කනස්සලු වීම ඇදහිල්ලේ ඌනතාවක් අඟවයිද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
කනස්සලු වීම ඇදහිල්ලේ ඌනතාවක් අඟවයිද?
“කනස්සලු වීම තහනම්.” මෙම මාතෘකාව යටතේ 20වෙනි ශතවර්ෂයේ මුල් කාලයේ විසූ පූජකයෙක් ලිව්වේ, ද්‍රව්‍යමය දේවල් ගැන කනස්සලු වීම වැරැද්දක් විතරක් නෙවෙයි, එය “ඉතා බරපතළ පාපයක්” කියලයි. ළතැවිල්ලෙන් සහ කනස්සල්ලෙන් මිදීම යන විෂය ගැන මෑතකදී අදහස් ප්‍රකාශ කළ කෙනෙක් ලිව්වේ මෙසේයි. “අපි ළතැවෙනවා කියන්නේ අපි දෙවිව විශ්වාස කරන්නේ නැහැ කියන එකයි.”
ඉහත අවස්ථා දෙකේදීම එම කර්තෘවරුන් එවැනි නිගමනයකට පැමිණියේ යේසුස්ගේ කන්ද උඩ දේශනාවේ “කනස්සලු වීම නතර කරන්න” කියා ඔහු පැවසූ දේ පදනම් කරගෙනයි. (මතෙව් 6:25, NW) අද කනස්සල්ල බොහෝදෙනෙකුගේ ජීවිතයේ කොටසක් වී තිබෙන නිසා සමහරවිට අපට මෙසේ ඇසිය හැකියි. ක්‍රිස්තියානියෙකුට කනස්සලු වීම ගැන වරදසහිතභාවයක් හැඟිය යුතුද? කනස්සලු වීමේ ස්වභාවයෙන් ඇදහිල්ලේ ඌනතාවක් පෙන්නුම් කරයිද?
දෙවි අපේ අසම්පූර්ණකම් තේරුම්ගනියි
සියලු ආකාරයේ කනස්සල්ලට හේතුව ඇදහිල්ලේ ඌනතාවයි කියා බයිබලයේ උගන්වන්නේ නැහැ. “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” කාලවල්වල අප ජීවත් වන නිසා යම් තාක් දුරකටවත් කනස්සල්ල ඇති වෙනවාමයි. (2 තිමෝති 3:1, NW) දෛනිකව මුහුණ දීමට සිදු වන කනස්සලුභාවයන් වන සෞඛ්‍ය තත්වය දුර්වල වීම, මහලු වීම, ආර්ථික ගැටලු, පවුල් ප්‍රශ්න, සැහැසියාව සහ වෙනත් ගැටලුවලට ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් හොඳින් මුහුණ දෙනවා. පුරාණ කාලයේ සිටි දෙවිගේ සේවකයන්ටද බිය සැක සහ සිත්තැවුල් තිබුණා.
බයිබලයේ සඳහන් ලොත්ගේ වාර්තාව ගැන සලකා බලන්න. සොදොම් සහ ගොමෝරාවේ විනාශයට අසු නොවී ජීවිතය ගලවාගැනීම සඳහා කඳුකරයට පලා යන ලෙස දෙවි ඔහුට උපදෙස් දුන්නා. කෙසේවෙතත් ලොත් ඒ ගැන කනස්සලු වෙන්න පටන්ගත්තා. “අනේ මාගේ ස්වාමිනි, එසේ නොවේවා” කියා ඔහු පැවසුවා. ඉන්පසු ඔහු මදක් පසුබට වෙමින් උත්පත්ති 19:18-22.
