Skip to content

පටුනට යන්න

ඇයි ඔහු මට මෙතරම් නපුරු විදිහට සලකන්නේ?

ඇයි ඔහු මට මෙතරම් නපුරු විදිහට සලකන්නේ?

යෞවන අය අසති . . .

ඇයි ඔහු මට මෙතරම් නපුරු විදිහට සලකන්නේ?

නිතරම එයා මට කිසි තේරුමක් නැති දේවල්වලට බණිනවා. ඒත් එයා නැතුව මට ජීවත් වෙන්න බෑ.”—කැත්රින්.  *

“පිටතින් කිසි දෙයක් පෙනෙන්න තිබුණේ නැතත් ඇතුළතින් ලොකු වේදනාවක් දැනෙනවා.”—පෙම්වතාගෙන් කම්මුල් පහරක් කෑ ඇන්ඩ්‍රියා.

මෙය සාමාන්‍ය සිදුවීමක්. එනම් තරුණියක් මනබඳින පෙනුමකින් හෙබි කරුණාවන්තයි වගේ පෙනෙන තරුණයෙක් සමඟ ආදර සම්බන්ධකමක් පවත්වනවා. නමුත් ටිකෙන් ටික ඔහු වෙනස් වෙන්න පටන්ගන්නවා. ආදර වදන් උපහාසාත්මක සහ සිත රිදවන ඔච්චම්වලට පෙරළිලා. මුලදී ඈ මේ සියල්ල ආදරයට කරන විහිළු ලෙස සලකා අමතක කරයි. කෙසේවෙතත් මෙය ටිකෙන් ටික පාලනය කරගත නොහැකි කෝපයකින් ක්‍රියා කිරීම, වාචිකව ප්‍රහාර එල්ල කිරීම දක්වා දුර දිග යා හැකි අතර මෙවැනි සිද්ධීන්වලදී ඇති වන සිත් රිදවීම්වලට ඉන්පසුව සමාව ඉල්ලීමට ඔහු පෙලඹෙනවා විය හැකියි. කල් යෑමේදී මේ තත්වය නිතර නිතර ඉස්මතු වීමට පටන්ගනියි. තමන්ගේ වරදක් නිසයි ඔහු මෙසේ හැසිරෙන්නේ කියා සිතමින් තරුණිය නිහඬව තැවෙන්නේ දේවල් පසුවට වෙනස් වෙයි යන බලාපොරොත්තුවෙන්. නමුත් තත්වය වෙනස් නොවෙයි. දැන් ඇගේ පෙම්වතා කෑගහන්නත් පටන් අරගෙන. ඔහුට කේන්ති ගිය දවසක ඇයව තල්ලු කළා! අනිත් වතාවේ ඔහු ඇයට පහර දෙයි කියා ඇය බියෙන් සිටිනවා. *

ප්‍රේම සම්බන්ධකම් පවත්වන තරුණ තරුණියන් කායික හෝ වාචික හිරිහැරවලට මුහුණ දෙන විට, ඉවරයක් නැතුව කරන විවේචනවලට, සිත් පාරවන අන්දමින් කියන වචනවලට හා දැඩි කෝපයට ඔවුන් ලක් වෙනවා. ඔබ එවන් තත්වයකද සිටින්නේ? (“අනතුරු අඟවන ලකුණු කිහිපයක්” යන කොටුව බලන්න.) එහෙමනම් මොනවා කරන්නද කියා නොදැන ඔබ කලකිරීමට හෝ ලජ්ජාවට පත්ව සිටිනවා විය හැකියි.

ඔබ සමහරවිට සිතනවා ඇති මෙවැනි දේවල් අසාමාන්‍ය දේවල් කියා. නමුත් එය එසේ නොවෙයි. පර්යේෂකයන් ගණන් බලා තිබෙන ආකාරයට පස්දෙනෙකුගෙන් එක් අයෙකු ආදර සම්බන්ධකම්වලදී යම් ආකාරයක හිංසාවක් අද්දැක තිබෙනවා. වාචික හිරිහැරයත් හිංසාවක් ලෙස ගණන් ගත් විට එම සංඛ්‍යාව පස්දෙනෙකුගෙන් හතරදෙනෙකු දක්වා ඉහළ යනවා. කවුරුත් හිතන්නේ පීඩා විඳින්නේ තරුණියන් විතරයි කියලයි. නමුත් ආදර සබඳතාවලදී ඇති වන හිංසා පිළිබඳව බ්‍රිතාන්‍යයේ කළ අධ්‍යයනයකට අනුව “ස්ත්‍රී පුරුෂ යන දෙකොටසටම” පිඩා කරන සහකරුවන් සිටින බව වාර්තා වෙනවා. *

