රෝගවලට එරෙහි යුද්ධයේ ජය පරාජයන්
රෝගවලට එරෙහි යුද්ධයේ ජය පරාජයන්
වර්ෂ 1942 අගෝස්තු 5වන දා වෛද්‍ය ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිංට වැටහී ගියා ඔහු ප්‍රතිකාර කරමින් සිටි රෝගියෙක් මිය යමින් සිටින බව. අවුරුදු 52ක් වයසැති එම රෝගියා ඔහුගේ මිත්‍රයෙක්. සුෂුම්නාව ආශ්‍රිතව තිබූ මෙනින්ජ ප්‍රදාහයෙන් (spinal meningitis) පීඩා විඳිමින් සිටි ඔහුව බේරාගැනීමට ෆ්ලෙමිං මහත් වෙහෙසක් දරා තිබුණා. නමුත් ඒ වන විටත් ඔහු සිටියේ සිහිමූර්ඡා (coma) තත්වයකයි.
ඊට අවුරුදු 15කට පමණ කලින්, නිල්වන් කොළ පැහැයෙන් යුත් පුස් වර්ගයකින් සාදන ලද අපූරු ද්‍රව්‍යයක් ෆ්ලෙමිංට අහම්බෙන් වාගේ සම්බ වී තිබුණා. ඔහු එය පෙනිසිලින් යනුවෙන් නම් කළා. පෙනිසිලින්වලින් බැක්ටීරියා විනාශ කර දැමිය හැකි බව ඔහුට පෙනී ගිය නමුත් පිරිසිදු පෙනිසිලින් වෙන් කිරීමට ඔහුට නොහැකි වුණා. ඒ වගේම, ඔහු විෂබීජ නාශකයක් වශයෙන් එහි ක්‍රියාකාරිත්වය පමණයි පරීක්ෂා කර බලා තිබුණේ. එහෙත් එය මිනිසුන් සඳහා සුදුසුද කියා පරීක්ෂා කර බැලීම සඳහා 1938දී ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ සිටි හවඩ් ෆ්ලෝරි සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ප්‍රමාණවත් පෙනිසිලින් ප්‍රමාණයක් නිපදවීමේ අභියෝගය භාරගත්තා. ෆ්ලෙමිං ෆ්ලෝරිට දූරකථන ඇමතුමක් දුන්නා. ෆ්ලෝරි තමා ගබඩා කර තිබූ මුළු පෙනිසිලින් ප්‍රමාණයම එවන්න පොරොන්දු වුණා. එය ෆ්ලෙමිංට තම මිත්‍රයාව බේරාගැනීමට තිබූ එකම මඟයි.
පේශිය තුළට පෙනිසිලින් ප්‍රවේශ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත්තේ නැති නිසා ෆ්ලෙමිං තම මිතුරාගේ සුෂුම්නාව තුළටම එය ප්‍රවේශ කළා. ක්ෂුද්‍ර ජීවීන් නැසී ගිය අතර සතියකින් පමණ සම්පූර්ණ සුවයක් ලැබූ ෆ්ලෙමිංගේ මිතුරා ආපසු තම නිවස බලා ගියා. එම සිද්ධිය ප්‍රතිජීවක යුගයේ උදාව සනිටුහන් කළා. රෝගවලට එරෙහි යුද්ධයේදී මිනිසා වැදගත් සන්ධිස්ථානයකට එළඹී තිබුණා.