පැවසුවේ “මට කන්දට පලා යන්ට නුපුළුවන. සමහරවිට මට නපුර පැමිණීමෙන් මරණය සිදු විය හැකියි” කියායි. ලොත් කඳුකරයට පලා යෑමට භය වුණේ ඇයි? බයිබලයේ හේතුව පැහැදිලි කර නැහැ. හේතුව කුමක් වුවත් ලොත් තුළ ලොකු බියක් තිබුණා. දෙවි මේ සම්බන්ධයෙන් ක්‍රියා කළේ කෙසේද? ලොත්ට දෙවි කෙරෙහි විශ්වාසයේ අඩුකමක් හෝ ඇදහිල්ලේ ඌනතාවක් තිබුණා කියා දෙවි ඔහුට තරවටු කළාද? නැහැ. ඊට හාත්පසින්ම වෙනස්ව යෙහෝවා ඔහු කෙරෙහි සැලකිල්ල පෙන්වූ අතර ළඟ පාත නගරයකට පලා යෑම සඳහා ඔහුට අවසර දුන්නා.—යම් අවස්ථාවලදී විවිධ දේවල් නිසා කනස්සලුභාවයට පත් වූ වෙනත් විශ්වාසවන්ත නමස්කාරකයන් පිළිබඳ බයිබල් ආදර්ශද තිබෙනවා. මරණ තර්ජනයක් එල්ල වූ විට ප්‍රොපේත එලියා එයට බියෙන් පලා ගියා. (1 රාජාවලිය 19:1-4) ශක්තිමත් ඇදහිල්ලක් තිබූ මෝසෙස්, හන්නා, දාවිත්, හබක්කුක්, පාවුල් වැනි අය සහ වෙනත් ස්ත්‍රීන් හා පුරුෂයන් පවා යම් අවස්ථාවලදී කනස්සලු වුණා. (නික්මයාම 4:10; 1 සාමුවෙල් 1:6; ගීතාවලිය 55:5; හබක්කුක් 1:2, 3; 2 කොරින්ති 11:28) ඒ කෙසේවෙතත් දෙවි ඔවුන්ට දයාව පෙන්වූ අතර ඔවුන්ව දිගටම ඔහුගේ සේවයේ යෙදෙව්වා. මෙයින් පෙන්නුම් කළේ දෙවි අසම්පූර්ණ මනුෂ්‍යයන් ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන බවයි.
“අපව පහසුවෙන් හසු කරගන්නා පාපය”
අප දිගටම කනස්සල්ලෙන් ඉන්නවා නම් එමගින් අපේ ඇදහිල්ල දුර්වල වන අතර දෙවි කෙරෙහි ඇති විශ්වාසයද නැති වී යෑමට එය මඟ පාදයි. ප්‍රේරිත පාවුල් ඇදහිල්ලේ ඌනතාව හැඳින්වූයේ “අපව පහසුවෙන් හසු කරගන්නා පාපය” ලෙසයි. (හෙබ්‍රෙව් 12:1, NW) මෙහිදී පාවුල් පිළිගන්නේ ‘පහසුවෙන් හසු කරන’ පාපයට ඔහුද ඉඳ හිට හසු වූ බව විය හැකියි.
සෙකරියා මුහුණ දෙන්න ඇත්තේද මෙවැනි තත්වයකට වෙන්න පුළුවන්. ඔහුගේ භාර්යාව ගැබ්ගන්නා බව දේවදූතයා පැවසූ විට ඔහු එය විශ්වාස කළේ නැහැ. එක් අවස්ථාවකදී “ඇදහිල්ලේ මදිකම” නිසා යේසුස්ගේ ගෝලයන්ට සුව කිරීමට නොහැකි වුණා. කෙසේවෙතත් මේ අය දෙවිගේ අනුග්‍රහය නොකඩවාම ලැබුවා.—මතෙව් 17:18-20; ලූක් 1:18, 20, 67; යොහන් 17:26.
අනික් අතට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය නැති කරගැනීම නිසා බරපතළ ඵල විපාක අද්දැක්ක අය ගැනද බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට ඊජිප්තුවෙන් පිටත්ව ගිය බොහෝ ඊශ්‍රායෙලිතයන් පොරොන්දු දේශයට ඇතුල් වීමෙන් වළක්වනු ලැබුවේ ඔවුන් තුළ ඇදහිල්ලේ ඌනතාවක් තිබූ නිසයි. එක් අවස්ථාවකදී ඔවුන් කෙළින්ම යෙහෝවාට විරුද්ධව මෙහෙම කතා කළා. “මේ කාන්තාරයෙහි මැරෙන්ට ඔබ [ඊජිප්තුවෙන්] අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත. වතුරත් නැත.” මේ නිසා විෂඝෝර සර්පයන්ව එවා ඔවුන්ට දඬුවම් කරනු ලැබුවා. ඉන් අඟවන්නේ දෙවි ඔවුන් කළ දේ ගැන සතුටු නොවූ බවයි.—ගණන් කථාව 21:5, 6.