ප්‍රේම සබඳතාවකදී එවන් අයථා හැසිරීමක් ඉස්මතු වෙන්නේ ඇයි? ඔබ එවැනි තත්වයකට මුහුණ දෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

දෙවිගේ දෘෂ්ටිකෝණය සලකා බැලීම

පළමුවෙන්ම, මෙම තත්වය දෙවි කොතරම් බැරෑරුම් ලෙස සලකනවාද කියා ඔබ තේරුම්ගත යුතුයි. අසම්පූර්ණ මිනිසුන්ට අන් අයගේ සිත් රිදවන යමක් කිරීමට හෝ පැවසීමට නැඹුරුවාවක් තිබෙන බව ඇත්තයි. (යාකොබ් 3:2) ඒ වගේම එකිනෙකාට ප්‍රේම කරන, එකිනෙකාව විශ්වාස කරන අය අතර පවා යම් අවස්ථාවල එකඟ නොවීම් තිබිය හැකියි. ප්‍රේරිත පාවුල් සහ බානබස් මේරූ ක්‍රිස්තියානීන් දෙදෙනෙක්. ඒත්, එක් අවස්ථාවක ඔවුන් පවා “කෝපයෙන් පිපිරී” ගියා. (ක්‍රියා 15:39NW) ඒ නිසා ඔබ කවුරුන් හෝ සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා නම් යම් අවස්ථාවල ඝට්ටන ඇතිවීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම ඔබේ පෙම්වතා කවමදාකවත් නපුරු වචනයක් පිට නොකරයි කියා අපේක්ෂා කිරීමත් යථාර්ථවාදී නැහැ. ඇරත් ඔබ දෙදෙනා විවාහ වීමට අදහස් කරන බව මතක තබාගන්න. ඒ නිසා ඔබේ යම් ගුණාංගයක් හෝ පුරුද්දක් ඔහුට රුස්සන්නේ නැත්නම් ඒ ගැන ඔබට පෙන්වා දීම ආදරණීය දෙයක් නොවේද? ඇත්තයි, අපේ වැරදි පෙන්වන විට වේදනාවක් ඇති වෙනවා. (හෙබ්‍රෙව් 12:11) නමුත් එය පෙන්වා දෙන්නේ ප්‍රේමණීය ආකාරයකින් හා හිතේ තිබෙන ආදරය නිසා නම් එය සිත පාරවනසුලු දෙයක් වෙන්නේ නැහැ.—හිතෝපදේශ 27:6.

ඒත් කෑගැසීම, කම්මුලට ගැසීම, නිග්‍රහාත්මක ලෙස කතා කිරීම වැනි දේවල් මීට හාත්පසින්ම වෙනස්. බයිබලයේ “උදහස, කෝපය, අයහපත, නිග්‍රහ කිරීම” හෙළාදකිනවා. (කොලොස්සි 3:8NW) යම් කෙනෙකු තම “බලය” නින්දා කිරීමට, බියගැන්වීමට හෝ පීඩා කිරීමට යොදාගන්නා විට එය දෙවිව කෝපයට පත් කරනවා. (දේශනාකාරයා 4:1; 8:9) දෙවිගේ වචනයේ ස්වාමිපුරුෂයන්ට අණ කරන්නේ, “තම භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය” කියායි. මන්ද “කිසි මිනිසෙක් කිසිදාක තමාගේම මාංසයට වෛර කළේ නැත. . . . ඔහු එය පෝෂණය කර ඉතා ආදරයෙන් රැකබලා ගනියි.” (එෆීස 5:28, 29NW) පුරුෂයෙක් තමා ආදරය කරන තැනැත්තියට නපුරු විදිහට කතා කරනවා නම් හෝ අයුතු විදිහට සලකනවා නම් ඔහු ඇත්තෙන්ම විවාහ කරගැනීමට සුදුසු පුද්ගලයෙක් නොවෙයි. ඒ වගේම ඔහු යෙහෝවා දෙවිවත් අසතුටු කරනවා!

ඒක ඔයාගේ වරද නෙවෙයි!

