Skip to content

පටුනට යන්න

මගේ පෙම්වතා මට කරන හිරිහැර නවත්වාගන්නේ කොහොමද?

මගේ පෙම්වතා මට කරන හිරිහැර නවත්වාගන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

මගේ පෙම්වතා මට කරන හිරිහැර නවත්වාගන්නේ කොහොමද?

“අද මගේ පෙම්වතා පළමු වතාවට මට ගැහැව්වා. ඊටපස්සේ එයා මගෙන් සමාව ඉල්ලුවා. දැන් මම මොනවාද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ.”—ස්ටෙලා. *

“දළ වශයෙන් සිසුවියන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් තමාගේ පෙම්වතාගෙන් ශාරීරිකව හෝ ලිංගිකව හිරිහැරයන්ට ලක්වීම ගැන වාර්තා වන බව” එක් සඟරාවක සඳහන් වෙනවා. (The Journal of the American Medical Association) වයස අවුරුදු 17ත් 20ත් අතර සිටින යෞවනයන් පිළිබඳව ජර්මනියේ කළ සමීක්ෂණයකදී ගැහැනු ළමයින්ගෙන් සියයට 25කට අධික පිරිසක් වාර්තා කළේ තමන්ගේ කැමැත්තක් නොමැතිව ලිංගික ක්‍රියාවල් සඳහා තමන්ව යොදාගෙන තිබූ බවයි. ඒ සඳහා ශාරීරිකව හිරිහැර කිරීම, වාචිකව පීඩනයට ලක් කිරීම, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කර තමන්ගේ බලපෑමට යටත් කරගැනීම වැනි ක්‍රම යොදාගෙන තිබුණා. අමෙරිකාවේ කළ සමීක්ෂණයකදී යෞවනයන්ගෙන් සියයට 40ක් පමණ කියා සිටියේ තමන්ගේ පන්තියේ මිතුරන් “පෙම්වතුන්ගේ කුරිරු වාචික නිග්‍රහයන්ට ලක් වන ආකාරය” දැක තිබෙන බවයි. *

ඔබට නින්දා කරන, එසේ නැතහොත් බැණවදින, මදිපුංචිකම් කරන, තල්ලු කරන හෝ කම්මුලට ගසන කෙනෙකු සමඟ ඔබ විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිටින තරුණියක්ද? මෙම ලිපි මාලාවේ පෙර ලිපියක මෙවැනි අයුතු සැලකිලි සුලබව දක්නට ලැබෙන දෙයක් බව පෙන්වා දුන්නා. * යෙහෝවා දෙවි, සිත් පාරවන ලෙස කරන කතාව හෝ අයුතු ලෙස සැලකීම අනුමත නොකරන බවත් පීඩාවට පත් වන අය එවන් වැරදි හැසිරීමක් සාමාන්‍ය දෙයක් ලෙස හෝ තමන්ගේ වරදක් නිසා සිදු වෙනවා කියා හෝ නොසිතිය යුතු බවත් එහි පෙන්වා දුන්නා. (එෆීස 4:31NW) ඒත් එවන් තත්වයකදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද යන්න තීරණය කිරීම පහසු දෙයක් නෙවෙයි. ඔබේ පෙම්වතාගේ හැසිරීම කුමක් වුවත් ඔහු කෙරෙහි තවමත් අසීමිත ආදරයක් ඔබට තිබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහරවිට ඔබ ඔහුගේ ක්‍රියාකලාපය විවේචනය කළොත් ඔහු කෙලෙස ඊට ප්‍රතික්‍රියා කරයිද කියා බියෙන් පසු වෙන්නත් පුළුවන්. ඔබ දැන් කුමන ක්‍රියාමාර්ගයක්ද ගත යුත්තේ?

තත්වය හොඳින් කිරා මැන බලන්න

පළමුවෙන් ඔබ කළ යුත්තේ සන්සුන්ව සිදු වුණ දේ ගැන යථාර්ථවාදීව කල්පනා කර බැලීමයි. (දේශනාකාරයා 2:14) ඔබ ඇත්තටම වාචික හිංසාවට ලක් වුණ කෙනෙක්ද? ඔබේ පෙම්වතා සිතා මතාම ඔබට නපුරු විදිහට සැලකුවාද? එහෙමත් නැත්නම් ඔහු “සිතා බලන්නේ නැතිව” කතා කළාද? (හිතෝපදේශ 12:18NW) මෙය කොතරම් වාර ගණනක් සිදු වුණාද? එකම එක වතාවක් පමණක් සිදු වූ සිද්ධියක් නිසා එය ගණන් නොගෙන සිටිය හැකිද? එහෙම නැත්නම් යම් මදිපුංචිකම් කිරීමේ හෝ නින්දා කිරීමේ නරක පුරුද්දක් ඔහු තුළ ඇති වෙලාද?

