Skip to content

පටුනට යන්න

යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් දිගු කාලීන සටනක

යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් දිගු කාලීන සටනක

යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් දිගු කාලීන සටනක

නිව් යෝක්හි පදිංචි වී සිටි ජොඈන්ට ක්ෂය රෝගය (TB) වැලඳුණා. ඇයට වැලඳී තිබුණේ ක්ෂය රෝගයේ දුර්ලභ ප්‍රභේදයක්. එය සාමාන්‍යයෙන් බෝ වන්නේ ජාන විකෘතියක් ඇති රෝගකාරක බැක්ටීරියාවක් (mutant strain) මාර්ගයෙනුයි. එම බැක්ටීරියාව සෑම ඖෂධයකටම පාහේ ඔරොත්තු දෙන අතර ඊට ගොදුරු වන අයගෙන් අඩක්ම බිලිගන්නවා. කනගාටුදායක දේ වන්නේ, ජොඈන් අඛණ්ඩව සායනයට ගොස් ප්‍රතිකාර ලබා නොගැනීමයි. ඇගේ නොසැලකිලිමත්කම නිසා ඇගෙන් වෙනත් අයටද ක්ෂය රෝගය වැලඳුණා. කලකිරීමට පත් වූ ඇගේ වෛද්‍යවරිය පැවසුවේ, ‘ඇයව නිවසටම කොටු කරලා තියන්න ඕනේ’ කියායි.

ක්ෂය රෝගය මිනිස් ඉතිහාසය තරම්ම පැරණි මාරයෙක්. එයින් මිලියනගණනක් පීඩා විඳිමින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඉපැරණි ඊජිප්තුවේ හා පෙරූහි සොහොන් කොත්වල සොයාගත් මමියන් පරීක්ෂා කිරීමේදී පවා පෙනී යන්නේ ඒ අයට ක්ෂය රෝගයේ ලක්ෂණ තිබුණ බවයි. යළි යළිත් හිස ඔසවන ක්ෂය රෝගකාරක බැක්ටීරියාවන් (resurgent strains) නිසා සෑම වසරකදීම මිලියන දෙකකට ආසන්න පිරිසක් මිය යනවා.

අප්‍රිකාවේ පැල්පතක කුඩා ඇඳක් මත ඔත්පළ වී සිටි කාර්ලීටොස්ගේ නළල දහඩිය බිඳුවලින් නැහැවී තිබුණා. ඔහුට වැලඳී තිබුණේ මැලේරියාවයි. ඔහු කොයි තරම් දුර්වල වී සිටියාද කිව්වොත් ඔහුට අඬන්න තරම්වත් ශක්තියක් තිබුණේ නැහැ. ඔහුගේ දෙමව්පියන් සිටියේ හරිම කනස්සල්ලෙන්. බෙහෙත් ගැනීමට ඔවුන් අතේ මුදල් තිබුණේ නැහැ. ළඟ පාත සායනයක් නොතිබුණ නිසා තම කුඩා දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඔවුන්ට නොහැකි වුණා. දරුවාගේ උණ පොඩ්ඩක්වත් බැස්සේ නැහැ. පැය 48ක් ඇතුළත ඔහු මිය ගියා.

සෑම වසරකදීම කාර්ලීටොස් වැනි කුඩා දරුවන් මිලියනයක් පමණ මැලේරියාව නිසා මිය යනවා. නැඟෙනහිර අප්‍රිකාවේ ගම්බද පෙදෙස්වල සිටින දරුවන් බොහෝදෙනෙකුට මැලේරියා වාහක මදුරුවන් දෂ්ට කරනවා. මාසයකට ඔවුන්ට දෂ්ට කරනු ලබන වාර ගණන 50 සිට 80 දක්වා විය හැකියි. එම රෝග වාහක මදුරුවන් අලුත් ප්‍රදේශ දක්වාත් පැතිර යනවා. මැලේරියාව මර්දනය කරන ඖෂධ තිබුණත් රෝගය ඒ තරම් පාලනය වන බවක් නම් පෙනෙන්නේ නැහැ. වසරක් වසරක් පාසා මිලියන 300ක් පමණ මැලේරියාවෙන් දරුණු ලෙස පීඩා විඳින බව ගණනය කර තිබෙනවා.

කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ජීවත් වූ අවුරුදු 30ක් වයසැති කෙනත් මුල්ම වතාවට තම වෛද්‍යවරයා හමුවීමට ගියේ 1980දීයි. ඔහුට පාචනය තිබෙන බවත් අධික තෙහෙට්ටු ගතියක් දැනෙන බවත් ඔහු වෛද්‍යවරයාට කියා සිටියා. අවුරුද්දක් ගෙවුණු පසු ඔහු මිය ගියා. ඔහුට ප්‍රතිකාර ලබා දුන්නේ ඉතා දක්ෂ වෛද්‍යවරු කිහිපදෙනෙක්. එහෙත් ඔහුගේ ශරීරය ක්‍රමක්‍රමයෙන් වැහැරුණු අතර අවසානයේදී ඔහු නියුමෝනියාවට ගොදුරු වී මිය ගියා.

ඉන් අවුරුදු දෙකකට පසුව, සැන් ෆ්‍රැන්සිස්කෝවේ සිට කිලෝමීටර් 16,000ක් ඈතින් පිහිටි උතුරු ටැන්සානියාවේ විසූ තරුණියක් එවැනිම රෝග ලක්ෂණවලින් පීඩා විඳින්න පටන්ගත්තා. සති කිහිපයක් ඇතුළත ඇයට ඇවිදීමට නොහැකි වූ අතර වැඩි කල් යන්න මත්තෙන් ඇයද මිය ගියා. එය බෝ වී තිබුණේ රෙදි පිළි විකුණන මනුෂ්‍යයෙකුගෙන් බව ගම්මුන් අතර මතයක් තිබුණා. ඒ මනුෂ්‍යයා එම තරුණියට හා වෙනත් ස්ත්‍රීන්ට විකුණමින් සිටි රෙදි පිළිවල ජූලියානා කියන නම ඇතුළත් මෝස්තරයක් තිබුණ නිසා ගම්මු එම අභිරහස් ලෙඩේට ජූලියානාගේ රෝගය කියා කියන්න පටන්ගත්තා.

කෙනත්ට වගේම ටැන්සානියානු ජාතික තරුණියටද වැලඳී තිබුණේ එකම රෝගයයි. එය ඒඩ්ස් රෝගයයි. එක්දහස් නවසිය අසූ ගණන්වල මුල් අවධියේදී භයානකම ක්ෂුද්‍ර ජීවීන්ව පවා මෙල්ල කිරීමට වෛද්‍ය විද්‍යාව සමත් වී තිබුණ බවක් පෙනෙන්න තිබුණා. නමුත් බෝ වන රෝග ගණයට අයත් මේ අලුත් රෝගය කරළියට ඇවිත් මිනිසාට පීඩා කරන්න පටන්ගත්තේද ඒ කාලයේදීමයි. අවුරුදු 20ක් ඇතුළත ඒඩ්ස් මරණ අනුපාතය භයානක ලෙස ඉහළ ගියා. දහහතර වන සියවසේ යුරෝපය හා ආසියාව විනාශ කර දැමූ මහාමාරිය වසංගතය හේතුවෙන් විශාල සංඛ්‍යාවක් මිය ගියා. ඒඩ්ස් රෝගය නිසාද ඒ තරම්ම විශාල සංඛ්‍යාවක් මිය ගියා. මහාමාරිය වසංගතයෙන් ඇති කළ ව්‍යසනය යුරෝපයේ ජනයාගේ මතකයෙන් කෙදිනකවත් ඈත් වන එකක් නැහැ.

මහාමාරිය

වර්ෂ 1347දී ක්‍රිමියාහි සිට සිසිලි දූපත දක්වා යාත්‍රා කරමින් සිටි නැවක් මෙසින්නාවට සේන්දු වුණා. කලු මරණය ලෙසද හැඳින්වූ මහාමාරිය රකුසා යුරෝපයේ හිස එසවූයේ ඒ අවස්ථාවේදීයි. එම නැව සාමාන්‍ය බඩු තොගයට අමතරව මහාමාරිය වසංගතයද රැගෙන ආ බවට සාක්ෂි තිබෙනවා. * මහාමාරිය ඉතා කෙටි කාලයක් ඇතුළත ඉතාලිය පුරාම පැතිර ගියා.

