Skip to content

පටුනට යන්න

යළි කවදාවත් කිසිම කෙනෙකුට තනිකමක් පාළුවක් නොදැනෙන කාලයක්

යළි කවදාවත් කිසිම කෙනෙකුට තනිකමක් පාළුවක් නොදැනෙන කාලයක්

යළි කවදාවත් කිසිම කෙනෙකුට තනිකමක් පාළුවක් නොදැනෙන කාලයක්

මුල් මනුෂ්‍යයාව මැවීමෙන් පසුව, “යෙහෝවා දෙවි කතා කොට, මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි” යයි කී බව උත්පත්ති 2:18හි සඳහන් වෙනවා. මනුෂ්‍යයන්ව මවා තිබෙන්නේ අන් අය සමඟ සිටීමට හා ඔවුන් මත රඳා සිටීමටයි.

අපට සිටිය හැකි හොඳම මිත්‍රයා යෙහෝවා දෙවියි. ‘දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවි හා අපේ සියලු පීඩාවලදී අපව සනසන තැනැත්තා’ ලෙසද ප්‍රේරිත පාවුල් යෙහෝවාව හඳුන්වයි. (2 කොරින්ති 1:3, 4NW) යෙහෝවා තමන්ගේ සේවකයන්ගෙන් ඕනෑම කෙනෙකු විඳින දුක ගැන ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු වනාහි අපගේ හැඟීම්වලට සංවේදීතාව දක්වන දෙවි කෙනෙක්. “ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:14) යෙහෝවා දෙවි වෙත ළංවීමටත්, ඔහු දක්වන ප්‍රේමණීය, කරුණාවන්ත මෙන්ම අනුකම්පාවෙන් පූර්ණ සැලකිල්ල සඳහා ස්තුතිවන්ත වීමටත් ඔබ තුළ බලවත් ආශාවක් ඇති වන්නේ නැද්ද?

තනි වූවන්ට යෙහෝවා ආධාරකයක් වෙයි

අතීතයේ විසූ දෙවිගේ සේවකයන් බොහෝදෙනෙකු සමහර අවස්ථාවලදී තනිකම අද්දැක්කා. ඔවුන්ට යෙහෝවා ආධාරකයක් මෙන්ම සහනයේ උල්පතක්ද වුණා. නිදසුනකට යෙරෙමියා ගැන කල්පනා කරන්න. ඔහුට තරුණ වියේදී අනාගතවක්තෘවරයෙක් වීමේ පැවරුම ලැබුණා. ශුද්ධ ලියවිල්ල ලිවූ ලේඛකයන් 40දෙනා අතර, තමාගේ පෞද්ගලික හැඟීම් ගැන වැඩියෙන්ම ප්‍රකාශ කළ තැනැත්තා යෙරෙමියා වෙන්න පුළුවන්. දෙවිගෙන් ප්‍රථම වතාවට පැවරුමක් ලැබූ අවස්ථාවේදී ඔහුට බයාදු ගතියක් මෙන්ම තමා ඒ සඳහා සුදුසු නැති බවක් ඔහුට දැනුණා. (යෙරෙමියා 1:6) ඒ පැවරුම ඉටු කිරීම සඳහා යෙහෝවා මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමට ඔහුට සිදු වුණා. සැබවින්ම යෙහෝවා “භයානක වූ බලවන්තයෙකු මෙන්” ඔහු සමඟ සිටියා.—යෙරෙමියා 1:18, 19; 20:11 .

