Skip to content

පටුනට යන්න

ලැවෙන්ඩර් සංවේද ඉන්ද්‍රියයන්ට ලැබුණු දායාදයක්

ලැවෙන්ඩර් සංවේද ඉන්ද්‍රියයන්ට ලැබුණු දායාදයක්

ලැවෙන්ඩර් සංවේද ඉන්ද්‍රියයන්ට ලැබුණු දායාදයක්

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්

එංගලන්තයේ පළවෙනි එලිසබෙත් මහ රැජින මෙයින් සාදාගත් රස කාරකයක් රජ බොජුන් සමඟ තැබීමට නියෝග කළා. ප්‍රංශයේ 6වෙනි චාල්ස් රජ අසුන්ගත්තේ මේවායින් පිරවූ කුෂන්වලයි. එංගලන්තයේ වික්ටෝරියා රැජින ඇය ස්නානය කළ ජලයට මේවා එක් කළා. රාජකීය පවුල් මෙතරම් ආකර්ෂණය කළ මේ දේ කුමක්ද? එය වෙන කිසිවක් නොව සුවඳ විහිදුවන පැළයක් වන ලැවෙන්ඩර් පැළයයි. කවදා හෝ ලැවෙන්ඩර් මලින් පිරුණු යායක සිට ඒ අසිරිය විඳ ඇති කෙනෙකුට නම්, මේ සුවඳැති මලට කෙනෙකුගේ සිත මෙතරම් බැඳෙන්නේ ඇයි කියා වටහාගත හැකි වෙයි.

ලැවෙන්ඩර් ජාති 30කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙම ශක්තිමත් පැළෑටිය විවිධ දේශගුණික තත්වයන් මැද සරුවට වැඩෙයි. උදාහරණයක් ලෙස සීත සුළඟින් නැහැවී යන ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය අසල ප්‍රදේශයේත් කාෂ්ටක වියළි දේශගුණයකින් හෙබි මැද පෙරදිග වැනි රටවලත් මේ පැළය වැඩෙයි. මෙම පැළෑටියේ උද්භිද නාමය වන ලැවැන්ඩියුලා (lavandula) යන නම ඊට ලැබී තිබෙන්නේ ලතින් භාෂාවේ ලවාර් යන වචනයෙන්. එහි තේරුම “සේදීම” යන්නයි. මෙම යෙදුම පටබැඳුණේ ඉපැරණි කාලයේ රෝම ජාතිකයන් සිරිතක් ලෙස ඔවුන්ගේ වතුර තටාක ලැවෙන්ඩර් තෙල් දමා සුවඳවත් කළ නිසයි.

කාලාන්තරයක සිට පැවතෙන ඖෂධයක්

ලැවෙන්ඩර් ඖෂධයක් ලෙස භාවිත කිරීමට පටන්ගත්තේ මීට අවුරුදු 2,000කට පමණ පෙර සිටයි. මධ්‍යතන යුගයේදී, සොරු සතරදෙනාගේ විනාකිරි ලෙස හැඳින්වූ එක්තරා මිශ්‍රණයක් සෑදීම සඳහා භාවිත කළ ප්‍රධානම අමුද්‍රව්‍යය වූයේ මෙයයි. එම මිශ්‍රණය මහමාරිය රෝගය මර්දනය කිරීම සඳහා භාවිත කරනු ලැබුවා. සොහොන් ගෙවල් කොල්ල කන්නන් මහමාරිය රෝගයෙන් මිය ගිය අය සතු දේවල් කොල්ල කෑමේදී එම ලැවෙන්ඩර් මිශ්‍ර වතුර පිරිසිදු කාරකයක් ලෙස පාවිච්චි කළා. එම මිශ්‍රණයට ඉහත සඳහන් නම පටබැඳුණේ ඒ නිසා විය හැකියි. ඔවුන් කළ එම වැඩය කොතරම් අවදානම් සහිත වුවත් තිබෙන සාක්ෂිවලට අනුව ඔවුන්ට මෙම රෝගය වැලඳුණේ කලාතුරකින්.

දහසයවෙනි ශතවර්ෂයේ විසූ ඖෂධ ශාක ප්‍රයෝජනයට ගෙන ප්‍රතිකාර කළ වෙද මහත්වරු විශ්වාස කළේ ලැවෙන්ඩර්වලින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, හිසේ කැක්කුම පමණක් නොව අත පය පණ නැතිවීම (අංශභාගය) මෙන්ම නියුරෝසියාවද (මානසික ආබාධ) සුව කළ හැකි බවයි. තවද ලැවෙන්ඩර්වලින් සාදන ලද හිස් වැසුම් පැළඳීමෙන් ප්‍රඥාව වැඩි වන බවටද විශ්වාසයක් තිබුණා. පළවෙනි ලෝක මහ යුද්ධය ඇති වූ මේ මෑත කාලයේදී පවා සොල්දාදුවන්ගේ තුවාලවලට බඳින්න තෙල් ලබාගැනීම සඳහා රටවැසියන්ට තමන්ගේ ගෙවතුවලින් ලැවෙන්ඩර් එකතු කරන මෙන් සමහර ආණ්ඩු ඉල්ලා සිටියා.

