Skip to content

පටුනට යන්න

රෝග නැති ලෝකයක්

රෝග නැති ලෝකයක්

රෝග නැති ලෝකයක්

“සියලුම ජනයාට ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් තිබෙන බවට ස්ථිර කරගැනීම සඳහා සියලුම රටවල් එකතු වී සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. මන්දයත්, එක් රටක ජනයා යහපත් සෞඛ්‍යයක් අත් කරගන්නා විට අන් සියලුම රටවල ජනයාද ඉන් කෙළින්ම ප්‍රයෝජන ලබනවා.”—ඇල්මා ඇටා ප්‍රකාශය, 1978 සැප්තැම්බර් 12වන දින.

අවුරුදු 25කට කලින්, මිහිපිට වෙසෙන සියලුදෙනාටම ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් ලබා දීම අත් කරගත හැකි ඉලක්කයක් සේ දිස් වුණා. වත්මන් කෂාකස්තාන්හි පිහිටි ඇල්මා ඇටාහි පැවැත්වූ එම ජාත්‍යන්තර සම්මේලනයට පැමිණි නියෝජිතයන් ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් පිළිබඳව යම් තීරණයකට එළඹුණා. එනම්, 2000 වන විට, ප්‍රධානතම බෝ වන රෝගවලට එරෙහිව සියලුම ජනයාව එන්නත් කරන බවටයි. ඒ වන විට, මිහිපිට වෙසෙන සියලුම ජනයාට සනීපාරක්ෂාව හා පිරිසිදු පානීය ජලය තිබේවි කියාත් ඔවුන් අපේක්ෂා කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාමාජික රටවල් සියල්ලක්ම එම ප්‍රකාශයට අත්සන් තැබුවා.

එය ඇත්තෙන්ම ප්‍රශංසනීය ඉලක්කයක්. නමුත් එය තවමත් අත් කරගෙන නොතිබීම කනගාටුදායකයි. අද සියලුම ජනයාට ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් තිබෙනවා කියා කොහෙත්ම පැවසිය නොහැකියි. ඒ විතරක් නොවෙයි, බිලියන ගණනකට බෝ වන රෝගවලින් තවමත් තර්ජනයක් එල්ල වෙනවා. මෙම මාරාන්තික රෝග බොහෝවිට දරුවන්ට මෙන්ම තම ජීවිතයේ හොඳම කාලය ගත කරමින් සිටින වැඩිහිටියන්ටද පහර දෙනවා.

ඒඩ්ස්, ක්ෂය රෝගය හා මැලේරියාව යන රෝග තුනෙන්ම මිනිසාට තර්ජනයක් එල්ල වුණත්, එක් එක් රටවල ජනයා “එකතු වී එකිනෙකාගේ ප්‍රයෝජනය උදෙසා සාමූහික ප්‍රයත්නයක් දැරීමට” තවමත් පෙලඹී නැහැ. ඒඩ්ස්, ක්ෂය රෝගය හා මැලේරියාව යන රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා මෑතකදී ජාත්‍යන්තර අරමුදලක් පිහිටුවා ඇති අතර එහි නියෝජිතයන් ආණ්ඩුවලින් ඉල්ලා සිටියේ මෙම වසංගත මර්දනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 13ක මුදලක් පරිත්‍යාග කරන ලෙසයි. නමුත් 2002 ගිම්හානය වන විට පරිත්‍යාග කර තිබුණේ ඩොලර් බිලියන 2කට වඩා ටිකක් වැඩියෙන් පමණයි. නමුත් එම වසරේදීම, යුධ හමුදා වෙනුවෙන් වැය කළ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 700ක් වූ බව ගණනය කිරීම්වලින් හෙළි වී තිබෙනවා! මේ බෙදුණු ලෝකයට මොන තරම් තර්ජන එල්ල වුණත් සියලුදෙනාගේම යහපත උදෙසා එක්සත්ව කටයුතු කිරීමට ජාතීන් තුළ පෙලඹීමක් ඇති නොවීම කනගාටුදායකයි.