ප්‍රතිජීවක යුගය
රෝග මර්දනයේදී පෙරළියක් ඇති කළ මුල්ම අවධියේ ප්‍රතිජීවක දිව්‍ය ඔසුවක් මෙන් පෙනී ගියා. බැක්ටීරියා, දිලීර හෝ වෙනයම් ක්ෂුද්‍ර ජීවීන් මාර්ගයෙන් ඇති වූ සුව කළ නොහැකි ආසාදනයන් කිහිපයක්ම ප්‍රතිජීවක ඖෂධ මගින් පහසුවෙන්ම මර්දනය කිරීමට සමත් වුණා. එම අලුත් ඖෂධවලට ස්තුතිවන්ත වෙන්න මෙනින්ජ ප්‍රදාහය, නියුමෝනියාව හා රතු උණ (scarlet fever) නිසා මිය ගිය සංඛ්‍යාව පුදුම ලෙස අඩු වුණා. ඊට පෙර, රෝහල්ගතව සිටියදී රෝගියෙකුට ආසාදනයක් ඇති වූවා නම් ඔහු අනිවාර්යයෙන්ම මිය යන බව අපේක්ෂා කළා. එහෙත් ප්‍රතිජීවක සොයාගත් පසු එවැනි ආසාදනයන් දවසකින් දෙකකින් සුව කිරීමට පුළුවන් වුණා.
ෆ්ලෙමිංගේ කාලයේ සිට අද දක්වා පර්යේෂකයන් අලුත් ප්‍රතිජීවක ගණනාවක්ම නිපදවා තිබෙනවා. ඒ වගේම, අලුත් ප්‍රතිජීවක දිගින් දිගටම සොයමින් සිටිනවා. පසුගිය අවුරුදු 60 තුළදී, රෝගවලට එරෙහිව කරන යුද්ධයේදී නැතුවම බැරි ප්‍රබල අවියක් වී තිබෙන්නේ ප්‍රතිජීවක ඖෂධයි. අද ජෝර්ජ් වොෂිංටන් අප අතරේ සිටියා නම් ඔහුගේ උගුරේ අමාරුව සුව කිරීම සඳහා වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධයක් නිර්දේශ කරන බවට නිසැකයි. ඒ වගේම, සතියකින් විතර ඔහුට සම්පූර්ණ සුවයක් ලැබෙයි කියාත් අපේක්ෂා කළ හැකියි. ප්‍රතිජීවක ඖෂධවල පිහිටෙන් අපි සියලුදෙනාම පාහේ යම් ආසාදනයකින් සුවය ලබා තිබෙනවා. එහෙත් ප්‍රතිජීවක භාවිතයේදී අවාසි පැත්තකුත් තිබෙන බව පැහැදිලි වී තිබෙනවා.
ඒඩ්ස් සහ වයිරස් උණ වැනි ආසාදනයන්ට ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම ඇත්තෙන්ම නිෂ්ඵලයි. ඇතැම් ප්‍රතිජීවක ඖෂධවලින්
සමහරෙකුට අසාත්මිකතා ඇතිවීම තවත් ගැටලුවක්. ඒ වගේම, ක්ෂුද්‍ර ජීවීන් විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට ගන්නා ප්‍රතිජීවක ඖෂධ (broad-spectrum antibiotics) භාවිත කරද්දී අප තුළ වෙසෙන මිතුරු ක්ෂුද්‍ර ජීවීන් පවා විනාශ වීමට ඉඩ තිබෙනවා. එහෙත් ප්‍රතිජීවක සම්බන්ධයෙන් තිබෙන ලොකුම ගැටලුව වන්නේ ඒවා සුදුසු ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් භාවිත කිරීමයි.ප්‍රතිකාර ලබා ටික දවසකින් සුවයක් දැනෙන නිසා හෝ දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ ගැනීමට අකමැති නිසා නිර්දේශ කළ නියමිත බෙහෙත් මාත්‍රාව අතරමඟදී නතර කිරීමට රෝගීන් පෙලඹෙනවා. ප්‍රතිජීවක ඖෂධ සුදුසු ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිත කිරීමේ ගැටලුව පැනනඟින්නේ එවිටයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශරීරගත වී සිටින හානිකර බැක්ටීරියාවන් මුළුමනින්ම විනාශ නොවීමට ඉඩ තිබෙනවා. ඉන් අනතුරුව ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියා විශේෂයන් බිහි වන අතර ඒවා ශරීරය තුළ වර්ධනය වීමට පටන්ගන්නවා. ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීමේදී මෙම ගැටලුව නිතරම ඉස්මතු වෙනවා.