වසරක් ගෙවුණු පසු, ඉතාලියේ සියෙනාහි විසූ ඇන්යෝලෝ ඩි ටූරා ඔහුගේ ගමේ පැවති භීෂණය ගැන මෙසේ විස්තර කළා. ‘සියෙනාවල මිනිස්සු මැරෙන්න පටන්ගත්තේ මැයි මාසයේදී. වසංගතය පැතිර ගියේ හරිම කෲර, භයානක විදිහටයි. රෝගය බෝ වුණ ගමන්ම වාගේ මිනිස්සු මැරුණා. දිවා රෑ දෙකේදීම මැරුණා. මිනිස්සු බුරුතු පිටින් මැරුණා.’ ඔහු තවදුරටත් මෙසේ විස්තර කළා. ‘මමම මගේ දරුවන් පස්දෙනාව වැළලුවා. තවත් ගොඩක් අයට එහෙම කරන්න සිද්ධ වුණා. හිතමිතුරන් මැරුණත් කවුරුත් ඇඬුවේ නැහැ. මොකද හැම කෙනෙක්ම හිතුවේ එයාලත් මැරෙයි කියලා. ඒ තරම් විශාල පිරිසක් මැරුණ හින්දා ලෝක අන්තිමය ඇවිත් කියලා බොහෝදෙනෙක් හිතුවා.’

අවුරුදු හතරක් ඇතුළත මහාමාරිය යුරෝපය පුරාම පැතිර ගිය බවත් ජනගහනයෙන් තුනෙන් පංගුවක්, ඒ කියන්නේ මිලියන 20ත් 30ත් අතර ජන සංඛ්‍යාවක් ඉන් මිය ගිය බවත් ඉතිහාසඥයන් පවසනවා. ඈත එපිට පිහිටි අයිස්ලන්තයට පවා වසංගතය පැතිර ගිය අතර ඉන් විශාල ජන පිරිසක් මරුමුවට පත් වුණා. දහතුන්වන සියවස ආරම්භයේදී ඈත පෙරදිග පිහිටි චීනයේ ජනගහනය මිලියන 123ක් වූ බවත් එය 14වන සියවස වන විට මිලියන 65 දක්වා අඩු වී තිබුණ බවත් පැවසෙනවා. මෙයට හේතු වී ඇත්තේ මහාමාරිය වසංගතය හා ඒ සමඟම ඇති වූ සාගතය බව පෙනෙන්න තිබෙනවා.

මින් පෙර කවරදාකවත් එතරම් විශාල ජන සංඛ්‍යාවක් වසංගතයක්, යුද්ධයක් හෝ සාගතයක් හේතුවෙන් දුක් විඳ තිබුණේ නැහැ. “ඊට සම කළ හැකි විපතක් ඉතිහාසයේ වෙන කිසිම යුගයකදී සිදු නොවූ” බව මානවයා හා ක්ෂුද්‍ර ජීවීන් (සිංහලෙන් නැත) නම් පොතෙහි සඳහන් වෙනවා. “යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ හා ආසියාවේ ඇතැම් රටවල විසූ ජනයාගෙන් සියයට 25ත් 50ත් අතර සංඛ්‍යාවක් [එම රෝගයෙන්] මිය ගියා.”

මහාමාරිය මගින් ඇති කළ ව්‍යසනයෙන් අමෙරිකාව බේරුණේ එය ලෝකයේ අනිත් රටවලින් වෙන්ව පිහිටි නිසයි. එහෙත් වැඩි කල් යන්න මත්තෙන් මුහුදු ගමන්වල යෙදුණු අය අමෙරිකාවටත් සේන්දු වීමට පටන්ගත්තා. දහසයවන සියවසේ මහාමාරියට වඩා මාරාන්තික වූ වසංගත රැසක් නව ලොවට පහර දුන්නා.

වසූරිය අමෙරිකාව ආක්‍රමණය කර ජයගනී

කොලම්බස් 1492දී බටහිර ඉන්දීය දූපත්වලට පැමිණි විට, ඔහු ස්වදේශිකයන්ව විස්තර කළේ, ‘ශෝභමාන පෙනුමක් හා සිත්ගන්නා හැඩරුවක් ඇති සාමාන්‍ය උසැති හැඩි දැඩි පුද්ගලයන්’ ලෙසයි. නිරෝගී සෞඛ්‍යකින් යුත් පුද්ගලයන් මෙන් දිස් වුවත් යුරෝපය වෙතින් පැමිණි ලෙඩ රෝගවලට ඔවුන් පහසුවෙන්ම ගොදුරු වුණා.

