ඉගෙනගැනීමට ඇල්මක් ඇති කළ හැකි අයුරු
ඉගෙනගැනීමට ඇල්මක් ඇති කළ හැකි අයුරු
“ජීවත් විය යුතු ආකාරය දරුවෙකුට උගන්වන්න. ජීවිත කාලය පුරාවටම ඔහුට එය අමතක නොවේ.”—හිතෝපදේශ 22:6, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.
යම් සිත්ගන්නා දෙයක් සිදු වන අතරතුරේදී දරුවන්ව නිදි කරන්න ඔබ වෑයම් කර තිබෙනවාද? නිදි කිරා වැටෙමින් වෙහෙසට පත් වී සිටියත් අඬමින් හෝ කේන්තියෙන් සිටියත් ඔවුන් බලන්නේ ඒ දේට කොහොමහරි හවුල් වෙන්නයි. “අවට ලෝකය ගැන මනා අවබෝධයක් ලබාගෙන දක්ෂතාවන් වර්ධනය කරගැනීමට දරුවන්ට ඇති අවශ්‍යතාව ආහාර පාන, විවේකය හෝ නින්ද ලැබීම සඳහා ඇති අවශ්‍යතාව තරම්ම ප්‍රබලයි. සමහරවිට එය ඊටත් වඩා ප්‍රබල වෙන්නත් පුළුවන්” කියා කර්තෘ ජෝන් හෝල්ට් ලියනවා.
අභියෝගය වන්නේ, ඉගෙනීම සඳහා දරුවන්ට ඇති එම ආශාව පාසැලේ ඉගෙනුම ලබන කාලය ඇතුළුව ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පවත්වාගැනීමයි. මෙය ඉටු කරගැනීම සඳහා නොවරදින එක් විශේෂ ක්‍රමයක් නැහැ. එහෙත් සාර්ථක බව ඔප්පු වී ඇති ක්‍රම කිහිපයක් තිබෙන අතර දෙමව්පියන්ට, ගුරුවරුන්ට හා දරුවන්ට ඒවා අත්හදා බැලිය හැකියි. එහෙත් ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ දරුවන්ට ප්‍රේමය පෙන්වීමයි.
ප්‍රේමය පෙන්වා සැඟවුණු දක්ෂතාවන් මතු වෙන්නට සලස්වන්න
දරුවන් ප්‍රේමය ලබන්න හරි ආසයි. එය ලැබෙන විට ඔවුන්ට සුරක්ෂිත හැඟීමක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට, ප්‍රශ්න ඇසීමට හා අලුත් දේවල් ගැන සොයා බැලීමට වූ ඔවුන්ගේ උනන්දුව වැඩි වෙනවා.
දරුවන් සමඟ නිතර කතා කිරීමට හා ඔවුන්ගේ අධ්‍යාපනය ගැන උනන්දුවක් දැක්වීමට දෙමව්පියන්ව පොලඹවන්නේ මේ ප්‍රේමයයි. “දරුවෙකු ඉගෙනගැනීමට උනන්දු වන්නේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගේ යහපත් බලපෑම නිසයි” කියා ඇතැම් අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. එය සඳහන් වූයේ දරුවන් තුළ ඉගෙනීමට උනන්දුවක් හා ඇල්මක් ඇති කිරීම (සිංහලෙන් නැත) නම් පොතෙයි. එම බලපෑමෙන් ඇති වන ප්‍රතිඵල දෙගුණ තෙගුණ වන්නේ දෙමව්පියන් තම දරුවන්ගේ ගුරුවරුන් සමඟ සහයෝගයෙන් වැඩ කරන විටයි. “ඉගෙනීම සඳහා දරුවෙකුගේ උනන්දුව යළි පුබුදුවාලීමට දෙමව්පියන්ට හා ගුරුවරුන්ට කළ හැකි හොඳම දේ වන්නේ සහයෝගයෙන් එක්ව වැඩ කිරීමයි” කියා ඉහත සඳහන් පොතේ පවසනවා.