Skip to content

පටුනට යන්න

රැකියා ස්ථානයේදී සමාදානයෙන් සිටීමට වෑයම් කිරීම

රැකියා ස්ථානයේදී සමාදානයෙන් සිටීමට වෑයම් කිරීම

රැකියා ස්ථානයේදී සමාදානයෙන් සිටීමට වෑයම් කිරීම

ඇයි සමහරු අනිත් අයට හිරිහැර කරන්නේ? මේ කාරණය සම්බන්ධයෙන් බයිබලය අපව නැණවත් කරනවා. අප ජීවත් වන්නේ මේ සමාජ ක්‍රමයේ “අන්තිම දවස්වල” බවත්, අපට “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල්” අද්දකින්න සිදු වන්නේ ඒ නිසා බවත් එහි පැහැදිලි කරනවා. බොහෝ මිනිස්සු “තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති . . . ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර” අයව සිටිනවා. (2 තිමෝති 3:1-5NW) කැලඹිලි සහිත මේ කාලයේ කොතැනත් දකින්න තිබෙන්නේ මෙවන් හැසිරීම් වන අතර ඉන් ඇති වී තිබෙන අප්‍රසන්න ප්‍රතිඵලවලින් එකකි කල්ලි ගැසී කරන හිරිහැරය. එසේනම්, රැකියා ස්ථානයේදී සමාදානයෙන් සිටීමට වෑයමක් දරන්න ඔබට පුළුවන් වෙන්නේ කොහොමද?

ගැටුම් නිරාකරණය කිරීම

හිරිහැර කිරීම බොහෝවිට පටන්ගන්නේ සෙසු සේවකයන් අතර නොවිසඳුණ ගැටුමක් පැවතීම නිසයි. මෙබැවින්, අනිත් අයගේ කාරණාවලට ඇඟිලි ගැසීමට නොයා ඔබ සහ තව කෙනෙකු අතරේ ඇති වී තිබෙන වරදවා වටහාගැනීම් කෙරෙහි වහාම අවධානය දෙන්න. උපායශීලීව හා ගෞරවනීයව සිත් රිදවීම් සුව කරගන්න. සෙසු සේවකයන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ව කණ්ඩායමේ කොටසක් වශයෙන් නොව එක් එක් පුද්ගලයා වශයෙන් සලකන්න. ඔබට විරුද්ධව යම් කාරණයක් කෙනෙකුට තිබෙන බව ඔබට පෙනේ නම් කාරණය නිරාකරණය කරගන්න වෑයම් කරන්න. යේසුස්ගේ අවවාදය මතක තබාගන්න. “ඔබට විරුද්ධව . . . පැමිණිලි කරන තැනැත්තා සමඟ . . . ඉක්මනින් කාරණා නිරවුල් කරගන්න.”—මතෙව් 5:25NW.

එමෙන්ම, අදහස් හුවමාරුවේ දොරටු විවෘතව තබාගැනීමෙන්ද හැමෝටම ප්‍රයෝජන ලැබෙනවා. එසේනම්, ඔබේ වැඩ පරීක්ෂක සමඟ හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගැනීමට වෑයම් කරන්න. නමුත් ඔබ වෑයම් කරන්නේ ඔහුගේ අනුග්‍රහය ලබාගැනීමට පමණයි යන හැඟීම ඇති වන්න ඉඩ දෙන්න එපා. ඔබේ මට්ටමේ සිටින සෙසු සේවකයන් සහ ඔබ යටතේ සිටින්නන් සමඟ තබාගන්නා හොඳ අදහස් හුවමාරුව මානසික පීඩනයට පිළියමක් ලෙස ක්‍රියා කරාවිය යන්නත් මතක තබාගන්න. සලමොන් රජ මෙසේ පැවසුවා. “මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵල වන්නේය. එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථීර වන්නේය.”—හිතෝපදේශ 15:22.

