Skip to content

පටුනට යන්න

පවුලේ හිස ලෙස ක්‍රියා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පවුලේ හිස ලෙස ක්‍රියා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

පවුලේ හිස ලෙස ක්‍රියා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

බයිබලයට අනුව “ස්ත්‍රියකගේ හිස පුරුෂයායි.” (1 කොරින්ති 11:3; එෆීස 5:23) නමුත් බයිබලයට ගෞරවය දක්වනවායයි කියා සිටින බොහෝදෙනෙකුට ස්වාමිපුරුෂයා නිවසේ හිස හෙවත් ගෘහ මූලිකයාය යන ප්‍රතිපත්තිය යල් පැන ගිය එකක් ලෙසට පමණක් නොව භයානක දෙයක් ලෙසටයි පෙනෙන්නේ. එක් විවාහක යුවළක් මෙවන් ප්‍රකාශයක් කළේය. “ස්ත්‍රීන් [තමන්ගේ ස්වාමිපුරුෂයන්ට] ‘කැමැත්තෙන්ම යටත්’ විය යුතුය යන මතය එහි අන්තයටම ගෙන යෑම ශාරීරික, චිත්තවේගීය හිංසාවලට මඟ පාදන්න පුළුවන්.” කනගාටුවට කාරණයක් වන්නේ මූලිකත්වය අයුතු ලෙස යොදාගැනීම අද බහුලව දක්නට තිබීමයි. එක් ලේඛිකාවක් කීවේ මෙවැන්නක්. “හුඟක් රටවල භාර්යාවට තැලීම සලකන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. එය පිරිමි පක්ෂය සතු අයිතිවාසිකමක් හැටියට ගීතවල, ආප්තෝපදේශවල සහ විවාහ උත්සවවලදී වර්ණනා කෙරෙනවා.”

සමහරෙක් කියන්නේ මූලිකත්වය පිළිබඳ බයිබල් ප්‍රතිපත්තිය මෙවන් කෲර දේවලට හේතු වී ඇති බවයි. මූලිකත්වය පිළිබඳ බයිබල් ඉගැන්වීම ස්ත්‍රීන්ව එලෙස පහත් කරමින් ගෘහස්ථ සැහැසියාවට දිරි දෙනවාද? ඇත්තෙන්ම පවුලේ හිස ලෙස ක්‍රියා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? *

මූලිකත්වය කෲර ඒකාධිපතිකමක් නොවේ

බයිබලයේ සඳහන් වන මූලිකත්වය ප්‍රේමණීය විධිවිධානයක් වන අතර ඉන් කිසි ලෙසකින්වත් කෲර ආධිපත්‍යයක් නොඇඟවේ. පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි නිරතුරුවම පාහේ බලපවත්වා තිබෙන කෲර ආධිපත්‍යය පටන්ගත්තේ දෙවි විසින් ස්ථාපිත කළ නීතිවලට මිනිසා අකීකරු වූ පසුවය. (උත්පත්ති 3:16) ඒදන් උයනේ සිද්ධියෙන් පටන් මිනිසා නිතරම පාහේ තම බලය අනිසි ලෙස යොදාගනිමින් අන් අයගෙන් කුරිරු ආකාරයකින් අනිසි ප්‍රයෝජන ගෙන තිබේ. ස්ත්‍රීන් හා දරුවන් මෙයට ගොදුරු වූවන් අතර වෙත්.

කෙසේවෙතත් එය කවදාවත් දෙවිගේ අරමුණට එකඟ දෙයක් නොවෙයි. තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරන අයව යෙහෝවා පිළිකුල් කරන්නේය. ‘තමාගේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිකම් කළ’ ඊශ්‍රායෙල්වරුන්ව ඔහු හෙළාදැක්කේය. (මලාකී 2:13-16) ඊට අමතරව දෙවි පවසන්නේ ‘බලාත්කාරකමට ප්‍රිය වෙන්නාට ඔහුගේ ආත්මය ද්වේෂ කරන’ බවයි. (ගීතාවලිය 11:5) එම නිසා භාර්යාවන්ට තළන, ඔවුන්ට අයුතු ලෙස සලකන අයට තමන්ගේ සැහැසික ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම සඳහා බයිබලය යොදාගැනීමට කිසිසේත් නුපුළුවන.

නිසි මූලිකත්වයට ඇතුළත් වන්නේ කුමක්ද?

