Skip to content

පටුනට යන්න

“මොනවද මට මේ වෙන්නේ?”

“මොනවද මට මේ වෙන්නේ?”

“මොනවද මට මේ වෙන්නේ?”

“මට දැනුණේ හරියට එක රැයකින් මගේ ජීවිතේ වෙනස් වුණා කියලයි. මේ මම නෙවෙයි, මේ මගේ ඇඟ වෙන්න බැහැ කියලා මට හිතුණා.”—සෑම්.

නව යොවුන් විය කියන්නේ කුමක්ද? සරලව කිව්වොත්, එය ළමා විය හා වැඩිහිටිභාවය අතරමැද තිබෙන අවධියයි. මෙම අවධියේදී ඔබට කායික, මානසික සහ සමහරවිට සමාජීය වශයෙන් පවා විශාල වෙනස්කම්වලට මුහුණ දීමට සිදු වෙනවා. එක් අතකින් නව යොවුන් වියට පා තැබීම කියන්නේ ඉතා සිත්ගන්නාසුලු අද්දැකීමක්. මන්ද ඉන් අදහස් වන්නේ ඔබ දැන් වැඩිහිටි වියට පිය නඟමින් සිටින බවයි. නමුත් ජීවිතයේ මේ අලුත් අවධියේදී අලුත් හැඟීම් පිබිදෙන්න පටන්ගන්නවා. ඒ වගේම, ඉන් සමහරක් ඔබව ව්‍යාකූල කරන්න පුළුවන්. ඔබ ඒවායින් බියට පත්වීමට පවා ඉඩ තිබෙනවා.

එහෙත් නව යොවුන් වියට එළඹීම ගැන ඔබ භය විය යුතු නැහැ. ඒ කාලයේදී, යම් දුරකට වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වන බව ඇත්තයි. එහෙත් වැඩිහිටිභාවය දක්වා ගමන් කරන එම කාලය සාර්ථකව මෙන්ම සතුටින් ගත කිරීමටද ඔබට ප්‍රස්තාවක් ලැබෙනවා. එය කෙසේද කියා සලකා බැලීම සඳහා අපි දැන් නව යොවුන් වියේදී මුහුණ දෙන අභියෝග කිහිපයක් ගැන සාකච්ඡා කරමු.

වැඩි වියට පත්වීම

නව යොවුන් වියේදී ඔබව ප්‍රජනන ක්‍රියාවලියට සූදානම් කරවීම සඳහා ඔබේ සිරුරේ යම් වෙනස්කම් සිදු වෙනවා. වැඩි වියට පත්වීම ලෙස හඳුන්වන ජීවිතයේ මෙම අවධිය අවසන් වෙන්න අවුරුදු කිහිපයක්ම ගත වෙනවා. ඒ වගේම, ඔබේ ලිංගික අවයව වර්ධනය වීමට වඩා වැඩි යමක් එහිදී සිදු වන බව මේ ලිපිය කියවීමෙන් ඔබට පැහැදිලි වේවි.

ගැහැනු ළමයි සාමාන්‍යයෙන් වැඩි වියට පත්වීමට පටන්ගන්නේ අවුරුදු 10 සිට 12 දක්වා වූ කාලයේදීයි. පිරිමි ළමයි සාමාන්‍යයෙන් මෙම විපර්යාසය අද්දකින්නේ අවුරුදු 12ත් 14ත් අතරයි. එහෙත් එය එක් එක් පුද්ගලයන්ට අනුව වෙනස් වෙන්නත් පුළුවන්. නහඹර වියේ කායික වෙනස්කම් ගැන විස්තර කරන එක්තරා පොතක (The New Teenage Body Book) මෙසේ සඳහන් වෙනවා. “වැඩි වියට පත්වීමේදී සිදු වන විවිධ වෙනස්කම් කොයි අවධියේ සිදු විය යුතුද යන්න තීරණය කරන ජෛව ඔරලෝසුවක් හැම පුද්ගලයෙකුටම තිබෙනවා. සාමාන්‍යයෙන් වැඩි වියට පත් වන කාල වයස් සීමාව එකිනෙකාට වෙනස් විය හැකියි.” ඒ නිසා, ඔබ වැඩි වියට පත් වන්නේ ඔබේ වයසේ ළමයින්ට වඩා කලින් හෝ ඊට පසුව හෝ වේවා එය අස්වාභාවික දෙයක් නම් නොවෙයි.