යෙරෙමියාගේ කාලයට වසර 300කට පමණ ප්‍රථමයෙන් ජීවත් වූ යෙසෙබෙල් බිසවට ඇගේ බාල් අනාගතවක්තෘවරුන්ගේ මරණ ගැන ආරංචි වූ විට ඇය එලියාව මරා දැමීමට සිතින් අදිටන් කරගත්තා. එලියා කිලෝමීටර් 450ක් පමණ ඈතින් පිහිටි සීනයි අර්ධද්වීපයේ හොරෙබ් වෙත පලා ගියා. එහිදී ඔහු රාත්‍රිය ගත කිරීම සඳහා ගුහාවකට ඇතුල් වුණා. එවිට යෙහෝවා ඔහුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවා. “එලියා, ඔබ මෙහි මක් කරනවාද?” මුළු ඊශ්‍රායෙලයේ සිටි යෙහෝවාට නමස්කාර කළ එකම තැනැත්තා තමා බවත්, දෙවිගේ සේවය වෙනුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කළ එකම අනාගතවක්තෘවරයා තමා බවත් ඔහුට හැඟුණු බව එලියා විස්තර කළා. ඔහු තනි වෙලා නැති බව යෙහෝවා ඔහුට තහවුරු කළා. යෙහෝවා ඔහු සමඟ සිටි අතර, එලියා නොදැන සිටියත් සෙසු ඊශ්‍රායෙලිතයන් 7,000දෙනෙක්ද ඔහුගේ පැත්තේ සිටියා. යෙහෝවා එලියාව සනසා ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් කළා. යෙහෝවා එලියාගේ හදවතට කතා කරමින් ඔහුගේ පැවරුම අත් නෑර ඉටු කිරීමට ඔහුව දිරිගැන්නුවා. (1 රාජාවලිය 19:4, 9-12, 15-18) එලියාට මෙන් අපටත් යම් විටක තනිකමක් හෝ නොවටිනාකමේ හැඟීමක් දැනුණොත්, අපටත් පුළුවන් ශක්තිය ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. තවද හොඳ අවබෝධයකින් කටයුතු කරන වැඩිමහල්ලන්ට හැකියි ඇදහිලිවන්තයන්ට සැනසිලිදායක ආකාරයකින් කතා කරන්න. ඒ තුළින් දෙවිගේ අරමුණු ඉටු කිරීමෙහිලා ඔවුන් දරන කොටස තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට හැකියි.—1 තෙසලෝනික 5:14.

තනිකමක් දැනෙන අයට පිහිට වීමට හා ඔවුන්ට ප්‍රේමණීය සැනසිල්ල ලබා දීමට යෙහෝවා කැමැත්තෙන් සිටින බව මෙවැනි උදාහරණවලින් අපට පැහැදිලි වෙයි. එසේය “යෙහෝවා පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වන්නේය. විපත්ති කාලවලදී උස් කොටුවක් වන්නේය.”—ගීතාවලිය 9:9; 46:1; නාහුම් 1:7.

ගැඹුරු හැඟීම් තිබූ අනුකම්පාවෙන් කටයුතු කළ මිනිසෙක්

යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාව පරිපූර්ණ ලෙස අනුකරණය කළා. එම නිසා, ඔහුට හැකියාව තිබුණා ඉතා හොඳින් තම හැඟීම් පාලනය කරගන්න. ඒ නිසා ඔහු අපට අනුකරණය කිරීම සඳහා හොඳ ආදර්ශයක් වෙනවා. නායින් නුවරේදී අවමංගල්‍ය පෙරහැරක් දුටු යේසුස් ක්‍රියා කළ ආකාරය ලූක් මේ විදිහට විස්තර කරනවා. “මිය ගොස් සිටි මිනිසෙකුව පිටතට උසුලාගෙන එන ලදි. ඔහු තම මවගේ එකම පුත්‍රයා විය. . . . ඇය දුටු විගස ස්වාමීන් ඇය ගැන අනුකම්පාවෙන් පෙලඹී, ‘හැඬීම නවත්වන්න’ යයි ඇයට කීවේය. එසේ කියා ඔහු ළඟා වී දෙණයට අත තැබූ විට, එය උසුලාගෙන ගිය අය නතර වූහ. ඔහු, ‘තරුණය, නැඟිටින්නැයි මම ඔබට කියමි!’ යයි කීවේය. එවිට මිය ගොස් සිටි මිනිසා ඉඳගෙන කතා කරන්න පටන්ගත්තේය. යේසුස් ඔහුව සිය මවට භාර දුන්නේය.” (ලූක් 7:12-15NW) යේසුස් තුළ තිබූ ගැඹුරු හැඟීම් නිසා යම් දෙයක් කිරීමට ඔහු පෙලඹුණා. ඔහු දයානුකම්පිත කෙනෙක්. තනිකමක් දැනුණ ඒ වැන්දඹුවට ඇගේ පුත්‍රයාව යේසුස් නැවත ලබා දුන් විට ඇයට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්දැයි සිතා බලන්න! ඇයට දැනුණ පාළුව තනිකම එවෙලේම නැති වී ගියා.