මූලිකත්වය යනු සමස්ත ලෝකය පිළිවෙළකින් යුක්තව පවත්වාගැනීම සඳහා දෙවි ඇති කර තිබෙන ප්‍රධාන විධිවිධානයකි. දෙවි හැර අන් සෑම කෙනෙක්ම යම් කෙනෙකුට ගණන් දිය යුතුයි. පුරුෂයන් ක්‍රිස්තුස්ටත් දරුවන් දෙමාපියන්ටත් සියලු ක්‍රිස්තියානීන් ආණ්ඩුවලටත් යටත් විය යුතුයි. යේසුස් පවා දෙවිට යටත්ව සිටියි.—රෝම 13:1; 1 කොරින්ති 11:3; 15:28; එෆීස 6:1.

පිළිවෙළකින් යුත් ස්ථාවර සමාජයක් ඇති කිරීම සඳහා නායකත්වයට යටත් වීම අත්‍යවශ්‍යයි. ඒ හා සමානව ශක්තිමත්, ප්‍රීතිමත් සහ සාමකාමී පවුලක් ගොඩනැඟීම සඳහාත් පවුලේ හිස ලෙස ක්‍රියා කරන්නාට යටත් වීම ඉතා වැදගත්ය. පවුලේ ස්වාමිපුරුෂයා හෝ පියා නොමැති වුවත් මෙම සැලැස්ම වෙනස් නොවෙයි. එවැනි පවුල්වල මූලිකත්වය දරන්නේ මවයි. මාපියන් දෙදෙනාම නොමැති නම් පවුලේ වැඩිමලාට හෝ ඥාතියෙකුට පවුලේ හිස ලෙස කටයුතු කිරීමේ වගකීම භාරගත හැකියි. මේ සෑම අවස්ථාවකදීම මූලිකත්වය ගෙන කටයුතු කරන කෙනාට නිසි ගෞරවය පෙන්වීමෙන් පවුල් සාමාජිකයන් ප්‍රයෝජන ලබයි.

එම නිසා වැදගත්ම දේ වන්නේ මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කිරීම නොව එය නිසි ලෙස හැසිරවීමට ඉගෙනගැනීම සහ එයින් අර්ථවත් වන්නේ කුමක්දැයි තේරුම්ගැනීමයි. ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ට උනන්දු කරන්නේ ‘ක්‍රිස්තුස් සභාවෙහි හිස වන්නාක් මෙන්’ ඔවුන්ටත් පවුල තුළ හිස ලෙස ක්‍රියා කරන්න කියායි. (එෆීස 5:21-23NW) එබැවින් මූලිකත්වය සඳහා පරිපූර්ණ ප්‍රමිතිය ලෙස පාවුල් අවධානය යොමු කරන්නේ ක්‍රිස්තුස් සභාව සමඟ කටයුතු කළ ආකාරය වෙතටයි. යේසුස් තැබූ ආදර්ශය කුමක්ද?

මෙසියස් සහ අනාගතික රජු වශයෙන් යේසුස්ට දෙවිම බලය දී තිබුණත්, ඔහු ගෝලයන්ට වඩා ජීවිතය පිළිබඳව දැනුමෙන් සහ අද්දැකීම්වලින් පූර්ණව සිටියත්, ඔහු ක්‍රියා කළේ ඉතාමත් ප්‍රේමණීයව, මෘදුව සහ දයානුකම්පිතවයි. ඔහු කිසිවිටකත් රළු, දරදඬු හෝ මනුෂ්‍යයන්ගෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වූ කෙනෙකු නොවීය. ඔහු තම බලය අන්‍යයන්ව පාලනය කිරීම සඳහා යොදාගත්තේවත් නිරතුරුවම තමන් දෙවිගේ පුත්‍රයා බව අන් අයට සිහිගැන්වූයේවත් නැත. යේසුස් යටහත් පහත්ව හා සිතින් නිහතමානීව සිටියේය. මේ හේතුවෙන් ‘ඔහුගේ වියගහ පහසු එකක් වූ අතර එහි බරද සැහැල්ලු’ විය. (මතෙව් 11:28-30) ඔහු මිත්‍රශීලී ලෙස ක්‍රියා කළේය. ඕනෑම කෙනෙකුට ඔහු සමඟ කතා කිරීමට පහසුවක් දැනුණ අතර ඔහු සාධාරණ කෙනෙක් විය. ඇත්තෙන්ම යේසුස් සභාවට කොතරම් ප්‍රේම කළාද කිවහොත් “ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්” බව පාවුල් පැවසුවේය.—එෆීස 5:25NW.