වර්ෂ 1518දී හිස්පැනිඕලා දූපතට වසූරිය පැතිරුණා. මීට පෙර කෙදිනකවත් අමෙරිකානු ස්වදේශිකයන්ට වසූරිය වැලඳී නොතිබුණ නිසා එයින් මහත් ව්‍යසනයක් සිදු වුණා. විනාශය සියැසින් දුටු ස්පාඤ්ඤ ජාතිකයෙක් ගණනය කළේ, දූපත් වැසියන්ගෙන් බේරුණේ දහසක් පමණක් බවයි. වසංගතය ඉතා ශීඝ්‍රයෙන් මෙක්සිකෝව හා පෙරූ දක්වා පැතිර ගියේ එම ප්‍රදේශවලත් මහත් විනාශයක් සිදු කරමිනුයි.

සියවසක් පමණ ගෙවුණු පසු ඉංග්‍රීසි ජාතිකයන් ජනපද පිහිටුවීම සඳහා උතුරු අමෙරිකාවේ මැසචුසෙට්ස් නම් ප්‍රදේශයට පැමිණි විට වසූරිය නිසා එම දේශයද මුළුමනින්ම වාගේ පාළු වී ගොස් තිබුණ බව පෙනී ගියා. එම කණ්ඩායමේ නායකයා වූ ජෝන් වින්ත්‍රොප් ලීවේ, “ස්වදේශිකයන් සියලුදෙනාම වාගේ වසූරිය නිසා මිය ගොස් ඇත” කියායි.

වසූරියෙන් පසු තවත් වසංගත පැතිරුණා. කොලම්බස් පැමිණ සියවසක් පමණ ගෙවුණු පසු විදේශිකයන් ගෙන ආ රෝග හේතුවෙන් අමෙරිකා මහාද්වීපයේ ජනගහනයෙන් සියයට 90ක්ම මිය ගියා. මෙක්සිකෝවේ ජනගහනය මිලියන 30 සිට මිලියන 3ක් දක්වාද පෙරූහි ජනගහනය මිලියන 8 සිට මිලියනයක් දක්වාද අඩු වී තිබුණා. වසූරියට ගොදුරු වුණේ අමෙරිකානු ස්වදේශිකයන් පමණක්ම නොවෙයි. “මිනිසාගේ ඉතිහාස ගමනේදී වසූරිය නිසා මිලියන සිය ගණනක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එය මහාමාරිය හේතුවෙන් . . . සහ විසිවන සියවසේ පැවති සියලුම යුද්ධ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අබිබවා යයි” කියා වසූරිය ගැන ලිවූ එක්තරා පොතක (ScourgeThe Once and Future Threat of Smallpox) සඳහන් වෙනවා.

සටන තවමත් ජයගෙන නැත

අද කාලයේ මහාමාරිය හා වසූරිය වැනි වසංගත ගැන සිතද්දී ඒවා ඉතිහාස පොත්වලට සීමා වූ ඈත අතීතයේ සිදු වූ ව්‍යසනයන් කියා අපට හැඟෙන්න පුළුවන්. විසිවන සියවසේදී මිනිසා බෝ වන රෝගවලට එරෙහිව කළ සටන් කිහිපයකින්ම ජයගත්තා. එම ජයග්‍රහණ විශේෂයෙන්ම දක්නට ලැබුණේ කාර්මික රටවලයි. ඒ කාලයේදී, ලෙඩ රෝග බොහොමයකට හේතු වූ රෝගකාරක මොනවාද යන්න වෛද්‍යවරුන් සොයාගත් අතර එම රෝග නිවාරණය කිරීමටත් ඔවුන් ක්‍රම සොයාගත්තා. (පහත තිබෙන කොටුව බලන්න.) අලුතින් සොයාගත් එන්නත් හා ප්‍රතිජීවක ඖෂධ දරුණුතම රෝග පවා සුවපත් කළ හැකි දිව්‍ය ඖෂධ මෙන් පෙනෙන්න තිබුණා.

