Skip to content

පටුනට යන්න

අපේ කාලයට වැදගත් වන ඉපැරණි දිවුරුමක්

අපේ කාලයට වැදගත් වන ඉපැරණි දිවුරුමක්

අපේ කාලයට වැදගත් වන ඉපැරණි දිවුරුමක්

වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස ප්‍රසිද්ධ වී සිටින ග්‍රීක ජාතික වෛද්‍යවරයෙකු වූ හිපොක්‍රටීස් ක්‍රි.පූ. 400දී පමණ ‘හිපොක්‍රටීස් දිවුරුම’ ලීවේය. එම ශ්‍රේෂ්ඨ ආචාර ධර්ම පද්ධතිය අද වන තුරුත් වෛද්‍ය වෘත්තිකයන්ගේ මාර්ගෝපදේශකයක් වී ඇත. ඉහත සඳහන් කාරණා ඔබත් ඉගෙනගෙන ඇත්තේ එලෙසද? තවත් බොහෝදෙනෙකුටද එසේ උගන්වා ඇත. එහෙත් ඉහත කී කාරණා සියයට සියයක් සත්‍යයයයි පැවසිය හැකිද?

තිබෙන තොරතුරුවලින් පෙනී යන්නේ හිපොක්‍රටීස්ගේ නම දරන දිවුරුමේ කර්තෘ හිපොක්‍රටීස් නොවීමට ඉඩ තිබුණ බවයි. එමෙන්ම නූතන වෛද්‍ය වෘත්තිකයන් එම ආචාර ධර්ම පද්ධතිය ඇතුළත් මුල් කෘතිය සැමවිටම අනුමත කරන්නේද නැත.

මෙම ඉපැරණි දිවුරුම ඇත්තෙන්ම ලිව්වේ කවුද කියා අප දන්නවාද? තවද එම දිවුරුම ඇත්තටම අපේ කාලයට වැදගත් වෙනවාද?

හිපොක්‍රටීස්ද දිවුරුමේ කර්තෘ?

දිවුරුමේ කර්තෘ හිපොක්‍රටීස් බව සැක කිරීමට හේතු කිහිපයක්ම තිබේ. දිවුරුම ආරම්භ වන්නේ දෙවි දේවතාවන් කිහිපදෙනෙකුගෙන් පිහිට පතමිනි. එහෙත් හිපොක්‍රටීස්ව සලකන්නේ ආගම හා වෛද්‍ය විද්‍යාව අතර සම්බන්ධයක් නොතිබෙන බවට විශ්වාස කළ මුල්ම තැනැත්තා වශයෙනි. තවද, ලෙඩ රෝග වැලඳෙන්නේ අද්භූත හේතූන් නිසාය යන අදහස ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා ස්වාභාවික හේතූන් සෙවූ මුල්ම තැනැත්තා වශයෙන්ද ඔහුව සැලකේ.

එමෙන්ම, හිපොක්‍රටීස් විසූ කාලයේදී ක්‍රියාත්මක වෙමින් තිබූ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවලට පටහැනි නොවූ දේවල් කිහිපයක්ම දිවුරුමේ තහනම් කර ඇත. (21වන පිටුවේ කොටුව බලන්න.) උදාහරණයකට, හිපොක්‍රටීස්ගේ ජීවිත කාලයේදී ගබ්සාව හා සිය දිවි නසාගැනීම නීතියෙන් හෙළාදුටුවේ නැත. එම ක්‍රියාවන් එවකට පැවති බොහෝ ආගමික ප්‍රතිපත්තිවලටද පටහැනි වූයේ නැත. එමෙන්ම එම දිවුරුම දුන් තැනැත්තා පොරොන්දු වූයේ තමා ශල්‍යකර්ම සිදු නොකරන බවත් ශල්‍යකර්ම එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට පමණක් කිරීමට ඉඩහරින බවත්ය. එහෙත් හිපොක්‍රටීස් සහ වෙනත් පැරණි ලේඛකයන් විසින් ලියනු ලැබුවායයි විශ්වාස කරන වෛද්‍ය ලියවිලි කිහිපයක් වන ‘හිපොක්‍රටීස් සංග්‍රහය’ තුළ විවිධ ශල්‍යකර්ම ක්‍රම සඳහන් කර තිබේ.