යේසුස්ගේ ගම වන නාසරෙත්හි වැසියන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණු නිසා තවදුරටත් එහිදී ආශ්චර්යයන් දැකගැනීමේ ප්‍රස්තාව ඔවුන්ට අහිමි වුණා. තවද, එදා විසූ ඒ දුෂ්ට පරම්පරාවට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණු නිසා යේසුස් එළිපිට ඔවුන්ව තරයේ හෙළාදැක්කා. (මතෙව් 13:58; 17:17; හෙබ්‍රෙව් 3:19) ඒ නිසා ප්‍රේරිත පාවුල් මෙසේ අනතුරු ඇඟවීම යෝග්‍යයි. “සහෝදරයෙනි, ජීවමාන දෙවි කෙරෙන් ඈත්වීම නිසා, ඇදහිල්ල නැති දුෂ්ට සිතක් කිසිදා ඔබ අතරෙන් කිසිවෙකු තුළ වර්ධනය නොවන ලෙස පරෙස්සම් වන්න.”—හෙබ්‍රෙව් 3:12, NW.
අන්තයටම ගිය තත්වයන් යටතේදී දුෂ්ට හිතකින් ඇදහිල්ලේ ඌනතාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් කලින් උදාහරණ වශයෙන් සඳහන් කළ සෙකරියා සහ යේසුස්ගේ ගෝලයන් සම්බන්ධයෙන් තත්වය වෙනස්. ඔවුන්ට ඇදහිල්ලේ ඌනතාවක් ඇති වූයේ තාවකාලිකව ඔවුන් තුළ ඇති වූ දුර්වලකමක් නිසයි. ඔවුන්ගේ එදිනෙදා ජීවිත රටාවෙන් පෙනී ගියේ ඔවුන් “නිර්මල සිත් ඇති අය” බවයි.—මතෙව් 5:8, NW.
දෙවි අපේ අවශ්‍යතාවන් දන්නවා
අපේ ජීවිතයේ එදිනෙදා ඇති වන කනස්සල්ල හා ඇදහිල්ලේ ඌනතාව නමැති පාපය අතර පැහැදිලි වෙනස හඳුනාගැනීමට ශුද්ධ ලියවිලි අපට උපකාරවත් වෙයි. මිනිස් දුර්වලකම් නිසා එදිනෙදා ජීවිතයේදී ඇති වන කනස්සල්ල හෝ එසේත් නැත්නම් තාවකාලිකව ඇදහිල්ලේ ඌනතාවන් ඇති විය හැකියි. මේ තත්වය, අසංවේදී දුෂ්ට සිතක් ඇතිවීම හේතුවෙන් දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමේ තත්වය සමඟ පටලවා නොගත යුතුයි. එම නිසා ක්‍රිස්තියානීන් ඉඳ හිට කනස්සල්ලට පත් වුණත් ඒ ගැන දිගටම වරදකාරී හැඟීමකින් පසුවීමට අවශ්‍ය නැහැ.
කෙසේවෙතත් කනස්සල්ලෙන් අනවශ්‍ය ලෙස අපව යටපත් නොවීම සඳහාත් අපේ ජීවිත එමගින් පාලනය වීම වළක්වාගැනීම සඳහාත් අප අවධානයෙන් සිටීම වැදගත්. යේසුස්ගේ වදන්වල ගැබ් වී තිබෙන ප්‍රඥාව ඔහු පැවසූ දෙයින් පැහැදිලි වෙයි. ඔහු කීවේ “‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න” කියායි. ඉන්පසු ඔහු සහනය ගෙන දෙන මෙම වදන් පැවසුවා. “මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය. එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.”—මතෙව් 6:25-33, NW.
[24වන පිටුවේ පින්තූරය]
ප්‍රේරිත පාවුල් කනස්සල්ල අද්දැක්කා