සෞඛ්‍ය අධිකාරීන් හොඳ චේතනාවකින් වෑයම් දැරුවත් බෝ වන රෝගවලට එරෙහිව කරන සටනේදී තමන්ට ජයගත නොහැකි බාධකයන් තිබෙන බව ඔවුන් වටහාගෙන තිබෙනවා. සමහර ආණ්ඩු රෝග නිවාරණය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීමට අපොහොසත් වීමට පුළුවන්. දැන් ක්ෂුද්‍ර ජීවීන් ඖෂධ බොහොමයකට ප්‍රතිරෝධතාවක් දක්වනවා. ඒ වගේම, ඉතා අවදානම් සහිත ජීවන රටාවක් ගත කරන සමහර අය එම ජීවන රටාව අත්හැරීමට අකමැති විය හැකියි. දුගීකම, යුද්ධය හා සාගත වැනි එක් එක් ප්‍රදේශවලට ආවේණික වූ ගැටලු නිසා රෝගකාරකයන් පහසුවෙන්ම මිලියන ගණනකගේ ශරීර තුළට පිවිසීමට රුකුල් දෙන තත්වයන් බිහි වෙනවා.

අපේ සෞඛ්‍යය ගැන දෙවි උනන්දු වෙනවා

මේ ගැටලුවට ඇත්තෙන්ම විසඳුමක් තිබෙනවා. මිනිස් වර්ගයාගේ සෞඛ්‍යය ගැන යෙහෝවා දෙවි ඉතා උනන්දු වන බවට සාක්ෂි තිබෙනවා. අපේ ප්‍රතිශක්ති පද්ධතියම මේ සඳහා කදිම සාක්ෂියක්. ඒ වගේම, යෙහෝවා පුරාණ ඊශ්‍රායෙලිතයන්ට දුන් බොහෝ නීතිවලින් පැහැදිලි වන්නේ බෝ වන රෝගවලින් ඔවුන්ව ආරක්ෂා කිරීමට ඔහුට වුවමනාවක් තිබූ බවයි. *

ස්වර්ගයේ සිටින තම පියාගේ පෞද්ගලිකත්වය පිළිබිඹු කරන යේසුස් ක්‍රිස්තුස්ද රෝගීන් කෙරෙහි දයානුකම්පාවක් දක්වනවා. ලාදුරු රෝගයෙන් පෙළෙන කෙනෙකුව හමු වූ අවස්ථාවකදී යේසුස් කටයුතු කළ ආකාරය මාක් නම් සුවිශේෂයේ මෙසේ විස්තර කරනවා. “ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්” කියා ලාදුරු රෝගියා යේසුස්ට පැවසුවා. රෝගියා මොන තරම් වේදනාවක් විඳිමින් සිටිනවාද කියා දුටු යේසුස් අනුකම්පාවෙන් පෙලඹී මෙසේ ප්‍රතිචාරය දැක්වූවා. “මා කැමතියි. පවිත්‍ර වෙන්න.”—මාක් 1:40, 41NW.

යේසුස් ආශ්චර්යවත් ලෙස සුව කළේ එක් කෙනෙක් දෙන්නෙක් පමණක් නොවෙයි. මතෙව් නම් සුවිශේෂයේ ලේඛකයා වාර්තා කළ පරිදි, යේසුස් “රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබුණු සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලය පුරාම ගියේය.” (මතෙව් 4:23NW) ඔහු කළ සුව කිරීම් ප්‍රයෝජනවත් වුණේ යුදයේ හා ගලීලයේ සිටි රෝගීන්ට පමණක් නොවෙයි. දේවරාජ්‍යය එදිරිවාදිකමකින් තොරව මිනිසාව පාලනය කරන කාලයේදී සියලුම ආකාරයේ රෝග මුළුමනින්ම නැති වන ආකාරය එම සුව කිරීම්වලින් පූර්වාදර්ශනය කළා. යේසුස් දේශනා කළේ එම රාජ්‍යය ගැනයි.

