Skip to content

පටුනට යන්න

සමහර විද්‍යාඥයන් දෙවිව විශ්වාස කිරීමට හේතු

සමහර විද්‍යාඥයන් දෙවිව විශ්වාස කිරීමට හේතු

සමහර විද්‍යාඥයන් දෙවිව විශ්වාස කිරීමට හේතු

විශ්වය ගැනත් අපේ පෘථිවි ග්‍රහයා මත හොඳින් වැඩෙන ජීවීන් ගැනත් අප නොදන්නා දේවල් විද්‍යාව මගින් අපට නිරතුරුවම තේරුම් කර දෙයි. කෙසේවෙතත් මතු දැක්වෙන ප්‍රශ්න විද්‍යාඥයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනයාගේද සිත් තුළ තවමත් ඇති වේ. විශ්වය බිහි වූයේ කෙසේද? විශ්වය බිහිවීමට පෙර පැවතියේ කුමක්ද? විශ්වය විශේෂයෙන්ම නිර්මාණය වී තිබෙන්නේ ජීවයේ පැවැත්මට යෝග්‍ය අයුරින් බව පෙනෙන්න තිබෙන්නේ මන්ද? මිහිතලය මත ජීවය හටගත්තේ කෙසේද?

එවැනි ප්‍රශ්නවලට නිවැරදිව උත්තර දීමට විද්‍යාවට තවමත් හැකි වී නැත. ඉදිරියේදීවත් හැකි වෙයිද කියා සමහරු සැක පහළ කරති. මේ නිසා තමන්ගේ මත හා විශ්වාසයන් ගැන යළි සිතා බැලීමට සමහරුන් පෙලඹී ඇත. මැවුම්කරුවෙකුගේ පැවැත්ම ගැන සිතා බැලීමට ඇතැම් විද්‍යාඥයන්ට හේතු පාදක වී තිබෙන අභිරහස් තුනක් ගැන අපි දැන් සලකා බලමු.

තිතටම සකස් වී තිබෙන විශ්වය බිහි වූයේ අහම්බෙන්ද?

එක් ප්‍රධාන ප්‍රශ්නයක්, තිතටම සකස් වී තිබෙන අපේ විශ්වය හා සම්බන්ධයි. අප ජීවත් වන පෘථිවි ග්‍රහයාගේ මෙන්ම එහි වෙසෙන සියලුම ජීවීන්ගේ පැවැත්මට යෝග්‍ය පරිදි සකස් වූ ඉතාමත් නිවැරදි භෞතික නීති හා නොවෙනස්ව සිදු වන ස්වාභාවික ක්‍රියාකාරකම් විශ්වය පුරා දැකිය හැක්කේ මන්ද?

තිතටම සකස් වී තිබීම යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද? නිදසුනක් වශයෙන් මූලික භෞතික බලයන් හතර වන විද්‍යුත් චුම්බකත්වය, ගුරුත්වය, ප්‍රබල න්‍යෂ්ටික බලය හා දුර්වල න්‍යෂ්ටික බලය ඉතා නිවැරදිව සකස් වී තිබෙන ආකාරය සලකා බලන්න. * මෙම බලයන් හතර විශ්වයේ සෑම වස්තුවකටම බලපායි. මේවා මොන තරම් සමබරතාවකින් හා නිරවද්‍යතාවකින් සකස් වී තිබෙනවාදැයි කියනවා නම් ඒවායේ සුළු වෙනසක් පවා සිදු වුවහොත් විශ්වය ජීවීන්ගෙන් තොර විය හැක.

තර්කානුකූලව සිතන බොහෝදෙනෙක් විශ්වය තිතටම සකස් වී තිබීමට හේතුව හුදෙක් අහඹු ලෙස දේවල් එකවර සිදුවීමයි කියා කරන පැහැදිලි කිරීම ගැන සෑහීමට පත් නොවෙති. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හිටපු භෞතික විද්‍යාඥයෙකු වූ ජෝන් පෝකිංහෝන් මෙසේ නිගමනය කළේය. “අප මේ දකින විශ්වය බිහිවීමට නම් සොබාදහමේ නීති විස්මිත ලෙස තිතටම සකස් වී තිබිය යුතු බව ඔබ තේරුම්ගන්න විට, විශ්වය ඇති වූයේ අහම්බෙන් නොව, යම් අරමුණක ප්‍රතිඵලයක් වශයෙන් බවට වූ අදහස ඔබේ සිත තුළ ජනිත වනු ඇත.”

ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥ පෝල් ඩේවීස් ඒ හා සමාන අදහසක් මෙසේ ඉදිරිපත් කළේය. “විද්‍යාඥයන් බොහෝදෙනෙක් දෙවි කෙනෙක් සිටිය හැකි බවට වූ මතයට පමණක් නොව පුද්ගලයෙකු නොවන මැවීමක් සිදු කළ හැකි බලවේගයක් ඇති බවට වූ අදහසටද නිග්‍රහ කරති.” ඔහු තවදුරටත් මෙසේද පැවසුවේය. “ඔවුන් කරන මේ නිග්‍රහයට මම සම්බන්ධ නොවෙමි. . . . අපේ පැවැත්ම දෛවෝපගත සිදුවීමක් බව මට කොහෙත්ම විශ්වාස කළ නොහැක. . . . අපගේ බිහිවීම දැවැන්ත විශ්ව නාට්‍යයේ සිදු වූ සුළු වරදක ප්‍රතිඵලයක්ද නොවේ.”

සංකීර්ණතාව තුළින් මතු වන අභියෝගය

අද සිටින විද්‍යාඥයන් හමුවෙහි තිබෙන දෙවන අභියෝගාත්මක ගැටලුව වන්නේ අප අවට තිබෙන ලෝකයේ අතිමහත් සංකීර්ණත්වයයි. යම් දෙයක සංකීර්ණත්වය වැඩි වන තරමට එය අහම්බෙන් ඇතිවීමට තිබෙන ඉඩ කඩ අල්ප බව සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට පවා වැටහෙයි. මේ නිදසුන සලකා බලන්න.

ජීවය බිහිවීමට අත්‍යවශ්‍ය මූලික අංගයක් වන DNA සෑදීමට සියයට සියයක්ම හිතකර ලෙස සකස් වූ පසුබිමක් තුළ රසායනික ප්‍රතික්‍රියා අසීමිත ගණනක් සිදු විය යුතුයි. මීට දශක තුනකට ඉහතදී අ.එ.ජ. යූටා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ෆ්‍රැන්ක් සෝල්ස්බරි, ජීවය බිහිවීමට අත්‍යවශ්‍ය මූලික DNA අණුවක් ඉබේම බිහිවීමේ සම්භාවිතාව ගණනය කළේය. එම සම්භාවිතාව කොතරම් අල්පද කියනවා නම් ගණිතමය වශයෙන් එය සිදු විය නොහැකි දෙයක් ලෙස සැලකෙන බව ඔහුගේ එම ගණනය කිරීමෙන් හෙළි විය. *

සංකීර්ණත්වය විශේෂයෙන්ම දැකගත හැක්කේ සංකීර්ණ අංගවලින් යුත් ජීවීන් අතරය. මෙම අංගවලින් ඵලදායක කාර්යයක් සිදුවීමට නම් තවත් සංකීර්ණ අංග තිබිය යුතුයි. නිදසුනකට ප්‍රජනනය ගැන සලකා බලමු.

පරිණාමවාදී මතවලට අනුව, ජීවීන් තව තවත් සංකීර්ණ වෙද්දී අඛණ්ඩව ජනිතයන්ව බිහි කිරීමෙහි කාර්යයෙහි එම ජීවීන් නිරත විය. කෙසේවෙතත් එක්තරා අවදියකදී සත්ව විශේෂ ගණනාවක ගැහැනු සතා නිපදවූ ප්‍රජනන සෛලවල සංකීර්ණත්වය තව තවත් වැඩි විය. මෙම ප්‍රජනන සෛල සංසේචනය කිරීම සඳහා අනුපූරක ප්‍රජනන සෛල තිබෙන පිරිමි සතෙකුගේ අවශ්‍යතාව ඉස්මතු විය. තමන්ගේ ජනිතයන්ට අවශ්‍ය නියමිත වර්ණදේහ සංඛ්‍යාව ලබා දීම සඳහා දෙමාපියන් දෙදෙනාගේම ප්‍රජනන සෛල ඌනන විභාජනය (meiosis) ලෙස හඳුන්වනු ලබන පුදුමසහගත ක්‍රියාවලියකට ලක් වේ. මෙම ක්‍රියාවලියේදී පිතෘ හා මාතෘ සෛලවල තිබෙන සාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් ඉතිරි වේ. මෙම ක්‍රියාවලිය මගින් ජනිතයන්ට වර්ණදේහ අතිරික්තයක් ලැබීම වැළකෙයි.

