Skip to content

පටුනට යන්න

ඔබට උත්තර සොයාගත හැක්කේ කොතැනින්ද?

ඔබට උත්තර සොයාගත හැක්කේ කොතැනින්ද?

ඔබට උත්තර සොයාගත හැක්කේ කොතැනින්ද?

පරිණාමය හා මැවීම අතර සිදු වන කෙළවරක් නැති උණුසුම් විවාදයකදී ඔබට ටිකක් කේන්ති ගොස් තිබෙනවාද? උත්තරය ඔව් නම් එවැනි දෙයක් අද්දැක තිබෙන එකම තැනැත්තා ඔබ පමණක් නොවේ.

මේ විවාදයේ එක් පැත්තක සිටින්නේ විද්‍යාවේදී භාවිත කරන තේරුම්ගැනීමට අමාරු වචන නිතර යොදාගන්න විද්‍යාඥයන් හා විද්වතුන් පිරිසකි. ඔබ උගත් බුද්ධිමත් කෙනෙක් නම් පරිණාමවාදය සත්‍යයක් ලෙස ඔබ පිළිගත යුතුයි කියා ඔවුහු තරයේ පවසති. මේ වාදයේ අනිත් පැත්තේ සිටින්නේ ආගමට ඇලී සිටින අහංකාර උද්ධච්ච පුද්ගලයන් පිරිසකි. හැඟීම් දනවන අයුරින් ඔවුන් පවසා සිටින්නේ ඔබට නියම ඇදහිල්ලක් තිබෙනවා නම් මැවීම පිළිබඳව ඔවුන්ගේ අර්ථකථනය ඔබ පිළිගත යුතු බවයි.

තර්කානුකූලව කරුණු විමසා බලන බොහෝදෙනෙක් එවන් අන්තවාදී මතවලට සවන් දීමට කැමති නැත. අහංකාර දැඩි මතධාරීන් තරයේ ප්‍රකාශ කරන දේවලට වඩා දෙවිගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය වඩාත් සාධාරණව සලකා බැලීම වටී. මෙම ප්‍රශ්නය, වාදයකට තුඩු දෙන විෂයකට හෝ කිසිම ප්‍රයෝජනයක් නොලැබෙන මතවාදයකට වඩා වැදගත් දෙයක් බව මතක තබාගැනීම යහපති. මේ ප්‍රශ්නය හා බැඳි කරුණු ඔබේ ජීවිතයට මෙන්ම ඔබේ අනාගතයටද බලපෑ හැක.

විද්‍යාඥයන් මුහුණ දෙන පොදු ගැටලුවක්

අප දැනගත් පරිදි, සාක්ෂිවලින් පෙනී යන්නේ නිර්මාණකරුවෙක් නොහොත් මැවුම්කරුවෙක් සිටිනවා කියා පවසන ප්‍රසිද්ධ හා උගත් විද්‍යාඥයන් විශාල පිරිසක් සිටින බවයි. තවත් විද්‍යාඥයන් පිරිසක් මැවුම්කරුවෙකු පිළිගැනීමට වඩා වැඩි යමක් කරති. මොවුහු දෙවිගේ පැවැත්ම එකහෙළා ප්‍රතික්ෂේප කරන සෙසු විද්‍යාඥයන් ඇත්තටම විද්‍යාත්මක පැත්තෙන් අවංකව සිටිනවාද යන්න ගැන සැක පහළ කරති.

නිදසුනක් වශයෙන් භූ භෞතික විද්‍යාඥයෙකු වන ජෝන් ආර්. බෝම්ගාඩ්නර් පවසන මෙම වදන් සැලකිල්ලට ගන්න. “කිසිවිටකත් සිදු විය නොහැකි තත්වයක් යටතේ වුවද, අප දකින සංකීර්ණ ජෛව ලෝකය බිහි වී තිබෙන්නේ අහම්බෙන් සිදු වූ අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියා වැලක් නිසා කියා පෙන්වා දීමට අවංක විද්‍යාඥයෙකුට හැක්කේ කෙසේද? එවන් දෙයක් සිදු විය නොහැකි බවට සාක්ෂි තිබියදී එය විශ්වාස කිරීම, මා සලකන්නේ විද්‍යාත්මක පැත්තෙන් අවංක නොවීමක් ලෙසයි.”

සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ රිචඩ් ෆයින්මන් විද්‍යාවේදී අවංක වීම හා සම්බන්ධ තවත් දෙයක් අවධානයට ලක් කළේය. ඔහු විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකදී “සුවිශේෂ වූ අමතර අවංකකමක්” ගැන කතා කළේය. එම අවංකකමට ඇතුළත් වන්නේ “ඔබ අතින් වැරදීම් වීමට තිබෙන ඉඩ කඩ සම්බන්ධයෙන් පිළිගැනීමට විශේෂ වෑයමක් දැරීමයි” කියා ඔහු පැවසුවේය. තමන් අතින් වැරදි සිදු විය හැකි බව අනිවාර්යයෙන් වෙනත් විද්‍යාඥයන් ඉදිරියෙහි සහ මා සිතන ආකාරයට සෙසු ජනයා ඉදිරියෙහිද පිළිගැනීම, “විද්‍යාඥයන් වශයෙන් අපේ වගකීමයි” කියා ඔහු සඳහන් කළේය.

පරිණාමවාදීන් ඔවුන්ගේ මත ගැන කතා කරද්දී, “ඒක වැරදි වෙන්න ඉඩ තිබෙනවා” කියා පවසනවා ඔබ අසා තිබෙනවාද? එවන් නිහතමානිකමක් ඔවුන් අතර දක්නට නොමැති වීම කනගාටුවට කරුණකි. තමන් නිහතමානි මෙන්ම අවංක විද්‍යාඥයන් නම් භෞතික දේවල් අධ්‍යයනය කිරීමට සීමා වී තිබෙන විද්‍යාවට මැවුම්කරුවෙකුගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නවලට උත්තර දීමට නොහැකි බව පිළිගැනීමට ඔවුන්ගේ එම නිහතමානිකම හා අවංකකම හේතුවක් විය යුතුය. ඒ කෙසේවෙතත් මැවීම පිළිබඳ මතවාදයට පක්ෂව කතා කරන ආගමික නායකයන් ගැන කුමක් කිව හැකිද?

ආගමට පක්ෂව කතා කරන්නන් මුහුණ දෙන පොදු ගැටලුවක්

නිහතමානිකම හා අවංකකම ආගමික නායකයන් අතර පවා විරල දෙයකි. බයිබලයේ සඳහන් නැති දේවල් එහි තිබෙනවා කියා තරයේ පවසා සිටින විට අවංකකමක් දැකිය හැකිද? බයිබලයට වඩා ඉහළින් පෞද්ගලික මතිමතාන්තර හා තමන් ප්‍රිය කරන සම්ප්‍රදායන් සලකන අය නිහතමානිද? මැවීම පිළිබඳ සිය මතවල එල්බගෙන සිටින්නන් කර තිබෙන්නේ මේ දේවල්මයි.