ලෝ වෙසෙන සැමට නිරෝගිකම නිකම්ම සිහිනයක් නොවෙයි

ලෝ වෙසෙන සියලුදෙනාටම නිරෝගිකම ළඟා කර දීම නිකම්ම සිහිනයක් නොවන බව බයිබලය අපට ස්ථිර කරනවා. අනාගතයේදී “දෙවිගේ කූඩාරම මිනිසා සමඟ” තිබෙන කාලයක් පැමිණෙන බව ප්‍රේරිත යොහන් කලින් දුටුවා. දෙවි විසින් ගන්නා ලද එම පියවර හේතුවෙන් ‘මරණය තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.’ එමෙන්ම ‘පළමු දේවල් පහව යනු ඇත.’ මෙය නිකම්ම බොළඳ පැතුමක් පමණයි කියා ඔබ සිතනවාද? ඊළඟ වගන්තියේ දෙවිම මෙසේ ප්‍රකාශ කරනවා. “මේ වචන විශ්වසනීයය, සැබෑය.”—එළිදරව් 21:3-5NW.

ලෙඩ රෝග තුරන් කරන්නට නම් අනිවාර්යයෙන්ම දුගීකම, සාගින්න සහ යුද්ධද තුරන් කළ යුතු බව නොකිවමනායි. මන්ද මෙම විපත්තිදායක තත්වයන් රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් සමඟ අත්වැල් බැඳගෙනයි වැඩ කරන්නේ. එම නිසා, යෙහෝවා මෙම දැවැන්ත කාර්යය භාර දී තිබෙන්නේ ස්වර්ගික ආණ්ඩුවක් වන ඔහුගේ රාජ්‍යයටයි. එම රාජ්‍යයේ පාලකයා වන්නේ ක්‍රිස්තුස්. ඉතා ඕනෑකමින් කරන මිලියන ගණන් යාච්ඤාවලට පිළිතුරක් වශයෙන් මෙම ආණ්ඩුව පැමිණෙන අතර එය දෙවිගේ කැමැත්ත ලොව මුළුල්ලේම සිදු කරන බවට සහතික කරනවා.—මතෙව් 6:9, 10.

දෙවිගේ රාජ්‍යය පැමිණෙන්නේ කවදාද? යේසුස් එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අනාවැකියක් පළ කළා. ඔහු පැවසුවේ, වැඩි කල් නොගොස් රාජ්‍යය විසින් මෙම වෙනස්කම් සිදු කරනු ලබන බවට අඟවන ලකුණක් සපයන සිදුවීම් දාමයක් ලෝකයේ ජනයා දකීවි කියායි. “එක් තැනක් පාසා තවත් තැනක වසංගත” ඇතිවීම මෙම ලකුණේ එක් අංගයක් බව ඔහු කියා සිටියා. (ලූක් 21:10, 11NW; මතෙව් 24:3, 7) මෙහිදී “වසංගත” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙහි අර්ථය වන්නේ “මාරාන්තික වූ බෝ වන රෝග” යන්නයි. වෛද්‍ය විද්‍යාව මොන තරම් දියුණුවක් අත් කරගෙන තිබුණත් 20වන සියවස පුරාම වසංගත ඉතා භයංකර ආකාරයකින් මිනිසුන්ට පීඩා කළ බව පැහැදිලියි.—“1914 සිට වසංගත හේතුවෙන් සිදු වූ මරණ” යන කොටුව බලන්න.