යේසුස්ගේ මූලිකත්වය අනුකරණය කළ හැක්කේ කොහොමද?

පවුල් මූලිකයන්ට ක්‍රිස්තුස්ගේ ගුණාංග අනුකරණය කළ හැක්කේ කොහොමද? වගකීමේ හැඟීමකින් කටයුතු කරන පවුල් මූලිකයෙක් තම පවුලේ ශාරීරික සහ ආත්මික ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වෙයි. සෑම කෙනෙකුගේම පෞද්ගලික හා පොදු අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් කාලය හා අවධානය දීම සඳහා ඔහු තමාවම කැප කරයි. ඔහු මුල් තැන දෙන්නේ තමාගේ නොව තම සහකාරියගේ හා දරුවන්ගේ අවශ්‍යතාවන්ටයි. * (1 කොරින්ති 10:24; පිලිප්පි 2:4) එදිනෙදා ජීවිතය තුළ බයිබල් ප්‍රතිපත්ති සහ ඉගැන්වීම් අදාළ කරගැනීමෙන් ස්වාමිපුරුෂයෙක් බිරිඳගේ සහ දරුවන්ගේ ගෞරවය දිනාගන්නා අතරේදී ඔවුන්ගේ සහයෝගයද නොමඳව ලබයි. ඔහුගේ ප්‍රේමණීය මූලිකත්වය යටතේ ඕනෑම ප්‍රශ්නයක් විසඳීමට ඔවුන් සාමූහිකව ගන්නා වෑයම් සාර්ථක වීමට ඉඩ කඩ තිබේ. මෙසේ ස්වාමිපුරුෂයෙක් තම මූලිකත්වය ශුද්ධ ලියවිලිවලට එකඟව ක්‍රියාත්මක කිරීමෙන් දෙවිට ගෞරවය හා ප්‍රශංසාව ලබා දෙන ආකාරයේ සන්තෝෂවත් පවුලක් ගොඩනඟයි.

ඥානවන්ත පවුල් මූලිකයෙක් නිහතමානි කෙනෙක්ද වෙයි. ඔහු අතින් වරදක් සිදු වූ විට එය පිළිගැනීම ඔහුට දුෂ්කර දෙයක් වුවත් අවශ්‍ය විටක සමාව ඉල්ලීමට ඔහු කැමති වෙයි. “මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව” ලැබෙන බව බයිබලයේ සඳහන් වේ. (හිතෝපදේශ 24:6) ඇත්තෙන්ම යටහත් පහත්කම තිබේ නම් සුදුසු අවස්ථාවලදී භාර්යාවගේ සහ දරුවන්ගේ අදහස් උදහස්වලට ඇහුම්කන් දීමටත් ඒවා ගැන සැලකිලිමත් වීමටත් පවුලේ මූලිකයා පෙලඹෙනු ඇත. යේසුස්ව අනුකරණය කිරීම මගින් ක්‍රිස්තියානි පවුල් මූලිකයෙක් ඔහුගේ පවුලට සන්තෝෂය හා සුරක්ෂිතකම ලබා දෙනවා පමණක් නොව, එමගින් පවුල් විධිවිධානයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිවත් ගෞරවයට හා මහිමයට පත් කරන බවට සහතික වීමට ඔවුන්ට හැකියි.—එෆීස 3:14, 15.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මෙම ලිපියේ මූලිකවම පවුලේ ස්වාමිපුරුෂයාගේ සහ පියාගේ කාර්යභාරය ගැන සාකච්ඡා කළත් තනි මව්වරුන්ට සහ දෙමාපියන් නැති සහෝදර සහෝදරියන්ව රැකබලා ගන්න පවුලේ වැඩිමල් දරුවාටද පවුලේ මූලිකයා සඳහා දී තිබෙන ප්‍රතිපත්තිවලින් ප්‍රයෝජන ලබාගත හැකියි.

^ 14 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන පවුලේ සන්තෝෂයට රහස නමැති ග්‍රන්ථයෙහි ප්‍රේමණීය ලෙස පවුලක් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කර තිබේ.

[26වන පිටුවේ පින්තූරය]

සාධාරණ ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවගේ සහ දරුවන්ගේ අදහස් සැලකිල්ලට ගනී