හිපොක්‍රටීස් දිවුරුමේ කර්තෘ කවුදැයි යන වග පිළිබඳව විශාරදයන් අතර තවමත් මතභේද පැවතුණත් එය හිපොක්‍රටීස් විසින් ලියනු ලැබුවේ නැතැයි කියා සිතීමට හොඳ හේතු ඇති බව ඉහත කී කාරණාවලින් පැහැදිලි වේ. දිවුරුමේ ඇතුළත් කර ඇති අදහස් වැඩියෙන්ම ගැළපෙන්නේ ක්‍රි.පූ. හතරවන සියවසේ විසූ, පයිතගරස්ගේ අනුගාමිකයන් පිළිගත් දර්ශනයටයි. මන්ද, ඔවුහු ජීවිතයේ පරිශුද්ධභාවය හා බැඳි සංකල්ප දැරූ අතර ශල්‍යකර්මවලට විරුද්ධ වූහ.

අහිමි වී ගිය පිළිගැන්ම නැවතත් හිමි වේ

දිවුරුමේ කර්තෘ කවුරු වුණත් බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි එය ප්‍රබල බලපෑමක් ඇති කර තිබෙන බව ප්‍රතික්ෂේප කළ නොහැකියි. එය ප්‍රධාන වශයෙන්ම බලපෑම් කර ඇත්තේ වෛද්‍ය ආචාර ධර්ම නමැති ක්ෂේත්‍රයටයි. මෙම දිවුරුම, “වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්මවලට අදාළව ක්‍රමානුකූලව බිහි වී ඇති ඍජු සංකල්පවල හිණිපෙත්ත” වශයෙන් හඳුන්වා ඇත. “සංවර්ධිත රටවල රෝගියා හා වෛද්‍යවරයා අතර පවතින සුහද සබඳතාවට පදනම” වශයෙන්ද, “වෘත්තිමය ආචාර ධර්ම පද්ධති අතරින් ශ්‍රේෂ්ඨතම එක” වශයෙන්ද එය විස්තර කර තිබේ. වර්ෂ 1913දී, සුප්‍රසිද්ධ කැනේඩියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ශ්‍රීමත් විලියම් ඔස්ලර් මෙසේ පැවසුවේය. “මෙය ලියැවුණේ හිපොක්‍රටීස්ගේ කාලයේද නැද්ද යන කාරණය එතරම් වැදගත් නැත. . . . අවුරුදු 2,500ක් පුරාම වෛද්‍ය ක්ෂේත්‍රයට මඟ පෙන්වා තිබෙන ප්‍රතිපත්ති මාලාව එයයි. තවද අද පවා විශ්වවිද්‍යාල බොහොමයක යමෙකුට වෛද්‍ය උපාධිය පිරිනමනු ලබන්නේ ඔහු එම දිවුරුම දීමෙන් අනතුරුවයි.”

එහෙත් මෙම දිවුරුමට තිබුණු පිළිගැන්ම 20වන සියවස ආරම්භයේදී අහිමි විය. සමහරවිට, එයට හේතුව වූයේ එවකට විද්‍යාව නමැති ක්ෂේත්‍රය අත් කරගනිමින් සිටි දියුණුව වන්නට ඇත. හේතුධර්මවාදයද ප්‍රවර්ධනය වෙමින් පැවති නිසා දිවුරුම යල්පැන ගොස් ඇති බවට හැඟීමක් පැවතුණා විය හැකියි. එහෙත් විද්‍යාව දියුණු වෙමින් පවතින අවධියකදී පවා ආචාර ධර්ම ප්‍රතිපත්ති මාලාවක් සඳහා අවශ්‍යතාවක් තිබේ. මෑත දශකවලදී මෙම දිවුරුමට පිළිගැන්ම නැවත හිමි වී ඇත්තේ ඒ නිසා විය හැකියි.

