Skip to content

පටුනට යන්න

රාත්‍රි සමාජ ශාලාවලට යන එක වැරදිද?

රාත්‍රි සමාජ ශාලාවලට යන එක වැරදිද?

යෞවන අය අසති . . .

රාත්‍රි සමාජ ශාලාවලට යන එක වැරදිද?

“මම ගියේ අරමුණක් ඇතුවයි. මට ඕන වුණා හොඳට විනෝද වෙන්න.”—ෂෝන්.

“අවංකවම කියනවා නම් ඒක නියමයි! ගොඩක් නැටුවා, රෑ එළි වෙන තුරුම නැටුවා.”—අර්නස්ට්.

මෑතක සිට රාත්‍රි සමාජ ශාලා ඉතා ජනප්‍රිය වී තිබෙනවා. විනෝද වීමට මං සොයන යෞවනයන් බොහෝදෙනෙක් නොකඩවා එවන් සමාජ ශාලාවලට යයි.

අපි හැමෝම විනෝද වෙන්න කැමති බව ඇත්තයි. “ප්‍රීතිවීමට කාලයක්” මෙන්ම “නටන්න කාලයක්” තිබෙනවා කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:4, Todays English Version) නමුත් යෞවනයන් එක් රැස් වන මෙම සමාජ ශාලාවල දක්නට ලැබෙන්නේ හිතකර විනෝදාංශයක්ද? නැතහොත් එවන් ස්ථානයකට යෑමට පෙර දෙවතාවක් සිතීමට සාධාරණ හේතු තිබෙනවාද?

“උමතු සාදයන්”

බයිබලයේ විනීත ලෙස පවත්වන සාදයන් හෙළාදකින්නේ නැහැ. නමුත් “ඝෝෂාකාරී උත්සව” නැතහොත් “උමතු සාදයන්” සම්බන්ධයෙන් එය අනතුරු අඟවයි. (ගලාති 5:19-21, බයිංටන්) බයිබල් කාලයේ ඝෝෂාකාරී උත්සව නොහික්මුණු හැසිරීමට මඟ පෑදුවා. ප්‍රොපේත යෙසායා මෙසේ ලීවා. ‘මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැඟිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑ වෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ! ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නමුත් ඔවුන් යෙහෝවාගේ ක්‍රියාව සලකන්නේ නැත.’—යෙසායා 5:11, 12.

මෙම සාදවල විශේෂ ලක්ෂණයක් වූයේ “මද්‍යපානය” භාවිත කිරීම සහ “වියරු සංගීතයයි.” ඔවුන් පාන්දරින් පටන්ගත් සාදයන් රෑ යාමය වන තුරුම පැවැත්තුවා. ඔවුන්ට තිබුණ ආකල්පය ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ අය හැසිරුණේ දෙවි කෙනෙකු නැති විදිහටයි! එවැනි සාදයන් දෙවි හෙළාදැකීම පුදුමයක් නොවෙයි. එසේනම්, අද දින යෞවන අය එක් රොක් වන සමාජ ශාලා රැසක සිදු වෙන දේ ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

