Skip to content

පටුනට යන්න

ඔබේ ළදරුවා නොනවත්වා අඬන විට

ඔබේ ළදරුවා නොනවත්වා අඬන විට

ඔබේ ළදරුවා නොනවත්වා අඬන විට

කැනඩාවේ පිබිදෙව්! ලේඛක විසින්

මව දරුවාගේ තත්වය සම්බන්ධයෙන් සැක කළ දෙය වෛද්‍යවරයා තහවුරු කළා. ඇගේ ළදරුවාට උදරයේ තද වේදනාවක් ඇති කරන බඩේ කොරය (colic) වැලඳී තිබුණා. කැනඩාවේ ග්ලෝබ් ඇන්ඩ් මේල් නමැති පුවත්පතේ සඳහන් වන පරිදි මෙම තත්වය “සියලුම දරුවන්ගෙන් සතරෙන් එකක් වැනි ප්‍රමාණයකට” බලපායි. ළදරුවෙක් සතියකට අඩුම තරමින් දින තුනක්වත් පැය ගණනාවක් පුරා හැඬීම මෙම තත්වය හඳුනාගැනීමට තිබෙන ලක්ෂණයක්. කලබලයට පත් වූ දෙමාපියෙකුට කළ හැක්කේ කුමක්ද? බොහෝ අවස්ථාවලදී අමාරුව අඩු වන තුරු දෙමාපියන්ට හා දරුවාට බලා සිටීම හැර කළ හැකි වෙන දෙයක් නැති බව ළමා රෝග විශේෂඥවරු පවසනවා. එහෙත් කොපමණ වේලාවක් එසේ බලා සිටිය යුතුද?

බඩේ කොරය නිසා පීඩා විඳින ළදරුවන් ඉන්න මව්වරුන් පිළිබඳව මෑතකදී කැනඩාවේ කරනු ලැබූ අධ්‍යයනයකින් හෙළි වූයේ, එවන් ළදරුවන්ගෙන් සියයට 85කටත් වඩා වැඩි සංඛ්‍යාවකගේ තත්වය ළදරුවාට වයස මාස තුනක් වෙද්දී සමනය වන බවයි. නැඟෙනහිර ඔන්ටේරියෝවල ළමා රෝහලේ වසංගත අධ්‍යයනය පිළිබඳ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වන වෛද්‍ය ටැමී ක්ලිෆර්ඩ්ගේ මූලිකත්වයෙන් කරගෙන යනු ලැබූ පර්යේෂණයකින් හෙළි වූයේ, බඩේ කොරය තිබෙන ළදරුවෙකු සිටීමෙන් මවකගේ මානසික සෞඛ්‍යයට දිගු කාලීන බලපෑමක් ඇති නොවන බවයි. “දරු ප්‍රසූතියෙන් මාස හයක් ගත වුණාට පසුව බඩේ කොරය සහිත ළදරුවන් සිටි මව්වරුන් සහ බඩේ කොරය රහිත ළදරුවන් සිටි මව්වරුන් අතර කිසිම වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ. ළදරුවාගේ ඇඬීම නතර වුණාට පසුව ඒ ගැන සම්පූර්ණයෙන්ම මව්වරුන්ට අමතක වෙනවා” යනුවෙන් වෛද්‍ය ක්ලිෆර්ඩ් පැවසුවා.

වෛද්‍ය ක්ලිෆර්ඩ් සහ ඇගේ සගයින් විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නව පර්යේෂණයේ තොරතුරු නිසා, “බඩේ කොරය පිළිබඳව තිබූ විද්‍යාත්මක දැනුමට තවත් වැදගත් තොරතුරු එකතු වෙනවා. මන්ද බඩේ කොරය තිබෙන ළදරුවන්ව පැහැදිලිව කොටස් තුනකට බෙදිය හැකි බව මින් අඟවනවා. එනම් මාස තුනක කාල පරිච්ඡේදය ඇතුළත එම තත්වය උද්ගත වී සමනය වන ළදරුවන්, මාස ගණනාවක් පුරා බඩේ කොරයෙන් පීඩා විඳින ළදරුවන් සහ ඉපදී මාස කිහිපයකට පසුව බඩේ කොරය හටගන්න ළදරුවන්” යයි ග්ලෝබ් පුවත්පත සඳහන් කරයි. බඩේ කොරය නිසා පීඩා වින්ද දරුවන් වැඩෙත්ම ඔවුන්ගේ වර්ධනය සටහන් කිරීම සඳහා තවත් අධ්‍යයනයක් කරගෙන යනු ලබන අතර, ඉපදී මාස කිහිපයකට පසුව බඩේ කොරය හටගන්න ළදරුවන් සිටින කණ්ඩායමෙන් ලැබෙන විස්තර විශේෂයෙන් උනන්දුවක් ඇති කරවයි.

ළදරුවන්ව අනතුරුදායක ආකාරයකින් සෙලවීමෙන් හටගන්න රෝගී තත්වයකට [shaken baby syndrome] නොනවත්වා ඇඬීම මුලපිරෙන බව විශ්වාස කෙරේ. ග්ලෝබ් පුවත්පත වාර්තා කළ පරිදි, “ඇඬූ පමණින් දරුවාට කිසි අනතුරක් සිදු වන්නේ නැහැ. නමුත් කෙටි වෙලාවකට වුවත් ළදරුවාව දැඩි සෙලවීමකට ලක් කිරීමෙන් ළදරුවාගේ ස්නායු පද්ධතියට දිගු කාලීන හානියක් සිදු විය හැකි අතර ළදරුවා මිය යන්නට පවා පුළුවන්.”

අනෙක් අතට ළදරුවෙකු නොනවත්වා අඬන විට, ඊට වාසිදායක පැත්තකුත් තිබිය හැකියි. “හුඟාක් අඬන ළදරුවන්ට ඇත්තෙන්ම හොඳ අවධානයක් ලැබෙන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙන” බව ග්ලෝබ් පවසයි. “ඊට හේතුව එවැනි ළදරුවන්ව බලාගැනීමේදී ඔවුන්ව අත ගෑමට, තුරුලු කරගැනීමට, ඔවුන් සමඟ සිනාසීමට හා කතා කිරීමට වැඩියෙන් පෙලඹෙන නිසයි.”