මේ සම්බන්ධයෙන් ඔබගේ හැඟීම් ගැන ස්ථිර නිගමනයකට එන්න බැරි නම් එම කාරණය වෙනත් කෙනෙක් සමඟ කතා කරන්න. ඒත් ඔබේ සම වයසේ මිතුරෙකු සමඟ නොව ඔබට වඩා වයසින් හා දැනුම් තේරුම් තිබෙන පුද්ගලයෙකු සමඟ කතා කරන්න. සමහරවිට ඔබට හැකියි ඔබේ දෙමාපියන්ට හෝ සෙසු මේරූ ක්‍රිස්තියානියෙකුට විශ්වාසයෙන් යුතුව කතා කිරීමට. ඔබ අනවශ්‍ය ලෙස කලබලයට පත් වෙලාද, නැත්නම් ඇත්තටම ගැටලුවක් තිබෙනවාද කියා තීරණය කිරීමට එවන් සාකච්ඡාවක් ඔබට උපකාරවත් වෙයි.

ඔබේ පෙම්වතා සමඟ මේ ගැන කතා කිරීමෙන් ඔබට කිසිදු හානියක් නොවේ කියා ඔබ හිතනවා නම් එසේ කිරීමට සැලසුම් යොදන්න. (හිතෝපදේශ 25:9) ඔහුගේ හැසිරීම ගැන ඔබට හැඟෙන ආකාරය සන්සුන්ව ඔහුට පවසන්න. ඔබේ සිත රිදුණේ කුමක් නිසාද කියා පැහැදිලිව පවසන්න. ඔබ අකමැති දේවල් මොනවාද කියා ඔහුට පැහැදිලිව පවසන්න. ඔබ මෙම දේවල් පවසද්දී ඔහු කොයි විදිහටද ප්‍රතිචාරය දක්වන්නේ? ඔහු ඔබේ අදහස් සැලකිල්ලට නොගෙන සිටිනවාද, නැත්නම් ඊටත් වඩා දරුණු විදිහට බැණවදිනවද? මෙය ඔහු වෙනස් වීමට අකමැති කෙනෙකු බවට පැහැදිලි සාක්ෂියක් සපයයි.

ඔහු සැබෑ නිහතමානිකමත් පසුතැවිල්ලත් පෙන්නුම් කළා නම් තත්වය කුමක්ද? එහෙමනම් නැවත සම්බන්ධය බේරාගන්න පුළුවන්. ඒත් පරෙස්සමෙන්! වාචිකව පීඩා කරන්නෝ බොහෝවිට ඔවුන් යම් කෙනෙකුව රිදවූ පසු ඒ ගැන තමන් පසුතැවෙනවා කියා පෙන්වීමට ඉතාමත් ලස්සනට වචන ගෙතිය හැකියි. නමුත් ඒ රඟපෑමට ආයුෂ තියෙන්නේ නැවතත් ඔහු කෝපයට පත් වී වාචික ප්‍රහාරයක් එල්ල කරන තුරු පමණයි. කාලයට ඉඩ දීමෙන් ඔහු අවංකවම වෙනස්කම් කිරීමට කැමතිද නැද්ද යන්න තීරණය කළ හැකි වෙයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් යමක් කිරීමට ඔහුට කොතරම් වුවමනාවක් තිබෙනවාද යන්න දැනගැනීමට හොඳ ඉඟියක් තමයි ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ උපකාර පැතීමට ඔහු දක්වන කැමැත්ත.—යාකොබ් 5:14-16.

“සියල්ලෝම පව් කර, දෙවිගේ තේජසින් ඈත්ව සිටියි” කියන ඒක තේරුම්ගන්න. (රෝම 3:23NW) ඔබට කවමදාකවත් පරිපූර්ණ කෙනෙකුව ලැබෙන්නේ නැහැ. විවාහ වී සිටින හැම කෙනෙකුටම තමන්ගේ අසම්පූර්ණත්වය නිසා යම් ප්‍රමාණයක හෝ “මාංසයෙහි දුක්” අද්දකින්න සිදු වෙයි. (1 කොරින්ති 7:28NW) අවසානයේදී ඔබේ පෙම්වතාගේ දුර්වලකම් ඉවසගෙන ඔහුත් සමඟ සන්තෝෂයෙන් ජීවත් විය හැකිද කියා තීරණය කළ යුත්තේ ඔබයි. නැවතත්, යම් තීරණයක් ගැනීමට පෙර කාලයට ඉඩ දීම තමයි කරන්න තිබෙන සුදුසුම දේ.