සුවිශේෂ පොත්වල සඳහන් යේසුස්ගේ වදන්වලට අනුරූපී වන අනාවැකියක් අපට එළිදරව් පොතේ කියවන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයේ බලය අත් පත් කරගන්නා විට ඔහු සමඟ අශ්වාරෝහකයන් කිහිපදෙනෙක් ගමන් කරන බව එහි විස්තර කර තිබෙනවා. හතරවන අශ්වාරෝහකයා ගමන් කරන්නේ “සුදුමැලි අශ්වයෙකු” පිටයි. ඔහු “මාරාන්තික වසංගත” ඇතිවීමට සලස්වනවා. (එළිදරව් 6:2, 4, 5, 8NW) ප්‍රධානතම බෝ වන රෝග හේතුවෙන් 1914 සිට මිය ගිය සංඛ්‍යාව ගැන සිතා බලද්දී මෙම සංකේතාත්මක අසරුවා ඇත්තෙන්ම ගමන් කරමින් සිටින බව නිසැකයි. ලෝ පුරාම වෙසෙන ජනයා “මාරාන්තික වසංගත” නිසා වේදනා විඳීම, දෙවිගේ රාජ්‍යය ඉක්මනින්ම පැමිණෙන බවට තවත් සාක්ෂියක්. *මාර්ක් 13:29.

බෝ වන රෝගවලින් එල්ල කර ඇති දරුණු ප්‍රහාර දශක කිහිපයක් පුරා මැඩපැවැත්වීමට වෛද්‍ය විද්‍යාව සමත් වී තිබුණත් අපට දැන් අලුත් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ගැටලුව සදහටම විසඳීම සඳහා අපිට මිනිසෙකුට වඩා උසස් කෙනෙකුගේ මැදිහත් වීම අවශ්‍ය බව පැහැදිලියි. අපේ මැවුම්කරු එම විසඳුම ගෙනෙන බවට පොරොන්දු වෙනවා. අනාගතවක්තෘ යෙසායා අපට සහතික කරන්නේ දෙවිගේ රාජ්‍යය යටතේ “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියායි. ඒ වගේම, ‘දෙවි මරණය සදාකාලයටම ගිල දමන්නේය. ස්වාමි වූ යෙහෝවා සියලු මුහුණුවලින් කඳුළු පිස දමන්නේය.’ (යෙසායා 25:8; 33:22, 24) ඒ දවස උදා වන විට ලෙඩ රෝග මුළුමනින්ම තුරන් කරනු ලබන බව නියතයි!

[පාදසටහන්වල]

^ 8 ඡේ. මෝසෙස්ට දුන් නීතියේ මලපහ ඉවත් කිරීම, සනීපාරක්ෂාව, පිරිසිදුකම හා රෝගීන්ව වෙන් කර තැබීම පිළිබඳව උපදෙස් දී තිබුණා. වෛද්‍ය එච්. ඕ. ෆිලිප්ස් පෙන්වා දුන් පරිදි, “ලිංගික කාරණා, රෝග නිර්ණය, ප්‍රතිකාර ක්‍රම හා රෝග වැළැක්වීමට ගත යුතු පියවර ගැන බයිබලයේ සඳහන් වන තොරතුරු හිපොක්‍රටීස්ගේ මතවලට වඩා ඉතා දියුණු වන අතර එම තොරතුරු ඉතා විශ්වාස කටයුතුයි.”

^ 15 ඡේ. දෙවිගේ රාජ්‍යයේ පැමිණීම ළං වී ඇති බවට සාක්ෂි සපයන තවත් ලක්ෂණ ගැන කියවා බැලීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[22වන පිටුවේ කොටුව]

1914 සිට වසංගත හේතුවෙන් සිදු වූ මරණ

මෙම සංඛ්‍යා ලේඛනවල සඳහන් වී තිබෙන්නේ දළ තොරතුරුයි. එනමුත් 1914 සිට වසංගත මිනිසාට කොයි තරම් හිරිහැර කර ඇද්ද කියා එමගින් පැහැදිලි වෙයි.

