Skip to content

පටුනට යන්න

හිරිහැරවලට ලක් වන අයුරු

හිරිහැරවලට ලක් වන අයුරු

හිරිහැරවලට ලක් වන අයුරු

මොනිකා නීතිඥ වෘත්තියේ ආධුනික ලිපිකාරිනියක් ලෙස වැඩ කරන්න පටන්ගත්තේ පාසැල් දිවිය අවසන් කළ ගමන්මයි. මොනිකා ආසාවෙන් හිටියේ ටිකෙන් ටික රැකියා දිවියට හුරු වෙන්නයි.

හෝස්ට් වයස 30 ගණන්වල මැදභාගයේ හිටිය වෛද්‍යවරයෙක්. ඔහුට භාර්යාවක් හා දරුවන් හිටියා. ඔහුට හොඳ පිළිගැන්මක් සහ ඉතා හොඳ ආදායමක් ලැබෙන්න තිබුණ බවයි පෙනෙන්න තිබුණේ.

මොනිකා සහ හෝස්ට් යන දෙදෙනාම හිරිහැරවලට ලක් වුණා.

මොනිකාගේ සහ හෝස්ට්ගේ සිද්ධීන් අපිට උගන්වන්නේ වටිනා පාඩමක්: කල්ලි ගැසී කරන හිරිහැරවලට ලක් වන්නේ කවුරුන්ද යන වග කලින් නිර්ණය කරන්න කිසිවෙකුට බැහැ. ඇත්තවශයෙන්ම, ඕනෑම රැකියාවක් කරන ඕනෑම කෙනෙක් හිරිහැරයට ලක්වීමට ඉඩ තිබෙනවා. එහෙමනම් කොහොමද ඔබ ඔබවම ආරක්ෂා කරගන්නේ? එක ක්‍රමයක් වන්නේ කටයුතු කිරීමට අසීරු සේවකයන් එක්ක වුණත්, රැකියා ස්ථානයේදී සමාදානයෙන් ඉන්න වෑයම් කළ හැකි අයුරු ගැන ඉගෙනගැනීමයි.

සෙසු සේවකයන් සමඟ පෑහී සිටීම

හුඟදෙනෙකුට, රැකියාවක නියැලී ඉන්න නම් සෙසු සේවක කණ්ඩායමක් සමඟ පෑහී සිටීමටත්, කණ්ඩායමක් වශයෙන් හොඳට වැඩ කිරීම සඳහා එම කණ්ඩායමට උපකාර කිරීමටත් සිද්ධ වෙනවා. එකට වැඩ කරන අය හොඳින් පෑහී ඉන්නවා නම් හොඳ වැඩ කොටසක් ඉටු වෙනවා. එසේ නොවේ නම් වැඩ බාල වෙන අතර හිරිහැරයට ලක්වීමේ අවදානමද වැඩි වෙනවා.

සේවක කණ්ඩායමකගේ මනා ක්‍රියාකාරිත්වයට බාධා කළ හැක්කේ මොනවාද? කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් නිතර වෙනස් වීම එක් හේතුවක් විය හැකියි. එවැනි අවස්ථාවක මිත්‍රත්වයන් ගොඩනැඟීම අසීරුයි. ඊට අමතරව, අලුත් සාමාජිකයන් වැඩපිළිවෙළට හුරු නැති නිසා සියලු සේවකයන්ගේ කාර්යශීලීත්වය අඩාල වෙයි. ඒ හේතුවෙන් වැඩ ගොඩ ගැසේ නම් කණ්ඩායම නිරතුරුවම මානසික පීඩනයකට ලක් වී සිටීමට ඉඩ තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, කාණ්ඩායමක් තුළ පැහැදිලි පරමාර්ථයන් නැත්නම් එකමුතුකමද අඩු වෙයි. උදාහරණයක් වශයෙන් ආත්ම විශ්වාසයක් නැති ස්වාමියෙකු තමන් සතු මෙහෙයවීමේ වැඩ කොටස හරි හැටි ඉටු කරනවාට වඩා තම තනතුරු බලය අල්ලාගෙන සිටීමට වැඩි කාලයක් ගත කරනවා නම් එවැනි දෙයක් සිදු විය හැකියි. සේවකයන්ව කෙටවීමෙන් පවා තම බලය දිගටම තබාගැනීමට ඔහු වෑයම් කළ හැකියි. මීට අමතරව, කණ්ඩායමේ ව්‍යුහය තුළ එක් එක් සාමාජිකයාට නියමිත කාර්යභාරය පැහැදිලිව දක්වා නොතිබෙන්න පුළුවන්. ඒ නිසා ඇතැම් සේවකයන් තමන්ගේ වගකීම කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් වේදැයි නොදන්නා බැවින් තත්වය තවත් දරුණු වෙයි. උදාහරණයකට, බඩු ඇණවුම් පත්වලට දෙවන අත්සන දැමීමේ වගකීම පැවරී තිබෙන්නේ තමන්ටයයි සේවකයන් දෙදෙනෙකුම සිතන විට ගැටුම් ඇති විය හැකියි.