හිංසා කරනවා නම්

වාචික නිග්‍රහය සමඟ කෝපයෙන් අගෞරවනීය බස් දෙඩීම හෝ හිංසා කිරීම, ඒ කියන්නේ ඔබව තල්ලු කිරීම, කම්මුලට ගැසීම වැනි ශාරීරික හිංසා කිරීම් ඔබ අද්දකිනවා නම් තත්වය වෙනස්. ආත්ම දමනයේ දැඩි ඌනතාවක් මෙයින් පෙන්නුම් කරනවා. තත්වය පහසුවෙන්ම ඊටත් වඩා දරුණු හිංසා කිරීම් දක්වා වර්ධනය විය හැකියි.

විවාහ නොවූ දෙදෙනෙක් තනිව කාලය ගත කිරීමෙන් වැළකීම තමයි කරන්න තියෙන හොඳම දේ. නමුත් හිංසා කරන පුද්ගලයෙක් සමඟ යම් අවස්ථාවක ඔබ තනි වුණොත් ‘නපුරට නපුර කරන්න’ එපා. (රෝම 12:17) ‘මෘදු උත්තරයකින් කෝපය පහ වෙනවා. කර්කශ වචනයකින් තරහ හටගන්නවායැයි’ කියන එක අමතක කරන්න එපා. (හිතෝපදේශ 15:1) කලබල වෙන්න එපා. ඔබව ගෙදරට ගෙන ගොස් ඇරලවන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටින්න. එතැනින් හෙමින් සැරේ පිටවීම හෝ දීවිම සුදුසුයි කියා සිතේ නම් එසේ කරන්න!

පෙම්වතා ලිංගික ක්‍රියාවල යෙදීමට තරුණියට බල කරනවා නම් මොනවාද කරන්නේ? නැණවත්ම දේ යුවළක් තම සම්බන්ධය ආරම්භයේ සිටම ආලවන්ත හැඟීම් ප්‍රකාශ කරන ක්‍රම සඳහා පැහැදිලි සීමාවන් තබාගැනීමයි. (1 තෙසලෝනික 4:3-5) තරුණයෙක් බයිබල් ප්‍රතිපත්ති කැඩීමට තරුණියකට බල කරයි නම් තමන් එවන් දෙයක් නොකරන බවට ඇය ඔහුට පැහැදිලිව සහ ස්ථිරව කිව යුතුයි. (උත්පත්ති 39:7-13) “යටත් වෙන්න නම් එපා.” එසේ අයැද සිටින්නේ ලිංගික ක්‍රියා සඳහා පෙම්වතා කළ එවැනි බලපෑමට යටත් වූ ඈන්. “ඔබේ ආත්ම ගෞරවය රැකගන්න. ඔබ ඔහුට කොතරම් ආදරය කළත්, අනේ මේ වරද නම් කරන්න එපා!” යැයි ඇය තවදුරටත් පවසනවා. ඔබ ප්‍රතික්ෂේප කළත් ඔහු එය ගණන් ගන්නේ නැතිනම් ඔහු කිරීමට යන දේ නිසා ඔබ ඔහුව ස්ත්‍රී දූෂකයෙක් ලෙසට සලකන බව ඔහුට කියන්න. ඒත් ඔහු නවත්වන්නේ නැත්නම් උදව් ඉල්ලා කෑගහන්න. ස්ත්‍රී දූෂකයෙකුගෙන් බේරීම සඳහා ඔබ ගන්නා පියවර ගන්න. *

බයිබලයේ හිතෝපදේශ 22:24හි සඳහන් උපදේශය තත්වයන් දෙකටම අදාළ වෙයි. “තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍ර නොවන්න. කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.” ශාරීරික හිංසා කිරීම් තිබෙනවා නම් සම්බන්ධය දිගටම පැවැත්වීමට ඔබ කිසිවිටකත් බැඳී නැහැ. ඔබට හිංසා කරන පෙම්වතාට, ඔහු සමඟ තිබෙන සම්බන්ධය නතර කරන බව දැනුම් දීමට ඔබ තනිව යෑම නුවණට හුරු දෙයක් නොවන බව කිව යුතු නැහැ. පෙනෙන විදිහට ඔබට කළ හැකි හොඳම දේ නම් සිද්ධිය පිළිබඳව ඔබේ දෙමාපියන්ව දැනුවත් කිරීමයි. ඔබට අද්දැකීමට සිදු වී තිබෙන අයුතු සැලකිල්ල ගැන ඔවුන් කෝපවීම හා කලබල වීම ස්වභාවිකයි. නමුත් ඔබ තව කුමන පියවර ගත යුතුද කියා තීරණය කිරීමට යම් උපකාරයක් දීමට ඔවුන්ට පුළුවන්. *

