Skip to content

පටුනට යන්න

දෙවි කෙනෙකුව විශ්වාස කිරීම විද්‍යාවට පටහැනිද?

දෙවි කෙනෙකුව විශ්වාස කිරීම විද්‍යාවට පටහැනිද?

දෙවි කෙනෙකුව විශ්වාස කිරීම විද්‍යාවට පටහැනිද?

ඔබ විද්‍යාව පිළිබඳ පොත් පත් කියවන විට ආගමික යෙදුම්ද හමුවීම අසාමාන්‍ය දෙයක් නොවේ. උදාහරණයක් හැටියට විද්‍යාඥයන් ගැන සඳහන් කරන ඇතැම් අවස්ථාවලදී ඔවුන්ව “නව තාක්ෂණික සංස්කෘතියක නායක පූජකයන්” ලෙසත් ඔවුන්ගේ පරීක්ෂණාගාර “දේවස්ථාන” හෝ “පූජනීය ස්ථාන” ලෙසත් හඳුන්වා තිබේ. මෙවැනි යෙදුම් හුදෙක් රූපකාලංකාර පමණක් බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේවෙතත් එම යෙදුම් නිසා මෙම වැදගත් ප්‍රශ්නය ඉස්මතු වේ. ඇත්තටම විද්‍යාව හා ආගම අතර සිතන තරම් විශාල පරතරයක් තිබේද?

විද්‍යාඥයන්ගේ දැනුම වැඩි වන විට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසයෙන් ඔවුන් තව තවත් දුරස් වන බව සමහරුන් සිතිය හැකියි. විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින බොහෝදෙනෙකු ආගමික විශ්වාසයන් අවමානයට ලක් කරන බව සත්‍යයකි. එහෙත් එම ක්ෂේත්‍රයේම සිටින තවත් සැලකිය යුතු පිරිසක් අප අවට තිබෙන ලෝකයේ නිර්මාණශීලීත්වය පිළිබඳ සාක්ෂි කෙරෙහි දැඩි අවධානයක් යොමු කරති. තවත් විද්‍යාඥයන් පිරිසක් නිර්මාණශීලීත්වයට වඩා වැඩි දෙයක් කෙරෙහි සිත යොමු කරති. ඔවුන් නිර්මාතෘවරයෙකු ගැන සිතා බැලීමට පටන්ගෙන තිබේ.

වෙනස් රැල්ලක්

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සියවස් එකහමාරක පමණ කාලයක සිට පුළුල් පිළිගැනීමකට ලක්ව තිබේ. දෙවි කෙනෙකුව විශ්වාස කිරීම නූගත්, පහසුවෙන් මුළා වෙන හා බොළඳ මිනිසුන්ට සීමා වී තිබෙන දෙයක් කියා ඇතැම් උගතුන් අදත් සිතනවා විය හැකියි. එනමුත් එවැනි දෙයක් සිදු වී නැත. විද්‍යාඥයන් බොහෝදෙනෙක් මැවුම්කරුවෙකුව විශ්වාස කිරීම ගැන විවෘතව අදහස් පළ කරති. ඔවුන් දෙවි පුද්ගලයෙකු කියාවත් බයිබලයේ සඳහන් දේවල්වත් විශ්වාස නොකරන බව ඇත්තයි. එනමුත් බුද්ධිමත් නිර්මාණකරුවෙකුගේ පැවැත්මට සාක්ෂි සොබාදහමේ පවතින නිර්මාණශීලීත්වය මගින් සපයන බව ඔවුහු ඒත්තුගෙන සිටිති.

එවැනි විද්‍යාඥයන් බොළඳ අදහස් දරන අය කියා පැවසිය හැකිද? අපේ විශ්වයත් එහි ජීවයත් බුද්ධිමත් නිර්මාණකරුවෙකුගේ නිර්මාණ බව විශ්වාස කරන විද්‍යාඥයන් ගැන වාර්තා කරමින් ද නිව් යෝක් ටයිම්ස් සඟරාවේ එක්තරා පොතක් ඇගයීමට ලක් කරමින් පළ වූ ලිපියක මෙසේ සඳහන් වේ. “ඔවුන්ට PhD උපාධි තිබේ. ඔවුහු සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල විවිධ තනතුරු දරති. ඔවුන් ඩාවින්ගේ මතයට විරුද්ධව ඇති කරන තර්ක සනාථ කිරීමට ඉදිරිපත් කරන සාක්ෂි පදනම් වන්නේ ශුද්ධ ලියවිල්ල මත නොවේ. එම තර්ක විද්‍යානුකූලයි.”

එම ලිපියේ තවදුරටත් මෙසේද සඳහන් වේ. බුද්ධිමත් නිර්මාණයකට පක්ෂව කරුණු දක්වන්නන් “සාක්ෂි ගොඩනඟා ගන්නේ අඥාන කරුණු මත නොවේ. . . . ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ජීවය හා සම්බන්ධ සෑම දෙයක්ම පැහැදිලි කිරීමට ඩාවින්ගේ පරිණාමවාදය හා වෙනත් ඕනෑම ආකාරයක ‘ස්වභාවිකවාදයක්’ ප්‍රමාණවත් බවට වූ අදහසයි. එවන් මතවලින් කියාපාන්නේ බුද්ධියකින් තොර, කාලයක් පුරා ඉබේම හා ක්‍රමානුකූලව ජනිත වූ හේතුවල ප්‍රතිඵලයක් ලෙස ජීවය බිහි වූ බවයි. ඔවුන් තර්ක කරන ආකාරයට ජෛව ලෝකය මගින් බුද්ධිමත් නිර්මාණයට සපයන සාක්ෂි ඕනෑ තරම් තිබේ. එම සාක්ෂි බුද්ධිමත් නිර්මාණකරුවෙකු ජෛව සම්භවයට මැදිහත් වූ බව බොහෝදුරට තහවුරු කරයි.” *

