Skip to content

පටුනට යන්න

රැකියා ස්ථානයක්ද නැත්නම් යුද පිටියක්ද?

රැකියා ස්ථානයක්ද නැත්නම් යුද පිටියක්ද?

රැකියා ස්ථානයක්ද නැත්නම් යුද පිටියක්ද?

ජර්මනියේ පිබිදෙව්! ලේඛක විසින්

“තව ඉවසගෙන ඉන්න මට බැරි වුණා. අවුරුදු 30කට වඩා මම සමාගමට වැඩ කරලා තිබුණා. මට වැඩ පරීක්ෂක තනතුර පවා ලැබිලා තිබුණා. එතකොට තමයි අලුත් ලොක්කා ආවේ. ඔහු තරුණ, කාර්යශූර, අලුත් අදහස් දැරුව පුද්ගලයෙක්. සමාගමේ දියුණුවට මම බාධකයක් කියලා හිතුව නිසා ඔහු මට වධ දෙන්න පටන්ගත්තා. මාස ගණනාවක් තිස්සේ ඇනුම් බැණුම්වලටත්, නින්දා අපහාසවලටත්, මට විරුද්ධව ගොතපු බොරුවලටත් මූණ දෙන්න වුණ නිසා මම දැඩි මානසික පීඩනයකට පත් වුණා. විශ්‍රාම දීමනාවක් ලබාගෙන සමාගමෙන් අස් වෙන්න කැමතිද කියලා ඇහැව්වාම මම ඒකට එකඟ වුණා.”—පීටර්. *

පීටර් රැකියා ස්ථානයේ හිරිහැරවලට ලක් වූ කෙනෙක්. යුරෝපයේ මෑතකදී සිට මෙය “කල්ලි ගැසී හිරිහැර කිරීම” වශයෙන් ප්‍රචලිත වී තිබෙනවා. ගණන් බලා ඇති පරිදි, පීටර් වෙසෙන ජර්මනියේ මිලියන 1.2ක පමණ පිරිසක් රැකියා ස්ථානයේ සිදු වන මෙවන් හිරිහැර නිසා දුක් විඳිනවා. නෙදර්ලන්තයේ රැකියාවේ නිරත වන සියයට 25කට තම රැකියා දිවියේ යම් අවධියක එයට මුහුණ දෙන්න සිදු වෙනවා. එමෙන්ම අන්තර්ජාතික කම්කරු සංවිධානයේ වාර්තාවක පවසන්නේ ඕස්ට්‍රේලියාවේ, ඕස්ට්‍රියාවේ, බ්‍රිතාන්‍යයේ, ඩෙන්මාර්කයේ, ස්වීඩනයේ හා එක්සත් ජනපදයේ මෙවැනි හිරිහැර කිරීම් වැඩි වෙමින් තිබෙන බවයි. එහෙත් ඇත්තෙන්ම කල්ලි ගැසී හිරිහැර කිරීම කියන්නේ කුමකටද?

“දැඩි මානසික පීඩනයක්”

ජර්මන් බසින් වූ ෆෝකස් නම් පුවත්පත් සඟරාවට අනුව මෙලෙස හිරිහැර කිරීම යනු “නිතර, නිතර, ක්‍රමානුකූලව සිදු වන හිරිහැරයයි.” එමෙන්ම රැකියා ස්ථානයේදී සිදු වන මේ හිරිහැරය යන්නෙන් අදහස් වන්නේ ඇනුම් පද කීම, විවේචනය හා සමච්චල් කිරීම, විහිළුවට රැවැට්ටීම වැනි දේ ඇතුළත් උසුළු විසුළු නොවෙයි. මානසික තත්වයට බලපාන ලෙස සැලසුම්සහගතව සිදු කෙරෙන තැතිගැන්වීමකි. එහි පරමාර්ථය වන්නේ ඊට ලක් වන තැනැත්තාව කොන් කිරීමයි. *

හිරිහැර කිරීමේ මෙවැනි උපායන් බොළඳ ලෙස පාන සතුරුකම්වල සිට දරුණු අනතුරු දක්වා දිව යයි. ඊට ලක්වන්නා චරිත ඝාතනයට, නින්දා අපහාසවලට, කලහකාරී හැසිරීම්වලට සහ වුවමනාවෙන් මඟහරිනු ලැබීමට ගොදුරු වෙයි. සමහරුන්ගෙන් හිතා මතාම වැඩියෙන් වැඩ ගනියි. එහෙමත් නැත්නම් වෙන කිසිවෙකු කිරීමට ඉදිරිපත් නොවන නිරස වැඩ නිතරම ඔවුන් ලවා කරවනවා. ඔහු කාර්යක්ෂමව වැඩ කිරීමට දරන වෑයම අඩාළ කිරීමට සෙසු සේවකයන් හිතා මතාම බාධා යෙදිය හැකියි. ඇතැම්විට ඔවුන් එසේ කරන්නේ අවශ්‍ය තොරතුරු ලබා නොදීමෙන්. සමහර අවස්ථාවලදී, හිරිහැර කරන්නන් හිරිහැරයට ලක්වන්නාගේ වාහනයේ ටයර් කපා තිබෙනවා. එහෙමත් නැත්නම් ඔහුගේ පරිගණකගත තොරතුරු අනවසරයෙන් අරගෙන තිබෙනවා.