ශිෂ්‍යයන් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වන විට හෝ එයින් සමත් වන විට හෝ ඔවුන් විසින් දිවුරුමක් දෙනු ලැබීම දැන් නැවතත් වැදගත් දෙයක් ලෙසට සැලකේ. වර්ෂ 1993දී අමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ වෛද්‍ය විද්‍යාල සම්බන්ධව කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, එම විද්‍යාලවලින් සියයට 98ක ශිෂ්‍යයන් විසින් යම් ආකාරයක දිවුරුමක් දෙනු ලැබූ බවයි. වර්ෂ 1928දී එවැනි දිවුරුමක් දෙනු ලැබුවේ විද්‍යාලවලින් සියයට 24ක පමණි. එක්සත් රාජධානියේ පැවැත්වූ එවැනිම සමීක්ෂණයකින් හෙළි වූයේ විද්‍යාලවලින් සියයට 50කම යම් දිවුරුමක් දෙන බවයි. ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේද, විද්‍යාලවලින් සියයට 50ක පමණ එසේ කරනු ලබයි.

කාලයට අනුව සකස් වීම

හිපොක්‍රටීස් දිවුරුම කවදාවත් වෙනස් කළ නොහැකි එකක් නොවේ. සියවස් ගණනාවක් පුරාම එය ක්‍රිස්තියානි ලෝකයේ විශ්වාසයන්ට ගැළපෙන පරිදි සකස් කර තිබේ. සමහර අවස්ථාවලදී සකස් කිරීම් සිදු කරනු ලැබුවේ වෙනත් හේතූන් මතයි. මහාමාරිය වසංගතයට ගොදුරු වූවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම මීට එක් උදාහරණයකි. වඩා මෑතකදී එය සකස් කරනු ලැබුවේ නවීන චින්තනයට ගැළපෙන පරිද්දෙනි.

මෙම දිවුරුමේ විවිධ සංස්කරණ තිබෙන අතර නූතන වෛද්‍ය විද්‍යාවට නොගැළපෙන සංකල්ප බොහෝ සංස්කරණවලින් අයින් කර ඇත. තවද නූතන සමාජයට වැදගත්යයි සැලකෙන ප්‍රතිපත්ති ඒවාට ඇතුළත් කර තිබේ. උදාහරණයකට, තමන්ට ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව පෞද්ගලික තීරණ ගැනීමට රෝගියෙකුට ඇති අයිතිය අද වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් කොට සලකන ප්‍රතිපත්තියක් වේ. එහෙත් ඉපැරණි ග්‍රීසියේ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ එවැනි සංකල්පයක් නොතිබූ අතර හිපොක්‍රටීස් දිවුරුමට එවැනි අදහසක් ඇතුළත් කර තිබුණේද නැත. අද භාවිත කරනු ලබන දිවුරුම් බොහොමයක රෝගියාගේ අයිතිවාසිකම් සුරැකීම යන කාරණයට වැදගත් ස්ථානයක් හිමි වී තිබේ.

රෝගියාගේ අනුදැනුම හා අනුමැතිය ඇතුව ප්‍රතිකාර කළ යුතුය වැනි සංකල්පවලට දැන් එන්න එන්නම වැදගත් තැනක් හිමි වන නිසා වෛද්‍යවරයා හා රෝගියා අතර ඇති සබඳතාවද වෙනස් වී ඇත. එමනිසා, හිපොක්‍රටීස් දිවුරුමේ මුල් කෘතිය භාවිත කරන්නේ වෛද්‍ය විද්‍යාල අතළොස්සක් පමණක් වීම ගැන පුදුම විය යුතු නැත.

දිවුරුමට වෙනත් ආකාරයේ සකස් කිරීම්ද සිදු කර ඇත. ඒවා වර්ෂ 1993දී, අමෙරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ දෙනු ලැබූ දිවුරුම් අතරින්, වෛද්‍යවරයා තම ක්‍රියාවන් ගැන වග කිව යුතුය යන ප්‍රකාශය ඇතුළත් කර තිබුණේ දිවුරුම්වලින් සියයට 43ක පමණි. දිවුරුමේ අලුත් සංස්කරණ බොහොමයක, දිවුරුමේ කොන්දේසි කඩ කළ විට ඒ සඳහා දඬුවමක් නියම කර තිබුණේ නැත. අසාධ්‍ය රෝගියෙකුගේ වේදනාව තුරන් කිරීම සඳහා මරණය සිදු කිරීම හා ගබ්සාව හෙළාදැකීම මෙන්ම දෙවි දේවතාවන්ගේ පිහිට පැතීම වැනි කාරණා ඇතුළත් කර තිබුණේ ඊටත් වඩා කලාතුරකිනි. රෝගියා සමඟ ලිංගික සම්බන්ධකම් නොපවත්වන බවට වූ පොරොන්දුව ඇතුළත් දිවුරුමක් භාවිත කළේ සමීක්ෂණයට භාජන කරන ලද වෛද්‍ය විද්‍යාලවලින් සියයට 3ක් පමණි.