වැඩි වියට පත් වන්නේ කුමන වයසේදී හෝ වේවා, ඔබේ පෙනුම, ඔබේ හැඟීම් හා අවට ලෝකය දෙස ඔබ බලන ආකාරය එමගින් වෙනස් වීමට ඉඩ තිබෙනවා. ඔබේ ජීවිතයේ මෙම සුවිශේෂී අවධියට ආවේණික වූ ඉතා සිත්ගන්නාසුලු නමුත් අභියෝගාත්මක ලක්ෂණ කිහිපයක් දැන් සලකා බලන්න.

‘මගේ ඇඟට මොනවද මේ වෙන්නේ?’

හෝමෝන මට්ටම්වල ඉහළ නැඟීමක් සමඟිනුයි වැඩි වියට පත්වීම ආරම්භ වන්නේ. ගැහැනු ළමයින්ගේ විශේෂයෙන්ම වැඩි වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයයි. පිරිමි ළමයින්ගේ ටෙස්ටොස්ටරෝන් හෝමෝනයයි. ආශ්චර්යයක් මෙන් සිදු වන කායික වෙනස්කම්වලට තරමක් දුරට දායක වන්නේ හෝමෝනවල සිදු වන එම වෙනස්කම්. ඇත්තෙන්ම කියනවා නම්, ළදරු වියේ සිට ඔබේ ශරීරය මෙතරම් වේගයකින් වර්ධනය වී නැහැ.

මේ අවධියේදී ඔබේ ලිංගික අවයව පරිණත වීමට පටන්ගනී. එහෙත් එය කායික වශයෙන් සිදු වන වර්ධනයේ එක් අංගයක් පමණයි. ඔබේ උසත් ශීඝ්‍ර ලෙස වර්ධනය වීමට ඉඩ තිබෙනවා. ළමා වියේදී ඔබේ උස සෑම වසරකදීම සෙන්ටිමීටර් පහක් පමණ වර්ධනය වෙන්න ඇති. එහෙත් වැඩි වියට පත් වන විට ඔබේ උස ඊට වඩා දෙගුණයක් වර්ධනය වීමට ඉඩ තිබෙනවා.

මේ වර්ධනය සිදු වන කාලයේදී ඔබේ අත පය ශරීරයට නොගැළපෙන සේ දිගින් වැඩි වන නිසා අවලස්සන පෙනුමක් ඇති බව ඔබටදැනෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය දෙයක්. ඔබේ සිරුරේ එක් එක් කොටස් වර්ධනය වන වේගය එකිනෙකට වෙනස් විය හැකි බව මතක තබාගන්න. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යම් දේවල හැප්පීම, පැකිලී වැටීම වැනි සුළු සුළු අනතුරු පහසුවෙන්ම සිදු වෙන්න පුළුවන්. නමුත් ටික කාලයක් ඉවසන්න. ජීවිත කාලය පුරාම එම තත්වය පවතින්නේ නැහැ. නව යොවුන් වියේදී අද්දකින එම අමුත්ත කල් යත්ම නැති වී යනවා.