පාරම්පරික වෙදකම පිළිබඳ අධ්‍යයනයක්

සමහර ලැවෙන්ඩර් තෙල් වර්ග (ලැවැන්ඩියුලා ඇන්ගුස්ටිෆෝලියා) විවිධ බැක්ටීරියා හා දිලීර වර්ග කෙරෙහි බලපෑමක් ඇති කරන බව පෙනෙන්නට තිබෙනවා. ප්‍රතිජීවක ඖෂධවලට සුව කළ නොහැකි බැක්ටීරියා ආසාදනවලට පවා ලැවෙන්ඩර් තෙල් මගින් සුවයක් ගෙන දිය හැකි බව සමහර පර්යේෂකයන්ගේ මතයයි. “ලැවෙන්ඩර් තෙල් වින්නඹු වැඩවලදී විවිධාකාර ලෙස ප්‍රයෝජනවත් වී තිබෙන බව” මෑතක පළ වූ පත්තරයක වාර්තා වෙයි. “මව්වරුන් කිහිපදෙනෙකුව සහභාගි කරගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ලැවෙන්ඩර් තෙල් (ඔවුන් ස්නානය කරන වතුර සමඟ මිශ්‍ර කර) දිගටම පාවිච්චි කළ මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසුව ඇති වූ අපහසුතාවන් දින 3කට හෝ 5කට පසුව අඩු වූ බවයි. . . . දැන් බොහෝ ප්‍රසූතාගාරවල මව්වරුන්ගේ මනස සන්සුන් කිරීම සඳහා ලැවෙන්ඩර් තෙල්වල සුවඳ ප්‍රයෝජනවත් වී තිබේ.”

පළවෙනි එලිසබෙත් රැජින ඇයගේ කෑමවලට රසකාරකයක් ලෙස ලැවෙන්ඩර් පාවිච්චි කිරීම ගැන ඔබ හිතන්නේ කුමක්ද? ඇත්තටම එය කන්න පුළුවන්ද? “ට්යුඩර් සහ එලිසබෙත් රාජ වංශ පැවති කාලවල ලැවෙන්ඩර් එංගලන්තයේ ප්‍රියතම ආහාර රසකාරකයක් වුණා. කෑමවල රුචිය වැඩි කිරීම සඳහා ඔවුන් දඩ මස් හා බැදපු මස් වර්ග සමඟද පලතුරු සමඟද එය මිශ්‍ර කළා. පැණි රස කෑමවලට උඩින් ඉසීමටද යොදාගත්තා. ඒ විතරක් නොවෙයි තනිකර ලැවෙන්ඩර්වලින් සෑදූ ටොෆි වර්ගයක්ද ආහාරයට ගත්තා” යැයි ජුඩිත් මැක්ලෞඩ් විසින් ලියන ලද පොතක (Lavender, Sweet Lavender) සඳහන් වෙනවා. අදත් විස්කෝතු, කේක් හා අයිස් ක්‍රීම් රසවත් කිරීමට සමහර ලැවෙන්ඩර් වර්ග පාවිච්චි කරනවා. කෙසේවෙතත් සියලුම ලැවෙන්ඩර් ජාති ප්‍රියජනක ඒවා නෙවෙයි. විශේෂයෙන්ම කෘමීන්ට. එක් වාර්තාවකට අනුව, “ලැවෙන්ඩර් තෙල් මෙන්ම පිටි කරන ලද කොළ සහ මල් වෙළඳාම් කිරීම සඳහාත් . . . ගෙදර දොරේ පළිබෝධ නාශකයක් වශයෙන් පාවිච්චිය සඳහාත් ප්‍රයෝජනවත්. ගෙදර දොරේ කීඩෑවන්, ගුල්ලන්, කූඩිත්තන් (පැළෑටිවල යුෂ උරා බොන කෘමි විශේෂයක්) හා කාවෝ මර්දනය කිරීමට මෙය භාවිත කළ හැකියි.”

වැඩි වන ඉල්ලුම

මෑත දශකය තුළදී ලැවෙන්ඩර් සඳහා අලුත් ඉල්ලුම් ඇති වී තිබෙනවා. එය දැන් ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, ජපානයේ, නවසීලන්තයේ සහ දකුණු අමෙරිකාවේත් වගා කරනවා. “ලැවෙන්ඩර් හරියට වයින් වගේ” යැයි එක් තරුණ උද්‍යාන විද්‍යාඥයෙක් වන බයිරන් පවසයි. ඔහු ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිසාවේ පිහිටි අක්කර 25කින් යුත් ලැවෙන්ඩර් යායක් සාත්තු කරන කෙනෙක්. “පස හා දේශගුණය ලැවෙන්ඩර්වල වර්ධනයට බලපාන නිසා එකම වර්ගයේ ඒවා වුවද එයින් නිපදවෙන තෙල් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. අස්වැන්න නෙළාගන්න කාලය හා එය සිදු කරන ආකාරය අනුවද මෙය වෙනස් විය හැකියි.”