නිදසුනක් වශයෙන් මැවීම පිළිබඳ සිය මතවල එල්බගෙන සිටින්නන් නිතර පවසන්නේ මීට අවුරුදු 6,000කට පමණ ඉහතදී මුළු විශ්වයම වචනානුසාරයෙන්ම දවස් හයකින් මැවූ බවයි. මෙවැනි ඉගැන්වීම්වලින් ඔවුන් කරන්නේ “පටන්ගැන්මෙහිදී” දෙවි අහසත් පොළොවත් මැවුවේය කියා බයිබලයෙහි සඳහන් දෙය පිළිබඳව වැරදි අදහසක් මිනිසුන් තුළ ඇති කිරීමයි. මෙහි සඳහන් ‘පටන්ගැන්ම’ විශේෂයෙන්ම කවදාද කියා නිශ්චිතව පැවසිය නොහැකි අවස්ථාවකට යොමු දක්වයි. ඒ අවස්ථාව, වඩාත් නිශ්චිතව දක්වා තිබෙන මැවීමේ “දවස්” ආරම්භ වීමට පෙර විය යුතුයි. (උත්පත්ති 1:1) මෙහිදී සැලකිල්ලට යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ “දවස” කියන වචනයෙහි අර්ථ කිහිපයක් තිබෙන බව උත්පත්ති වාර්තාවෙහි පෙන්වා දීමයි. උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ විස්තර කරන දවස් හයට ඇතුළත් මුළු කාල පරිච්ඡේදයම එක දවසක් ලෙස උත්පත්ති 2:4හි විස්තර කෙරේ. තර්කානුකූලව බලන කල මේ දවස් වචනානුසාරයෙන්ම පැය 24 දවස් නොවේ. ඉන් අදහස් වන්නේ දිගු කාල පරිච්ඡේදයන්ය. මේ සෑම කාල පරිච්ඡේදයක්ම වසර දහස් ගණනකින් සමන්විත විය.

ආගම උගන්වන්නන් ඇදහිල්ල ගැන කතා කරන්නෙත් වැරදිසහගතවයි. මෙයද කනගාටුදායකයි. සමහරුන් ඇදහිල්ල විස්තර කරන්නේ ස්ථිර සාක්ෂිවලින් යුත් පදනමක් නොමැති යම් දෙයක් භක්ත්‍යාදරයෙන් විශ්වාස කිරීම ලෙසයි. තර්කානුකූලව සිතන බොහෝදෙනෙක් එවන් ඇදහිල්ලක් සලකන්නේ පහසුවෙන් රැවටෙනසුලු දෙයක් ලෙසයි. එහෙත් ඊට වෙනස් ආකාරයකට බයිබලය ඇදහිල්ල නිර්වචනය කරන්නේ මෙසේයි. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය; නොපෙනෙන නමුත් සැබෑ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියය.” (හෙබ්‍රෙව් 11:1) මේ නිසා සැබෑ ඇදහිල්ල කියන්නේ හුදෙක් රැවටෙනසුලු දෙයක් මත පදනම් වන දෙයක් නොවේ. එය පදනම් වී තිබෙන්නේ ස්ථිරසාර සාක්ෂි මතයි. හේතු සාධක මතයි.

එසේනම් දෙවි කෙරෙහි ඇදහිල්ල පදනම් වී තිබෙන්නේ කුමන සාක්ෂි මතද? මූලික සාධක දෙකක් මත පදනම් වූ සාක්ෂි මතයි. මෙම සාධක දෙකම විශ්වාස කළ හැකියි.

සාක්ෂි කිරා මැන බැලීම

ප්‍රේරිත පාවුල් මේ ගැන ලියමින් පැවසුවේ මෙසේය. දෙවිගේ “අදෘශ්‍යමාන ගුණාංග, එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවල්වලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත [හැකිය].” (රෝම 1:20) අවුරුදු දහස් ගණනක සිට නැණවත් පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද සොබාදහම මගින් සොයාගත හැකි දෙවිගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි පැහැදිලි ලෙස වටහාගෙන තිබේ.

අප කලින් සලකා බැලූ ලෙස මේ කාරණයේදී විද්‍යාව ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස යොදාගත හැකියි. විශ්වයේ සංකීර්ණතාව හා අනුකූලතාව පිළිබඳව අප තව තවත් දේවල් ඉගෙනගන්න විට සියලු දේ නිර්මාණය කළ තැනැත්තා කෙරෙහි ගරු බියක් ඇති කරගැනීමට අපට තිබෙන හේතුද වැඩි වේ. ඇතැම් විද්‍යාඥයන් තිබෙන සාක්ෂි පිළිගැනීමට කැමති වන අතර, එය ඔවුන් තුළ පැහැදීමක් ඇති කරයි. දෙවිව දැනගැනීමට විද්‍යාව තමන්ට උපකාරවත් වී තිබෙනවා කියා ඔවුන් පවසනවා නිසැකයි. පෙනෙන විදිහට පිළිගත හැකි කොතරම් සාක්ෂි තිබුණත් වෙනත් විද්‍යාඥයෝ ඒවා පිළි නොගනිති. ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?