ගැහැනු ළමයෙක් වැඩි වියට පත් වන කාලයේදී ඇගේ පළමු මාස් ශුද්ධිය සිදු වෙනවා. මාස් ශුද්ධිය කියන්නේ මාසිකව රුධිරය හා ලේ කැට සහිත අපද්‍රව්‍ය ගර්භාශයෙන් බැහැර වීමයි. * සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය සිදු වන විට යටි බඩ කොර වෙනවා. හෝමෝන මට්ටම්වල පහත බැසීමක් සිදු වෙනවා. මෙමගින් කායික හා මානසික වශයෙන් බලපෑමක් ඇති කරන නිසා මුල්ම වරට මාස් ශුද්ධිය සිදු වන විට කලබලයට පත්වීමට ඉඩ තිබෙනවා. “මට එකපාරටම අමුතුම අද්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා” කියා දැන් 17 වියේ පසු වන ටෙරේසා පවසනවා. “මගේ ඔළුව හොඳටම අවුල් වුණා. මට ලොකු වේදනාවකුත් දැනුණා. ඒ මදිවට හැම මාසයකදීම ඒක ඇවිත් මට වද දුන්නා!”

මුල්ම වරට මාස් ශුද්ධිය සිදු වන විට ඔබ භය විය යුතු නැහැ. මන්ද එය ඔබේ ශරීරය ස්වාභාවික ලෙස ක්‍රියාත්මක වන බවට ලකුණක් පමණයි. ටික කලක් යද්දී, මාස් ශුද්ධියේදී ඇති වන අප්‍රසන්න තත්වයන්ට ඔබ පුරුදු වේවි. යටි බඩේ ඇති වන කොරය අඩු කරගැනීම සඳහා නිතරම ව්‍යායාම්වල යෙදීම ප්‍රයෝජනවත් වන බව ඇතමෙකුගේ අද්දැකීමයි. නමුත් එක් එක් කෙනාගේ අද්දැකීම වෙනස් බව මතක තබාගත යුතුයි. මාස් ශුද්ධිය සිදු වන කාලයේදී ශාරීරික වශයෙන් වෙහෙසීම බොහෝදුරට අඩු කළ යුතුයි කියා ඔබට පෙනී යන්න පුළුවන්. ඔබට විවේකය අවශ්‍ය නම් විවේක ගන්න. ව්‍යායාම්වලින් යහපතක් වන බව පෙනේ නම් ව්‍යායාම් කරන්න.

නව යොවුන් වියේදී ගැහැනු ළමයින් වගේම පිරිමි ළමයිනුත් තමන්ගේ පෙනුම ගැන වැඩි වැඩියෙන් සැලකිලිමත් වෙනවා. “අනිත් අය මගේ පෙනුම ගැන හිතන්නේ මොනවද කියන එක ගැන මම ගොඩක් සැලකිලිමත් වෙන්න පටන්ගත්තේ ඒ කාලයේදී” කියා ටෙරේසා පවසනවා. “දැනුත් ගොඩක් වෙලාවට මං මගේ පෙනුම ගැන කලකිරෙනවා. මගේ කොණ්ඩේ ලස්සනට හදාගන්න බැහැ. මගේ ඇඳුම් ඇඟේ ගානට හිටින්නේ නැහැ. මට ආස හිතෙන ඇඳුම් හොයාගන්නත් අමාරුයි!”

ඔබ වෙනත් විදිහකින් අපහසුතාවට ලක් වෙන්නත් පුළුවන්. උදාහරණයකට, වැඩි වියට පත්වීමත් සමඟම ඔබේ දාඩිය නිපදවන ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. ඒ නිසා පෙරට වඩා ඔබට දහඩිය දමන්න පටන්ගන්නවා විය හැකියි. නිතරම ඇඟ සේදීමෙන්, නෑමෙන් හා ඔබේ ඇඳුම් සේදීමෙන් ඔබේ සිරුරෙන් දුඟඳවල් හැමීම අඩු කරගත හැකියි. දුගඳ නැති කිරීමට (deodorant) නැතහොත් දාඩිය ගැලීම අවම කිරීමට (antiperspirant) යොදාගන්නා නිෂ්පාදනත් ප්‍රයෝජනවත් විය හැකියි.

