Skip to content

පටුනට යන්න

අපගේ ස්වාභාවික පරිසරයේ වටිනාකම

අපගේ ස්වාභාවික පරිසරයේ වටිනාකම

අපගේ ස්වාභාවික පරිසරයේ වටිනාකම

මෑතකදී ජීව විද්‍යාඥයන් සහ ආර්ථික විද්‍යාඥයන් එකට එකතු වී මිනිසාගේ අවශ්‍යතා සහ ආර්ථික වාසි තකා වෙනසකට භාජන කළ, ස්වාභාවික පරිසර පද්ධතීන් පහක් පිළිබඳව අධ්‍යයනය කළා. ඒවා නම් දැව ලබාගැනීම සඳහා මුළුමනින්ම කපා දැමූ මලයාසියාවේ නිවර්තන වනාන්තරයක්, පාම් ගස් වගාව සහ රබර් වගාව සඳහා යොදාගත් කැමරූන්වල නිවර්තන වනාන්තරයක්, කූනිස්සන් වගා කිරීමට යොදාගත් තායිලන්තයේ කඩොලාන වගුරුබිමක්, කැනඩාවේ කෘෂිකර්මාන්තය සඳහා යොදාගත් මිරිදිය වගුරුබිමක් සහ ඩයිනමයිට් පුපුරවා මාළු ඇල්ලීම සිදු කළ පිලිපීනයේ කොරල් පරයක්.

පර්යේෂකයන් ලබාගත් ප්‍රතිඵල පුදුම දනවනසුලුයි. එම පරිසර පද්ධතීන් වෙනස් නොකර එහි ස්වාභාවික තත්වයේම පවතින්නට ඉඩහැරියා නම් එයින් සමාජයට දිගු කාලීනව ලැබෙන ආර්ථික වාසි ප්‍රයෝජන සියයට 14 සිට සියයට 75කට වඩා වැඩිවීමට තිබුණා. ඇත්තෙන්ම මිනිසා පරිසර පද්ධතියට සිදු කරන දේවල් නිසා එහි වටිනාකම සියයට 50කින් පමණ පහත වැටෙනවා. ඒ වගේම වසරකට පරිසර පද්ධති වෙනස් කිරීම සඳහා වැය කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියන 250යි. නමුත් ස්වාභාවික පරිසර පද්ධති සුරැකීම සඳහා වැය වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 45යි. පර්යේෂකයන් පවසන්නේ ඒවා එසේ සුරකින විට “ප්‍රයෝජන හා සේවාවන්” හැටියට අපට ලැබෙන ආහාර, ජලය, වාතය, සෙවණ, ඉන්ධන, රෙදි, බෙහෙත් සහ කුණාටුවලින් හා ජලගැලීම්වලින් ලැබෙන ආරක්ෂාව වැනි දේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.4ක් පමණ වටිනා බවයි. එනම් සියයට එකක් වැය කළ විට සියයට සියයක ප්‍රයෝජන ලැබෙන බව ලන්ඩනයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කරනවා. මෙම අධ්‍යයනය සිදු කළ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඇන්ඩෲ බාම්ෆඩ් පවසන්නේ “පරිසරය වෙනස් කිරීම නිසා විඳින්න සිදු වන අලාභය ඉතා විශාලයි. අපි දැනගෙන හිටියා පරිසර පද්ධති සංරක්ෂණයෙන් වැඩි වාසි ලැබෙයි කියලා. ඒත් මෙච්චර වාසි ප්‍රමාණයක් තියෙයි කියලා නම් හිතුවේ නැහැ.”

කනගාටුවට කාරණයක් වන්නේ 1992දී රියෝ ද ජෙනෙයිරෝවල පරිසර සංරක්ෂණ සමුළුවෙන් පසුව පවා පෘථිවියේ ස්වාභාවික පරිසරය සියයට 11.4ක් වෙනස් කර තිබෙනවා. එයට මූලික හේතුව එහෙයින් ඇති වන අවාසි ගැන නොදැන සිටීම හා කෙටි කාලීන මූල්‍යමය වාසි ලබාගැනීමට පමණක් අවධානය දීමයි. වසර දහයකට පසු පරිසර සමබරතාව රැකගැනීම මූලික කරගෙන අප්‍රිකාවේ ජොහැනස්බර්ග්වල පරිසරය පිළිබඳව පැවැත්වූ සමුළුවේදීද මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ. වෛද්‍ය බාම්ෆඩ් ඔහුගේ සැලකිල්ලට ලක් වන දේ පිළිබඳව මෙසේ පවසනවා. “මගේ කුඩා කාලයේදී මම පළමු වතාවට ‘සංරක්ෂණය’ යන වචනය ඇසූ දා පටන් ලෝකයේ ස්වාභාවික පරිසරයෙන් තුනෙන් එකක් විනාශ වී තිබෙනවා. මට රෑට නින්ද යන්නේ නැත්තේ ඒ නිසයි.”

බයිබලය කියවන අයට නම් එළිදරව් 11:18හි සඳහන් මැවුම්කරුගේ පොරොන්දුව ගැන විශ්වාසයක් තබාගත හැකියි. එහි සඳහන් වන්නේ දෙවි ඉතා ඉක්මනින්ම ‘පොළොව විනාශ කරන අයව’ විනාශ කරනවා කියායි. එවිට පෘථිවියේ ස්වාභාවික පරිසර පද්ධතිය මිනිසාගේ සදාකාලික ප්‍රයෝජනය සඳහා නැවත ප්‍රතිසංස්කරණය කෙරේ.