මෙම අලුත් ඖෂධ සුදුසු ප්‍රමාණයට වඩා වැඩියෙන් භාවිත කිරීමේ වරදට වෛද්‍යවරුන් විතරක් නොවෙයි ගොවීන්ද හසු වී තිබෙනවා. “එක්සත් ජනපදයේ බොහෝ අවස්ථාවලදී ප්‍රතිජීවක ඖෂධ අනවශ්‍ය ලෙස නිර්දේශ කර තිබේ. වෙනත් රටවල ඒවා ඊට වඩා නොසැලකිලිමත් ලෙස භාවිත කෙරේ” කියා මානවයා හා ක්ෂුද්‍ර ජීවීන් යන පොතෙහි පැහැදිලි කරනවා. “ප්‍රතිජීවක ඖෂධ විශාල වශයෙන් ගොවිපොළවල ඇති කරන සතුන්ට ලබා දී තිබේ. එසේ කර තිබෙන්නේ රෝග මර්දනය කිරීමට නොව සතුන්ගේ වර්ධනය වේගවත් කිරීමටයි. ඖෂධවලට ප්‍රතිරෝධතාවක් දක්වන ක්ෂුද්‍ර ජීවීන් වැඩි වැඩියෙන් බිහිවීමට මෙය ප්‍රධාන හේතුවක්.” එම පොතේ තවදුරටත් මෙසේ
අනතුරු අඟවා තිබෙනවා. “සමහරවිට ඉදිරියේදී ප්‍රතිජීවක ඖෂධවල හිඟයක් ඇති වී අලුත් ඖෂධ සොයාගත නොහැකි වීමට ඉඩ තිබේ.”ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියාවන් පිළිබඳව මෙවැනි බිය සැක පහළ කර තිබුණත් 20වන සියවසේ අවසානභාගය වෛද්‍ය විද්‍යාවට ජය හිමි වූ අවධියක් බව පිළිගත යුතුයි. ඒ කාලයේදී, ඕනෑම රෝගයක් මර්දනය කළ හැකි ඖෂධ රැසක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂකයන් සමත් වී තිබුණ බව පෙනී ගියා. ඒ වගේම, එන්නත් මාර්ගයෙන් රෝග වැළැක්වීමට පවා ඔවුන් සමත් වුණා.
වෛද්‍ය විද්‍යාවට ජය හිමි වූ අවස්ථා
“බාධක හමුවේ මහජනයාගේ සෞඛ්‍යය සුරැකීමට කරන සටනේදී ලොකුම ජයග්‍රහණය අත් වී තිබෙන්නේ එන්නත් ලබා දීම තුළිනි.” එසේ සඳහන් වුණේ 1999 ජගත් සෞඛ්‍ය වාර්තාව තුළයි. ජාත්‍යන්තර මට්ටමෙන් සංවිධානය කර ඇති විශාල එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළවල් නිසා දැනටමත් මිලියන ගණනකගේ ජීවිත බේරාගැනීමට සමත් වී තිබෙනවා. විසිවන සියවසේ ඇති වූ සෑම යුද්ධයකින්ම මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කළ වසූරිය නමැති මාරයාව ජාත්‍යන්තර එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් මාර්ගයෙන් නැත්තටම නැති කළා. එවැනිම වැඩපිළිවෙළක් තුළින් පෝලියෝද බොහෝදුරට මැඩලීමට හැකි වී තිබෙනවා. (“වසූරිය හා පෝලියෝ ජයගැනීම” යන කොටුව බලන්න.) අද බොහෝ දරුවන්ට එන්නත් ලබා දී ජීවිතයට තර්ජනයක් එල්ල කරන රෝගවලින් ඔවුන්ට ආරක්ෂාවක් සලසා දෙනවා.