මේ කාලයේදී සිදු වන තවත් දෙයක් වන්නේ පෙරට වඩා ඔබේ සමේ තෙල් නිපදවන ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වැඩිවීමයි. එයින් ඔබේ මුහුණේ ලප හා කුරුලෑ හටගන්න පුළුවන්. “ලස්සනට ඉන්න ඕනේ දවසෙම තමයි මගේ මුහුණේ කුරුලෑ එන්නේ” කියා ඈන් නම් වූ තරුණිය ශෝකයෙන් පවසනවා. “මේක මං හිතින් මවාගත් දෙයක්ද කියලා මං දන්නේ නෑ. මට හිතෙන්නේ කුරුලෑවලට ඉව තියෙනවා කියලා. මොකද මං කැමතිම නැති වෙලාවලට තමයි ඒවා මතු වෙන්නේ.” ටෙරේසාටත් කුරුලෑ ප්‍රශ්නය තිබෙනවා. “කුරුලෑ එන හින්දා මට නිතරම දැනෙන්නේ මං කැතයි කියලා. අනිත් අයත් එහෙම හිතනවා ඇති කියලා මට හිතෙනවා. කවුරුහරි කෙනෙක් මං දිහා බැලුවොත් මට හිතෙන්නේ ඒගොල්ලෝ බලන්නේ මගේ මුහුණේ තියෙන කුරුලෑ දිහා කියලයි!”

පිරිමි ළමයින්ටත් කුරුලෑ ප්‍රශ්නය මතු වෙන්න පුළුවන්. කුරුලෑ පිළිබඳ ඇතැම් විශේෂඥයන් පවසන්නේ ගැහැනු ළමයින්ට වඩා කුරුලෑවලින් පීඩා විඳින්නේ පිරිමි ළමයින් කියායි. ඔබ තරුණයෙක් හෝ තරුණියක් හෝ වේවා, ඔබේ ශරීරයේ තෙල් ගතිය වැඩි ප්‍රදේශ නිතරම සේදීම ප්‍රයෝජනවත් වේවි. ඔබේ මුහුණ, බෙල්ල, උරහිස්, පිට හා පපුව ඊට ඇතුළත් වෙනවා. ඒ වගේම, නිතරම හිසකෙස්වලට ෂැම්පූ දමා නෑමෙන්ද ඔබේ හිසේ සිට සම දක්වා තෙල් ගතිය පැතිර යෑම වැළැක්විය හැකියි. කුරුලෑ හා ලප වළක්වන එක් එක් නිෂ්පාදන මිල දී ගන්නත් පුළුවන්. “මගේ අම්මයි තාත්තයි මට ක්ලෙන්සර් (මුහුණ පිරිසිදු කරන ආලේපන) වර්ග හා ක්‍රීම් වර්ග හොයලා දුන්නා” කියා ටෙරේසා පවසනවා. “ඒගොල්ලන් මට ගොඩක් කඩචෝරු කන්න දුන්නෙත් නැහැ. මම කඩචෝරු නොකා, ගොඩක් වතුර බිව්වාම කුරුලෑ ඇත්තටම නැති වෙනවා.”

පිරිමි ළමයින් ශාරීරික වශයෙන් අද්දකින තවත් වෙනසක් වන්නේ ඔවුන්ගේ කටහඬ වෙනස් වීමයි. වැඩි වියට පත්වීමේදී ඔබේ ස්වර තන්ත්‍ර මහත් වී දික් වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ කටහඬ ක්‍රමක්‍රමයෙන් වඩා ගැඹුරු ස්වරයක් ගන්නවා. බිල්ට මෙම වෙනස් වීම සිදු වුණේ ඔහුට නොදැනුවත්වමයි. “මගේ කටහඬ වෙනස් වුණ බව මටවත් තේරුණේ නැහැ. කලින් මං දූරකථනයෙන් කතා කරද්දී කට්ටිය හිතුවේ මගේ අම්මා නැත්නම් සහෝදරිය කතා කරනවා කියලයි. ඒත් ඊටපස්සේ එයාලාට වෙනස තේරුණා. එතකොට තමයි මටත් තේරුණේ වෙනසක් වෙලයි කියලා.”