එබැවින් ඔබ සමඟ වැඩ කරන්නන් එක්ක පෑහී සිටීමට සෑම වෑයමක්ම දරන්න. නමුත් ඔබෙන් ඉල්ලා සිටින ඕනෑම දෙයකට අනුවණ ලෙස එකඟ වීම හා සාමය පවත්වාගැනීමේ අටියෙන් ඔබේ ප්‍රතිපත්ති බාල කර එකඟත්වයකට පැමිණීම ඉන් අදහස් වෙන්නේ නැහැ. එහෙත් උණුසුම් මිත්‍රශීලීභාවයකට හැකියි අප්‍රසන්න වාතාවරණයක් ප්‍රසන්න තත්වයකට ගෙන එන්න. ඔබ අන් අයට කියන දේ ගැන පමණක් නොව ඔබ එය කියන ආකාරය ගැනත් පරෙස්සම් වන්න. යළිත් බයිබලය නැණවත් උපදෙස් දෙයි. “මෘදු උත්තරයකින් කෝපය පහ වෙයි. එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.” (හිතෝපදේශ 15:1) “ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය.” (හිතෝපදේශ 15:4) “ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක.” (හිතෝපදේශ 25:15) “ඔබේ කතාව සැමවිටම ප්‍රසන්නව, ලුණෙන් රසවත්ව තිබේවා! එවිට ඔබ එකිනෙකාට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්නවා ඇත.”—කොලොස්සි 4:6NW.

‘ඔබේ සාධාරණකම දැනගන්න ලැබේවා!’

ප්‍රේරිත පාවුල් පිලිප්පියේ ක්‍රිස්තියානීන්ට මෙසේ අවවාද කළා. “ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න ලැබේවා!” (ෆිලිප්පි 4:5NW) මෙම ප්‍රතිපත්ති අනුගමනය කරමින් හැසිරීම පිළිබඳ සාධාරණ ප්‍රමිති තබාගන්න. ඕනෑවට වඩා වැඩි ආත්ම විශ්වාසයකින් හෝ ලජ්ජාශීලීකමකින් වළකින්න. සෙසු සේවකයන් ඔබට විහිළු කරනවා නම් එකට එක කිරීමට වෑයම් නොකරන්න. හොඳ හා නරක හැසිරීම අතර වෙනස පටලවාගැනීමෙන් ඔබට යහපතක් වෙන්නේ නැහැ. අන් අයට ගෞරවයෙන් සලකන්න. එවිට ඔවුන්ගෙන්ද එවැනිම ප්‍රතිචාරයක් ඔබටත් ලැබීමට ඉඩ තිබෙනවා.

ඔබේ හැසිරීම ගැන පමණක් නොව ඔබේ ඇඳුම ගැනත් සැලකිලිමත් වන්න. ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මගේ ඇඳුමෙන් අඟවන්නේ මොකක්ද? මගේ පෙනුමෙන් හැඟීම් ඇවිස්සෙයිද? මට තියෙන්නේ අපිළිවෙළ පෙනුමක්ද? රැකියාවට අඳින ඇඳුම් සම්බන්ධයෙන් මම නැණවත් තීරණ ගත්තොත් හොඳයිද?’

සංස්කෘතීන් වැඩි ගණනක, කඩිසර හා වගකීමෙන් යුතුව වැඩ කරන සේවකයන්ට ගරු කරන අතර ඔවුන්ව බෙහෙවින් අගය කරනු ලබයි. මෙබැවින්, ගුණයෙන් ඉහළ සේවයක් ඉටු කිරීමෙන් ගෞරවය උපයාගැනීමට වෑයම් කරන්න. විශ්වාසවන්ත වන්න. නමුත් හැම දෙයක්ම හරි හතරැස්ව කරන්න ඕන බව මින් අදහස් කරන්නේ නැහැ. හිරිහැරයට ලක් වූ කාන්තාවක් එසේ ලක්වීමට තමාද යම් දුරකට දායක වූ බව පසුව පිළිගත්තා. “මට ඕන වුණේ හැම දෙයක්ම සර්ව සම්පූර්ණව කරන්නයි” කියා ඇය පවසනවා. එහෙත් සර්ව සම්පූර්ණත්වය යනු අත් කරගත නොහැකි දෙයක් බව මෙම කාන්තාව වටහාගත්තා. “මම හොඳ සේවිකාවක්. ඒත් මම හැම දෙයක්ම සර්ව සම්පූර්ණවම කරන්න ඕනෙ කියලා එයින් අදහස් කරන්නේ නැහැ.”