මෙවැනි නිගමන විද්‍යාඥයන් අතර පුදුම දනවන අයුරින් බහුලව දක්නට තිබේ. උදාහරණයක් හැටියට 1997දී නිකුත් කළ අධ්‍යයනයකින් හෙළි වූයේ එක්සත් ජනපදයේ සිටින විද්‍යාඥයන්ගෙන් සියයට 40ක් දෙවි කෙනෙකු සිටිනවා කියාත්, ඔහු පුද්ගලයෙකු කියාත් විශ්වාස කරන බවයි. මේ හා සමාන සමීක්ෂණයක් 1914දී සිදු කරන ලදි. එදා සිට මේ දක්වා ඒ ප්‍රතිශතය වෙනස් වී නැත.

එතරම් ආගමික නැඹුරුවාවක් දක්නට නොමැති යුරෝපය වැනි රටවල එම ප්‍රතිශතය අඩුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් බ්‍රිතාන්‍යයේ පළ වන පුවත්පතක (The Guardian) වාර්තා වූයේ “දත්ත නිවැරදිව සඳහන් කළ හැකි, පරීක්ෂණවලට ලක් කළ හැකි භෞතික විද්‍යාව හා භූ විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි නියැලී සිටින අය අතර ආගමික විශ්වාසය ඉහළ මට්ටමක පවතින අතර පරීක්ෂණාත්මකව නිවැරදිව ඔප්පු කළ නොහැකි මානව විද්‍යාව වැනි විද්‍යා ක්ෂේත්‍රවල සිටින අය අතර එය පහළ මට්ටමක පවතින” බවයි. එහි තවදුරටත් මෙසේ සඳහන් විය. “විද්‍යා ක්ෂේත්‍රයේ ක්‍රිස්තියානීන් වැනි නම්වලින් යුත් සංවිධාන එක්සත් රාජධානියේ තිබේ.” බ්‍රිතාන්‍යයේ “විද්‍යා සිසුන් අතර පල්ලි යන අයගේ ප්‍රතිශතය කලා විෂයන් හදාරන සිසුන්ට වඩා ඉහළයි” කියාද එම පුවත්පතේ වාර්තා විය.

මෙවන් තත්වයක් තිබුණද විද්‍යාඥයන්ගෙන් බහුතරයක් මැවුම්කරුවෙකු පිළිබඳ අදහසට නිග්‍රහ කරන බව පෙනේ. ඔවුන් කරන මෙම හෙළාදැකීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අතර සිටින අයට එල්ල වන්නේ දැඩි පීඩනයකි. තාරකා විද්‍යාඥ ඇලන් සැන්ඩෙජ් මෙසේ පවසයි. “තමා ඇදහිලිවන්තයෙක් කියා හෙළි කිරීමට යමෙක් අකමැති විය හැකියි.” එයට හේතුව කුමක්ද? එකම වෘත්තීය ක්ෂේත්‍රයේ සිටින අයගෙන් එල්ල වන “නින්දා අපහාස අතිප්‍රබල නිසයි” කියා ඔහු පවසයි.

මෙහි ප්‍රතිඵලයක් හැටියට, මැවුම්කරුවෙකු කෙරෙහි තිබෙන විශ්වාසය හා විද්‍යාව අතර ගැටීමක් අනිවාර්යයෙන්ම නොතිබෙන බව නිර්භීතව පවසන විද්‍යාඥයන්ට හැඟෙන්නේ, සැක පහළ කරන බහුතරයකගේ අදහස් මගින් තමන්ගේ හඬ යටපත් වන බවයි. නිතර නොසලකාහරිනු ලබන ඔවුන්ගේ හඬ හා ඔවුන්ගේ හැඟීම් ඊළඟ ලිපිවල අවධානයට ලක් කරයි. කෙසේවෙතත් මේ සියල්ල ඔබට පෞද්ගලිකව බලපාන්නේ කෙසේද? දෙවිව සොයාගැනීම සඳහා ඔබට උපකාර කරන්න විද්‍යාවට හැකිද? දිගටම කියවා බලන්න.

[පාදසටහන]

^ 7 ඡේ. “බුද්ධිමත් නිර්මාණකරුවෙකු” පිළිබඳ අදහසට සහය පළ කරන බව ප්‍රසිද්ධියේ කියා සිටින ප්‍රමුඛ පෙළේ විද්වතුන් හා විද්‍යාඥයන් අතර පහත දැක්වෙන අයගේ නම් සඳහන් කළ හැකියි. බර්ක්ලිහි පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ නීතිය උගන්වන ෆිලිප් ඊ. ජොන්සන්; ජීව රසායන විද්‍යාඥයෙකු හා පරිණාමය පිළිබඳ පොතක (Darwin’s Black Box—The Biochemical Challenge to Evolution) කර්තෘවරයෙකු වන මයිකල් ජේ. බීහි; ගණිතඥ විලියම් ඒ. ඩෙම්ස්කී; තර්ක ශාස්ත්‍රඥ ඇල්වින් ප්ලැන්ටිංගා; භෞතික විද්‍යාඥයන් වන ජෝන් පෝකින්හෝන් හා ෆ්‍රීමන් ඩයිසන්; තාරකා විද්‍යාඥ ඇලන් සැන්ඩෙජ්. මෙහි සඳහන් කළ නොහැකි තරම් විශාල පිරිසක්ද එවන් විද්වතුන් අතර සිටිති.

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

තරු: ROE/Anglo-Australian Observatory අනුග්‍රහයෙනි. ඡායාරූපය: David Malin විසිනි