සමහරවිට කටහඬ වෙනස් වෙද්දී නොදැනුවත්වම ඉතා උස්, තියුණු හඬක් නිකුත් වෙන්න පුළුවන්. ඔබේ කටහඬේ ස්වරය ගැඹුරු වුණත් කතා කරද්දී එකපාරටම ගැහැනු ළමයෙකුගේ කටහඬ වැනි හීන් හඬක් පිටවීමට ඉඩ තිබෙනවා. ටිරෝන් තම තරුණ කාලය සිහිපත් කරමින් මෙසේ විස්තර කරනවා. “ඒක වෙච්ච හැම වෙලාවේම මට දැනුණේ ලොකු ලජ්ජාවක්. භයක් චකිතයක් දැනුණ වෙලාවකදී, නැත්නම් මොනවා හරි දෙයක් ගැන නොඉවසිල්ලෙන් බලං ඉන්න වෙලාවකදී තමයි කටහඬ එකපාරටම වෙනස් වුණේ. මගේ හැඟීම් පාලනය කරන්න මම ගොඩක් වෑයම් කළත් ඒක ඒ තරම් ලේසි වුණේ නෑ.” ටිරෝන් තවදුරටත් මෙසේ විස්තර කරනවා. “අවුරුද්දකින් දෙකකින් ඒක සම්පූර්ණයෙන්ම නතර වුණා.” ඔබටත් මේ දේ සිද්ධ වෙනවා නම් ඒ ගැන දුක් වෙන්න එපා! ඔබේ කටහඬත් එහි නියම ස්වභාවයට පත් වන බව නිසැකයි. ටික කලක් යද්දී ඔබට පුළුවන් වේවි ඔබේ කටහඬේ අලුත්, ගැඹුරු ස්වරය දිගටම පවත්වාගන්න.

‘ඇයි මට මෙහෙම දැනෙන්නේ?’

නව යොවුන් වියේ තරුණ තරුණියන් වේදනාකාරී හැඟීම් ගණනාවකට මුහුණ දෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. උදාහරණයකට, ඔබ කුඩා කාලයේ ඉඳන්ම අඳුරන ඔබේ හොඳම මිත්‍රයා එක්ක කලින් තිබූ කුලුපගකම නැති වී යන බව ඔබට තේරෙනවා ඇති. ඔබ දෙන්නා අතර හැලහැප්පීමක් වෙලාම නැහැ. ඒත් ඔබේ මිත්‍රයා එක්ක කතා කරන්න දෙයක් නැහැ වගේ ඔබට දැනෙන්න පුළුවන්. ඔබේ දෙමව්පියන් එක්ක තිබුණ සම්බන්ධයත් වෙනස් වෙලා ඇති. කලින් මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් සැනසිල්ල, ආරක්ෂාව බලාපොරොත්තුවෙන් ඔබ ඔවුන් ගාවට දුවන්න ඇති. ඒත් දැන් සමහරවිට ඔබට හැඟෙන්න පුළුවන් ඔවුන් යල් පැනපු අදහස් තියෙන අය, ඔවුන් එක්ක විවෘතව කතා කරන්න බැහැ කියලා.