මෙම සමාජ ශාලා තුළ සිදු වෙන දේවල් ගැන සලකා බලමු. එක් දෙයක් නම් සමහර සමාජ ශාලාවල උමතු නැටුම් විශේෂයක් තිබෙනවා. මෙම නැටුම් ක්‍රමය “බිහි වුණේ පංක් රැල්ලෙන් පසුව අසූව දශකයේ මැදභාගයේදී පමණ එක්සත් ජනපදයේ සමාජ ශාලාවලින්” කියා එක් වාර්තාවක පවසනවා. “මෙය වර්ධනය වූයේ . . . ‘ස්ලෑම් ඩාන්සිං’ නමැති නැටුමෙන්. ඒ නැටුමට සහභාගි වන අය නටන්නේ එකිනෙකාගේ ඇඟේ හැප්පෙමිනුයි.” මෙසේ බිහි වූ මෙම උමතු නැටුම් විශේෂයට උඩ පැනීම, වියරුවෙන් හිස වැනීම, සතුන් ඔළුවෙන් ඇනගන්න ආකාරයට ඔළු එකිනෙකට හප්පාගැනීම සහ අනිත් අයගේ ඇඟට කඩා වැටීම වැනි දේ බොහෝවිට ඇතුළත් වෙනවා. මෙහි ප්‍රතිඵල ලෙස අත් පා කැඩීම් හා කැපීම් සාමාන්‍ය දෙයක් වී ඇති අතර කොන්දට හා ඔළුවටද අනතුරු සිදු වී තිබෙනවා. සමහරු මරණයට පවා පත් වී තිබෙනවා. මීට අමතරව, සමහර සමාජ ශාලාවල අත් ඉහළට ඔසවාගෙන සිටින සෙනඟගේ අතින් අත පුද්ගලයෙකුව යවයි. (crowd surfing) මෙසේ අතිනත යවනු ලබන බොහෝදෙනෙක් බිමට වැටී තුවාල වී තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී ගැහැනු ළමයින්ව නුසුදුසු ලෙස අත පත ගෑම අසාමාන්‍ය දෙයක් නොවෙයි.

එවන් හැසිරීමක් දෙවි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඔහුගේ වචනයේ ක්‍රිස්තියානීන්ට අණ කරන්නේ ‘අභක්තිකකමද, ලෞකික ආශාද ප්‍රතික්ෂේප කර සිහිකල්පනාවෙන් ජීවත් වෙන්න’ කියායි.—තීතස් 2:12NW.

සංගීතය සහ මත්ද්‍රව්‍ය

බොහෝ සමාජ ශාලාවල ඉදිරිපත් කරන සංගීතය ගැනත් සලකා බලන්න. සමහර සමාජ ශාලා යොදාගන්නේ වේග රිද්ම සහ අසභ්‍ය පද මාලා තිබෙන හාඩ් රොක් හෝ හෙවි මෙට්ල් ස්වරූපයේ සංගීතයක්. නමුත් සමාජ ශාලා රැසක වැඩිදෙනාගේ තේරීම වන්නේ රැප් හෝ හිප් හොප් සංගීතයයි. එම සංගීතයෙත් තිබෙන්නේ ලිංගිකත්වය, සාහසික ක්‍රියා සහ කැරලිකාරකම උලුප්පා දක්වන පදවැල්. නුසුදුසු තත්වයන් යටතේ එවැනි සංගීතයට සවන් දීම මගින් ඔබට බලපෑමක් ඇති විය හැකිද? සමාජ ශාලා පිළිබඳව තොරතුරු සපයන ඩේවිඩ් හාලිංවර්ත් මෙවැන්නක් පවසනවා. “සංගීතයට හැකියි මිනිසුන්ගේ මනසට විශාල බලපෑමක් කරන්න. මිනිසුන් විශාල පිරිසක් එකට සිටින අවස්ථාවක සංගීතය වාදනය කිරීමෙන් කලහකාරී ස්වභාවයක් ඇති කිරීමට හැකියි.” අමෙරිකාවේ නගර කිහිපයක තිබෙන සමාජ ශාලා තුළ සැහැසික සිදුවීම්වල ශීඝ්‍ර වර්ධනයක් තිබීම පුදුමයක් නොවෙයි. මෙවැන්නකට ඍජුවම හේතු වී තිබෙන්නේ අසභ්‍ය ක්‍රියා සහ අමානුෂික හැසිරීම ඉහළින් වර්ණනා කරන සංගීතය බව බොහෝදෙනෙකුගේ හැඟීමයි. *