දිවුරුමක ඇති වටිනාකම

හිපොක්‍රටීස් දිවුරුමට බොහෝ වෙනස්කම් සිදු කර තිබෙන බව සැබෑවකි. එහෙත් ශ්‍රේෂ්ඨ සදාචාරාත්මක ප්‍රතිපත්ති මත ගොඩනැඟුණායයි සැලකෙන මෙවැනි වෘත්තියක නියැලෙන්නන් විසින් දිවුරුමක් දීම බොහෝදෙනෙකු සලකන්නේ වැදගත් දෙයක් ලෙසයි. වර්ෂ 1993දී සිදු කළ ඉහත සඳහන් සමීක්ෂණයෙන් පෙනී ගිය පරිදි භාවිත කරනු ලැබූ බොහෝ දිවුරුම්වල ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබුණේ වෛද්‍යවරුන්ගේ කැපවීම වෙතටයි. මෙම කැපවීමෙන් අදහස් කරන්නේ, රෝගීන්ට සත්කාර කරද්දී තම උපරිමය කිරීමට වෛද්‍යවරු පොරොන්දු වන බවයි. එවැනි දිවුරුමක් දීමේදී, වෛද්‍ය වෘත්තියට පදනම සපයන ප්‍රශංසනීය සදාචාරාත්මක ප්‍රතිපත්ති වෙතටද අවධානය යොමු කෙරේ.

එක්තරා වෛද්‍ය සඟරාවක (The Medical Journal of Australia) කර්තෘ වාක්‍යයක මහාචාර්ය එඩ්මන්ඩ් පෙලග්‍රීනෝ මෙසේ ලීවේය. “සමහරවිට, අද දින දෙනු ලබන වෛද්‍ය දිවුරුම ඉපැරණි සංකල්පයක සුළු ශේෂයක් පමණයි කියා බොහෝදෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් එම සංකල්පයත් වෛද්‍ය වෘත්තියත් අතර බිඳිය නොහැකි සම්බන්ධයක් තිබේ. එම නිසා, එම සංකල්පය අමතක කර දැමුවොතින් වෛද්‍ය විද්‍යාව නිකම්ම වාණිජ්‍යමය හෝ මූල්‍යමය වාසිය තකා සිදු කෙරෙන ව්‍යාපාරයක් බවට පත් වේවි යන්න අපට සිහිගැන්වේ.”

හිපොක්‍රටීස් දිවුරුම හෝ ඒ මත ගොඩනැඟුණු වෙනත් නවීන දිවුරුම් අපේ කාලයට අදාළ වෙනවාද නැද්ද යන්න පිළිබඳව දිගින් දිගටම විශාරදයන් අතර මතභේද පවතීවියයි සිතිය හැකියි. ඔවුන් කුමන නිගමනයකට එළඹුණත් ලෙඩ රෝගවලින් පෙළෙන ජනයාට සත්කාර කිරීම සඳහා වෛද්‍යවරුන් කරන කැපවීම අප අගය කළ යුතුයි.

[21වන පිටුවේ කොටුව]

හිපොක්‍රටීස් දිවුරුම

ලුඩ්විග් ඒඩ්ල්ස්ටයින් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද පිටපත ඇසුරෙනි

වෛද්‍ය ඇපොලෝව සහ ඇස්ක්ලීපියස්වද හයිජීයාව සහ පැනේසියාවද සියලු දෙවි දේවතාවන්වද මාගේ සාක්ෂිකරුවන් කරගනිමින් ඔවුන්ගේ නාමයෙන් මා දිවුරන්නේ, මෙම දිවුරුම සහ පොරොන්දුව මගේ මුළු ශක්තියෙන්ද මුළු බුද්ධියෙන්ද ඉෂ්ට කරනු ලබන බවටයි.