වසූරිය (මිලියන 300 සිට 500 දක්වා සංඛ්‍යාවක්) වසූරිය සුව කිරීමට සාර්ථක ඖෂධයක් සොයාගැනීමට සමත් වුණේ නැහැ. අන්තිමේදී, 1980 වන විට ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කළ දැවැන්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් මාර්ගයෙන් රෝගය තුරන් කිරීමට සමත් වුණා.

ක්ෂය රෝගය (මිලියන 100 සිට 150 දක්වා සංඛ්‍යාවක්) අද සෑම වසරකදීම ක්ෂය රෝගයෙන් මිලියන දෙකක් පමණ සංඛ්‍යාවක් මිය යනවා. ඒ වගේම, ලෝකය පුරාම 3දෙනෙකුගෙන් එක් කෙනෙකුට ක්ෂය රෝග බැසිලය ශරීරගත වී තිබෙනවා.

මැලේරියාව (මිලියන 80 සිට 120 දක්වා සංඛ්‍යාවක්) විසිවන සියවසේ මුල් භාගය තුළදී සෑම වසරකදීම මැලේරියාවෙන් මිය ගිය සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වුණා. දැන් මැලේරියාවෙන් වැඩියෙන්ම මිය යන්නේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි අප්‍රිකානු රටවල ජනයායි. එම ප්‍රදේශවල සෑම වසරකම තවමත් මිලියනයකට අධික පිරිසක් මැලේරියාවෙන් මිය යනවා.

ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව (මිලියන 20 සිට 30 දක්වා සංඛ්‍යාවක්) ඇතැම් ඉතිහාසඥයන්ගේ මතයට අනුව ඊට වඩා විශාල සංඛ්‍යාවක් මිය ගියා. පළමුවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ මෙම මාරාන්තික වසංගතය ලෝකයට පහර දුන්නේ 1918දී හා 1919දීයි. “ග්‍රන්ථිමය මහාමාරියෙන්වත් ඒ තරම් සුළු කාල පරතරයක් තුළදී ඒ තරම් විශාල පිරිසක් මිය ගියේ නැත.” එසේ සඳහන් වන්නේ මානවයා හා ක්ෂුද්‍ර ජීවීන් නම් පොතෙයි.

ටයිෆස් උණ (මිලියන 20ක් පමණ) බොහෝවිට ටයිෆස් වසංගතයක් ඇති වූයේ යුධ සමයේයි. පළමුවන ලෝක යුද්ධය ටයිෆස් වසංගතයකට අත දුන් අතර එමගින් නැඟෙනහිර යුරෝපයේ රටවල මහත් ව්‍යසනයක් සිදු වුණා.

ඒඩ්ස් (මිලියන 20කට අධික පිරිසක්) මෙම නවීන දින වසංගතය නිසා සෑම වසරකම මිලියන තුනක් ජීවිතක්ෂයට පත් වෙනවා. එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන මගින් ගණනය කර ඇති පරිදි “රෝගය වැළැක්වීමට හා ඊට ප්‍රතිකාර කිරීමට ප්‍රබල වෑයමක් නොදැරුවොත් වර්ෂ 2000 සිට 2020 දක්වා වූ කාලය තුළදී . . . මිලියන 68ක් මිය යාවි.”

[21වන පිටුවේ පින්තූර]

දෙවිගේ රාජ්‍යය යටතේ මෙවැනි රෝගවලින් තර්ජනයක් එල්ල නොවෙයි

ඒඩ්ස්

මැලේරියාව

ක්ෂය රෝගය

[හිමිකම් විස්තර]

ඒඩ්ස්: CDC; මැලේරියාව: CDC/Dr. Melvin; ක්ෂය රෝගය: © 2003 Dennis Kunkel Microscopy, Inc.

[23වන පිටුවේ පින්තූරය]

යේසුස් සියලු ආකාර රෝග හා ආබාධ සුව කළා