පරිණාමවාදයට අනුව මෙම ක්‍රියාවලිය වෙනත් සත්ව විශේෂ අතරද සිදු විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. එසේනම් සෑම සත්ව විශේෂයකම “මුල්ම මවට” පූර්ණ ලෙස වර්ධනය වූ “මුල්ම පියෙකු” ආධාරයෙන් සිය වර්ගයා බෝ කිරීමේ හැකියාව ලැබුණේ කෙසේද? මාපියන් දෙදෙනාගේම ඇතැම් ගතිලක්ෂණ උරුම කරගන්නා නිරෝගි ජනිතයෙකුව බිහි කළ හැකි වන පරිදි තමන්ගේ ප්‍රජනන සෛලවල තිබෙන වර්ණදේහ සංඛ්‍යාව එක හා සමාන කොටස් දෙකකට බෙදීමේ හැකියාව ඔවුන් දෙදෙනාටම හදිසියේ ලැබුණේ කෙසේද? මෙසේ ජනිතයන් බිහි කිරීමේ අංග වර්ධනය වූයේ ක්‍රමානුකූලව නම්, එවන් අත්‍යවශ්‍ය අංග ලක්ෂණ පූර්ණ ලෙස වර්ධනය නොවූ අවදියක සෑම ජීවී විශේෂයකම ගැහැනු හා පිරිමි ජීවියාට බේරී ජීවත් වීමට හැකි වූයේ කෙසේද?

එක සත්ව විශේෂයක පවා සිටින ගැහැනු හා පිරිමි සතුන් තුළ අනුපූරක ප්‍රජනන සෛල අහම්බෙන් වර්ධනය වීමට තිබෙන නොහැකියාව කොතරම්ද කියනවා නම් එය ගණනය කිරීම පවා කළ නොහැකි දෙයකි. එසේනම්, එවැනි දෙයක් ජීවී විශේෂ ගණනාවක සිදුවීමට තිබෙන ඉඩ කඩ සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයට පැහැදිලි කිරීමක් කළ නොහැකියි. මෙවැනි සංකීර්ණත්වයක් පැහැදිලි කිරීමට පරිණාමවාදයට හැකිද? සංකීර්ණ වූ අන්‍යෝන්‍ය සබඳතාවලින් යුත් එවැනි ජෛව පද්ධති අහම්බෙන්, අරමුණක් නැති සිද්ධීන්වල ප්‍රතිඵලයක් ලෙස හටගත හැක්කේ කෙසේද? යම් දුර දක්නා නුවණක් හා සැලසුමක් තිබෙන බවට සාක්ෂි පෙන්වා දෙන ලක්ෂණ ඕනෑ තරම් ජීවීන් තුළ දැකිය හැකියි. එම ජීවීන් බුද්ධිමත් සැලසුම්කරුවෙකු සිටින බවට සාක්ෂියකි.

විද්වතුන් රාශියක් එවන් නිගමනයකට එළඹී තිබේ. නිදසුනක් වශයෙන් ගණිතඥ විලියම් ඒ. ඩෙම්ස්කි සඳහන් කළේ ‘ස්වාභාවික ලෝකය තුළ දැකිය හැකි දේවලින් ඔප්පු වන්නේ ඒවා බුද්ධිමත් නිර්මාණයක් බවයි. ඒ ගැන පිළිගත හැකි ආකාරයෙන් පැහැදිලි කිරීමේදී බුද්ධිමත් හේතුකාරකයන් තිබිය යුතු බව පිළිගැනීමට සිදු වේ.’ අණුක ජීව රසායන විද්‍යාඥ මයිකල් බීහි එම සාක්ෂි මෙසේ සාරාංශ කර දක්වයි. “ඔබ හොඳ කතෝලිකයෙක් වුණත් ඩාවින්ගේ පරිණාමවාදයද විශ්වාස කරන කෙනෙක් විය හැකියි. ඒ වුණත් තර්කානුකූල හේතු සාධක මත කරුණු සොයා බලන විද්‍යාඥයෙකුට නම් ජීව රසායන විද්‍යාව නිසා පරිණාමවාදය විශ්වාස කිරීම දුෂ්කර වී තිබේ.”