මේ සෑම දෙයක් නිසාම නහඹරයෙකුට දැනෙන්න පුළුවන් තමන් තනි වී ඇති බවක්. එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “ඇතැම් පර්යේෂකයන් තර්ක කරන්නේ, නව යොවුන් වියේදී නිතර නිතරම මතු වන පාළුව තනිකම ළමා කාලයේදී හෝ වැඩිහිටිභාවයේදී හෝ ඒ තරම් දරුණු ලෙස අද්දකින්නේ නැති බවයි.” ඔබ අමුතු පුද්ගලයෙක් බව අනිත් අයට හැඟෙනවා ඇති කියා සිතමින් ඔබේ හැඟීම් හා අදහස් විවෘතව ප්‍රකාශ කිරීමට ඔබ පසුබට විය හැකියි. එහෙමත් නැත්නම්, කවුරුත් ඔබේ මිතුරා වෙන්න කැමති වෙන එකක් නැහැයි කියා සිතමින් අනිත් අය එක්ක මිතුදමක් ඇති කරගැනීමට ඔබ උනන්දු නොවෙනවා වෙන්න පුළුවන්.

නව යොවුන් වියේ සිටින අයට වගේම වැඩිහිටියන්ටත් විටින් විට තනිකමේ හැඟීම් මතු වෙනවා. එහෙත් බොහෝවිට එම හැඟීම් ටික කලකින් පහ වී යන බව මතක තබාගැනීම වැදගත්. * ඔබ නව යොවුන් වියේ සිටින නිසා ඔබ මුළුමනින්ම වාගේ වෙනස් වන බව මතක තබාගන්න. ඔබ ජීවිතය දෙසත් අන් අය දෙසත් බලන ආකාරය මෙන්ම ඔබේ පෞද්ගලිකත්වය පවා නිතර නිතර වෙනස් වෙමින් පවතිනවා. ඇත්තෙන්ම කියනවා නම් ඔබ කැඩපත ගාවට ගිහින් බලද්දී ඔබට හැඟෙන්න පුළුවන් ඔබ දකින පුද්ගලයාව ඔබ අඳුරන්නේ නැති බව! ඔබටත් 17 හැවිරිදි ස්ටීව්ට මෙන් හැඟෙන්න පුළුවන්. ඔහු මෙසේ පිළිගන්නවා. “ඔබේ හැඩරුව වගේම පෞද්ගලිකත්වයත් නිතර වෙනස්කම්වලට භාජන වෙද්දී ඔබම ඔබව හොඳින් අඳුරනවා කියලා කියන්න අමාරුයි.”

පාළුව හා තනිකමේ හැඟීම්වලින් ජයගැනීමට හොඳම ක්‍රමය වන්නේ අන් අය ගැන උනන්දුවක් දැක්වීමයි. මේ සඳහා, ඔබේම වයසේ අය සමඟ පමණක් ඇසුරු නොකර අන් අයවත් දැන හඳුනා ගැනීමට වෑයම් කළ යුතුයි. තනි වී සිටින හා වෙනත් අය එක්ක කතා බහ කිරීමට කැමැත්තක් දක්වන වයසක අයව ඔබ දන්නවා නම් ඔවුන්ගේ නිවසට ගොස් ඔවුන්ව බැලීම හොඳ අදහසක් නොවේද? විශේෂයෙන්ම ගෙදර දොරේ වැඩ සඳහා ඔවුන්ට යම් උදව්වක් අවශ්‍ය නම් ඔබට පුළුවන්ද ඔවුන්ට උපකාර කරන්න? බයිබලය තරුණ තරුණියන්ට මෙන්ම වැඩිහිටියන්ටද උනන්දු කරන්නේ අන්‍යයන්ට සෙනෙහස දැක්වීමේදී “සිත් විශාල කරගන්න” කියායි. (2 කොරින්ති 6:11-13NW) එසේ කිරීම ප්‍රීතිමත් අද්දැකීම් රැසකට මඟ පෑදිය හැකියි.