මෑත අවුරුදුවල සිට සමාජ ශාලා තුළ මත්ද්‍රව්‍ය භාවිතයත් සිදු වෙනවා. “තහනම් මත්ද්‍රව්‍ය සුලබව ලබාගත හැකිවීම, විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ලබාගත හැකිවීම සහ ඒවා එහිදීම පාවිච්චි කිරීමට හැකිවීම . . . යන කාරණා සමාජ ශාලාවල ජනප්‍රියභාවයට හේතු වන” බව එක් පර්යේෂකවරියක් කියා සිටියා. ඇත්තෙන්ම නැටුම් මත්ද්‍රව්‍ය (dance drugs) යනුවෙන් හඳුන්වන ජනප්‍රිය මත්ද්‍රව්‍ය තිබෙනවා. නිතර නිතර සමාජ ශාලාවලට යන සමහර අය විවිධ මත්ද්‍රව්‍ය වර්ග එකට මිශ්‍ර කර පවා භාවිත කරනවා. සාමාන්‍යයෙන් මිශ්‍ර කර ගනු ලබන මත්ද්‍රව්‍ය අතර කෙටමින් සඳහන් කිරීමට පුළුවන්. මෙම මත්ද්‍රව්‍ය නිසා සිතීමේ හා ක්‍රියා කිරීමේ හැකියාව අතර තිබෙන සම්බන්ධයට බාධා ඇතිවීම, උමතු ස්වභාවයක්, හුස්ම ගැනීමේ අපහසුතා සහ ස්නායු පද්ධතියේ යම් යම් හානි සිදු විය හැකියි. මෙතම්ෆෙටමීන් නමැති මත්ද්‍රව්‍ය නිසා මතකය නැතිවීම, කලහකාරී හා සැහැසික ස්වභාවයක් ඇතිවීම මෙන්ම ස්නායුවලට හා හෘදයට හානිවීම පවා සිදු විය හැකියි. වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ ඇම්ෆෙටමීන් සංයෝගයක් වන එක්ස්ටසි ලෙස හඳුන්වන මත්ද්‍රව්‍යයි. මෙමගින් අවුල්සහගත ස්වභාවයක්, කාංසාව, අධිහෘදස්පන්දනය, අධිරුධිර පිඩනය සහ ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම වැනි ප්‍රතිඵල අත්විඳින්න සිදු වෙයි. එක්ස්ටසි භාවිත කළ සමහරෙකු මරණයට පවා පත් වී තිබෙනවා.

තහනම් මත් ඖෂධ භාවිත කිරීම, “මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපි අපව පවිත්‍ර කරගනිමු” යනුවෙන් කියා තිබෙන බයිබල් අණට විරුද්ධ වීමකි. (2 කොරින්ති 7:1NW) එසේනම්, බොහෝ සෙයින් මත්ද්‍රව්‍ය භාවිත කරන තැනක ඔබ සිටීම නැණවත් දෙයක්ද?

නරක ආශ්‍රය

නිතරම උපුටා දක්වන අනතුරු ඇඟවීම මතක තබාගන්න. “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.” (1 කොරින්ති 15:33NW) බයිබල් කාලයේ උමතු සාදයන් පැවැත්වූ අය මෙන්, නිතර සමාජ ශාලවල ගැවසෙන යෞවනයන් දෙවිව සතුටු කිරීමට සැලකිලිමත් වන බවක් පෙනෙන්න නැහැ. ඇත්තෙන්ම කියනවා නම් හුඟදෙනෙකු “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය” ලෙස හැඳින්වීමට පුළුවන්. (2 තිමෝති 3:4NW) ඔබට එවැනි පිරිසක් සමඟ සමීප ඇසුරක් පවත්වන්න ඇත්තටම අවශ්‍යද?