සිත රිදවන ප්‍රකාශයන් ගැන ඕනෑවට වඩා හිතන්න යන්න එපා. අසාධාරණ විවේචනයන් හැම එකක්ම හිරිහැර කිරීමේ ගණයට වැටෙන්නේ නැහැ. සලමොන් රජ බයිබලයෙහි මෙසේ ලිව්වා. “කෝපවීමට ඔබේ සිතින් ඉක්මන් නොවෙන්න. . . . මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට ඔබේ සිත යොමු නොකරන්න. . . . මක්නිසාද ඔබත් නොයෙක් වර අනුන්ට දෙස් කිවූ බව ඔබේ සිත දන්නේය.”—දේශනාකාරයා 7:9, 21, 22.

එවැනි නැණවත් ප්‍රතිපත්ති අනුගමනය කිරීම ඔබ කවදාවත් හිරිහැරයට ලක් නොවන බවට සහතිකයක් නෙවෙයි. ඔබ මොන තරම් වෑයමක් දැරුවත් සමහර සෙසු සේවකයන් ඔබට හිරිහැර කරන්න ඉඩ තිබෙනවා. එවිට කුමක් කළ හැකිද?

උපකාරය පතන්න

“මාස ගණනාවක් තිස්සේ වුවමනාවෙන්ම මාව මඟහැරිය නිසා කියාගන්න බැරි තරම් දුකක් මගේ හිතේ තෙරපිලා තිබුණා” කියා ග්‍රෙගරි පවසනවා. ඔහු අද්දැක්කෙත් හිරිහැරයට ලක්වන්නන්ට ආවේණික වන හැඟීම්මයි. එනම් කෝපය, වරදකාරීබව, ලජ්ජාව, වියවුල මෙන්ම මගේ වටිනාකමක් නැතුව ඇති වැනි හැඟීම්මයි. හිරිහැරයෙන් විඳින පීඩාව කෙතරම්ද කිවහොත් සාමාන්‍යයෙන් දරාගැනීමේ ශක්තිය තිබෙන කෙනෙකු පවා අන්තයටම කලකිරෙන්න පුළුවන්. ඇත්තවශයෙන්ම, බයිබලයේ පවසන්නේ මෙයයි. “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩ වන්නේය.” (දේශනාකාරයා 7:7) එබැවින්, කළ හැක්කේ කුමක්ද?

හිරිහැරයට තනිවම පිළියම් සෙවීමෙන් වැළකීම වඩාත් හොඳ බවයි සමීක්ෂණවලින් පෙනී යන්නේ. හිරිහැරයට ලක්වන්නෙකුට උපකාරය පැතිය හැක්කේ කොතැනින්ද? තමන් හිරිහැරයට ලක් වන බව හැඟෙන සේවකයන්ට උපකාර කිරීමට ඇතැම් ලොකු සමාගම් මාධ්‍යයන් පිහිටුවා තිබෙනවා. හිරිහැරය සම්පූර්ණයෙන් නැති කර දැමීම තමන්ට වාසියක් බව එවැනි සමාගම් දන්නවා. එක් සංඛ්‍යා ලේඛනයකට අනුව කෙනෙකුව හිරිහැරයට ලක් කරන්නාවූ සේවකයන් තම සේවා කාලයෙන් සියයට 10ක් පමණ අපතේ යවයි. හිරිහැරයට ලක්වන්නාට හැකියි එවැනි සැලසුම් සමාගම තුළ යොදා ඇත්නම් උපකාරය පැතීමට. සමාගමේ සිටින හෝ ඉන් පිටත සිටින මධ්‍යස්ථ උපදේශකයෙකුට හැකියි ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් එක් කර සාකච්ඡා කරන්න සහ රැකියා ස්ථානයේ හැසිරීම පිළිබඳ නීති පිහිටුවීමට මාර්ගය විවෘත කරන්න.