වෙනත් රෝග මෙල්ල කර තිබෙන්නේ ඊට වඩා සරල පියවර ගැනීමෙනුයි. නිසි සනීපාරක්ෂාව හා පිරිසිදු ජල සැපයුමක් ඇති රටවල අපිරිසිදු ජලය පානය කිරීමෙන් ඇති වන කොලරා වැනි රෝග වැලඳෙන්නේ කලාතුරකින්. දැන් බොහෝ රටවල වෛද්‍ය පහසුකම් වැඩි වී තිබෙන නිසා රෝග වැඩි ගණනක් හඳුනාගැනීමට හා ඒවා දරුණු අතට හැරෙන්න කලින් ප්‍රතිකාර ලබාගැනීමට පුළුවන් වී තිබෙනවා. දැන් පෙරට වඩා ජනයා පෝෂ්‍යදායක ආහාර ගන්නවා. සනීපාරක්ෂාවද වැඩි දියුණු කර තිබෙනවා. ඒ වගේම, ආහාර ගබඩා කිරීම හා ආහාර ඇල්ලීම සම්බන්ධයෙන් නීති පනවා තිබෙනවා. මේ සෑම කාරණයක් නිසාම මහජනයාගේ සෞඛ්‍ය තත්වය දැන් පෙරට වඩා දියුණුයි.
බෝ වන රෝගවලට හේතු වන සාධක මොනවාද කියා විද්‍යාඥයන් සොයාගත් පසු සෞඛ්‍ය අධිකාරීන්ට හැකි වුණා එම රෝග පාලනය කිරීමට ප්‍රායෝගික පියවර ගන්න. මෙමගින්, පුළුල්ව පැතිරෙන වසංගත වැළැක්වීමටද හැකි වුණා. එක් උදාහරණයක් සලකා බලන්න. වර්ෂ 1907දී සැන් ෆ්‍රැන්සිස්කෝහි පුද්ගලයන් කිහිපදෙනෙකුටම ග්‍රන්ථිමය මහාමාරිය වැලඳුණා. නමුත් මිය ගියේ සුළු පිරිසක්. එයට හේතුව වූයේ රෝග වාහක මීයන්ව හා මැක්කන්ව නසා දැමීමට විගසම එම නගරයේ කටයුතු පිළියෙල කිරීමයි. එහෙත් එම රෝගය නිසාම 1896 පටන් අවුරුදු 12ක් පුරාම ඉන්දියාවේ මිලියන දහයක් පමණ ජනයා මිය ගියා. ඒ වන විටත්, රෝගයට ප්‍රධාන හේතුව කුමක්ද කියා සොයාගෙන නොතිබීම ඊට හේතුවයි.
රෝගවලට එරෙහි යුද්ධයේ පරාජයන්
වෛද්‍ය විද්‍යාව වැදගත් සටන් කිහිපයක් ජයගෙන තිබෙන බව පැහැදිලියි. එහෙත් මහජන සෞඛ්‍ය තත්වය දියුණු කිරීම වෙනුවෙන් කරන යුද්ධයේදී ලැබූ ජයග්‍රහණයන් කිහිපයක්ම සීමා වී තිබෙන්නේ ලෝකයේ ධනවත් රටවලටයි. සුව කළ හැකි රෝගවලින් තවමත් මිලියන ගණනක් මිය යන්නේ ප්‍රමාණවත් අරමුදල් නොතිබීම නිසයි. සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝදෙනෙකුට තවමත් ප්‍රමාණවත් සනීපාරක්ෂාව, සෞඛ්‍ය පහසුකම් හා පිරිසිදු පානීය ජලය ලබාගත නොහැකියි. සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල ජන පිරිසක් ග්‍රාමීය පරිසරයක සිට විශාල නගර දක්වා සංක්‍රමණය වන නිසා මෙම මූලික අවශ්‍යතාවන් පිරිමැසීමේ අභියෝගය තවත් වැඩි වී තිබෙනවා. මෙම හේතු නිසා “රෝගවලින් වැඩියෙන්ම පීඩා විඳින පිරිස සිටින්නේ” ලෝකයේ දුගී රටවලයි කියා ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටිනවා.