ඔහුව වෙනස් කිරීමට උත්සාහ දැරීම

කොයිම තත්වයකදීවත් ඔබේ පෙම්වතාව වෙනස් කිරීම ඔබේ වගකීමක් නෙවෙයි. නිදසුනකට ඉරෙනා තේරුම්ගත් දේ බලන්න. “ඔබ හිතනවා, ඔබ ඔහුට ආදරේ නිසා ඕනෑම තත්වයකට මුහුණ දෙන්න ඔබට පුළුවන් කියලා. ඒ වගේම ඔහුට උපකාර කරන්නත් ඔබට පුළුවන් කියලා. ඒත් ඔබට ඒක කරන්න කොහොමටවත් බැහැ.” නාඩීන්ද එවැනිම දෙයක් කියනවා. “මම හැමතිස්සේම හිතන්නේ ඔහුව වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා.” නමුත් සැබෑව නම් ‘තමාගේ මනස අලුත් කරගෙන’ වෙනස් වෙන්න පුළුවන් ඔහුට විතරයි. (රෝම 12:2NW) එසේ කිරීමත් කාලය ගත වන දුෂ්කර කටයුත්තක්.

ඔබේ තීරණය වෙනස් කරන්න එපා. ඔහු ඔබේ හැඟීම් තම වාසියට යොදාගනිමින් ඔබට බලපෑම් කිරීමට වෑයම් දරන විටත් සැලෙන්න එපා. පුළුවන් තරම් ශාරීරිකවත් චිත්තවේගීයවත් ඔහුගෙන් ඈත්වීමට උත්සාහ කරන්න. ඔබේ සිත වෙනස් කිරීමට ඔහු කරන ඇවිටිලි හෝ තර්ජනවලට හසු වෙන්න එපා. ඉරෙනා තමාට හිංසා කරන පෙම්වතා සමඟ තිබූ සම්බන්ධය නතර කළ විට ඔහු තම ජීවිතය නැති කරගන්නවා කියා පවසමින් ඇයට තර්ජනය කළා. එවැනි පුද්ගලයෙකුට උපකාර අවශ්‍ය බව පැහැදිලියි. ඒත් ඔබේ උපකාරය නෙමෙයි. ඔබ ඔහුට කළ ලොකුම උපකාරය තමයි, ක්‍රිස්තියානියෙකුට සුදුසු නැති හැසිරීමකින් ඔහුව වළක්වාගැනීම. ඔහුට වෙනස් වීමට අවශ්‍ය නම් උපකාරය ලබාගැනීමට ඕනෑ තරම් ක්‍රම තිබෙනවා.

කොහොමවුණත් සමහරෙක් හිතන්නේ විවාහ වුණාට පස්සේ ප්‍රශ්නය විසඳෙයි කියලා. පර්යේෂකවරයෙක් මෙහෙම කියනවා. “සමහර තරුණ තරුණියන් තමන්ට හිංසා කරන පෙම්වතුන්ව හා පෙම්වතියන්ව විවාහ කරගත්තත් ඔවුන් විඳින හිංසාව නතර වෙන්නේ නැති බව අද්දකින විට ඒ ගැන ඔවුන් බොහෝවිට පුදුම වෙනවා. විවාහය අත්සන් කළාම ප්‍රශ්න අතුරුදහන් වෙනවා යන වැරදි ආකල්පය හුඟදෙනෙක් ළඟ තියෙනවා. ඒක විශ්වාස කරන්න එපා.” සැබෑව නම් පූර්ව විවාහ ඇසුරේදී පටන්ගන්න ශාරීරික හිංසාව බොහෝවිට විවාහ දිවියේදීත් අද්දකින්න සිදු වෙනවා යන්නයි.

“නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:3) ඔබ ආදරය කරන කෙනෙකුගෙන් ඈත්වීම ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒත් හිංසා පීඩා තිබෙන විවාහ ජීවිතයක් තුළ සිර වී සිටීමට සිදුවීම ඊටත් වඩා ආමාරු දෙයක්. ඇරත් ඔබට ආයෙත් කවමදාකවත් වෙනත් සුදුසු සහකරුවෙක් නොලැබේවි කියා බියවීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. මේ අද්දැකීමෙන් ඔබ ඉගෙනගත් වටිනා පාඩම් නිසා මින් ඉදිරියට හොඳ ආත්ම දමනයක් තිබෙන, මෘදු ගුණැති, කරුණාවන්ත කෙනෙකු සොයාගැනීමට ඔබ සුදුසු තත්වයක සිටිනවා.

බිඳුණු සිතට සුවයක්

වාචික හෝ ශාරීරික හිංසාවට ලක්වීම කෙනෙකුගේ ජීවිතයේ ඉතාමත් අමිහිරි අද්දැකීමක් විය හැකියි. හිංසාවට ලක් වූ මේරි මෙවැනි උපදෙසක් දෙනවා. “උදව් ලබාගන්න. ඉක්මනටම කාටහරි කතා කරන්න. මම හිතුවා මට තනියම ගැටලුව විසඳගන්න පුළුවන් කියලා. නමුත් ඒ ගැන තව කෙනෙක් එක්ක කතා කිරීමෙන් මට ලොකු උපකාරයක් ලැබුණා ඒක විසඳගන්න.” ඔබේ දෙමාපියන්ට, විශ්වාසවන්ත මේරූ මිතුරෙකුට හෝ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුට කියන්න. *

කියවීම, ක්‍රීඩා හෝ යම් විනෝදාංශයක නිරත වීම වැනි යම් හිතකර දෙයක නියැලීමද උපකාරවත් වන බව සමහර අය සොයාගෙන තිබෙනවා. “වැදගත්ම දෙය වුණේ බයිබලය ගැන අධ්‍යයනය කිරීම සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමයි” කියා ඉරෙනා මතකයට නඟනවා.

වේදනා ගෙන දෙන අයුරින් කතා කිරීම හෝ ක්‍රියා කිරීම යෙහෝවා අනුමත කරන්නේ නැති බව පැහැදිලියි. ඒ නිසා ඔහුගේ උපකාරයෙන් ඔබට සිදු වන අයුතු සැලකිලිවලින් ඔබවම අරක්ෂා කරගැනීමට ඔබට හැකියි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

^ 4 ඡේ. තරුණයන් හා තරුණියන් යන දෙකොටසම වාචික හා ශාරීරික හිරිහැරයන්ට ලක් විය හැකි වුවත් “ස්ත්‍රී පක්ෂය පුරුෂ පක්ෂයට වඩා පීඩාවට ලක් වන බව” අමෙරිකාවේ රෝග මර්දන හා රෝග වළකාලන මධ්‍යස්ථානය වාර්තා කරයි. කෙසේවෙතත් මෙම ලිපියේ සරලකම පවත්වාගැනීමට පීඩා කරන්නන් තරුණයන් ලෙස දක්වා තිබෙනවා.

^ 5 ඡේ. වර්ෂ 2004 ජූනි 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . ඇයි ඔහු මට මෙතරම් නපුරු විදිහට සලකන්නේ?” යන මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.

^ 15 ඡේ. ස්ත්‍රී දූෂණයකින් බේරෙන ආකාරය සම්බන්ධ තොරතුරු ඇතුළත් 1993 මාර්තු 8 පිබිදෙව්! සඟරාව බලන්න.—සිංහලෙන් නැත.

^ 16 ඡේ. සමහරවිට දූෂණය කිරීමට ගත් උත්සාහයක් වැනි දෙයක් පොලීසියට දැන්විය යුතුයි කියා ඔබේ දෙමාපියන් තීරණය කළ හැකියි. මෙමගින් සමහරවිට තවත් තරුණියන්ව එවන් ඛේදනීය අද්දැකීමකට මුහුණ දීමෙන් වළක්වාගත හැකියි.

^ 23 ඡේ. චිත්තවේගීය කම්පනයක් ඇති වී තිබේ නම්, සමහරෙක් වෛද්‍යවරයෙකුගෙන් හෝ ලියාපදිංචි මානසික සෞඛ්‍ය නිලධාරියෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමට තීරණය කළ හැකියි.

[24වන පිටුවේ පින්තූරය]

පූර්ව විවාහ සම්බන්ධයකදී කරන හිංසාවන් බොහෝවිට විවාහ දිවිය තුළත් අද්දකින්න සිදු වෙනවා

[25වන පිටුවේ පින්තූරය]

නුසුදුසු ලෙස ආලවන්තකම් පෑමට කරන බලපෑමට හසු වෙන්න එපා