මෙතරම් පිරිසකට තනිකමක් දැනෙන්නේ ඇයි?
මෙතරම් පිරිසකට තනිකමක් දැනෙන්නේ ඇයි?
වත්මන් සමාජයේ වෙසෙන බොහෝදෙනෙක් තනිකමට මුහුණ දෙනවා. මෙය ඕනෑම වයසක, ජාතියක, සමාජ මට්ටමක හෝ ආගමක සිටින අයට බලපාන්න පුළුවන් දෙයක්. ඔබට කවදාහරි තනිකමක්, පාළුවක් දැනිලා තියෙනවාද? ඔබට මේ දැන් එහෙම දැනෙනවාද? ඇත්තෙන්ම අප සියලුදෙනාටම යම් අවස්ථාවකදී මිත්‍රයන්ගේ අවශ්‍යතාවක් දැනිලා තියෙනවා. අපට හොඳින් සවන් දෙන, අපව සැනසිය හැකි, සමහරවිට අපගේ ගැඹුරු හැඟීම් නැතහොත් ඇතුළාන්ත සිතුවිලිවලට එකඟ වන හා අපේ පෞද්ගලිකත්වය තේරුම්ගන්න පුළුවන් කෙනෙකුගේ අවශ්‍යතාව අපට දැනිලා තියෙනවා. අපගේ හැඟීම්වලට සංවේදී වන කෙනෙකු අපට අවශ්‍යයි.
කෙසේවෙතත් අප තනිව සිටින නිසා අපට අනිවාර්යයෙන්ම තනිකමක් දැනෙන බව අදහස් වන්නේ නැහැ. සමහර අයට පුළුවන් බොහෝ වෙලාවකට කිසිම තනිකමක් නොදැනී තමන් ප්‍රිය කරන දේවල් කිරීමෙන් ලොකු සතුටක් ලබන්න. හැබැයි තනියෙන් සිටීමට කොහෙත්ම කැමති නැති උදවියත් සිටිනවා. දි අමෙරිකන් හෙරිටේජ් ඩික්ෂනරියෙහි මෙසේ පවසයි. “තනියෙන් සිටීම කීමෙන් අන්‍යයන්ගෙන් වෙන්ව සිටීම අදහස් කළත්, අසන්තෝෂයෙන් සිටිනවාය යන අදහස ඉන් හැමවිටම දෙන්නේ නැහැ. . . . තනිකමෙන් ඇඟවෙන්නේ බොහෝවිට තනියෙන් සිටීමෙන් ඇති වන ඉතා දුක්මුසු හැඟීමක්. . . . පාළුව යන වදනින් මිත්‍රයන්ව ඇසුරු කිරීම සඳහා තිබෙන තදබල ආශාවක් කාවද්දනවා.” ඉන් පෙළෙන කෙනෙකුට දුකක් හෝ කලකිරීමක් දැනෙනවා. මෙවැනි තත්වයකදී එම පුද්ගලයා නැවතත් ප්‍රීති ප්‍රමුදිත වීමට නම් අවංක ප්‍රේමණීය ඇසුරකින් ඔහුගේ සිතට සහනය ලැබිය යුතුයි. අවසාන වශයෙන් හුදෙකලාව යන වචනය “තනිකම හා පාළුව යන වදන් දෙකම අඟවන” වචනයක් ලෙස විස්තර කර තිබෙනවා. “කෙසේවෙතත් එම වචනයෙන් බොහෝවිට අවධාරණය වෙන්නේ වෙන්ව සිටීමට තමාම තෝරාගැනීම යන අදහසයි.”