දුර දිග නොබලා සිදු කරන ආත්මාර්ථකාමී ක්‍රියාවන් මෙම අසමබර තත්වය පැවතීමට ප්‍රධානතම හේතුවයි. මානවයා හා ක්ෂුද්‍ර ජීවීන් නම් පොතෙහි සඳහන් වන පරිදි, “ලෝකයේ පවතින මාරාන්තික බෝ වන රෝග අතුරින් දරුණුතම ඒවා කිහිපයක්ම දුර බැහැර ප්‍රදේශවලට සීමා වී ඇති බව පෙනේ. ඉන් සමහරක් වැඩිම වශයෙන් හෝ මුළුමනින්ම වාගේ නිවර්තන කලාපීය හා උපනිවර්තන කලාපීය ප්‍රදේශවල පිහිටි දුගී රටවලට සීමා වී ඇත.” ධනවත් රටවලට හා ඖෂධ සමාගම්වලට ඍජු වාසියක් නොලැබෙන නිසා එවැනි රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා අරමුදල් වෙන් කිරීමට ඔවුන් අකමැත්තක් දක්වනවා.
මිනිසාගේ නොසැලකිලිමත්කම රෝග පැතිරීමට හේතු වන තවත් සාධකයක්. ශාරීරික තරල මගින් එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ වන ඒඩ්ස් වයිරසය තුළින් මෙම තිත්ත ඇත්ත මනා ලෙස නිදර්ශනය වෙනවා. මෙම වසංගතය අවුරුදු කිහිපයක් ඇතුළත මුළු ලෝකය පුරාම පැතිර ගිහින්. (“අපට හිරිහැර කරන ඒඩ්ස් වසංගතය” යන කොටුව බලන්න.) රෝග පිළිබඳව අධ්‍යයනය කරන ජෝ මකෝමික් පවසන්නේ “මිනිසා තමන්ගේම වළ කපාගන්නවා” කියායි. “මම එහෙම කියන්නේ මිනිසුන්ගේ සදාචාරය විවේචනයට ලක් කරන්න නෙවෙයි. ඒක තමයි ඇත්ත තත්වය.”
මිනිසා නොදැනුවත්වම ඒඩ්ස් වයිරසය පැතිර යෑමට අත හිත දුන්නේ කොහොමද? මතු පැමිණෙන වසංගතය (සිංහලෙන් නැත) නම් පොතේ එයට හේතු ලැයිස්තුගත කර තිබෙන්නේ මෙසේයි: සමාජයේ ඇති වූ වෙනස්කම්. බහුලිංගික සබඳතාවල ශීඝ්‍ර වර්ධනය මෙයට කදිම නිදසුනක්. එවැනි වෙනස්කම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගණනාවකට තුඩු දුන්නා. රෝගකාරක වයිරසය වඩාත් පහසුවෙන් ශරීරගත වූයෙත් එය එක් වාහකයෙකුගෙන් තවත් බොහෝදෙනෙකුට පැතිර ගියෙත් ඒ නිසයි; බොහෝදෙනෙක් කලින් භාවිත කළ විදින කටු ජීවාණුහරණය නොකර, ඒවා මත්ද්‍රව්‍ය භාවිතය සඳහා හෝ සංවර්ධනය වෙමින්
පවතින රටවල බෙහෙත් විදීම සඳහා භාවිත කිරීම. එයින්ද රෝගය ශීඝ්‍රයෙන් පැතිර ගියා; ලොව පුරා ඩොලර් බිලියන ගණනක් උපයන රුධිර දන් දීමේ ආයතන ආසාදිත වූ කෙනෙකුගේ රුධිරය ලබා දීමෙන් තවත් විශාල පිරිසකට ඒඩ්ස් වයිරසය බෝ වෙනවා.