එහෙත් එක්සත් ජනපදයේ අසාත්මිකතා හා බෝ වන රෝග නිවාරණය කිරීම සඳහා පිහිටි ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය රිචඩ් ක්‍රවූස් පෙන්වන පරිදි, “මරණයෙන් හා බදු ගෙවීමෙන් ගැලවීමක් නැහැ වගේම වසංගතවලිනුත් ගැලවීමක් නැහැ.” ක්ෂය රෝගය හා මැලේරියාව අපෙන් සමුගෙන නැහැ. ඒ වගේම මෑතක සිට ශීඝ්‍රයෙන් පැතිර යන ඒඩ්ස් රෝගය අපට සිහිගන්වන්නේ තවමත් වසංගත අපේ පෘථිවි ගෝලයට තර්ජන එල්ල කරන බවයි. මානවයා හා ක්ෂුද්‍ර ජීවීන් නම් පොතේ මෙසේ සඳහන් කළා. “බෝ වන රෝග තවමත් ලෝකයේ මරණවලට තුඩු දෙන ප්‍රධානතම හේතු සාධකය වේ. තත්වය දිගු කාලයක් පුරා එලෙසම පවතී කියා අපට සිතිය හැකියි.”

ලෙඩ රෝගවලට එරෙහිව කරන සටනේදී ඉතා සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වී තිබෙන බව ඇත්තයි. එහෙත් පසුගිය දශක තුළදී හිමි වූ ජයග්‍රහණයන් තාවකාලික බව ඇතැම් වෛද්‍යවරුන්ගේ මතයයි. “බෝ වන රෝග අපට තවමත් තර්ජන එල්ල කරනවා. ඇත්තෙන්ම අවදානම එන්න එන්නම වැඩි වෙනවා ” කියා ලෙඩ රෝග පිළිබඳව අධ්‍යයන කරන වෛද්‍යවරයෙක් වන රොබට් ෂොප් පවසනවා. ඊළඟ ලිපියේදී මීට හේතු පහදා දීමට බලාපොරොත්තු වෙනවා.

[පාදසටහන]

^ 10 ඡේ. මහාමාරියේ විවිධ ප්‍රභේද තිබුණා. ග්‍රන්ථිමය (bubonic) මහාමාරිය හා නියුමෝනියාමය (pneumonic) මහාමාරිය මීට නිදසුන් වෙනවා. ග්‍රන්ථිමය මහාමාරිය පැතිර ගියේ ප්‍රධාන වශයෙන්ම මීයන්ගේ ඇඟේ සිටි රෝග ප්‍රවාහක මැක්කන් මාර්ගයෙනුයි. නියුමෝනියාමය මහාමාරිය සාමාන්‍යයෙන් පැතිරුණේ රෝගය වැලඳී සිටි පුද්ගලයන්ගේ කැස්සෙන් හෝ කිවිසුම් මාර්ගයෙන් පිට වී ගිය විෂබීජවලිනුයි.

[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

14වන සියවසේ යුරෝපය හා ආසියාව විනාශ කර දැමූ මහාමාරිය වසංගතය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තරම්ම ඒඩ්ස් මරණ අනුපාතයද අවුරුදු 20ක් ඇතුළත ඉහළ ගියා

[16වන පිටුවේ කොටුව⁄පින්තූර]

දැනුමට එරෙහිව තිබෙන මිථ්‍යා මත

දහහතරවන සියවසේදී, ඇවින්යොන්හි විසූ පාප්ගේ නිවැසියන්ටත් මහාමාරියෙන් තර්ජන එල්ල වුණා. ඒ අවස්ථාවේදී, වසංගතයට මූලික හේතුව වුණේ කුම්භ රාශි චක්‍රය තුළ සෙනසුරු, බ්‍රහස්පති හා අඟහරු ග්‍රහයන්ගේ පිහිටීම බව පාප්ගේ වෛද්‍යවරයා ඔහුට කියා සිටියා.

ඉන් අවුරුදු 400කට පමණ පසු, ජෝජ් වොෂිංටන්ට උගුරේ අමාරුවක් හැදුණා. ප්‍රසිද්ධ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඔහුට ප්‍රතිකාර කළේ ඔහුගේ රුධිරවාහිනි තුළින් රුධිර ලීටර් දෙකක් ඉවත් කිරීමෙනුයි. පැය කිහිපයක් ඇතුළත රෝගියා මිය ගියා. රුධිරවාහිනි තුළින් රුධිරය ඉවත් කිරීම හිපොක්‍රටීස් විසූ කාලයේ සිට 19වන සියවසේ මැදභාගය දක්වා අවුරුදු 2,500ක් පුරා සම්මත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වී තිබුණා.

