Skip to content

පටුනට යන්න

ශාරද පීනසෙන් පෙළෙන්නන් මෙපමණ වැඩි මන්ද?

ශාරද පීනසෙන් පෙළෙන්නන් මෙපමණ වැඩි මන්ද?

ශාරද පීනසෙන් පෙළෙන්නන් මෙපමණ වැඩි මන්ද?

ස්පාඤ්ඤයේ පිබිදෙව්! වාර්තාකරු විසින්

ඔබේ ඇස් කසයි, කඳුළු ගලයි, දවස පුරාම කිඹුහුම් යයි, නහයෙන් දිගටම හොටු දියර ගලයි, ඔබට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙයි. ඇයි මේ? ඔබට සමහරවිට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ රෝග ලක්ෂණ තිබෙන්නේ පරාගවලින් ගහන පරිසරයක සිටින විට නම් ඔබ මේ පීඩා විඳින්නේ ශාරද පීනසෙන් වෙන්න පුළුවන්. තත්වය ඒක නම් ඔබ තනි වී නැහැ. ඔබත් එක්ක මේ පීඩාව විඳින තව බොහෝදෙනෙක් සිටිනවා. ශාරද පීනසෙන් පෙළෙන බවට සොයාගනු ලබන අයගේ සංඛ්‍යාව සෑම වසරකම වැඩි වෙමින් පවතියි.

“ශාරද පීනස කියන්නේ අපේ ශරීරයට ඇතුල් වන ද්‍රව්‍යයක් අහිතකරයයි සලකා ශරීරය ඊට සාමාන්‍යයට වඩා වැඩි ප්‍රතිචාරයක් දැක්වීම මිස වෙන කිසිවක් නොවන බව” මූහේර් ඩිඕයි නම් සඟරාව වාර්තා කරයි. “පරාග ඇතුළු හානිදායක නොවන ආගන්තුකයයි සලකනු ලබන ඕනෑම දෙයක් අසාත්මිකතාවලින් පෙළෙන අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතික්ෂේප කරයි.” ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙලෙස පමණට වඩා ක්‍රියා කිරීම නිසා මුලින් සඳහන් කළ පීඩාකාරී රෝග ලක්ෂණ මතු කරයි.

වර්ෂ 1819දී ඉංග්‍රීසි ජාතික කාය වෛද්‍යවරයෙකු වූ ජෝන් බොස්ටොක්, ශාරද පීනස ගැන විස්තර කළා. මේ ගැන විස්තර කළ පළමුවැන්නා මොහුයි. වසරේ යම් කාලවලදී ඔහුටම ඇති වූ කරදරකාරී රෝග ලක්ෂණ බොස්ටොක් ලැයිස්තුගත කළා. ඔහුට එම රෝග ලක්ෂණ ඇති වූයේ අලුත කපාපු පිදුරු නිසා බව ඔහු විශ්වාස කළා. නමුත් අසාත්මිකතාව නිසා ඇති වන ලක්ෂණ මතු කරන්නේ විවිධ පරාග වර්ගවලින් බව සොයාගත්තේ පසුවයි. දහනවවෙනි ශතවර්ෂයේ මුල්භාගයේදී බොස්ටොක්ට මුළු එංගලන්තයේම මෙම ආසාදනවලින් පෙළෙන්නන් හමු වූයේ ඉතා ස්වල්පදෙනෙක් පමණයි.

නමුත් අද දින ශාරද පීනසෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව මෙතරම් වැඩි වී තිබෙන්නේ මන්ද? ස්පාඤ්ඤයේ මැඩ්‍රීඩ්හි පිහිටි ඇදුම හා අසාත්මිකතා පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වන දොස්තර කේව්යර් සූබෙසා පරීක්ෂකයන් විසින් සොයා බලනු ලබන සාධක දෙකක් සඳහන් කරයි. මින් එක සාධකයක ශාරද පීනස වැලඳීමට හේතුව ලෙස පෙන්නුම් කරන්නේ ඩීසල් දහනයයි. ඩීසල් දහනයෙන් පිට වන අංශු මගින් අසාත්මික කාරකවලට උත්තේජනයක් ඇති කළ හැකි බවද එයට ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අසාත්මිකතා ඇති වන බවද විශ්වාස කෙරෙනවා. “කාර්මිකකරණය වූ රටවල ජනගහනයෙන් සියයට 20ක් ශාරද පීනසෙන් පෙළෙන අතර නගරබද ප්‍රදේශවල වැසියන්ට නිතර නිතර එය වැලඳෙන බව” අසාත්මිකතා සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් වන ක්වාන් කොට්නි පොමර් පවසයි.

දෙවෙනි සාධකය පෙන්නුම් කරන පරිදි මෙයට හේතුව වී තිබෙන්නේ පමණට වඩා සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වීමයි. ‘අපි ඉපදෙන්නේ ශල්‍යාගාරයකයි. අපි කන්නේ විෂබීජවලින් තොර ආහාරයි. අපි ලෙඩ රෝග බොහෝමයකින් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබාගන්නවා. ඒ වගේම රෝගයක් වැලඳුණු වහාම ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නවා. ඒ නිසාම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කුඩා කාලයේ සිටම හැඩගැහිලා තියෙන්නේ අසාත්මිකතා ඇති කිරීමටයි’ යනුවෙන් වෛද්‍ය සුබෙසා විස්තර කළා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ මෙලෙස සිදු වන පමණ ඉක්මවූ ප්‍රතික්‍රියාවට ඔබත් ගොදුරු වී සිටී නම් ඒ ගැන කලබල වෙන්න එපා! නිවැරදි ලෙස රෝගය නිර්ණය කිරීමෙන් හා ඊට නිසි ප්‍රතිකාර කිරීමෙන් ශාරද පීනසේ රෝග ලක්ෂණ ඇති වන වාර ගණන හා එහි බරපතළකම පාලනය කරගැනීමටත් එමෙන්ම අඩු කරගැනීමටත් පුළුවන්.