Skip to content

පටුනට යන්න

විවාහය පාරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි?

විවාහය පාරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි?

බයිබලයේ දෘෂ්ටිකෝණය

විවාහය පාරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි?

විවාහය පාරිශුද්ධ දෙයක් ලෙස තමන් සලකන බව අද කාලයේ සිටින බොහෝ පුද්ගලයන් කියා සිටිනවා විය හැකියි. එහෙමනම් ඇයි මේ තරම් විවාහයන් ප්‍රමාණයක් දික්කසාදයෙන් කෙළවර වෙන්නේ? සමහරෙකුට විවාහය කියන්නේ ආදරයෙන් බැඳී සිටින දෙදෙනෙකු එකිනෙකාට දෙනු ලබන පොරොන්දුවක් සහ නීතික ගිවිසුමක් විතරයි. ඒ අය හිතන්නේ එවන් පොරොන්දු කඩන්න පුළුවන් දේවල් හැටියටයි. විවාහය දෙස මේ ආකාරයට බලන අය විවාහය තුළින් තමන් බලාපොරොත්තු වූ දේ නොලැබෙන විට විවාහ දිවියෙන් සමුගැනීම පිළිබඳව දෙවරක් හිතන්නේ නැහැ.

දෙවි විවාහ විධිවිධානය දෙස බලන්නේ කොහොමද? මීට පිළිතුර ඔහුගේ වචනය වන බයිබලයේ හෙබ්‍රෙව් 13:4වන [NW] පදයෙන් සොයාගත හැකියි. ‘විවාහය සියල්ලන් අතර ගෞරවනීයව තිබේවා.’ “ගෞරවනීය” යන අදහස රැගෙන තිබෙන ග්‍රීක් වචනය තුළ අගනා සහ ඉතා උසස් කොට සලකන යමක් යන අර්ථය ගැබ්ව තිබෙනවා. අප යමක් වටිනා දෙයක් ලෙස සලකන විට එය මොනම විදිහකින්වත් නැති වෙන්න නොදී රැකගැනීමට උත්සාහ දරනවා. මේ දෙයම විවාහ විධිවිධානයේදීත් සැබෑවක් විය යුතුයි. ගෞරවනීය යමක් ලෙසට ක්‍රිස්තියානීන් එය සැලකිය යුතුයි. එනම් තමන් රැකගැනීමට ආශා කරන අගනා දෙයක් ලෙසට එය සැලකිය යුතුයි.

ඇත්තෙන්ම යෙහෝවා දෙවි විවාහය ස්ථාපිත කළේ ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර සිදු වෙන පාරිශුද්ධ විධිවිධානයක් ලෙසයි. අපත් විවාහය පිළිබඳව ඔහුගේ දෘෂ්ටිය දරනවා කියා පෙන්වන්නේ කොහොමද?

ප්‍රේමය සහ ගෞරවය

විවාහ විධිවිධානයට ගෞරව කිරීම සඳහා විවාහක කලත්‍රයන් එකිනෙකාට ගෞරව කළ යුතුයි. (රෝම 12:10) ප්‍රේරිත පාවුල් පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවා. “ඔබ එකිනෙකාත් තමාට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුය. එමෙන්ම, භාර්යාව තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.”—එෆීස 5:33NW.

භාර්යාවක හෝ පුරුෂයෙකු ප්‍රේමණීයව හෝ ගෞරවනීයව කටයුතු කරන්නේ නැති යම් අවස්ථා තිබිය හැකි බව පිළිගත යුතුයි. එසේ වුවත් ක්‍රිස්තියානියෙකු නම් එවැනි අවස්ථාවලදී පවා ප්‍රේමය සහ ගෞරවය පෙන්විය යුතුයි. පාවුල් ලීවේ, “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න.”—කොලොස්සි 3:13NW.

කාලය සහ අවධානය දීම

තම බැඳීම පාරිශුද්ධ යමක් ලෙස සලකන විවාහක යුවළයන් එකිනෙකාගේ ශාරීරික සහ චිත්තවේගීය අවශ්‍යතා ඉටු කිරීමට කාලය වැය කරයි. මෙයට ලිංගික සම්බන්ධකම් පැවැත්වීමද ඇතුළත් වෙයි. බයිබලයේ සඳහන් වන්නේ, “ස්වාමිපුරුෂයා, තම භාර්යාවට යුතු දේ ඉටු කර දේවා. භාර්යාවද තම ස්වාමිපුරුෂයාට එලෙසම කර දේවා” කියායි.—1 කොරින්ති 7:3NW.

කෙසේවෙතත්, තම ආදායම වැඩි කරගැනීමට තාවකාලිකව ස්වාමිපුරුෂයා වෙනත් ස්ථානයකට යෑම සුදුසුයි කියා සමහර විවාහක යුවළයන්ට හැඟී තිබෙනවා. සමහර අවස්ථාවල මෙලෙස වෙන්ව සිටින කාලය දීර්ඝ වී තිබෙන්නේ ඔවුන් නොසිතූ ආකාරයටයි. මෙසේ වෙන්ව සිටීම බොහෝවිට විවාහය මත ඇති කරන්නේ දැඩි බලපෑමක්. යම් අවස්ථාවල එය අනාචාරයට හා දික්කසාදයට පවා මඟ පාදා තිබෙනවා. (1 කොරින්ති 7:2, 5) මේ හේතුව නිසා බොහෝ ක්‍රිස්තියානි යුවළයන් තමන් පාරිශුද්ධයයි සලකන විවාහය අනතුරේ හෙළාගන්නවාට වඩා ද්‍රව්‍යමය වාසීන් අත්හැර දමන්න තීරණය කර තිබෙනවා.