දරුවන් ඉගෙනගැනීමට දක්ෂ වන්නේද ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන දිරිගැන්වීම අනුවයි. පවුල් 43ක් යොදාගනිමින් දිගු කාලයක් පුරා සිදු කළ එක්තරා අධ්‍යයනයක් පිළිබඳව මොළයේ අභ්‍යන්තරයට ගමනක් (සිංහලෙන් නැත) නම් පොතේ වාර්තා කර තිබුණා. එම පොතේ පර්යේෂකයන්ගේ සොයාගැනීම් පිළිබඳව සඳහන් කර තිබුණේ මෙසේයි. “දෙමව්පියන් [තම දරුවන්ගේ ජීවිතයේ මුල් අවුරුදු තුනේදී] ඔවුන් සමඟ ගොඩක් කතා බහ කළ විට දරුවන්ගේ බුද්ධි මට්ටම ඉතා ඉහළ තලයක පැවතුණා. එහෙත් දෙමව්පියන් තම දරුවන් සමඟ එතරම් කතා බහ නොකළ විට ඉහත සඳහන් දරුවන්ට වඩා ඔවුන්ගේ බුද්ධි මට්ටම සෑහෙන්න අඩු වුණා.” එම පොතේ තවදුරටත් මෙසේ විස්තර කරනවා. “දරුවන් යමක් හොඳින් කළ විට ඔවුන්ට ප්‍රශංසා කරන්නත් ඔවුන් අසන ප්‍රශ්නවලට ප්‍රතිචාරය දක්වන්නත් වැඩියෙන්ම පෙලඹෙන්නේ දරුවන් සමඟ ගොඩක් කතා බහ කරන දෙමව්පියන්. ඔවුන් සාමාන්‍යයෙන් දරුවන්ට අණ දෙනවා වෙනුවට ඔවුන්ට යම් මඟ පෙන්වීමක් දෙනවා. පුළුල් වාග්මාලාවක් යොදාගනිමින් වචන විවිධ ක්‍රමවලට හසුරුවන්නත් ඔවුන් පෙලඹෙනවා.” ඔබ මාපියෙක්ද? එසේනම්, ඔබ ඔබේ දරුවන් සමඟ නිතරම අර්ථාන්විත ලෙස අදහස් හුවමාරු කරගන්නවාද?
ප්‍රේමය කරුණාවන්තයි, තේරුම්ගන්නාසුලුයි
එක් එක් දරුවන්ගේ හැකියාවන් හා කුසලතාවන් එකිනෙකට වෙනස්. මෙම වෙනස්කම්, දෙමව්පියන් තම දරුවන්ට දක්වන ප්‍රේමය, සැලකිල්ල කෙරෙහි බලපෑම් නොකළ යුතුයි කියා අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අද ලෝකයේ යමෙකුගේ වටිනාකම බොහෝදුරට තක්සේරු කරන්නේ ඔහුගේ හැකියාවන් අනුවයි. මේ නිසා “තමන්ගේ පෞද්ගලික වටිනාකම රඳා පවතින්නේ අනිත් අයට වඩා හොඳින් යමක් ඉටු කිරීම මතයි කියා විශ්වාස කිරීමට” සමහර දරුවන් පෙලඹෙන්න පුළුවන්. එසේ සඳහන් වූයේ සිතීමේ හා ඉගෙනීමේ හැකියාව (සිංහලෙන් නැත) නම් පොතෙයි. එම විශ්වාසය නිසා දරුවන් “තමන් අසමත් වේය යන බියට පහසුවෙන්ම
හසු වෙනවා.” ඔවුන් අනවශ්‍ය ලෙස කනස්සලු වීමට හා මානසික පීඩනයට ලක් වෙන්න පුළුවන්. පසුගිය අවුරුදු 25 ඇතුළත ඉන්දියාවේ සියදිවි හානි කරගන්නා නහඹරයන්ගේ සංඛ්‍යාව තුන්ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව ඉන්ඩියා ටුඩේ නම් සඟරාවේ වාර්තා කරනවා. පාසැලේ ඉහළ ප්‍රතිඵල ගැනීමට දරුවන්ට එල්ල වන පීඩනය හා පවුලේ අයගෙන් සහයෝගයක් නොලැබීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බව විශ්වාස කෙරේ.