මේ කාරණය ගැන අවංකව සාක්ෂි කිරා මැන බැලීමට ඔබ කැමති නම්, ඒ සඳහා ඔබට ආරාධනා කරන්න කැමතියි. මේ වැදගත් ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීමට ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොත ඔබට උපකාරවත් වෙයි. * ඊට අමතරව, දෙවිගේ පැවැත්ම පිළිබඳව සාක්ෂි සොයාගත හැකි දෙවන සාධකය වන බයිබලයේ සඳහන් දෑ කිරා මැන බැලීමට එය ඔබට උපකාරවත් වනු ඇත.

බයිබලය ලියා තිබෙන්නේ මිනිස් බුද්ධිය අභිභවා යන බුද්ධියක ආනුභාවයෙන්යයි කියන කරුණට සාක්ෂි රැසක් එහි අඩංගු වේ. නිදසුනක් වශයෙන් එහි අනාවැකි, නැතහොත් පුරෝකථන විශාල ගණනක් අඩංගු වේ. එම අනාවැකිවලින් සමහරක අද අප ජීවත් වන ලෝකයේ පවතින තත්වයන් ඒ ආකාරයටම විස්තර කර ඇත. (මතෙව් 24:3, 6, 7; ලූක් 21:10, 11; 2 තිමෝති 3:1-5) අනාගතයේ සිදු වන දේවල් නිවැරදිව පුරෝකථනය කිරීමට මිනිසුන්ට නොහැක. එවන් දෙයක් කිරීමට හැක්කේ දෙවි හැර වෙන කාටද?

බයිබලය අපට උපකාර කරන්නේ ඇත්තටම දෙවි සිටිනවාද නැද්ද කියන ප්‍රශ්නයට උත්තර සොයාගැනීමට පමණක් නොවේ. දෙවිගේ නාමයද එය අපට කියා දෙයි. ඔහුගේ පෞද්ගලිකත්වය ගැනත් අපට විස්තර කර දෙයි. එමෙන්ම අවුරුදු ගණනාවක් පුරා මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඔහු සැලකිල්ල දක්වා තිබෙන ආකාරයද බයිබලය අපට පවසයි. ඔහු අප වෙනුවෙන් අරමුණු කර තිබෙන දෙය ගැන පවා එය අපට තොරතුරු හෙළි කරයි. මේ සෑම කාරණයකටම පිළිතුරු සොයාගැනීම සඳහා අපට උපකාර කිරීමට විද්‍යාවට නොහැකියි. ඇත්තෙන්ම අපේ ජීවිතවල කල්පවතින බලාපොරොත්තුවක් ඇති කිරීමට විද්‍යාවට නොහැක. යහපත් සදාචාර ප්‍රමිති හා සාරධර්ම ඇති කිරීමටද එයට නොහැකියි.

සදාචාර ප්‍රමිති හා සාරධර්ම සඳහා පදනමක්

කනගාටුවට කරුණක් නම්, වර්තමානයේ ඇතමුන් විද්‍යාවෙන් දිරිගන්වා ඇති ආකල්ප විදහාපෙන්වන ආකාරය දෙස බැලීමේදී පෙනී යන්නේ එමගින් සදාචාරය, ගුණධර්ම හා ප්‍රමිති ටිකෙන් ටික පරිහානියට ලක් වන බවයි. දෙවිව ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යාඥයෙකු වන රිචඩ් ඩෝකින්ස් මෙසේ සඳහන් කළේය. “බුද්ධියක් නොමැති භෞතික බලයන් හා ප්‍රවේණි ආකෘතිවලින් සමන්විත විශ්වයක සමහර මිනිසුන් වේදනා විඳින අතර තවත් අය වාසනාවන්ත ජීවිතයක් ගත කරති. එයට සාධාරණ යුක්තිසහගත හේතුවක් සොයාගැනීමට ඔබට නොහැකියි.” එමගින් ඇති කරන්නේ ලෝකය පිළිබඳව අඳුරුසහගත චිත්‍රයක් බව ඔබට වැටහෙනවාද? යහපත් ලෙස ජීවත් වෙන අයට යහපත් විපාකයක්ද වැරදි කරන අයට දඬුවම්ද නියම කෙරෙන සදාචාර නීති සංග්‍රහයක් මිනිස් සමාජයට අවශ්‍ය බව ඔබ සිතන්නේ නැද්ද?