ලැවෙන්ඩර් තෙල් ලබාගන්නේ වයින් ලබාගැනීමේදී මෙන් පොඩි කිරීමෙන් නොව වාෂ්පයෙන් තැම්බීමෙනුයි. බයිරන් පවසන්නේ “ලැවෙන්ඩර් තෙල් එක ලීටරයක් ලබාගැනීමට ලැවෙන්ඩර් කිලෝග්‍රෑම් 250ක් පමණ අවශ්‍ය” බවයි. “අලුතින්ම කපාගන්නා ලද මල්, කොළ හා නැටි විශාල වානේ සිලින්ඩරයකට දමා හොඳින් තද කරනවා. සිලින්ඩරය යටින් වාෂ්ප යවන අතර ඒවා කොළ සහ මල් අතරින් උඩට නැඟී යන විට එයින් තෙල් මතු වෙනවා. වාෂ්ප සහ තෙල් කොන්ඩෙන්සරයකින් පෙරී ඇවිත් භාජනයකට එකතු වෙනවා. එහිදී තෙල් ජලයෙන් වෙන් වී මතුපිටට පැමිණෙයි. මෙම තෙල් ජලයෙන් වෙන් කර ඇතුළත පිඟන් මැටි ආලේප කර ඇති භාජනවලට එකතු කරයි. ඉන්පසු එම තෙල් නියම තත්වයට පැමිණෙන තුරු මාස කිහිපයක් තබනු ලබනවා.”

බයිරන්ගේ යායෙන් ලබාගන්නා ලැවෙන්ඩර් සබන්, ක්‍රීම් හා ඉටිපන්දම් සෑදීමේදී ප්‍රයෝජනයට ගන්නවා. මල් අමුවෙන් හෝ වේළා විකුණනවා. අවට පරිසරය සුවඳවත් කිරීම සඳහා භාජනවලට දමන වියැළුණු මල් වර්ග අතරින් මිල අධිකම මල වන්නේ ලැවෙන්ඩර් මලයි. සෑම වසරකම දහස් ගණන් විදේශිකයන් ලැවෙන්ඩර් රසකාරකය යොදා සෑදූ රසකැවිලි භුක්ති විඳීමට හා නෙත සිත පිනවන ඒ දසුන හා සුවඳ විඳගැනීමට එහි පැමිණෙනවා. මේවා අගය කරන අමුත්තන්ට බයිරන් නිතරම මතක් කර දෙන්නේ මෙයයි. “අපි තෙල් හදන්නේ නැහැ. අපි කරන්නේ ඒවා ලබාගන්න එක විතරයි. අපේ සංවේද ඉන්ද්‍රියයන් පිනවීමට දායාදයක් හැටියට මේ පැළය අපට ලබා දුන්නේ ලැවෙන්ඩර් පැළයේ නිර්මාතෘයි.”

[11වන පිටුවේ කොටුව]

විකිණීම සඳහා ලැවෙන්ඩර් තෙල් වර්ග තුනක් සාදනවා

සාමාන්‍ය ලැවෙන්ඩර් තෙල් යනුවෙන් හඳුන්වන වර්ගය ලබාගන්නේ සුලබව දක්නට ලැබෙන ලැවෙන්ඩර් (Lavandula angustifolia) ජාතියෙන්. මෙම තෙල් වර්ගය පහත සඳහන් තෙල් වර්ගවලට වඩා වෙනස්. එයට කපුරු සුවඳ එක් කරන්නේ ඉතා සුළු වශයෙන්, නැත්නම් කොහෙත්ම එක් කරන්නේ නැහැ. මෙම තෙල් සෑම වසරකම ටොන් 200ක් පමණ සාදනවා

ස්පයික් ලැවෙන්ඩර් නමින් හඳුන්වන ලැවෙන්ඩර් තෙල් ලබාගන්නේ තවත් (Lavandula latifolia) ලැවෙන්ඩර් ජාතියකින්. මෙම තෙල් වසරකට ටොන් 200ක් පමණ සාදනවා ඇතැයි සිතිය හැකියි

ලැවෙන්ඩින් නම් තෙල් ලබාගන්නේ මුලින් සඳහන් කළ ශාක දෙවර්ගයම දෙමුහුන් කිරීමෙන් හටගන්නාවූ පැළයෙන්. සෑම වසරකම මෙම තෙල් ටොන් දහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් ලොව වටා බෙදාහරිනු ලබනවා

[10වන පිටුවේ පින්තූරය]

බොහෝ ගොවිපොළවල්වල තවමත් ලැවෙන්ඩර් අස්වැන්න ලබාගැනීම සඳහා භාවිත කරන්නේ පාරම්පරික ක්‍රමයි

[10වන පිටුවේ පින්තූරය]

ලැවෙන්ඩර් තෙල් ලබාගන්නේ විශාල ඉස්කාගාරවලදීයි

[10වන පිටුවේ පින්තූරය]

වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීමට පෙර ඇතුළත පිඟන් මැටි ආලේප කරන ලද වානේ භාජනවල ලැවෙන්ඩර් තෙල් දමා ඒවා නියම තත්වයට පැමිණෙන තෙක් තබනවා