තනිකම ප්‍රබල හැඟීමක් වන අතර එය ඉතා වේදනාකාරී අද්දැකීමක් වීමටද ඉඩ තිබෙනවා. එමගින් හිස් බවක් දැනෙයි. එයට හුදෙකලා බවක් නැතහොත් අන් අය විසින් තමාව කොන් කරලාය යන හැඟීමත් ඇතුළත් වෙයි. මෙවන් තත්වයකදී මානසිකව වැටීමක් අද්දැකීමට සහ අප තුළ බයාදු ගතියක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඔබට කවදාහරි එහෙම හැඟිලා තියෙනවාද? තනිකමට හේතුව වන්නේ කුමක්ද?
වෙනස් වන තත්වයන්, නොයෙක් ගැටලු යනාදිය මිනිසුන්ට විවිධාකාරයෙන්
බලපායි. සමහරවිට ඔබේ පෙනුම නිසා, එහෙමත් නැත්නම් ඔබේ ජාතිය හෝ ආගම නිසා, ඔබේ මිත්‍රයන් ඔබව ගණන් ගන්නේ නැති බව ඔබට හැඟෙනවා විය හැකියි. අලුත් පාසැලකට මාරුවීම, අලුත් රැකියාවක් පටන්ගැනීම හෝ අලුත් නිවසකට, නගරයකට හෝ රටකට යෑමේදී ඔබේ වටාපිටාව වෙනස් වන විට තනිකමේ හැඟීම් මතු විය හැකියි. ඊට හේතුව බොහෝ කාලයක් පුරා ආශ්‍රය කළ අයගෙන් දැන් ඔබ වෙන් වී සිටීමයි. මාපියෙකු අහිමි වීම හෝ විවාහ කලත්‍රයා අහිමි වීම නිසා සමහරවිට වසර ගණනාවක් පුරා කෙනෙකු තනිකමෙන් පෙළෙනවා විය හැකියි. ඒ විතරක් නෙවෙයි, අප වයසින් මුහුකුරා යනවාත් එක්කම, අපගේ මිත්‍රයන් හා අප දන්නා හඳුනන අයත් වෙනස් වෙනවා. සමහරවිට අපගේ පරණ මිත්‍රයන් දැන් නැතුව ඇති. එහෙමත් නැත්නම් ඒ මිත්‍රයන් දැන් කොහේද කියලාවත් අපි දන්නේ නැතුව ඇති.විවාහ වීමෙන් අනිවාර්යයෙන්ම තනිකමෙන් මිදෙන බව සහතික කළ නොහැකියි. එකිනෙකාව තේරුම්ගැනීමට අසමත් වීම හෝ එකිනෙකා අතර නොගැළපෙන ස්වභාවයක් තිබීම නිසා මානසික පීඩනය ඇති කළ හැකියි. මේ නිසා අවිනිශ්චිතභාවය හටගන්න ඉඩ තිබෙන අතර, කලත්‍රයන්ට හෝ දරුවන්ට තනිකමක් හෝ පාළුවක් දැනීම එහි ප්‍රතිඵලය විය හැකියි. එනමුත්, ප්‍රේමණීයයෙකුගේ වියෝව, දික්කසාදය, කායිකව හෝ මානසිකව අන් අයගෙන් හුදෙකලා වී සිටීම වැනි දේවල් නිසා හටගන්නා තනිකමට අමතරව, අපට අතිශයින් බලපෑ හැකි තවත් ආකාරයක තනිකමක් තිබෙනවා. එය සිදු වන්නේ, දෙවි සමඟ අපට තිබෙන සම්බන්ධය පලුදු වී ඔහුගෙන් අප වෙන් වෙලායයි අපට දැනෙන විටයි.
ඉහත සඳහන් තත්වයන්ගෙන් එකක්වත් ඔබ අද්දැක තිබෙනවාද? තනිකමට සාර්ථකව මුහුණ දීමට පුළුවන්ද?
[4වන පිටුවේ පින්තූර]
අලුත් පාසැලකට යෑම මෙන්ම කලත්‍රයෙකුගේ වියෝව වැනි ජීවිතයේ ඇති වන වෙනස් වීම් තනිකමට හේතු විය හැකියි