මෙය මිනිස් වර්ගයා පිළිබඳව බයිබලය දරන අදහස හා දෙවිව පිළි නොගන්නා පරිණාමවාදීන් දරන අදහස් අතර තිබෙන අතිවැදගත් වෙනසකි. මිනිසාට මැවිල්ලෙහි විශේෂ තැනක් හිමි වන බව බයිබලය අවධාරණය කරයි. පරිණාමවාදයට අනුව මිනිසා කියන්නේ බුද්ධියකින් තොර ස්වාභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයකින් අහඹු ලෙස බිහි වූ කෙනෙකි. බයිබලය පැහැදිලි කරන්නේ මිනිසාව යුක්තිසහගත මෙන්ම ප්‍රේමණීය දෙවි කෙනෙකුගේ ස්වරූපයෙන් සාදා තිබෙන අතර මිනිසාට සදාචාරසම්පන්න යහපත් ජීවිත ගත කළ හැකි බවයි. ජීවීන් බේරී ජීවත් වීමට මහත් සටනක් කිරීමේ අදහස දැඩි ලෙස අවධාරණයට ලක් කරන පරිණාමවාදයට ප්‍රේමය හා පරාර්ථකාමිත්වය වැනි මිනිසාගේ ගුණාංග පැහැදිලි කිරීමට නොහැක.

මිනිසාට සැබෑ බලාපොරොත්තුවක් හෝ අරමුණක් ඉදිරිපත් කිරීමට පරිණාමවාදයට කිසිවිටකත් නොහැක. අපේ අනාගතය සම්බන්ධයෙන් මැවුම්කරුගේ උදාර අරමුණ බයිබලය පැහැදිලි කරයි. ඔහු ඉතා පැහැදිලිව ඔහුගේ අරමුණ මෙසේ ප්‍රකාශයට පත් කර තිබේ. “බලාපොරොත්තුවෙන් පිරි අනාගතයකින් මම ඔබට ආශීර්වාද කරන්නෙමි.”—යෙරෙමියා 29:11, කන්ටෙම්පරරි ඉංග්ලිෂ් වර්ෂන්.

මැවුම්කරු ගැන ඉගෙනගන්න

නැණවත් ගීතිකාකරුවෙක් මෙසේ යටහත් පහත්ව පිළිගත්තේය. “යෙහෝවා දෙවි බව දැනගන්න. ඔහු අප මැවුවේය. අපි ඔහුගේය.” (ගීතාවලිය 100:3) මිනිසා බිහි වූයේ අහම්බෙන් කියා පවසන නවීන මතවල තිබෙනවාට වඩා වැඩි අරුතක් එම ගීතිකාකරු නිහතමානීව පිළිගත් දෙයෙහි තිබෙන බව තර්කානුකූලව සිතන බොහෝදෙනෙක් පිළිගනිති.

හොඳම මඟ පෙන්වීම විය යුත්තේ මිනිසාගේ චින්තනය හා දැනුම බවට වූ අහංකාර මතයට ඇතැම් අවස්ථාවලදී නවීන විද්‍යාව අනුබල දෙයි. ප්‍රධාන ආගම්ද නිතර එම වැරැද්ද කර තිබීම කනගාටුවට කරුණකි. කෙසේවෙතත් මිනිසාගේ දැනුම අද මෙන්ම හෙටද සීමිතයි. අධ්‍යාත්මික කාරණා ගැන පුළුල් දැනුමක් තිබුණද ප්‍රේරිත පාවුල් නිහතමානී පුද්ගලයෙකු විය. ඔහු යථාර්ථවාදීව මෙසේ සඳහන් කළේය. “දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලිව පෙනෙන්නේය. . . . දැන් මාගේ දැනුම අසම්පූර්ණය.”—1 කොරින්ති 13:12, නව අනුවාදය.