එවැනි අවස්ථාවක අදහස් හුවමාරු කරගැනීම ඉතා අසීරු වන අතර බොහෝවිට සිදු වන්නේ සිත් රිදීම් සුව කිරීමට කිසි පියවරක් නොගෙන ඒවා නොසලකාහරිනු ලැබීමයි. එවිට, ඊර්ෂ්‍යාව නිසා රැකියා ස්ථානයේ වාතාවරණයට හානි සිදු වන අතර ස්වාමියාගේ ප්‍රසාදය දිනාගැනීම සඳහා සේවකයන් එකිනෙකා සමඟ තරඟ කරයි. සුළු වරදවා වටහාගැනීම් විශාල නින්දා අපහාසයන් සේ සලකයි. ප්‍රතිඵලයක් වශයෙන් කෙන්ද කන්ද වෙයි. සිද්ධ වී තිබෙන්නේ හිරිහැරයට අඩිතාලම වැටීමයි.

හිරිහැර කරන්න තෝරගන්නේ කාවද?

එක් සේවකයෙකුව තෝරාගෙන යම් කාලයක් පුරා ඔහුට හිරිහැර කිරීමට ඉඩ තිබෙනවා. මෙසේ විය හැක්කේ කොයි වගේ කෙනෙකුටද? බොහෝවිට, සෙස්සන්ට වඩා වෙනස්යයි පෙනෙන කෙනෙකුටය. උදාහරණයකට, ස්ත්‍රීන් අතරේ සිටින්නේ එක පිරිමියෙකු පමණක් හෝ පිරිමින් සමූහයක් අතරේ සිටින්නේ එක ස්ත්‍රියක් පමණක් වෙන්න පුළුවන්. නැත්නම්, ආත්ම විශ්වාසයක් ඇති තැනැත්තෙක් යනු බලෙන් දේවල් කරවගන්නා කෙනෙක් කියාත්, නිහඬතාව රකින කෙනෙක් යනු බොරු මවාපෑමක් කරන කපටි කෙනෙක් කියාත් සමහරෙකු උපකල්පනය කළ හැකියි. ඒත් නැත්නම්, අනිත් අයට වඩා වයසින් වැඩි වන නිසා හෝ බාල වන නිසා හෝ ඒ කාර්යය කිරීම සඳහා අනිත් අයට වඩා සුදුසුකම් තිබෙන නිසා හෝ හිරිහැරයට ලක්වීමට ඉඩ ඇත.

හිරිහැරයට ලක් වන තැනැත්තා කවරෙකු හෝ වේවා, සෙසු සේවකයන් “ඔහුට අකාරුණික හා ගරු සරු නැතුව සලකන අතර ඔවුන් එලෙස ක්‍රියා කිරීමෙන් තමන්ගේම මානසික පීඩනයෙන් නිදහස් වුණාක් මෙන් ඔවුන්ට හැඟෙනවා” යයි ජර්මන් බසින් පළ වෙන mta වෛද්‍ය සඟරාව වාර්තා කරයි. හිරිහැරයට ලක්වන්නා විසින් මේ තත්වයට පිළියමක් සෙවීමට ගනු ලබන වෑයම අසාර්ථක වන අතර තත්වය ඊටත් වඩා දරුණු වන්නත් පුළුවන්. භයගැන්වීම නිතර නිතර සිදු වන විට ඊට ලක් වූ තැනැත්තා වැඩි වැඩියෙන් තනි වෙනවා. මේ අවස්ථාවේදී, හිරිහැරයට ලක්වන්නාට තනිවම තත්වයට මුහුණ දෙන්න අපහසු විය හැකියි.

රැකියා ස්ථානයේ එකිනෙකාට අනිසි ලෙස සැලකීමට තුඩු දෙන සාධක එදා පටන් තිබිලා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එහෙත් සේවකයන් එකිනෙකාට උදව් උපකාර කිරීමට වැඩි නැඹුරුවාවක් තිබූ කාලයක් ගැන හුඟදෙනෙකුට මතකයි. එම නිසා කල්ලි ගැසී හිරිහැර කිරීම සිදු වුණේ ඉතා කලාතුරකින්. නමුත් එක් වෛද්‍යවරයෙකු විස්තර කරන පරිදි, කල් ගත වීමත් සමඟම සිදු වී තිබෙන්නේ “සහයෝගිතාවේ හැඟීම බොහෝ සෙයින් හීන වී ගොස් පුද්ගලයන් ලැජ්ජා භය නැති අය බවට පත් වී තිබීමයි.” දැන් මිනිසුන් රැකියාවේ නියැලෙද්දී එළිපිටම ගැටුම් ඇති කරගැනීම සදාචාරාත්මකද නැද්ද යන්න ගැනවත් සැලකිලිමත් වෙන්නේ නැහැ.

හිරිහැර කිරීම වැළැක්විය හැකිද? රැකියා ස්ථානයේදී සමාදානයෙන් සිටීමට වෑයම් කළ හැක්කේ කෙසේද? එවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට රැකියාවේ නියැලෙන සෑමදෙනාම සැලකිලිමත් වන බව නිසැකයි.

[16වන පිටුවේ පින්තූර]

හිරිහැර කිරීමේ පරමාර්ථය වන්නේ එයට ලක් වෙන්නාව කොන් කිරීමයි