ඉහත සඳහන් බයිබල් වගන්තිය නව යොවුන් වියේ මතු වන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ක්‍රිස්තියානි යෞවනයන්ට උපකාරවත් වී තිබෙනවා. තවත් එවැනි ප්‍රයෝජනවත් බයිබල් පද ගණනාවක් තිබෙනවා. ඔබ වැඩිහිටිභාවය කරා ගමන් කරන අතරතුරේදී දෙවිගේ වචනයට ඔබේ ජීවිතය කෙරෙහි ඇති කළ හැකි ප්‍රබල බලපෑම ගැන ඊළඟ ලිපිය කියවද්දී සිතා බලන්න.

[පාදසටහන්වල]

^ 13 ඡේ. මුල් කාලයේදී මාස් ශුද්ධිය මාසයකට වරක් සිදු නොවෙන්න ඉඩ තිබෙනවා. එහෙමත් නැත්නම් එය මාසයකට දෙතුන් වතාවක් සිදු වෙන්නත් පුළුවන්. රුධිරය ගලන ප්‍රමාණයද විශාල වශයෙන් වෙනස් විය හැකියි. මේ එක් දෙයක් නිසාවත් ඔබ කලබල විය යුතු නැහැ. එහෙත් අවුරුද්දක් දෙකක් පුරාම අක්‍රමවත් ලෙස මාස් ශුද්ධිය සිදු වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

^ 24 ඡේ. දිගු කාලයක් පුරාම ඔබට පාළුව තනිකම දැනී ඇත්නම් හෝ සියදිවි හානි කරගැනීමේ හැඟීම් ඔබට නිතර නිතරම මතු වේ නම් ඔබ උපකාර ලබාගත යුතුයි. ප්‍රමාද නොවී ඔබේ දෙමව්පියන් සමඟ හෝ ඔබට විශ්වාස කළ හැකි වෙනත් මේරු වැඩිහිටියෙකු සමඟ කතා කරන්න.

[6වන පිටුවේ කොටුව]

මාපියන් කිසි වරදක් නොකරන අය නොවේ

“පොඩි කාලේ මං හිතුවේ මගේ අම්මායි තාත්තායි කවදාවත් වැරදි කරන්නේ නැහැයි කියලා. ඒත් මම නහඹරයෙක් වුණාට පස්සේ, එයාලා මම හිතුව තරම් බුද්ධිමත් අය නෙවෙයි කියලා මට හැඟෙන්න පටන්ගත්තා. එයාලා කිසි වරදක් නොකරන අය නෙවෙයි කියලා මට වැටහුණ නිසයි මම එහෙම හිතුවේ. ඒකෙන් මම ටිකක් කලබලයට පත් වුණා. මට කනගාටුයි කියන්න, මට ඒ වගේ හැඟීමක් ඇති වුණාට පස්සේ එයාලා හිතන විදිහ, එයාලා දුන්න උපදෙස් සැක කරන්න පටන්ගත්තා. ඒත් ඊටපස්සේ මම වේදනාකාරී පාඩම් කිහිපයක් ඉගෙනගත්තා. දැන් මං ආයෙත් මුළු හදින්ම එයාලට ගරු කරනවා. එයාලා අතින් වැරදි සිදු වන බව ඇත්තයි. ඒත් ගොඩක් වෙලාවට එයාලා කියන දේ හරි. එයාලා කියන දේ වැරදි වුණත් එයාලා මගේ දෙමව්පියන් කියලා මම අමතක කරන්නේ නැහැ. ටිකෙන් ටික දැන් අපි අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැඟෙනවා. සාමාන්‍යයෙන් පවුල්වල දෙමව්පියන් හා දරුවන් හොඳ මිතුරන් වගේ ඉන්නවා ඇති කියලා මට හිතෙනවා.”—දහහත් හැවිරිදි ටෙරේසා.

[7වන පිටුවේ පින්තූරය]

යෞවනයන් බොහෝදෙනෙක් වයසක අය සමඟ කුලුපග මිත්‍රත්වයන් ඇති කරගෙන තිබෙනවා