මිථ්‍යා මත හා සම්ප්‍රදායානුකූල ප්‍රතිකාර ක්‍රම නිසා වෛද්‍ය විද්‍යාවේ දියුණුව අඩාළ වුණත් මහත් කැපවීමකින් වැඩ කළ වෛද්‍යවරුන් බෝ වන රෝගවලට හේතු පාදක වන්නේ කුමක්ද කියාත් ඒවා සුවපත් කරන්නේ කෙසේද කියාත් සොයාගැනීමට වෙහෙස මහන්සි වුණා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ වැදගත් සොයාගැනීම් කිහිපයක්.

▪ වසූරිය. එඩ්වඩ් ජෙනර් 1798දී වසූරිය සඳහා එන්නතක් සොයාගැනීමට සමත් වුණා. විසිවන ශතවර්ෂයේදී පෝලියෝ, කහ උණ, සරම්ප හා ජර්මන් සරම්ප වැනි රෝගද එන්නත් මගින් මර්දනය කිරීමට හැකි වුණා.

ක්ෂය රෝගය. රොබට් කොක් 1882දී ක්ෂය රෝගය ඇති කරන බැක්ටීරියාව සොයාගත් අතර රෝග නිර්ණය කරගැනීම සඳහා යොදාගත හැකි සාර්ථක පරීක්ෂණයක්ද හඳුන්වා දුන්නා. ඉන් අවුරුදු 60කට පසුව, ක්ෂය රෝගය මර්දනය කරන ප්‍රතිජීවක ඖෂධයක් වූ ස්ට්‍රෙප්ටොමයිසින් සොයාගනු ලැබුවා. ග්‍රන්ථිමය මහාමාරිය නිවාරණය කිරීම සඳහාද එම ඖෂධය භාවිත කරනු ලැබුවා.

මැලේරියාව. දහහත්වන සියවසේ පටන්, මැලේරියා රෝගීන් මිලියන ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා භාවිත කළේ සින්කෝනා ගසේ පොත්තෙන් ලබාගත් ක්විනීන් නම් ඖෂධයයි. මැලේරියා රෝග වාහකයා ඇනෝෆිලස් මදුරුවා බව 1897දී රොනල්ඩ් රොස් සොයාගත්තා. පසුව, නිවර්තන කලාපීය රටවල මරණ අනුපාතය අඩු කිරීම සඳහා මදුරුවන්ව මර්දනය කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට දිරිමත් කළා.

[පින්තූර]

රාශි චක්‍රය (ඉහළ) සහ රුධිරවාහිනි තුළින් ලේ ඉවත් කිරීම

[හිමිකම් විස්තර]

Both: Biblioteca Histórica “Marqués de Valdecilla”

[13වන පිටුවේ පින්තූර]

යළි යළිත් හිස ඔසවන ක්ෂය රෝගකාරක බැක්ටීරියාවන් නිසා සෑම වසරකදීම මිලියන දෙකකට ආසන්න පිරිසක් මිය යනවා

[හිමිකම් විස්තර]

X කිරණ: New Jersey Medical School–National Tuberculosis Center; මිනිසා: ඡායාරූපය: WHO/Thierry Falise

[14වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1500දී පමණ නිර්මාණය කරනු ලැබූ ජර්මන් කැටයමක්. එහි පෙන්වන්නේ වෛද්‍යවරයෙක් වෙස්මුහුණක් පැළඳීමෙන් මහාමාරියෙන් තමාව ආරක්ෂා කරගන්නා ආකාරයයි. හොට ඇතුළේ සුවඳ විලවුන් දමා තිබුණා

[හිමිකම් විස්තර]

Godo-Foto

[14වන පිටුවේ පින්තූරය]

ග්‍රන්ථිමය මහාමාරිය රෝගයේ රෝගකාරක බැක්ටීරියාව

[හිමිකම් විස්තර]

© Gary Gaugler/Visuals Unlimited