අවිනිශ්චිත පොසිල වාර්තාවක්

ඇතැම් විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වී තිබෙන තුන්වන අභිරහස පොසිල වාර්තාව හා සම්බන්ධයි. පරිණාමය යුග ගණනාවක් පුරා සිදු වූ ක්‍රියාවලියක් නම්, ප්‍රධාන ජීවීන් වර්ග අතර සිටිය යුතු අතරමැදි ජීවීන් හෝ පුරුක් රාශියක් සොයාගැනීමට හැකි වේයයි අප අපේක්ෂා කළ යුතුයි. කෙසේවෙතත් ඩාවින්ගේ කාලයේ පටන් මේ දක්වා පොළොව යට තිබී සොයාගෙන තිබෙන අතිවිශාල පොසිලවලින් තහවුරු වී තිබෙන්නේ එවැනි අතරමැදි පුරුක් නොතිබූ බවයි. ප්‍රධාන ජීවීන් වර්ග අතර සිටිය යුතු අතරමැදියන් නැත.

මේ නිසා පරිණාමවාදය තහවුරු කිරීමට තිබෙන සාක්ෂි පිළිගත නොහැකි බවත් ජීවය පරිණාමය වූවාය කියා ඔප්පු කිරීමට ඒවාට නොහැකි බවත් විද්‍යාඥයන් බොහෝදෙනෙකු නිගමනය කර තිබේ. ගුවන්ගත කරන යානා පිළිබඳ ඉංජිනේරුවෙකු වන ලූතර් ඩී. සදර්ලන්ඩ් ලියූ පොතක (Darwin’s Enigma) මෙසේ සඳහන් වේ. “ඒක සෛලීය ප්‍රොටොසොවා සිට මිනිසා දක්වා වූ වෙනස් වර්ගයක ජීවියෙක් මුලින්ම පොළොව මත බිහි වූ කාල වකවානුව කුමක් වුවත් ඒ කාලයේදී, එම ජීවියා සම්පූර්ණ ජීවියෙක් වූ බව විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යයි. එමෙන්ම ඒ ජීවියාගේ අවයව හා සැකැස්ම සම්පූර්ණ මෙන්ම කිසිම අඩුවක් නැතිව ක්‍රියාත්මක විය. මෙයින් අනිවාර්යයෙන්ම නිගමනය කළ යුත්තේ මුල්ම ජීවියා පොළොව මත වාසය කිරීමට කලින් යම් ආකාරයක බුද්ධියක් ක්‍රියාත්මක වූ බවයි.”

අනිත් අතට ජීවීන් බිහි වූ අනුපිළිවෙළ සම්බන්ධයෙන් බයිබලයේ උත්පත්ති පොතේ සඳහන් වාර්තාව සමඟ පොසිල වාර්තා ඉතා හොඳින් ගැළපෙයි. ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා තිබෙන භෞතික රසායන විද්‍යාඥයෙකු වන ඩොනල්ඩ් ඊ. චිටික් මෙසේ පවසයි. “පොසිල වාර්තා හොඳින් පරීක්ෂා කිරීමේදී නිගමනය කළ හැක්කේ උත්පත්ති වාර්තාවේ සඳහන් ආකාරයට සතුන් ඒ ඒ වර්ග ලෙස බිහි වී තිබෙන බවයි. එක් වර්ගයක සතුන් තවත් වර්ගයක සතුන් බවට වෙනස් වූයේ නැත. තිබෙන සාක්ෂි හා කෙළින්ම මැවූ බවට උත්පත්ති වාර්තාවේ සඳහන් වාර්තාව අතර එකඟතාවක් තිබේ. මේ සාක්ෂි ඩාවින්ගේ කාලයේද තිබිණ. සතුන් මෙන්ම ශාකද ඒ ඒ වර්ග ලෙස දිගටම තම වර්ගයා බිහි කරයි. ඇත්තෙන්ම පාෂාණිධාතු විද්‍යාව (පොසිල අධ්‍යයනය කිරීම) සහ ඩාවින්ගේ පරිණාමවාදය අතර තිබෙන ගැටුම කොයි තරම් ප්‍රබලද කියනවා නම් අතරමැදි පුරුක් කවදාවත් සොයාගත නොහැකි බව විශ්වාස කිරීමට ඇතැම් විද්‍යාඥයන් පටන්ගෙන තිබේ.”

