Skip to content

පටුනට යන්න

‘ඔබේ මැවුම්කරුව සිහි කරන්න’

‘ඔබේ මැවුම්කරුව සිහි කරන්න’

‘ඔබේ මැවුම්කරුව සිහි කරන්න’

‘විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේදී ඔබේ මැවුම්කාර දෙවිව සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැයි ඔබ කියන දවස් උදා වන්නේය.’—දේශනාකාරයා [ධර්මදේශකයා] 12:1, නව අනුවාදය.

ඉහත සඳහන් වන බයිබල් වගන්තිය අපට යම් දේවල් ගැන සිතන්න සලස්වනවා. ඔබට යෞවනයෙක් වෙන්න පුළුවන් ජීවිතේ එකම එක වතාවයි. පසු කලෙක, ඔබ ඔබේ යෞවන කාලය දෙස ආපසු හැරී බැලීමට ඉඩ තිබෙනවා. එවිට ඒ කාලය ගත කළ ආකාරය ගැන ඔබ සෑහීමකට පත් වන්නේ නම් ඔබට මහත් ප්‍රීතියක් දැනේවි. එසේත් නැත්නම් ඒ ගැන පසුතැවීමට සිදු වුණොත් ඔබට මහත් වේදනාවක් දැනේවි. ඔබේ අද්දැකීම කුමක් වේවිද? අවසාන ප්‍රතිඵලය ඔබට පාලනය කළ හැක්කේ කෙසේද?

ඉහත සඳහන් වූ බයිබල් පදයේ උනන්දු කරන්නාක් මෙන් ‘ඔබේ මැවුම්කරුව සිහි කරන්න.’ ඔබට එසේ කළ හැක්කේ කෙසේද? දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් ඔහුගේ නීති හා ප්‍රතිපත්තිවලට ගරු කිරීමෙන්. මෙයින් අදහස් වන්නේ නැහැ ඔබට සතුට ගෙන දෙන සියල්ල ප්‍රතික්ෂේප කර ආගමික උන්මත්තකයෙකු මෙන් තාපස ජීවිතයක් ගත කළ යුතුයි කියා. ඊට හාත්පසින් වෙනස්ව, ඔබේ මැවුම්කරුව සිහි කිරීමෙන්, කියා නිම කරන්න බැරි තරම් ප්‍රීතියක් ඔබට ලබාගත හැකියි. ඒ කෙසේද?

මෙය නිදර්ශනයකින් පැහැදිලි කරගනිමු. ඔබට මෝටර් රථයක් හා වාහන පැදවීමට බලපත්‍රයක් ලබා දී ඇතැයි සිතන්න. පෙර නොතිබූ නිදහසක් දැන් ඔබට තිබෙනවා. එය ඔබේ ප්‍රීතියට බොහෝ සේ දායක වෙන්නත් පුළුවන්. ඔබට කොහේ කොහේ යන්න පුළුවන්ද කියා සිතා බලන්න! එහෙත් අලුතින් ලැබුණු එම නිදහසත් සමඟම ඔබට මහත් වගකීමක්ද පැවරේ. ඔබ වාහනය පදවන විට මාර්ග නීති අනුගමනය කළ යුතුයි. මාර්ග සංඥා එළිවලට, වාහනය පදවන වේග සීමාවට හා අනතුරු අඟවන සංඥාවලට හොඳ අවධානයක් දිය යුතුයි. වාහන පදවන විට ඔබ ඉටු කළ යුතු මේ වගකීම් ඔබේ සතුටට ලොකු බාධාවක් කියා ඔබ සිතනවාද? කොහෙත්ම නැහැ! මන්ද ඉන් ඔබට ආරක්ෂාවක් ලැබෙනවා. රිය අනතුරක් සිදු වුණොත් එය ප්‍රීතිමත් අද්දැකීමක් වෙයි කියා සිතන්න බැහැ නේද?

ඔබේ මැවුම්කරු වන යෙහෝවා දෙවි ඔබට දී තිබෙන නිදහසත් ඒ හා සමානයි. ඔබ වැඩිහිටිභාවයට ළඟා වෙද්දී ඔබේ ජීවිත මඟ තේරීමට ඔහු ඔබට නිදහස ලබා දී තිබෙනවා. (ද්විතීය කථාව 30:19; හිතෝපදේශ 27:11) අපට එවැනි නිදහසක් දී තිබීම මොන තරම් පුදුමසහගත වරප්‍රසාදයක්ද! එහෙත් එම නිදහස අපට ලැබෙන්නේ බැරෑරුම් වගකීමක් සමඟිනුයි. යෙහෝවා තම වචනය තුළ ‘මාර්ග නීති,’ හෙවත් ඔබ ජීවිතයේදී අනුගමනය කළ යුතු ප්‍රමිති සඳහන් කර තිබෙනවා. මෙම ප්‍රමිති ඔබේ සතුටට බාධාවක්ද? කොහෙත්ම නැහැ! ඒ වෙනුවට, අද බොහෝ යෞවනයන් අද්දකින සිත්තැවුල් හා දුක් වේදනාවලින් ඔබ ආරක්ෂා වෙනවා.