සහතික කළ හැකි පිළියමක් නැහැ

ඇත්තෙන්ම, හිරිහැරයට ස්ථිර පිළියමක් නැති බව පිළිගත යුතුයි. මෙම ලිපියේ සඳහන් බයිබල් ප්‍රතිපත්ති පිළිපදින අයට පවා රැකියාවේ නියැලෙන විට හිරිහැර විඳින්න සිදු විය හැකියි. පීඩා කම්කටොලු මැද විඳදරාගෙන හා දිව්‍ය ගුණාංග විදහාපෑමට වෑයම් දරන තමන්ව යෙහෝවා දෙවිගේ නෙතින් ගිලිහී යන්නේ නැති බවට ස්ථිරත්වයක් එවැනි අයට තබාගැනීමට හැකියි.—2 ලේකම් 16:9; යෙරෙමියා 17:10.

කොතරම් දුරකට හිරිහැරය දරුණුද, එය නිතර නිතර සිදු වෙනවාද යන්න අනුව ඇතැම් අය වෙනත් රැකියාවක් සෙවීමට තීරණය කරනවා. එහෙත් රැකියා හිඟව තිබිය හැකි නිසාත්, උපකාර ලබාගැනීමට වැඩි ක්‍රම නොතිබිය හැකි නිසාත් තවත් අයට බොහෝවිට සිදු වන්නේ එම රැකියාවේම රැඳෙන්නයි. කලින් ලිපියේ සඳහන් වූ මොනිකාට වැඩියෙන්ම හිරිහැර කළ අයගෙන් කෙනෙක් රැකියාවෙන් අස් වී ගිය අවස්ථාවේ යම් කලකට පසුව ඇගේ ගැටලුව විසඳුණා. ප්‍රතිඵලයක් වශයෙන්, පෙරට වඩා නිස්කලංකව සේවය කරගෙන යෑමට වාතාවරණය සකස් වූ අතර වෙනත් තැනක රැකියාවක් සොයාගැනීමට තීරණය කරන්න කලින් තම පුහුණුව නිම කිරීමට ඇයට හැකි වුණා.

මුල් ලිපියේ සඳහන් වූ පීටර්ට, කලින් විශ්‍රාම යෑමෙන් සම්පූර්ණ සහනයක් ලැබුණා. එහෙත්, හිරිහැරය විඳදරාගෙන සිටින විට පවා පීටර් තම බිරිඳගේ උපකාරයෙන් ප්‍රයෝජන ලැබුවා. “මං විඳින දේ ගැන ඈ තේරුම් අරගෙන හිටියා. ඈ මාව පුදුම විදිහට ශක්තිමත් කළා” යයි ඔහු පැවසුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන මොනිකා සහ පීටර් පීඩා කරදර විඳිද්දී ඔවුන්ගේ ඇදහිල්ලෙන් විශේෂ සැනසීමක් ලබාගත්තා. මහජනයා වෙනුවෙන් දේවසේවයේ යෙදී සිටීම නිසා ඔවුන්ගේ ආත්ම ගෞරවය ශක්තිමත් වූ අතරතුර, සෙසු ඇදහිලිවන්තයන්ව ඇසුරු කිරීමෙන් නොබිඳෙන මිතුදම් යළි ශක්තිමත් වුණා.

ඔබේ තත්වය කුමක් වුවත් රැකියා ස්ථානයේ හොඳ සබඳතාවන් පවත්වාගැනීමට දැඩි වෑයමක් දරන්න. ඔබට හිරිහැර විඳීමට සිදු වේ නම් ප්‍රේරිත පාවුල්ගේ මෙම අවවාදය අනුගමනය කිරීමට වෑයම් කරන්න. “කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න. . . . පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න. . . . නපුරෙන් පරාජය නොවී, දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.”—රෝම 12:17-21NW.

[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිත්‍රශීලීභාවයට හැකියි අප්‍රසන්න වාතාවරණයක් ප්‍රසන්න තත්වයකට ගෙන එන්න

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“පුළුවන් නම්, ඔබට හැකි පමණින් සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න.”—රෝම 12:18, NW.

[18, 19වන පිටුවේ පින්තූරය]

පෞද්ගලික වරදවා වටහාගැනීම් කෙරෙහි වහාම අවධානයක් දෙන්න