යේසුස්ට “අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක්” තිබෙන බව අපට දැනිය හැකියි. තනිකමෙන් පෙළෙන අවංක ධර්මිෂ්ඨ මිනිසුන්ට ඔහු අනිවාර්යයෙන්ම අනුකම්පාව පෙන්වනවා. ඇත්තවශයෙන්ම “අපට උපකාරය අවශ්‍ය වේලාවේදී” ඔහු මාර්ගයෙන් “දයාව හා මහත් කරුණාව” ලබාගත හැකියි. (හෙබ්‍රෙව් 4:15, 16NW) ශෝකය, පීඩාවන් සහ තනිකම වැනි දේවලට මුහුණ දෙන අයට යේසුස් කළාක් මෙන් අනුකම්පාව පෙන්වන්න අපටත් හැකියි. අනුන්ට උපකාර කරන විට අපට තනිකමක් නොදැනෙන්න ඉඩ තිබෙනවා. එනමුත් තනිකමේ නිෂේධාත්මක හැඟීම්වලින් මිදීම සඳහා අපට උපකාරය ලබාගත හැකි තවත් ක්‍රමයකුත් තිබෙනවා.

යෙහෝවාගේ වචනයට හැකියි තනිකමෙන් මිදෙන්න අපට උපකාර කරන්න

‘ශුද්ධ ලියවිල්ලෙන් සපයන සැනසිල්ල මාර්ගයෙන් අපට බලාපොරොත්තුවක්’ ලැබෙන බව බොහෝදෙනෙකුගේ අද්දැකීමයි. තනිකමෙන් ජයගැනීමට අපට උපකාරවත් විය හැකි ප්‍රායෝගික උපදෙස්වලින් දෙවිගේ වචනය පිරී තිබෙනවා. (රෝම 15:4; ගීතාවලිය 32:8) නිදසුනක් වශයෙන් ‘තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතන්න’ කියා දේවවචනය අපට උනන්දු කරනවා. (රෝම 12:3NW) එම උපදෙස පිළිපදිද්දි සමහරවිට අප සිතන ආකාරය වෙනස් කිරීමට අපට සිදු විය හැකියි. යටහත් පහත්කම සහ අපගේ සීමාවන් ගැන යථාර්ථවාදී ආකල්පයක් දැරීම, සමබර සාධාරණ අපේක්ෂා ඇතුව සිටීමට අපට මහෝපකාරී වෙයි. තවද අන්‍යයන් කෙරෙහි අව්‍යාජ පෞද්ගලික සැලකිල්ලක් දැක්වීමේ ගුණාංගය වර්ධනය කරගැනීමටද දේවවචනය අපට උපදෙස් දෙනවා. (පිලිප්පි 2:4) මෙයට දෙපාර්ශ්වයේම සහයෝගය අවශ්‍යයි. ඔබ අන් අය ගැන උනන්දු වෙමින් ඔවුන් ගැන සැලකිලිමත් වීමට වෑයම් කරන විට අන් අයද ඔබ වෙනුවෙන් ඒ දේම කිරීමට පෙලඹේවි. මෙසේ හොඳින් අන් අයව ආශ්‍රය කිරීම පාළුව මකාගැනීමටත් අපගේ ජීවිතයට අර්ථයක් එක් කරගැනීමටත් උපකාරවත් වෙයි.