එසේ වුවත් වරද කරන පුද්ගලයන් දොස් පවරන්නේ ඔවුන් පීඩාවට ලක් කරන පුද්ගලයන්ටයි. එම නිසා, ඔබේ පෙම්වතා කෝප වන්නේ ඔබ නිසයි කියා සමහරවිට ඔබට හැඟෙන්න පුළුවන්. එහෙත් ඔහුගේ කෝපය හා ඔබ අතර කිසිම සම්බන්ධයක් නොතිබෙන්න ඉඩ තිබෙනවා. බොහෝවිට හිංසා කරන පුරුෂයන් හැදී වැඩී තිබෙන්නේ සැහැසියාව සහ සිත් පාරවන කතාව සාමාන්‍ය දෙයක් ලෙස සලකන පවුල් වාතාවරණයකයි. * පුරුෂාධිපත්‍යයට අනුබල දෙන සංස්කෘතියක් තිබෙන සමහර රටවල තරුණ පුරුෂයන් එහි බලපෑමට හසු වී තිබෙනවා. පුරුෂ මාන්නයෙන් කටයුතු කිරීමට සම වයසේ මිතුරන් පවා ඔහුව පෙලඹවිය හැකියි. ඒ වගේම ඔහු තුළ හොඳ ආත්ම විශ්වාසයක් නැති නිසා ඔබ කුමක් කිව්වත්, කළත් එය තමන්ට එල්ල කරන තර්ජනයක් ලෙසයි ඔහු දකින්නේ.

තත්වය කුමක් වුවත් තව කෙනෙකු කෝපයට පත් වන විට ඔබ එයට වග කිව යුතු නැහැ. සිත් පාරවනසුලු කතා සහ සැහැසියාව කවමදාකවත් සාධාරණ දෙයක් කියා පිළිගන්න බැහැ.

ඔබ සිතන ආකාරය වෙනස් කරගන්න

තව කෙනෙකුගේ කෝපයට හේතුව ඔබ නොවන බව පිළිගන්නවාට අමතරව ඔබ මෙම තත්වය ගැන දරන ආකල්පයත් වෙනස් කරගන්න ඔබට සිදු විය හැකියි. ඒ මන්ද? මේ ගැන සලකා බලන්න. යම් තරුණියක් සැහැසියාව සහ සිත් රිදවනසුලු ආකාරයට කතාබහ කරන පරිසරයක හැදී වැඩුණා නම් හිංසාකාරී හැසිරීම ඇයට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ක්‍රිස්තියානීන්ට නුසුදුසු එවැනි හැසිරීමක් පිළිකුල් කරනවා වෙනුවට ඇය එය විඳදරාගැනීමට ඉඩ තිබෙනවා. සමහරවිට එය ඇයට සිත්ගන්නාසුලු යමක් සේ දිස් විය හැකියි. අයුතු සැලකීමට ලක්ව ඇති සමහරෙක් කියා සිටින්නේ ඕනෑවට වඩා කාරුණිකව හැසිරෙන අයට ඔවුන් ආකර්ෂණය නොවන බවයි. ඒ වගේම සමහර තරුණියන් ඔවුන්ගේ පෙම්වතුන්ව වෙනස් කරන්න තමන්ට පුළුවන් කියා සිහින මවයි.

මෙයින් එකක් ඔබ සම්බන්ධයෙන් සැබෑවක් නම් ඔබේ “මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න” අවශ්‍යයි. (රෝම 12:2NW) යාච්ඤාව, අධ්‍යයනය සහ මෙනෙහි කිරීම මගින් හිංසාකාරී හැසිරීම ගැන යෙහෝවාට හැඟෙන ආකාරය තේරුම්ගෙන එය පිළිකුල් කිරීමට ඉගෙනගන්න ඔබට සිදු වෙයි. ඔබට අයුතු ලෙස සැලකීමට කාටවත් අයිතියක් නැහැයි කියා ඔබ තේරුම්ගත යුතුයි. ඔබේ සීමාවන් තේරුම්ගැනීම සඳහා නිහතමානිකම නමැති ගුණාංගය වර්ධනය කරගන්න. කෝපය ඉහ වහා යන ඔබේ පෙම්වතාව වෙනස් කිරීමට ඔබට හැකියාවක් නැති බව ඔබ තේරුම්ගත යුතුයි. වෙනස් වීම ඔහු සතු දෙයක්!—ගලාති 6:5.