දෙවි කෙරෙහි සැබෑ ඇදහිල්ල පදනම් වන්නේ නවීන විද්‍යාව මත නොවන බව පැහැදිලිය. එහෙත් කරුණු බුද්ධිමත්ව විමසා බලන කෙනෙකුගේ ඇදහිල්ල තවත් ශක්තිමත් කිරීමට විද්‍යාවට පුළුවන. තෘප්තිමත් මෙන්ම සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට සැබෑ ඇදහිල්ල මෙන්ම ආධ්‍යාත්මික දැනුමද අත්‍යවශ්‍යයි. (මතෙව් 5:3NW) යෙහෝවා ගැනත් මනුෂ්‍ය වර්ගයා හා පොළොව සඳහා ඔහුගේ අරමුණ ගැනත් පුළුල් දැනුමක් ලබාගැනීමට ඔබ බයිබලය අධ්‍යයනය කරනවා නම්, ජීවිතයේ නියම අරුත දැනගැනීම සඳහා පදනමක් ඇති කරගැනීමටද, බලාපොරොත්තුව සඳහා ශක්තිමත් අත්තිවාරමක් දමාගැනීමටද, ඔබට හැකි වෙනවා නිසැකයි.

[පාදසටහන]

^ 18 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කෙරේ.

[19වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔවුන්ගේම මුවින් පිට වූ වදන්

විද්‍යාඥයන් බොහෝදෙනෙක් මැවුම්කරුවෙකු කෙරෙහි තිබෙන තමන්ගේ විශ්වාසය ගැන නොපැකිලව පවසති. ඇතමුන් දෙවි පිළිබඳව විවිධ වූ අපැහැදිලි අදහස් දැරුවත් ඔවුන්ද පිළිගන්නේ බුද්ධිමත් නිර්මාණකරුවෙකු සිටින බව සාක්ෂිවලින් පෙනී යන බවයි. පහත සඳහන් අදහස් සැලකිල්ලට ගන්න.

“විද්‍යාඥයෙකු හැටියට මම අවට පරිසරය දෙස බලන විටත්, එහි තිබෙන ඉන්ජිනේරු තාක්ෂණය යොදාගනිමින් පුදුමසහගතව නිර්මාණය කර ඇති සංකීර්ණ දේවල් නිරීක්ෂණය කරන විටත්, මට පැමිණීමට සිදු වන නිගමනය වන්නේ ඒවායේ පිටුපස යම් බුද්ධිමත් නිර්මාණයක් තිබෙන බවයි.”—ගණිතඥ, ඇන්ඩෲ මකින්ටොෂ්, වේල්ස්, එක්සත් රාජධානිය.

“සොබාදහමේ දැකිය හැකි සංකීර්ණත්වයෙන් පැහැදිලිව කියාපාන්නේ මැවුම්කරුවෙකු සිටින බවයි. ජීව විද්‍යාත්මක හා භෞතික පද්ධති සෑම එකක්ම තේරුම්ගන්න විට පෙනී යන්නේ ඒවායේ පුදුමසහගත සංකීර්ණත්වයක් තිබෙන බවයි.”—ජීව රසායනවේදී ජෝන් කේ. ජී. ක්‍රේමර්, කැනඩාව.