ගැටලු පැනනඟින විට

දුෂ්කරතා ඇති වන විට තම විවාහයට ගෞරව කරන ක්‍රිස්තියානීන් වෙන්වීමට හෝ දික්කසාද වීමට ඉක්මන් වෙන්නේ නැහැ. (මලාකී 2:16; 1 කොරින්ති 7:10, 11) යේසුස් පැවසුවේ, “වේශ්‍යාකම නිසා මිස අන් හේතුවක් නිසා තම බිරිඳව දික්කසාද කරන සෑම කෙනෙක්ම, ඇයව පරපුරුෂ සේවනයට නිරාවරණය කරයි. දික්කසාද කළ ස්ත්‍රියක විවාහ කරගන්නා ඕනෑම කෙනෙක් පරදාර සේවනයේ යෙදෙන්නේය” කියායි. (මතෙව් 5:32NW) යම් යුවළක් ශුද්ධ ලියවිලිමය පදනමක් නැතිව දික්කසාදය හෝ වෙන්වීම තෝරාගනීවි නම් ඔවුන් විවාහය අගෞරවයට පත් කරනවා.

බරපතළ විවාහ ගැටලු තිබෙන අයට අප දෙන උපදෙස් මගින් විවාහය පිළිබඳව අපට තිබෙන ආකල්පයත් පිළිබිඹු වෙයි. වෙන් වෙන්න හෝ දික්කසාද වෙන්න කියා යෝජනා කිරීමට අප ඉක්මන් වෙනවාද? දරුණු ලෙස ශාරීරිකව පීඩා කිරීම හෝ හිතා මතා පවුලේ අවශ්‍යතා ඉටු නොකිරීම වැනි අවස්ථාවලදී වෙන්වීම යෝග්‍ය දෙයක් විය හැකි බව සත්‍යයක්. * ඒ වගේම කලින් සඳහන් කළාක් මෙන් දික්කසාදය සඳහා බයිබලයේ වලංගු පදනම වන්නේ යම් කෙනෙකුගේ කලත්‍රයා වේශ්‍යාකම නමැති වරදට හසු වී තිබීමයි. එසේ වුවත් එවන් අවස්ථාවලදී වෙනත් අය විසින් ගනු ලබන තීරණයට ක්‍රිස්තියානීන් අනවශ්‍ය ලෙස බලපෑම් නොකළ යුතුයි. ඊට හේතුව, ගනු ලබන තීරණයේ ප්‍රතිඵල විඳීමට සිදු වන්නේ විවාහ ගැටලු තිබෙන පුද්ගලයාට මිස උපදෙස් දෙන පුද්ගලයාට නොවෙයි.—ගලාති 6:5, 7.

සැහැල්ලුවට හිතන්න එපා

සමහර රටවල සිටින අය වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් විවාහ වෙයි. සාමාන්‍යයෙන්, මෙවැනි අය එම රටේ පුරවැසියෙකුට තමන් සමඟ විවාහ වීම වෙනුවෙන් මුදලක් ගෙවීමට පොරොන්දු වෙයි. බොහෝවිට මෙසේ විවාහ වන යුවළයන් විවාහ වුවත් වෙන වෙනම සිටින අතර මිත්‍රකමක්වත් පවත්වන්නේ නැහැ. තමන් අපේක්ෂා කරන පුරවැසිභාවය ලබාගත් විගස ඔවුන් දික්කසාද වෙයි. ඔවුන් තම විවාහය සලකන්නේ ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස පමණයි.

බයිබලය එවන් සැහැල්ලු ආකල්පයක් දැරීම අනුමත කරන්නේ නැහැ. ඔවුන්ගේ චේතනා කුමක් වුවත් විවාහ වන දෙදෙනෙක් ඇතුල් වන්නේ ජීවිත කාලය පුරා තිබෙන බැඳීමක් හැටියට දෙවි සලකන පාරිශුද්ධ විධිවිධානයකටයි. එවන් ගිවිසුමක පාර්ශ්වයන් ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස බැඳී සිටිනවා. වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමට නම්, දික්කසාදය සඳහා තිබෙන එකම බයිබල් පදනම ඔවුන්ටද අදාළයි.—මතෙව් 19:5, 6, 9.

වටිනා කියන දෙයක් රැකගැනීමට දරන ප්‍රයත්නයට සමානව සාර්ථක විවාහයකටත් දැඩි ප්‍රයත්නයක් අවශ්‍යයි. එහි තිබෙන පාරිශුද්ධත්වය අගය කරන්න අසමත් වන අය විගස සියල්ල අත්හැර දමයි. නැතහොත් ඔවුන් අකමැත්තෙන් වුවද සතුටෙන් තොර විවාහ ජීවිතයක් ගත කරයි. අනෙක් අතට විවාහයේ පාරිශුද්ධභාවය පිළිගන්න අය දන්නවා විවාහක කලත්‍රයන් එකට සිටීම දෙවි අපේක්ෂා කරන දෙයක් බව. (උත්පත්ති 2:24) ඒ වගේම ඔවුන් තේරුම්ගන්නා තවත් දෙයක් වන්නේ විවාහයේ එකමුතුභාවය රැකගැනීමට වෑයමක් දැරීමෙන් ඔවුන් එහි නිර්මාතෘ වන දෙවිව ගෞරවයට පත් කරන බව. (1 කොරින්ති 10:31) මෙවැනි ආකල්පයක් තබාගැනීමෙන් විවාහය සාර්ථක කරගැනීමට දැඩි වෑයමක් දැරීමට ඔවුන් තුළ පෙලඹීමක් ඇති වෙයි.

[පාදසටහන]

^ 14 ඡේ. වර්ෂ 1988 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 22-3 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.