සමහර අවස්ථාවල තරුණියන් තමන්ට අයුතු ලෙස සැලකීම ඉවසාගෙන සිටින්නේ තමන් ගැන අඩු තක්සේරුවක් තිබෙන නිසයි. ලිපිය ආරම්භයේ සඳහන් කළ කැත්රින් මෙසේ සඳහන් කරනවා. “ඔහු නැතුව ජීවිතයක් නැහැ. ඔහුට වඩා හොඳ කෙනෙක් හොයාගන්න එක හිතාගන්නවත් බැහැ.” හෙල්ගා නමැති තරුණියත් තම පෙම්වතා ගැන ඒ හා සමානම දෙයක් කියයි. “ඔහු මට ගහනකොට මම ඉවසන් හිටියේ කවුරුත් මාව ගණන් නොගෙන සිටිනවාට වඩා ඒක හොඳ නිසයි.”

එවැනි අදහස් යහපත් ප්‍රේම සම්බන්ධයකට හොඳ අඩිතාලමක්ද? අනෙක් අතට ඔබ ඔබට ආදරය කරන්නේ නැත්නම් ඔබට පුළුවන්ද තව කෙනෙකුට ආදරය කරන්න? (මතෙව් 19:19) ඒ නිසා ආත්ම ගෞරවයක් ඇති කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න. * අයුතු ලෙස සැලකීම ඉවසා සිටියොත් ඔබට එය කරන්න බැහැ. ඉරෙනා නමැති තරුණිය එය අද්දැකීමෙන්ම තේරුම්ගෙන තිබෙනවා. හිංසාව ඉවසා සිටීමෙන් “ඔබේ ආත්ම ගෞරවය නැතිවීමට ඉඩ තිබෙනවා.”

සත්‍යයට මුහුණ දීම

සමහරෙකු තමන්ගේ ප්‍රේම සම්බන්ධය එතරම් සුදුසු එකක් නොවෙයි කියා පිළිගන්න අකමැතියි. විශේෂයෙන්ම බලවත් ලෙස ආදර හැඟීම් පිබිද තිබෙනවා නම් මෙය තවත් දුෂ්කරයි. නමුත් සත්‍යය ඉදිරියෙහි ඔබේ දෙනෙත් වසාගන්න එපා! බයිබල් හිතෝපදේශයක සඳහන් වන්නේ “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි. එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති” කියායි. (හිතෝපදේශ 22:3) හන්නා නමැති තරුණිය මෙසේ සිහිපත් කරනවා. “ඔබ තරුණයෙකුට ආදරය කරනකොට ඔබ අන්ධ වෙනවා. ඔබට පෙනෙන්නේ ඔහුගේ හොඳ විතරයි.” ඒ කොහොමවෙතත් ඔබට අයුතු විදිහට සලකනවා නම් ඔහු ඇත්තටම කොයි වගේ කෙනෙක්ද යන්න තේරුම්ගත යුතුයි. ඒ වගේම ඔබේ පෙම්වතා ඔබට තර්ජනය කරනවා නම් හෝ පහත් විදිහට සලකනවා නම් එය සුළුවට තකන්න එපා! ඔබේ හැඟීම් නොසලකාහරින්නවත්, ඔහුගේ හැසිරීම සාධාරණීකරණය කරන්නවත්, ඔබටම දොස් පවරාගන්නවත් උත්සාහ කරන්න එපා! අද්දැකීම්වලින් පෙන්වන්නේ අයුතු ලෙස සැලකීම එලෙස නොසලකාහැරීමෙන් සිදු වෙන්නේ තව තවත් දරුණු තත්වයන්ට අත වැනීමක් කියායි. මන්ද, ඔබට ලොකු හානියක් එයින් සිදු විය හැකියි. ඒ වගේම ඔබට ශාරීරික වශයෙනුත් අනතුරක් සිදුවීමට පුළුවන්!