වෙනත් ක්‍රිස්තියානි යෞවනයන් සමඟ එකතු වී සමාජ ශාලාවලට යෑමෙන් අනතුරු අවම කරගත හැකියි කියා සමහර අය තර්ක කරන්න පුළුවන්. නමුත් සැබෑවටම ‘හැසිරීමෙන් ඇදහිලිවන්තයන්ට ආදර්ශයක් වන’ යෞවනයන් බොහෝදුරට එවැනි ස්ථානවලට යෑමට අකමැතියි. (1 තිමෝති 4:12NW) ක්‍රිස්තියානි යෞවනයන් පිරිසක් එකතු වෙලා සමාජ ශාලාවකට ගොස් එහිදී ඔවුන්ට එකට සිටීමට හැකි වුණත්, එහි තිබෙන අයහපත් සංගීතයෙන් සහ වාතාවරණයෙන් වෙන්වීමට ඔවුන්ට බැහැ. ඔවුන්ට වෙනත් අය නටන්න ආරාධනා කළ විට ඔවුන් අපහසුතාවට පත් විය හැකියි. සමහර යෞවනයන් සන්ඩු සරුවල්වලට පවා මැදි වී තිබෙනවා! එබැවින් බයිබලයේ මෙම වදන් සත්‍යයක් බව ඔප්පු වී තිබෙනවා. “ඥානවන්තයන් කැටුව යන්න, එවිට ඔබ ඥානවන්ත වන්නේය. එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය.”—හිතෝපදේශ 13:20.

හැඟීම් අවුස්සන නැටුම්

නැටුම් ගැන සලකා බලන්න. අමුතු තාලේ නැටුම් දැන් ඉතා ජනප්‍රියයි. මෙය විශේෂයෙන් එක්සත් ජනපදයේ වෙසෙන නහඹරයන් අතර සුවිශේෂයි. ලිංගිකත්වය සවිස්තරාත්මකව විස්තර කරන පදමාලා ඇතුළත් හිප් හොප් සංගීතයේ රිද්මයට අනුව මෙම නැටුම් නටයි. ඊටත් වඩා එම නැටුම්වල ලිංගික ක්‍රියාවලිය මවාපානවා. එම නිසා මෙම නැටුමේ අංග චලනය විස්තර කර තිබෙන්නේ ‘ඇඳුම් ඇඟලා ලිංගිකව හැසිරීම’ ලෙසටයි.

මෙවැනි ආකාරයේ නැටුම්වල නිරත වෙන්න ක්‍රිස්තියානි යෞවනයෙකුට අවශ්‍යද? ඔහුට “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” කියා අණ කරන දෙවිව සතුටු කිරීමට අවශ්‍ය නම් ඔහු එසේ කරන්නේ නැහැ. (1 කොරින්ති 6:18) ‘හැමෝම කරනවා නම් එය එතරම් හානිකර දෙයක් වෙන්න බැහැ’ කියා සමහරෙකු තර්ක කළ හැකියි. කෙසේවෙතත් මනුෂ්‍යයන් හුඟදෙනෙක් හැසිරෙන ආකාරය වැරදි විය හැකියි. (නික්මයාම 23:2) ඔබගේ සම වයසේ මිතුරන්ගේ නරක බලපෑම ප්‍රතික්ෂේප කිරීමට එඩිතර වන්න. මෙසේ කිරීමෙන් දෙවි ඉදිරියෙහි යහපත් හෘදය සාක්ෂියක් පවත්වාගන්න!—1 පේතෘස් 4:3, 4.

තීරණය ගැනීම

හැම නැටුමක්ම වැරදියි කියා මින් අදහස් කරන්නේ නැහැ. දාවිත් රජ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනා පසු ඔහු ප්‍රීතියෙන් ඉපිල ගොස් ‘මුළු ශක්තියෙන් නැටුවා’ කියා බයිබලය අපට කියනවා. (2 සාමුවෙල් 6:14) නාස්තිකාර පුත්‍රයා පිළිබඳ යේසුස්ගේ උපමාවේදී පුත්‍රයාගේ ආපසු පැමිණීමේ ප්‍රීතිය සැමරීමට ‘සංගීතයද නැටුම්ද’ ඇතුළත් වුණා.—ලූක් 15:25NW.