ඇතමුන් හිරිහැරයට ලක් වන්නේ එක් තැනැත්තෙකුගෙන්. හැබැයි බොහෝවිට සිදු වන්නේ සෙසු සේවක කණ්ඩායමක්ම එකතු වී එක් කෙනෙකුට හිරිහැර කිරීමයි. මේ නිසා “කල්ලි ගැසී හිරිහැර කිරීම” යන යෙදුම කදිමෙට ගැළපෙනවා. හේතුව නම් මුළු කණ්ඩායමක්ම හිතා මතාම එක් කෙනෙකුට වධ දෙමින් හෝ කරදර කරමින් ඔහුව පීඩනයට පත් කරන නිසයි.

පුදුමයක මහත නම් බොහෝවිට ස්වාමියාගේ අනුමැතිය ඇතුවම හිරිහැරය සිදුවීමයි. යුරෝපයේ කළ ඇතැම් සමීක්ෂණයන්ට අනුව මෙවැනි සිද්ධීන්වලින් සියයට 50ක් පමණ සිදු කිරීමට සෑහෙන්න දායක වී තිබෙන්නේ වැඩ පරීක්ෂකයි. බලාගෙන ගියහම බොහෝවිට හිරිහැරය සිදු කර තිබෙන්නේ ඔහු හෝ ඇය විසින්මයි. මේ සියල්ල නිසා රැකියා ස්ථානය “දිගු කාලීනව දැඩි මානසික පීඩනයක් අද්දැකීමට සිදු වන තැනක්” බවට පත් වෙයි කියා ෆ්‍රාන්ක්ෆුර්ට ආල්ගෙමයින සයිටුං යන ජර්මන් බසින් වූ දෛනික පුවත්පත පවසයි.

අයෝග්‍ය ප්‍රතිඵල රැකියා ස්ථානයෙන් ඔබ්බටත්

බොහෝවිට, හිරිහැරයේ අයෝග්‍ය ප්‍රතිඵල රැකියා ස්ථානයෙන් ඔබ්බටත් දිව යයි. කෲර ලෙස සැලකීම් ලබන බොහෝදෙනෙක් දරුණු සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳිනවා. මානසික අවපීඩනය, නින්ද නොයෑමේ අක්‍රමිකතා සහ හදිසි බිය, හිරිහැර විඳීම නිසා ඇති වන ගැටලු අතර වෙයි. මුලදී සඳහන් කළ පීටර්ට ඇති වූ බලපෑම කුමක්ද? ඔහුගේ ආත්ම ගෞරවය බින්දුවටම බැස්සා. ජර්මනියේම වෙසෙන මාග්‍රට් නම් ස්ත්‍රියකට මානසික සෞඛ්‍ය සේවාවකින් ප්‍රතිකාර ගන්න කියා ඇගේ වෛද්‍යවරයා උපදෙස් දුන්නා. ඒ ඇයි? රැකියා ස්ථානයේදී ඇය හිරිහැරයට ලක් වූ නිසයි. කෙනෙකුගේ විවාහයට හෝ පවුල් ජීවිතයටද බරපතළ ලෙස හානි කරන්න මේ හිරිහැරවලට හැකියි.

ජර්මනියේ, රැකියා ස්ථානවල හිරිහැර කිරීම කොතරම් සිදු වෙනවාදයත්, ඊට ගොදුරු වන්නන්ට උපකාර කිරීම සඳහා එක් සෞඛ්‍ය රක්ෂණ සමාගමක් මගින් දුරකථන සේවාවක් පිහිටුවා තිබෙනවා. දුරකථනයෙන් ඇමතූ අයගෙන් අඩකට වැඩි සංඛ්‍යාවකට සති හයක්වත්, තුනෙන් එකකට පමණ මාස තුනක්වත්, සියයට 10කට වඩා වැඩි සංඛ්‍යාවකට මාස තුනකට වඩා වැඩි කාලයක්වත් වැඩ කිරීමට නොහැකි වූ බව මෙම සමාගමට පෙනී ගියා. ජර්මන් බසින් වූ වෛද්‍ය සඟරාවක් තක්සේරු කරන්නේ “සිය දිවි හානි කරගැනීම්වලින් සියයට 20ක්ම හිරිහැර විඳීම්වල ප්‍රතිඵල ලෙස සිදු වන” බවයි.

එසේනම් හිරිහැර විඳීම් නිසා රැකියාව බිය උපදවන්නක් බවට පත් විය හැකියි. එය වැළැක්විය හැකි යම් ක්‍රමයක් ඇද්ද? රැකියා ස්ථානයේදී සමාදානයෙන් ඉන්න වෑයම් කළ හැක්කේ කෙසේද?

[පාදසටහන්වල]

^ 3 ඡේ. මෙම ලිපි මාලාවේ සඳහන් වන පුද්ගලයන්ගේ නම් වෙනස් කර ඇත.

^ 6 ඡේ. සංඛ්‍යා ලේඛනවලින් පෙන්වන්නේ රැකියාවේ නිරතව සිටියදී පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් හිරිහැරයට ලක් වන බවයි. නමුත් මීට හේතුව සමහරවිට ගැටලුව ගැන කතා කර උපකාරය පැතීමට ස්ත්‍රීන් වැඩි නැඹුරුවාවක් දැක්වීම විය හැකියි.

[14වන පිටුවේ පින්තූර]

හිරිහැර විඳීම නිසා රැකියාව දැඩි මානසික පීඩනයක් බවට පත් වෙයි