ඇත්තවශයෙන්ම ආත්ම දමනය අඩු කෙනෙකු සමඟ සම්බන්ධයක් ඇති කර නොගැනීම තමයි හොඳම දේ. (හිතෝපදේශ 22:24) ඒ නිසා, ඔබ හොඳින් නොදන්න කෙනෙකු සමඟ ඔබට ප්‍රේම සම්බන්ධයක් පටන්ගැනීමට අවශ්‍ය නම් ඔහු ගැන සොයා බැලීම හොඳ අදහසක්. මුලින්ම, කණ්ඩායමක් සමඟ සිටින විට එකිනෙකාව හඳුනාගැනීමට වෑයම් කරමුයයි යෝජනා නොකරන්නේ මන්ද? මෙමගින් ඉක්මනින් ආදර හැඟීම්වලින් යටපත් නොවී ඔහුව හොඳින් දැන හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔහුගේ මිතුරන් කවුද? ඔහු ප්‍රිය කරන්නේ මොන වගේ සංගීතයටද? මොන වගේ චිත්‍රපටිවලටද? මොන වගේ කොම්පියුටර් ක්‍රීඩාවලටද? ඔහු ආස කරන අනෙකුත් ක්‍රීඩා මොනවාද? ඔහුගේ කතාවෙන් ඔහු තුළ ආත්මික දේට කැමැත්තක් තියෙනවා කියා පෙනෙනවාද? මෙවැනි අර්ථවත් ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න. සභාවේ වැඩිමහල්ලන් වැනි ඔහුව දන්නා හඳුනන අයගෙන් ඔහු ගැන අසා දැනගන්න. ඔහුගේ මේරූ සහ දේවභක්තික හැසිරීම නිසා ඔහු වෙනත් අයගෙන් “හොඳ සාක්ෂියක් ලැබූ කෙනෙකුද” කියා ඔවුන් ඔබට කියාවි.—ක්‍රියා 16:2NW.

එහෙත් ඔබ දැනටමත් අයුතු සැලකිලිවලට භාජන වන ප්‍රේම සම්බන්ධයක පැටලී සිටිනවා නම් කුමක්ද කරන්නේ? මතු ලිපියකින් ඊට පිළිතුරු ලබා දෙයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

^ 5 ඡේ. මේ ලිපිය තුළින් උපදෙස් පිරිනමන්නේ වාචික සහ ශාරීරික හිංසාවන්ට ලක් වූ අයටයි. නමුත් “සිත් පාරවන කතාව සිත් සනසන කතාවට හැරවීම” යනුවෙන් 1996 ඔක්තෝබර් 22 (සිංහලෙන් නැත) කලාපයේ පළ වූ ලිපියේ සහ “චණ්ඩිකම—ඒකේ ඇති හානිය මොකක්ද?” යනුවෙන් 1997 අප්‍රියෙල් 8 කලාපයේ පළ වූ ලිපියේ උපදෙස් දී තිබෙන්නේ හිංසා කරන අයටයි.

^ 7 ඡේ. පිඩා විඳින අය ලෙස තරුණියන්ට යොමු දක්වා ඇත්තේ ලිපියේ සරලකම පවත්වාගැනීමටයි. නමුත් මෙහිදී සාකච්ඡා කරන ප්‍රතිපත්ති තරුණයන් හා තරුණියන් යන දෙකොටසටම අදාළයි.

^ 14 ඡේ. වර්ෂ 1996 ඔක්තෝබර් 22 පිබිදෙව්! කලාපයේ පළ වූ “සිත් පාරවනසුලු කතාවට හේතු තේරුම්ගැනීම” නමැති ලිපිය බලන්න.—සිංහලෙන් නැත.

^ 20 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොතේ 12වන පරිච්ඡේදය බලන්න.

[29වන පිටුවේ කොටුව]

අනතුරු අඟවන ලකුණු කිහිපයක්

▪ ඔබ තනිව සිටින විට හෝ වෙනත් අය සමඟ සිටින විට හෝ ඔහු ඔබව, ඔබේ පවුලේ අයව හෝ ඔබේ මිතුරන්ව පහත් කොට කතා කිරීම

▪ සාමාන්‍යයෙන් ඔහු ඔබේ ආශාවන් හෝ හැඟීම් ගණනකට නොගැනීම

▪ ඔබේ ජීවිතේ සෑම දෙයක්ම, එනම් හැම වේලාවකම ඔබ ඉන්නේ කොහේද, ඔබ ගන්නා තීරණ වැනි දේවල් පාලනය කිරීම

▪ ඔහු ඔබට කෑගැසීම. තල්ලු කිරීම. නැතහොත් තර්ජනය කිරීම

▪ අනවශ්‍ය ආලවන්තකම් පෑමට ඔහු ඔබට බලපෑම් කිරීම

▪ ඔබ කුමක් කළත් එයින් ඔහු අසතුටට පත් වේවි කියා ඔබ තුළ බියක් ඇතිවීම

[28වන පිටුවේ පින්තූරය]

නිතර විවේචනය කරනවා නම් හෝ අපහාස කරනවා නම් එය එතරම් හොඳ සම්බන්ධයක් නොවෙයි කියා පෙන්නුම් කරයි