දැන් 30 ගණන්වල පසු වන ෆ්‍රෙඩ්රීකෝ එය සත්‍යයක් බව අද්දැක තිබෙනවා. පාසැල් යන කාලයේදී ඔහුගේ මිතුරන් විවිධ නරක පුරුදුවල නියැලී සිටි බව ඔහු දුටුවා. ඔහු දැනගෙන සිටියා ඒවායින් ඔහු වැළකී සිටිය යුතුයි කියා. “එයාලා හරිම සතුටින් සිටි බව පේන්න තිබුණත් එයාලා ඇත්තටම සතුටින් හිටියේ නැහැ කියලා මට තේරුණා” කියා ඔහු පවසනවා. නව යොවුන් වියේදී ඔහුගේ ජීවිතයට මඟ පෙන්වීමක් ලබා දුන් බයිබල් ප්‍රමිති දැනගෙන සිටීම ගැන ෆ්‍රෙඩ්රීකෝ සතුටු වෙනවා. “අනිත් යෞවනයන් වගේම මටත් ප්‍රශ්න තිබුණා තමයි. ඒත් බයිබලය ඇත්තෙන්ම මාව ආරක්ෂා කළා. ඒ වගේම මට උදව් කරන්න හැමවිටම සෙසු ක්‍රිස්තියානීන් හිටියා. බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම නිසා මගේ ජීවිතයේ කියා නිම කරන්න බැරි සතුටක් මම අද්දකිනවා!”

යෙහෝවා දෙවි කැමති වන්නේ ඔබ ඇත්තටම සතුටින් සිටිනවා දකින්නයි. විනෝද වීමෙන් හිතේ තිබෙන වේදනාව සඟවා බොරු සතුටක් පෙන්විය හැකි නමුත් සතුට කියන්නේ එය නොවෙයි. බයිබලය පවසන්නේ, ‘ඔබේ යොවුන් වියේදී ප්‍රීති වන්න. ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේවා’ කියායි. ඒත් එම වගන්තියේම අනතුරු අඟවන්නේ මෙසේයි. “මේ සියල්ල ගැන දෙවි ඔබ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.”—දේශනාකාරයා [ධර්මදේශකයා] 11:9, න.අ.

ඔබේ මැවුම්කරුව නිතරම සිහියේ තබාගනිමින් ඔබට ඔහු දී ඇති නිදහස ඥානවන්තව භාවිත කරන්න. ඔබ එසේ කරනවා නම්, ඔබේ මැවුම්කරුත් ඔබව සිහියේ තබාගනිමින් නිම කරන්න බැරි සතුටක් ඔබට ලබා දෙන බව ස්ථිර විය හැකියි. බයිබලය පවසන්නේ, “යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය. ඔහු ඊට දුක එකතු නොකරන්නේය” කියායි.—හිතෝපදේශ 10:22.

නව යොවුන් වියේදී ඇති වන අභියෝග ජයගැනීමට උපකාරයක් වශයෙන්, පිටු 320කින් යුත් යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති ප්‍රකාශනය යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ දක්වා මෙම පොතේ පිටපත් මිලියන 34ක් පමණ භාෂා 77කින් මුද්‍රණය කර තිබෙනවා. ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් ඔබටත් පිටපතක් ලබාගත හැකියි.

[8, 9වන පිටුවේ පින්තූර]

ඔබේ නව යොවුන් විය සාර්ථක කරගැනීම සඳහා

දෙවිගේ වචනය කියවීමට කාලය ගන්න

දේවසේවය සඳහා මහත් පරිශ්‍රමයක් දරන්න

නරක ආශ්‍රයෙන් වැළකී සිටින්න

ඔබේ දෙමව්පියන් සමඟ හොඳ අදහස් හුවමාරුවක් තබාගන්න

[හිමිකම් විස්තර]

විවරණිකාවේ කවරය: Pictorial Archive (Near Eastern History) Est.