“ජීවීන් අනුකූලතාවකින් ක්‍රියා කරන ආකාරය පැහැදිලිව දැකිය හැකියි. එය ඇති කර තිබෙන්නේ සුපිරි බලයක් හේතුකොටගෙනයි. පෞද්ගලිකව මම එය දෙවි කියා හඳුන්වනවා. ඇදහිල්ල හා විද්‍යාත්මක සත්‍යය අතර එකඟතාවක් තිබෙන බව ජීවීන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වෙයි. ඇදහිල්ල විද්‍යාත්මක සත්‍යයට පටහැනි වෙනවා නොව, එමගින් එය තවත් සම්පූර්ණ කරයි. අපේ විශ්වය පිළිබඳව වඩාත් පහසුවෙන් තේරුම්ගත හැකි අවබෝධයක් එය අපට ලබා දෙයි.”—ජීව විද්‍යාඥ ජාන් දොර්ස්ට්, ප්‍රංශය.

“බුද්ධිමත් පටන්ගැන්මක් සහ භෞතික දේවල් හා නීති අභිභවා යන අධ්‍යාත්මික ‘උණුසුමක්’ ජනිත කරවන දෙයක් නොමැතිව විශ්වය හා මිනිස් ජීවිතය බිහි වුණායයි මට සිතාගන්න බැහැ.”—න්‍යෂ්ටික භෞතික විද්‍යාඥ අන්ද්‍රේ දිමියිට්‍රියිච් සකරොව්, රුසියාව.

“සෑම සත්වයෙකුම ජීවත් වන පරිසරයට ඔබින ලෙස යම් අද්විතීය ආකාරයකින් නිර්මාණය කර තිබේ. මේ නිර්මාණයේ සංකීර්ණත්වය අහඹු ලෙස පරිණාමය වූ බලවේගයන් නිසා ඇති වූවක් නොව, මැවුම්කරුවෙකු නිසා ඇති වූවක් බව පිළිගැනීමට මට සිදු වේ.”—ජීව රසායන විද්‍යාඥ බොබ් හේස්කන්, ඕස්ට්‍රේලියාව.

[20වන පිටුවේ කොටුව⁄පින්තූර]

උත්පත්ති වාර්තාව විද්වතෙකුගේ ඇගයීමට ලක් වේ

න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්යවරයෙකු වන ජෙරල්ඩ් ෂ්‍රෝඩර් මෙසේ සඳහන් කරයි. “වසර බිලියන දාසයකට වඩා වැඩි කාලයක් පුරා සිදු වූ සිද්ධීන් බයිබලය වගන්ති තිස්එකකින් විස්තර කරයි. ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ වචන සිය ගණනක් පමණයි. මේ සිද්ධීන් ගැනම ලියන්න විද්‍යාඥයන්ට නම් වචන මිලියන ගණනක් අවශ්‍ය වී තිබේ. බයිබලයේ වාක්‍ය අටක සත්ව විශේෂවල සමස්ත වර්ධනය සාරාංශගත කෙරේ. බයිබල් වාර්තාව කෙටියෙන් ලියා තිබෙන ආකාරය සහ උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ සඳහන් දේවල් හා ඒවා සිදු වූ අනුපිළිවෙළ අතරත් නවීන විද්‍යාව අතරත් තිබෙන එකඟතාව කැපීපෙනෙන්නකි. උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ විස්තර කර තිබෙන දේවල් වාර්තාගත කර තිබෙන්නේ නවීන විද්‍යාත්මක සොයාගැනීම් දක්නට නොතිබූ සියවස් ගණනාවට ඉහතදී නොව දහස් ගණනකට ඉහතදී බව අප තේරුම්ගන්න විට එම විශිෂ්ටත්වය අපට හොඳින් වැටහෙයි. අපේ ආරම්භය පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තාව සමඟ එකඟ වී තිබෙන්නේ නවීන විද්‍යාවයි.”—The Science of God—The Convergence of Scientific and Biblical Wisdom.

[පින්තූර]

මැවීමේ කාල පරිච්ඡේද හයක් ගැන බයිබලය විස්තර කරයි

[22වන පිටුවේ පින්තූරය]

බයිබලය දෙවිගේ ආනුභාවයෙන් ලියවී තිබෙන බවට ප්‍රබල සාක්ෂි එහි අඩංගු වේ