අප කලින් සාකච්ඡා කළ පරිදි ප්‍රතිජීවක ඖෂධ පමණට වඩා භාවිත කිරීම නිසා හෝ නිර්දේශ කරන මාත්‍රාව සම්පූර්ණයෙන්ම භාවිත නොකිරීම නිසා ප්‍රතිරෝධතාවක් දක්වන බැක්ටීරියා විශේෂයන් බිහි වී තිබෙනවා. මෙය ඉතා බරපතළ ගැටලුවක් වන අතර තත්වය වඩ වඩාත් උග්‍ර අතට හැරෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් තුවාලවල ආසාදන හටගන්වන ස්ටැපිලකොකස් නම් බැක්ටීරියාව, පෙනිසිලින්වලින් සාදාගත් ඖෂධවලින් පහසුවෙන්ම විනාශ කළා. එහෙත් දැන් එවැනි ප්‍රතිජීවක ඖෂධ බොහෝදුරට බල රහිතයි. එම නිසා, වෛද්‍යවරුන්ට සිදු වී තිබෙනවා වඩා මිල අධික අලුත් ප්‍රතිජීවක භාවිත කිරීමට. සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමාණවත් මුදලක් නොතිබීම නිසා එම රටවල ජනයාට එවැනි ඖෂධ ලබාගත හැක්කේ කලාතුරකින්. කල් යත්ම, අලුත්ම ප්‍රතිජීවක ඖෂධවලින් පවා සමහර ක්ෂුද්‍ර ජීවීන්ව නැසීමට නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා, රෝහල්ගතව සිටින අයට ආසාදන ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත් වන අතර එම ආසාදන නිසා රෝගීන් මිය යෑමට තිබෙන ඉඩ කඩද වැඩියි. එක්සත් ජනපදයේ අසාත්මිකතා හා බෝ වන රෝග නිවාරණය සඳහා පිහිටි ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය රිචඩ් ක්‍රවූස් මෙම තත්වය ගැන විවෘතව අදහස් පළ කළේ මෙසේයි. “දැන් අපි මුහුණ දෙන්නේ ප්‍රතිරෝධතාවක් දක්වන ක්ෂුද්‍ර ජීවීන්ගේ වසංගතයටයි.”
‘එදාට වඩා අද තත්වය හොඳයිද?’
අප දැන් විසි එක්වන සියවසට පා තබා ඇතත් රෝගවලින් එල්ල වන තර්ජනය තවමත් නිමා වී නැහැ. ඒඩ්ස් පිට පිට පහර දෙමින් පැතිර යනවා. ඖෂධවලට ඔරොත්තු දෙන රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් හිස ඔසවා තිබෙනවා. ක්ෂය රෝගය හා මැලේරියාව වැනි ඈත අතීතයේ පැවති මාරාන්තික රෝග යළි කරළියට ඇවිත්. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ රෝගවලට එරෙහි යුද්ධය තවමත් ජයගෙන නැති බවයි.
නොබෙල් ත්‍යාගලාභියෙකු වන ජොෂුවා ලෙඩර්බර්ග් මෙසේ ඇසුවා. “සියවසකට පෙර තිබුණු තත්වයට වඩා අද තත්වය හොඳයිද?” ඔහුම එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුවේ මෙසේයි. “බොහෝ පැතිවලින් බලද්දී අපේ තත්වය එදාට වඩා නරකයි. අපි ක්ෂුද්‍ර ජීවීන් ගැන නොසැලකිලිමත් වී තිබෙනවා. ඒ නොසැලකිලිමත්කමේ ප්‍රතිවිපාක තමයි අපි අද අත්විඳින්නේ.” වෛද්‍ය විද්‍යාව හා ලෝකයේ සියලු ජාතීන් එකතු වී සාමූහික ප්‍රයත්නයක් දැරුවොත් අප දැන් මුහුණ දෙන තත්වයෙන් ජයගන්න පුළුවන් වෙයිද? වසූරිය තුරන් කිරීමට හැකි වූවා හා සමානව ප්‍රධාන බෝ වන රෝග තුරන් කිරීමට හැකි වේවිද? අපේ අවසන් ලිපියේ මේ කාරණා ගැන සාකච්ඡා කෙරේ.
