එබීමෙන් එම අමිහිරි ශබ්ද තමන්ට නැවැත්විය හැකි බව ඔවුන්ට පවසනු ලැබුවා. එම ශබ්ද සාර්ථක ලෙස නවත්වන්නට ඔවුන්ට හැකි වුණා.

දෙවෙනි කණ්ඩායමටද පවසනු ලැබුවේ එයමයි. බොත්තම් එබුවත් ශබ්දය නතර වුණේ නැහැ. දෙවෙනි කණ්ඩායමේ සිටි බොහෝදෙනෙකුට අසරණ බවේ හැඟීමක් ඇති වූ බව ඔබට තේරෙන්න ඇති. පසුව කරන ලද පර්යේෂණවලදී කිසිම දෙයක් කරන්නට ඔවුන් පෙලඹුණේ නැහැ. තමන් කරන කිසිවකින් කිසිම වෙනසක් වෙන්නේ නැති බවයි ඔවුන් ඒත්තුගෙන සිටියේ. එහෙත්, එම දෙවෙනි කණ්ඩායමේ සිටි සර්වශුභවාදී අදහස් ඇති අය එවන් අසරණ මානසිකත්වයකදී පවා බලාපොරොත්තු අත්හරින්නට කැමති වුණේ නැහැ.

කලින් සඳහන් කළ මෙවන් පරීක්ෂණ සමහරක් සැලසුම් කිරීමට උපකාර කළ මාටින් සෙලිග්මාන් නමැති මහාචාර්යවරයා මේ මගින් සර්වශුභවාදය සහ සර්වඅශුභවාදය පිළිබඳ අධ්‍යයනයක් දිගු කලක් තිස්සේ කිරීමට පෙලඹුණා. තමන් අසරණයයි සිතීමට නැඹුරු වී සිටින පුද්ගලයන් තුළ ඇති සිතිවිලි රටාව ගැඹුරින් අධ්‍යයනය කිරීමයි ඔහුගේ කාර්යය වුණේ. එවන් සර්වඅශුභවාදී සිතිවිලි නිසා බොහෝදෙනෙකු ජීවිතයේ යම් උත්සාහයක් දැරීම අකර්මණ්‍ය කරන බවත් නොඑසේනම් සාමාන්‍ය එදිනෙදා කටයුතු කරගන්නට බැරි තත්වයකට වුවද ඔවුන්ව පත් කරන බවත් ඔහු නිගමනය කළා. සර්වඅශුභවාදී සිතිවිලි හා එහි බලපෑම ගැන සෙලිග්මාන් සැකෙවින් දක්වන්නේ මෙලෙසයි. “වසර විසිපහක් පුරා කරන ලද අධ්‍යයනවලින් මට පැහැදිලිව එක දෙයක් ඒත්තු ගියා. එය නම්, අපට දුක් කරදර ඇති වෙන්නේ අපගේම වරදක් නිසා කියාත්, ඒවා දිගින් දිගටම අපට බලපායි කියාත්, අප කරන සෑම කටයුත්තකටම ඒවා බාධාවක් වෙයි කියාත්, සර්වඅශුභවාදී අදහස් ඇති අය වගේ අපත් පුරුද්දක් ලෙස සිතනවා නම්, ශුභවාදීව සිතන කෙනෙක් මතට එන කරදරවලට වඩා අප කරා එන දුක් කරදර ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්.”

කලින් සඳහන් කළාක් මෙන්, එවන් නිගමනයන් වර්තමානයේ ඇතැම් අයට අලුත් අදහස් වගේ පේන්න පුළුවනි. නමුත් බයිබල් ශිෂ්‍යයන්ට නම් එම අදහස අලුත් එකක් නොවේ. මේ හිතෝපදේශයේ කියන දේ සැලකිල්ලට ගන්න. “විපත්ති දවසේදී කලකිරෙන්නේ නම්, ඔබේ ශක්තිය අල්පය.” (හිතෝපදේශ 24:10) ඔව්, බයිබලයේ පැහැදිලිව විස්තර කරන්නේ, අධෛර්යයට පත්වීම සහ ඒ හා සබැඳි ඍණාත්මක සිතිවිලි ඔබගේ තත්වය දියුණු කිරීම සඳහා පියවර ගැනීමට ඔබට ඇති ශක්තිය මොට කරන බවයි. එසේනම්, සර්වඅශුභවාදී සිතිවිලි සමඟ සටන් කර වඩාත් සර්වශුභවාදී ආකල්ප ඇති කරගෙන ඔබේ ජීවිතය බලාපොරොත්තුවකින් පුරවාගැනීමට ඔබට කුමක් කළ හැකිද?

[4, 5වන පිටුවේ පින්තූරය]

බලාපොරොත්තුවක් මගින් බොහෝ යහපතක් කළ හැකියි