සාක්ෂි පිළිගැනීම

ඉහත විස්තර කළ කරුණු මැවුම්කරුවෙකු සිටින බවට තිබෙන සාක්ෂි බැහැර කරන අයව ව්‍යාකූල කරවන අතර ඒ පිළිතුරු නොලැබී තිබෙන ප්‍රශ්නවලින් අල්පයක් පමණයි. ඒවා මහා වනාන්තරයකින් කඩාගත් කොළ මිටක් හා සමානයි. විද්‍යාඥයන් දෙවි කෙනෙකු සිටින බව ප්‍රතික්ෂේප කරන්නේ ඒ සඳහා පැහැදිලි සාක්ෂි හා තර්කානුකූල පදනමක් ඔස්සේ ඔවුන් රැස් කරගෙන ඇති කරුණු නිසා නොවේ. ඒ වෙනුවට ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ නිවැරදි වේවායි ප්‍රාර්ථනා කරන උපකල්පන හා අනුමාන කිරීම් පමණි. ඇතැම් විද්‍යාඥයෝ මෙම යථාර්ථය හොඳින් වටහාගෙන සිටිති.

එම නිසා, දිගු කාලයක් පුරා සාර්ථක ප්‍රතිඵල නෙළාගනිමින් කළ විද්‍යාත්මක පර්යේෂණවලින් පසු තාරකා විද්‍යාඥ ඇලන් සැන්ඩ්විජ් පැවසුවේ මෙසේයි. “මා හැදෑරූ විද්‍යාව නිසා මට සිදු වුණා, විද්‍යාවට පැහැදිලි කළ නොහැකි තරම් මේ ලෝකය ඉතා සංකීර්ණ බව පිළිගන්න. සෑම දෙයකම පැවැත්ම පිළිබඳ අභිරහස මට තේරුම්ගත හැක්කේ අපට නිරීක්ෂණය කළ හැකි විශ්වයට එහා තිබෙන යම් හේතුකාරකයක් ආධාරයෙන් පමණයි.”

[පාදසටහන්වල]

^ 6 ඡේ. මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොතේ 2වන පරිච්ඡේදය බලන්න.

^ 11 ඡේ. “ජීවයට හිතකර පරිසරයක්” තිබෙන ග්‍රහයන් 10,00,00,00,00,00,00,00,00,000 (1020) ක් මත වසර බිලියන හතරක කාලයක් පුරා ස්වාභාවිකව සිදු වන රසායනික ප්‍රතික්‍රියා මගින් මූලික DNA අණුවක් එම ග්‍රහයන්වල බිහිවීමට ඉඩ කඩ තිබූ බව ඔහු උපකල්පනය කළේය. එකම එක මූලික DNA අණුවක් සෑදීමට තිබෙන ඉඩ කඩ ගැන කුමක් කිව හැකිද? ඔහුගේ ගණනය කිරීමට අනුව එය 10415 බලයෙන් එකකි!

[16වන පිටුවේ කොටුව]

විද්‍යාඥයන්ට තේරුම්ගත නොහැකි ප්‍රශ්න

▪ විශ්වයේ හා ජීවයේ පැවැත්මට යෝග්‍ය වන පරිද්දෙන්, ප්‍රධාන භෞතික බලයන් හතර තිතටම සකස් වී තිබෙන ආකාරයෙහි විස්මිත බවක් තිබෙන්නේ ඇයි?