[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]
වසූරිය හා පෝලියෝ ජයගැනීම
වර්ෂ 1977 ඔක්තෝබර් මාසය අවසානයේදී, වසූරිය ස්වාභාවික ලෙස බෝ වූ අන්තිම පුද්ගලයාව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සොයාගනු ලැබුවා. සෝමාලියාවේ රෝහලක සේවය කරමින් සිටි කෝකියෙක් වන අලි මවූ මාලින්ට වසූරිය බෝ වී තිබුණා. ඒත් ඔහුට එය වැලඳී තිබුණේ ඒ තරම් දරුණු ලෙස නොවෙයි. සති කිහිපයකින් ඔහු සම්පූර්ණ සුවයක් ලැබුවා. ඔහුව ඇසුරු කළ සියලුදෙනාටම එන්නත් ලබා දුන්නා.
වෛද්‍යවරුන් ඉතා නොඉවසිල්ලෙන් අවුරුදු දෙකක් පුරාම බලා සිටියා. “වසූරිය ඉතා ක්‍රියාකාරී තත්වයක පවතින රෝගියෙක්ව” යමෙකුට ස්ථිර වශයෙන්ම සොයාගත හැකි නම් ඔහුට අමෙරිකානු ඩොලර් 1,000ක ත්‍යාගයක් දෙන බවටද පොරොන්දු වුණා. ත්‍යාගය ලබාගැනීමට කිසිවෙක් සමත් වුණේ නැහැ. වර්ෂ 1980 මැයි 8වන දා WHO ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මෙසේයි. “ලෝකයත් එහි සියලු ජනයාත් වසූරියෙන් ජයගෙන ඇත.” ඉන් වසර 10කට පමණ කලින්, සෑම වසරකදීම වසූරිය නිසා මිලියන දෙකක් පමණ මිය යමින් සිටියා. ඉතිහාසයේ මුල්ම වරට ඉතා ප්‍රබල බෝ වන රෝගයක් මුළුමනින්ම තුරන් කිරීමට සමත් වී තිබුණා. *
පෝලියෝ හෙවත් පෝලියමයිලීටිස් ළමා කාලයේ හැදෙන දුබල කරවන රෝගයක්. එයද තුරන් කළ හැකි බව පෙනෙන්න තිබුණා. වර්ෂ 1955දී ජෝනස් සාක් පෝලියෝ වැළැක්වීම සඳහා සුදුසු එන්නතක් සොයාගත්තා. ඉන් අනතුරුව එක්සත් ජනපදයේ මෙන්ම වෙනත් රටවලද පෝලියෝ එන්නත් ලබා දීමේ වැඩසටහන් දියත් කළා. පසුව, මුඛයෙන් ලබාගත හැකි එන්නතක්ද නිපදෙව්වා. වර්ෂ 1988දී WHO පෝලියෝ තුරන් කිරීමට ජාත්‍යන්තර වැඩසටහනක් දියත් කළා.
“අපි 1988දී පෝලියෝ රෝග නිවාරණ වැඩසටහන ආරම්භ කරන විට දිනපතාම දරුවන් 1000ක් පෝලියෝ නිසා ආබාධිතයන් බවට පත් වෙමින් සිටියා” කියා එකල WHOහි අධ්‍යක්ෂ ජෙනරාල් වූ වෛද්‍ය ග්‍රෝ හාර්ලම් වාර්තා කළා. “එහෙත් 2001දී මුළු අවුරුද්දටම පෝලියෝ නිසා පීඩා වින්දේ 1000කට වඩා අඩු පිරිසක්.” දැන් පෝලියෝ රටවල් 10කට වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබෙනවා. එනමුත් ඒ රටවලින් පෝලියෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නම් තවත් අරමුදල් අවශ්‍ය වේවි.
