Skip to content

පටුනට යන්න

“මැණිකකි ඔබ සාගර පතුලේ”

“මැණිකකි ඔබ සාගර පතුලේ”

“මැණිකකි ඔබ සාගර පතුලේ”

සෑම සාගරයකම වාගේ දහස් ගණනින් දක්නට ලැබෙන ඒක සෛලීය අල්ගේ වර්ගයකි ඩයටම. අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි මෙම කුඩා ශාකය විසිතුරු ලෙස හැඩගැන්වුණු රමණීය වීදුරු වැස්මකින් වට වී තිබෙනවා. මේ ශාකය ශතවර්ෂ ගණනාවක සිට විද්‍යාඥයන්ව ආකර්ෂණය කර තිබෙන අතර අණ්වීක්ෂය නිපදවූ දා පටන් මේ ශාකයේ අලංකාරය දැකගැනීමටත් ඒවා චිත්‍රයට නැඟීමටත් මිනිසාට හැකි වී තිබෙනවා. මේ නිසා ඩයටම ‘සාගර පතුලේ මැණික’ ලෙස හැඳින්වීම උචිතයි.

වර්ෂ 1860දී ඩයිනමයිට් හඳුන්වා දුන් ඇල්ෆ්‍රඩ් නෝබල් නයිට්‍රෝග්ලිසරීන්වල ඇති අනතුරු සහිත ස්වභාවය අවම කිරීම සඳහා ඩයටමවල අඩංගු සිලිකා යොදාගත්තා. මෙමගින් එහා මෙහා ගෙන යා හැකි ඩයිනමයිට් කූරු සෑදීමට ඔහුට හැකි වුණා. පොසිල බවට පත් වූ ඩයටමෙහි වීදුරු වැස්ම අද බොහෝ වාණිජමය නිෂ්පාදන සඳහා යොදාගන්නවා. උදාහරණ වශයෙන් මහාමාර්ග ලකුණු කරන තීන්තවලට දිස්නයක් ලබා දීමට, වයින් පිරිසිදු කිරීමට සහ පිහිනුම් තටාකවල ජලය පිරිසිදු කිරීමට මෙය යොදාගනී.

වඩාත්ම වැදගත් දෙය නම්, ඉතා කුඩා වූ මෙම ඒක සෛලීය ශාක අපේ පෘථිවියේ සිදු වන මුළු ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියෙන් හතරෙන් එකක්ම සිදු කිරීමට දායක වීමයි. ඩයටමයෙහි වීදුරු වැස්මේ ඇති සිලිකා මගින් එහි ඇතුළත ඇති ජලය කෙරෙහි යම් රසායනික විපර්යාසයක් සිදු කරන බවත් මෙම විපර්යාසය නිසා ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කිරීමට හොඳ පරිසරයක් එතුළ ඇති වන බවත් එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් වන ඇලන් මිලිගන් සහ ෆන්සුවා මොරෙල් සොයාගෙන තිබෙනවා. මෙම වීදුරු වැස්ම විසිතුරු ලෙස හැඩගැන්වී තිබීමට හේතුව, එහි ඇතුළත පෘෂ්ඨයේ විශාල ප්‍රමාණයක් ජලයට නිරාවරණය වී තිබීමත් එමගින් ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කිරීමට හැකි වී තිබීමත් බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. සිලිකා මුහුදු වතුර සමඟ මුසු වී මෙතරම් කුඩා වුවද අලංකාරවත් වැස්ම සෑදුණේ කොහොමද කියන එක නම් තවමත් අභිරහසක්. කෙසේවෙතත් විද්‍යාඥයන් දන්නා සත්‍යයක් නම්, කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්සිජන් පිට කිරීම මගින් මේ පොළොවේ ජීවීන්ගේ පැවැත්ම සඳහා ඩයටම කරන මෙහෙය නම් මෙතකැයි කිව නොහැකි බවයි. ගොඩබිමේ හැදෙන බොහෝ පැළෑටිවලට වඩා මෙයින් සිදු වන කාර්යය බොහෝ සෙයින් වටිනවා.

ඩයටමෙහි වටිනාකම මොරෙල් තක්සේරු කරන්නේ “මිහිමඬලේ පවතින්නාවූ වඩාත් සාර්ථක ජීවීන්ගෙන් එකක්” ලෙසයි. මේ සම්බන්ධව මිලිගන් අදහස් දක්වමින් පවසන්නේ ඩයටමවලට කාබන්ඩයොක්සයිඩ් ලබාගැනීමේ අවශ්‍යතාව නොතිබුණා නම් “හරිතාගාර ආචරණය මීට වඩා බොහෝ සෙයින් දරුණු වෙන්න තිබුණා” කියායි.

ඩයටම මැරුණාට පසු එහි කාබන් අවශේෂ සාගර පතුලේ රැඳෙන අතර ඒවා පොසිල බවට පත් වෙයි. සාගර පතුලේ ඇති වන දැඩි පීඩන හේතුකොටගෙන මෙම පොසිල ලෝකයේ තිබෙන තෙල් ආකරවල තෙල් සෑදීමට උපකාරවත් වන බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි. කෙසේවෙතත් මීට දක්වන අවධානය වැඩි වී තිබෙනවා. පෘථිවිය උණුසුම් වීම නිසා සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ හේතුවෙන් ඩයටමවල කොටස් සාගර පතුලට කිඳා බැස යෑමට පෙර එම කොටස් බැක්ටීරියා විසින් කා දමනු ලබනවා. එම නිසා එයින් නැවතත් කාබන් මුහුදට මුදාහැරීමේ කාර්යය අත්හිටුවනු ලබනවා. මෙලෙස මවිතාකාර ලෙස නිමවා ඇති ජෛව පද්ධතියේ ඉතා කුඩා ජීවයක් වන ‘සාගර පතුලේ මැණික’ දැන් යම් අවදානම් තත්වයකට මුහුණ දෙමින් සිටිනවා විය හැකියි.

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Dr. Stanley Flegler/Visuals Unlimited