▪ ජීවීන්ගේ අතිදැවැන්ත, කිසිවිටෙකත් සරල කළ නොහැකි සංකීර්ණතාව පැහැදිලි කළ හැක්කේ කෙසේද?

▪ ෆොසිල වාර්තාව අපැහැදිලි වන්නේ ඇයි? ප්‍රධාන ජීවීන් වර්ග අතර සිටිය යුතු අතරමැදි ජීවීන් හෝ පුරුක් පිළිබඳ සාක්ෂිවලට සිදු වී තිබෙන්නේ කුමක්ද?

[18වන පිටුවේ කොටුව]

සියයට සියයක්ම අහම්බෙන්ද?

නැෂනල් ජියොග්‍රැෆික් සඟරාවේ මෑත කලාපයක කවරයේ දක්නට තිබුණේ කාගෙත් සිත්ගන්නා දසුනකි. කැමරාවකට හසු වූ මවකගේ හා දරුවෙකුගේ ප්‍රේමණීය බැඳීම එහි දක්නට තිබිණ. එක් පාඨකයෙක් එම සඟරාවේ ප්‍රකාශකයන්ට ඒ ගැන මෙසේ ලීවේය. “ඔබ පළ කරන සඟරාවේ කවරයේ තිබූ මව සහ දරුවාගේ ඡායාරූපය අතිවිශිෂ්ටයි. මාස නවයකට ඉහතදී අල්පෙනෙති තුඩක් තරමේ බීජයක්ව සිටි ඒ සුරතල් දරුවා දෙස බලා, මේ විස්මිත වර්ධනය සිදු වූයේ අහම්බෙන් කියා යම් කෙනෙක් සිතනවා නම්, මට එය කොහොමටවත් විශ්වාස කළ නොහැකියි.”

බොහෝදෙනෙකු ඒ තැනැත්තා සමඟ එකඟ වෙනවා ඇත. කතුවරයෙකු මෙන්ම න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ජෙරල්ඩ් ෂ්‍රෝඩර්, විශ්වය හා ජීවය ඇතිවීමට බලපා තිබෙන හේතුව හුදෙක් අහම්බෙන් සිදු වූ යමක් වීමේ ඉඩ කඩ, පිට පිට තුන් වතාවක් ලොතරැයියක් ජයග්‍රහණය කිරීමට තිබෙන ඉඩ කඩ හා සමඟ සසඳයි. “තුන්වන වතාවටත් ජයග්‍රහණය කර ජයමල්ල ලබාගැනීමට පෙරාතුව ඔබ යම් ජාවාරමක් කළායයි සැකය පිට ඔබව හිරගෙට ගෙනියාවි. ලොතරැයියක් පිට පිට තුන් වතාවක් හෝ ජීවිත කාලය පුරාම තුන් වතාවක් ජයග්‍රහණය කිරීමට තිබෙන ඉඩ කඩ කොතරම් අල්පද කියනවා නම් එය ගණනකටවත් ගත නොහැකියි.”

[17වන පිටුවේ පින්තූර]

මේ බලයන් සතර තිතටම සමබරව සකස් වී නැත්නම් කිසිම ජීවියෙකුට ජීවත් විය නොහැකියි

දුර්වල න්‍යෂ්ටික බලය නිසා අපේ සූර්යයා නොවෙනස් වන අගයකින් රශ්මිය පිට කරයි

ගුරුත්වය පොළොව මත වස්තූන් රඳවා තබාගැනීමට ඉවහල් වෙයි

ප්‍රබල න්‍යෂ්ටික බලය පරමාණුවල න්‍යෂ්ටි එකට බැඳ තබයි

විද්‍යුත් චුම්භකත්වය විදුලි කෙටීම්වලට හේතුවයි

[17වන පිටුවේ පින්තූරය]

මිනිසාව පසෙකලා සිතුවත්, DNA අණුවලින් සමන්විත ඒක සෛලීය ජීවියෙක් වැනි ඉතා සංකීර්ණ යමක් බිහි කිරීමට අහඹු බලවේගයන්ට හැකිද?

[18වන පිටුවේ පින්තූරය]

ජීවය පරිණාමය වූ බව ඔප්පු කිරීමට පොසිල වාර්තා අසමත් වී ඇත