ඊට සමාන ලෙසින් සමහර නැටුම් ඔබ ජීවත් වන ප්‍රදේශයේ සිටින ක්‍රිස්තියානීන් අතර පිළිගත් ඒවා විය හැකියි. එසේ වුවත් සමබරකමින් සහ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. තරුණයින් සඳහා තිබෙන සමාජ ශාලාවලට වඩා ප්‍රමාණවත් පාලනයක් සහ අධීක්ෂණයක් තිබෙන ක්‍රිස්තියානි මිතුරු හමුවකදී සංගීතයෙන් සහ නැටුමෙන් ප්‍රීතියක් ලැබීම ආරක්ෂාකාරී දෙයක් වෙයි. මනා අධීක්ෂණයක් තිබෙන ක්‍රිස්තියානි මිතුරු හමුවන්වලදී තරුණයින් පමණක් වෙනම කණ්ඩායමක් ලෙස වෙන් වන්නේ නැහැ. ඒ වෙනුවට, සෑම වයස් මට්ටමකම සිටින ක්‍රිස්තියානීන් සමඟ ඔවුන්ට හොඳ ඇසුරක් භුක්ති විඳීමට හැකියාවක් ලැබෙයි.

ඔබ ජීවත් වන ප්‍රදේශයේ සමහර අවන්හල්වල සංගීතය සහ පිළිගත හැකි නැටුම් තිබිය හැකි බව ඇත්තයි. නමුත් එවන් ස්ථානයකට යෑමට ආරාධනයක් ලැබූ විට එය පිළිගැනීමට පෙර මතු දැක්වෙන ප්‍රශ්න ඇසීම නැණවත් දෙයක් විය හැකියි. එම ස්ථානයට තිබෙන්නේ මොන වගේ පිළිගැන්මක්ද? එය යෞවනයන් සඳහාම වෙන් කර තිබෙන ස්ථානයක්ද? එහෙමනම් එහි හොඳ පරිසරයක් තිබේවි කියා සහතික විය හැකිද? මොන වගේ සංගීතයක්ද එහි වාදනය කරන්නේ? එහි තිබෙන්නේ මොන වගේ නැටුම්ද? මම එම ස්ථානයට යන එක ගැන මගේ දෙමාපියන්ට හැඟෙන්නේ කොහොමද? මෙවැනි ප්‍රශ්න ඇසීමෙන් අනතුරු වළක්වාගැනීමට ඔබට පුළුවන්.

ලිපිය ආරම්භයේ සඳහන් කළ ෂෝන් මෙසේ කාරණය මැනවින් පහදා දෙනවා. ඔහු ක්‍රිස්තියානියෙකු වීමට පෙර නිතර නිතර සමාජ ශාලාවලට ගියා. ඔහු මෙසේ තම අතීතය සිහි කරනවා. “සමාජ ශාලාවලට එන අය හැසිරෙන්නේ හරිම නින්දිත විදිහටයි. සාමාන්‍යයෙන් තියෙන්නේ පහත් සංගීතය. ඒ නැටුම්වලින් දුරාචාරය උලුප්පා දක්වනවා. හුඟදෙනෙක් එතැනට යන්නේ යම් චේතනාවක් ඇතුවයි. ඒ ලිංගික සම්බන්ධකමක් පැවැත්වීම සඳහා කෙනෙකුව සොයාගැනීමටයි.” ෂෝන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කළාට පස්සේ සමාජ ශාලවලට යන එක නතර කළා. ඔහු ලැබූ නරක අද්දැකීම් අනුව සමාජ ශාලා පිළිබඳව ඔහුට හැඟෙන දේ මෙසේ ප්‍රකාශ කරනවා. “රාත්‍රි සමාජ ශාලා ක්‍රිස්තියානීන්ට සුදුසු තැනක් නෙමෙයි.”

[පාදසටහන]

^ 13 ඡේ. වර්ෂ 1999 ඔක්තෝබර් 8 පිබිදෙව්! කලාපයේ “සංගීතය අපට බලපෑමක් වන්නේ ඇයි?” යන ලිපිය බලන්න.—සිංහලෙන් නැත.

[24වන පිටුවේ පින්තූරය]

රාත්‍රි සමාජ ශාලාවලදී සමහර යෞවනයන් යම් අපහසුතාවන්ට මුහුණ දී තිබෙනවා