මෙම ශාස්ත්‍රය මට ඉගැන්වූ මගේ ගුරුවරයාව මගේ දෙමාපියන් හා සමානව සලකන්නටත් ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නටත් මම පොරොන්දු වෙමි. ඔහුට මුදල් අවශ්‍ය වූ විටෙක ඔහුට මගේ මුදලින් කොටසක් පිරිනමන්නෙමි. ඔහුගේ දරුවන් මාගේ සහෝදරයන් ලෙස සලකමි. ඔවුන් මෙම ශාස්ත්‍රය ඉගෙනීමට කැමැත්තේ නම් ගාස්තුවක් අය නොකර ඔවුන්ට උගන්වන්නටත් ඔවුන්ව ගිවිසුමකින් බැඳ නොතබන්නටත් පොරොන්දු වෙමි. මගේ පුතුන්ටත් මගේ ගුරුවරයාගේ පුතුන්ටත් වෛද්‍ය දිවුරුම දුන් හා ගිවිසුමට අත්සන් තැබූ සිසුන්ටත් ශික්ෂාවන් උගන්වන්නටද වාචික උපදෙස් හා අන් සියලු දැනමුතුකම් ලබා දෙන්නටද පොරොන්දු වෙමි. ඒ හැර අන් කිසිවෙකුට උගන්වන්නේ නැත.

මගේ දස්කම්වලට හා බුද්ධියට අනුව රෝගීන්ට හිතකර වන විශේෂ කෑම වට්ටෝරු නියම කරන්නෙමි. ඔවුන්ට හානි පැමිණවීමට හෝ අයුක්තියක් සිදුවීමට ඉඩ නොදෙන්නෙමි.

යමෙකු මාරාන්තික ඖෂධයක් ඉල්ලා සිටින්නේ නම් එය ලබා නොදෙන්නෙමි. එවැනි ඖෂධයක් ගැනීමට මම යෝජනාද නොකරන්නෙමි. එසේම ගබ්සාවක් සිදු වන ආකාරයෙන් ගැහැනියකට ප්‍රතිකාර නොකරන්නෙමි. මගේ ජීවිතයත් මගේ ශාස්ත්‍රයත් පිරිසිදුව හා නිර්මලව තබාගන්නෙමි.

මුත්‍රාශයේ ගල් නිසා පීඩා විඳින්නෙකු වුවද ශල්‍ය කර්මයකට භාජන නොකරමි. එම කර්තව්‍යය කිරීමට එම ක්ෂේත්‍රයෙහි ප්‍රවීන අයට ඉඩ දෙමි.

මම කුමන නිවසකට ඇතුල් වුවත් රෝගීන්ගේ සුවසෙත පිණිස වැඩ කරන්නෙමි. ඔවුන් වහලුන් වේවා නිදහස් පුරවැසියන් වේවා, ඔවුන්ට හිතා මතා අයුක්තියක් කිරීමෙන්ද හානිකර අන්දමින් ඔවුන් සමඟ ක්‍රියා කිරීමෙන්ද ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඔවුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙන්ද වැළකී සිටින්නෙමි.

එසේම මගේ වෘත්තියේ නියැලෙන විටදී හෝ වෙනයම් මොහොතකදී හෝ යමෙකුගේ ජීවිතය පිළිබඳව කිසිසේත් ප්‍රසිද්ධියේ ප්‍රචාරය නොකළ යුතු යමක් අසන්නට හෝ දකින්නට ලැබුණොත් එය රහසිගතව තබාගත යුතු දෙයක් සේ සලකමින් නිහඬව සිටීමට පොරොන්දු වෙමි.

මා මේ දිවුරුම උල්ලංගනය නොකොට පවත්වාගතහොත් මට සතුටින් දිවි ගෙවීමටත් මගේ ශාස්ත්‍රය යහමින් කරගෙන යෑමටත් ලැබේවා! සියලු මිනිස් වර්ගයා ඉදිරියේ කීර්ති නාමයක් දිනාගැනීමේ ගෞරවය මට ලැබේවා! මා විසින් මෙම දිවුරුම උල්ලංගනය කරනු ලැබුවහොත් හෝ වංක ලෙස දිවුරුම් දෙනු ලැබුවහොත් ඊට ප්‍රතිවිරුද්ධ දෙයම මට සිදු වේවා!

[20වන පිටුවේ පින්තූරය]

හිපොක්‍රටීස් සංග්‍රහයෙන් පිටුවක්

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

හිපොක්‍රටීස්ගේ සහ පිටුවේ පින්තූර: National Library of Medicine අනුග්‍රහයෙන්