[පාදසටහන]
^ 28 ඡේ. ජාත්‍යන්තර මට්ටමෙන් පවත්වන එන්නත් වැඩසටහනක් මාර්ගයෙන් තුරන් කිරීමට වඩාත්ම යෝග්‍ය රෝගය වුණේ වසූරියයි. මන්ද මීයන් හා කෘමීන් වැනි කරදරකාරී රෝග වාහකයන් මාර්ගයෙන් බෝ වන රෝගවලට වඩා වෙනස්ව වසූරිය වයිරසය බේරී පවතින්නේ මිනිසුන්ගේ ශරීර තුළයි.
[[පින්තූරය]
ඉතියෝපියාවේ දරුවෙක් පෝලියෝ මුඛ එන්නතක් ලබමින්
[හිමිකම් විස්තර]
© WHO/P. Virot
[20වන පිටුවේ කොටුව⁄පින්තූරය]
අපට හිරිහැර කරන ඒඩ්ස් වසංගතය
ඒඩ්ස් රෝගය පැතිර යෑම මගින් පැහැදිලි වන්නේ අප ජාත්‍යන්තර මට්ටමෙන් අලුත් තර්ජනයකට මුහුණ දෙන බවයි. එම රෝගය හඳුනාගෙන දැන් අවුරුදු 20ක් පමණ ගත වී තිබෙන අතර මේ වන විටත් මිලියන 60කට අධික පිරිසකට එය බෝ වී තිබෙනවා. ඒ වගේම, සෞඛ්‍ය අධිකාරීන් අනතුරු අඟවන පරිදි, ඒඩ්ස් වසංගතය තවමත් පවතින්නේ එහි “බිලිඳු අවධියේ.” ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව “පෙර නොවූ විරූ ආකාරයකින් ඉහළ යමින් පවතිනවා.” ඒ වගේම, ඒඩ්ස්වලින් වඩාත්ම දරුණු අන්දමින් පහර කන රටවල් පවතින්නේ අන්ත අසරණ තත්වයකයි.
“ලෝ වටා එච්.අයි.වී. නැතහොත් ඒඩ්ස් ආසාදිත පුද්ගලයන්ගෙන් බහුතරයක්ම ඔවුන්ගේ වෘත්තිමය ජීවිතයේ සාර්ථකම අවධිය පසු කරමින් සිටින” බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වෙනවා. එම නිසා, වසර 2005 වන විට දකුණු අප්‍රිකාවේ රටවල් කිහිපයකම ශ්‍රම හමුදාවෙන් සියයට 10 සිට 20 දක්වා සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙයි කියා විශ්වාස කෙරෙනවා. දැන් සහරා කාන්තාරයට දකුණින් පිහිටි අප්‍රිකානු ප්‍රදේශවල වැසියන්ගේ “සාමාන්‍ය ආයු කාලය වන්නේ අවුරුදු 47යි. ඒඩ්ස් රෝගය නොතිබුණා නම් එය අවුරුදු 62ක් වීමට ඉඩ තිබුණා.”
ඒඩ්ස් වැළැක්විය හැකි එන්නතක් නිපදවීමට දරා ඇති වෑයම් නිෂ්ඵල වී තිබෙනවා. ඒ වගේම, සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන ඒඩ්ස් රෝගීන් මිලියන හයෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ සියයට 4ක් පමණයි. තවමත් ඒඩ්ස් රෝගය නිවාරණය කිරීමට ක්‍රමයක් සොයාගෙන නැහැ. ඒ වගේම, වයිරසය ශරීරගත වී ඇති බහුතරයක්ම අවසානයේදී ඒඩ්ස් රෝගයට ගොදුරු වන බව වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි.
[පින්තූරය]
HIV ආසාදනය වූ T ලිම්ෆොසයිට් සෛල
[හිමිකම් විස්තර]
Godo-Foto
[17වන පිටුවේ පින්තූරය]
පරීක්ෂණාගාරයක සේවකයෙක් පහසුවෙන්ම මැඩලිය නොහැකි වයිරස් විශේෂයක් පරීක්ෂණයට ලක් කරමින්
[හිමිකම් විස්තර]
CDC/Anthony Sanchez