ක්‍රිස්තියානීන් වන අපට ‘අපේ රැස්වීම්වලට අත් නෑර’ පැමිණෙන මෙන් බයිබලය දිරිගන්වයි. (හෙබ්‍රෙව් 10:24, 25) එම නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලබන රැස්වීම්වලට යෑම වැනි ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම්වල යෙදෙන්න. අපගේ ආත්මික, චිත්තවේගීය සහ කායික ශුභසිද්ධියට දායක වීමට ක්‍රිස්තියානි රැස්වීම්වලට හැකි බවට කිසිම සැකයක් නැහැ. ප්‍රීතිය ගෙන දෙන හිතකර ක්‍රියාකාරකම්වලින් අපගේ ජීවිත පුරවාගත හැකි එක් ක්‍රමයක් වන්නේ අන් අය සමඟ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන කතා කිරීමයි. නියම දිශාවට මනස යොමු කිරීමට එය අපට උපකාරවත් වන අතර, එමගින් අපගේ ඇදහිල්ල ශක්තිමත් කර අපගේ බලාපොරොත්තුවද ආරක්ෂා කරයි.—එපීස 6:14-17.

යාච්ඤාව තුළින් යෙහෝවාට සමීප වෙන්න. දාවිත් මෙලෙස දිරිගැන්නුවා. “ඔබේ බර යෙහෝවා පිට තබන්න, ඔහු ඔබ උසුලන්නේය. ඔහු කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.” (ගීතාවලිය 55:22) දේවවචනය අධ්‍යයනය කිරීම ඔබව සන්තෝෂවත් කරයි. (ගීතාවලිය 1:1-3) තනිකමේ හැඟීම්වලට ඔබ ගොදුරු වුවහොත්, දේවවචනය තුළින් හෙළි වන්නාවූ යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල ගැන මෙනෙහි කරන්න. ගීතිකාකරු මෙහෙම ලිව්වා. “මාගේ ආත්මය ධූලියට ඇලේ. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.”—ගීතාවලිය 119:25.

“මට හරි පාළුයි” කියා කිසිවෙකු නොකියන කල

සිත්තැවුල්, නිෂ්ඵලභාවය හා නිෂේධාත්මක හැඟීම්වලින් තොර නව ලොවක් අපට දීමට යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙනවා. බයිබලය මෙසේ කියයි. “ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4NW) ඔව්, එසේ පහව යන්නාවූ පළමු දේවල් අතරට අප අද දින අද්දකින ශාරීරික වේදනාවන්, මානසික ගැටලු සහ චිත්තවේගීය පීඩාද ඇතුළත්.

ඒ කාලයේදී අපගේ ජීවිතවල ගුණය ඉහළ නැංවිය හැකි මිත්‍රශීලී මිනිසුන්ගෙන් පොළොව පිරී තිබේවි. යේසුස් ක්‍රිස්තුස්ගේ අතට පත් කර ඇති තම ස්වර්ගීය රාජ්‍යය තුළින් යෙහෝවා සියලු ආකාර තනිකම්වලින් අපව නිට්ටාවටම සුව කරයි. භූමික පාරාදීසය තුළ අපට කිරීමට අලුත් මෙන්ම පුදුමාකාර දේවල් රැසක් ඔහු අපට ලබා දෙයි. “මට පාළුවක් දැනෙනවා” කියා අප කවදාවත් නොකියන්නා වූ දිනය ළඟදීම උදා වේවි.

[8, 9වන පිටුවේ පින්තූරය]

තනියෙන් ඉන්න විට පවා යෙහෝවාගේ උපකාරය තිබෙන නිසා අපට තනිකමක් නොදැනෙයි

[10වන පිටුවේ පින්තූර]

යෙරෙමියා සහ එලියා පිළිබඳ බයිබල් වාර්තාවලින් අපට කියාපාන්නේ කුමක්ද?