දරුවන්ට “මෝඩයා” නැත්නම් “කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද?” වැනි දේවල් පැවසීමෙන්ද ඔවුන්ගේ මානසිකත්වයට විශාල හානියක් වෙන්න පුළුවන්. එවැනි කෲර වචන පවසන විට දරුවන් අධෛර්යයට පත් වෙනවා මිසක ඔවුන්ට ඉගෙනගැනීමට දිරිගැන්වීමක් නම් ලැබෙන්නේ නැහැ. දෙමව්පියන් නිතරම කරුණාවන්ත විය යුතුයි. ඉගෙනීමට දරුවාට නිතැතින්ම එන ආශාවට දිරි දෙමින් ඔහුගේම වේගයෙන් ඉගෙනීමට දරුවාට ඉඩ දිය යුතුයි. තමා ලජ්ජාවට පත් වේය යන බිය දරුවා තුළ හටගැනීමට ඉඩ නොදිය යුතුයි. දරුවෙකුට ප්‍රේමය පෙන්විය යුත්තේ ඒ ආකාරයටයි. (1 කොරින්ති 13:4, නව අනුවාදය) ඉගෙනගැනීමේදී යම් පැතිවලින් දුර්වලතා දරුවෙකු තුළ මතු වේ නම් ප්‍රේමණීය දෙමව්පියන් ඔහුට උපකාර කිරීමට වෑයම් කරනවා. ඔවුන් කිසිවිටෙක දරුවාට තමා මෝඩයෙක් හෝ වැදගැම්මකට නැති කෙනෙක්ය කියා සිතීමට සලස්වන්නේ නැහැ. ඒ සඳහා ඉවසිලිවන්තව හා උපායශීලීව කටයුතු කිරීමට සිදු වන බව ඇත්තයි. එහෙත් දරන වෑයම ඇත්තෙන්ම වටිනවා. එවන් ප්‍රේමයක් වර්ධනය කරගත හැක්කේ කෙසේද? ගත යුතු මුල්ම පියවර වන්නේ ආත්මික දෘෂ්ටියක් වර්ධනය කරගැනීමයි.
ආත්මික දෘෂ්ටියක් සමබර වීමට දායක වෙයි
බයිබල් ඉගැන්වීම් මත පදනම් වූ ආත්මිකත්වය විශේෂයෙන්ම වැදගත් වීමට හේතු කිහිපයක් තිබෙනවා. උදාහරණයකට, ලෞකික අධ්‍යාපනය නිසි තැන තැබීමටත් එය වැදගත් වුවත් වැදගත්ම දෙය නොවන බව තේරුම්ගැනීමටත් ආත්මික දෘෂ්ටියක් තිබීම අපට උපකාර කරනවා. ගණිතය නම් විෂය ගැන සිතා බලන්න. එය දෛනික ජීවිතයට ඉතා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එහෙත් එමගින් යමෙකුව සදාචාර සම්පන්න, ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් බවට පත් කළ නොහැකියි.
ලෞකික අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන කාලය සම්බන්ධයෙන් සමබර වීමට දිරිගන්වමින් බයිබලය අපට මෙසේ පවසනවා. “බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත. බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය.” (දේශනාකාරයා 12:12) දරුවන් හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතු බව ඇත්තයි. එහෙත් ඔවුන් තම කාලය මුළුමනින්ම ඒ සඳහා වැය නොකළ යුතුයි. වෙනත් හිතකර ක්‍රියාකාරකම්වල යෙදීමටත් ඔවුන්ට කාලය තිබිය යුතුයි. ඔවුන්ගේ ඇතුළාන්ත පුද්ගලයා වර්ධනය වීමට දායක වන ආත්මික ක්‍රියාකාරකම් විශේෂයෙන්ම වැදගත් වෙනවා.
බයිබල් ඉගැන්වීම් මත පදනම් වූ ආත්මිකත්වයේ තවත් පැත්තක් වන්නේ නිහතමානීකමයි. (මීකා 6:8) නිහතමානී අය තමන්ගේ සීමාවන් හඳුනාගන්නවා. බොහෝ අධ්‍යාපනික ආයතනවල දක්නට ලැබෙන දැඩි අභිලාෂකාමිත්වය හා අනිත් අයව පාගගෙන යෑමේ තරඟකාරී ස්වභාවයට ඔවුන් හසු වෙන්නේ නැහැ. මෙම හානිකර ගතිලක්ෂණ “මානසික අවපීඩනයට තුඩු දෙනවා” කියා ඉන්ඩියා ටුඩේ නම් පුවත්පතේ සඳහන් වෙනවා. අපි තරුණ වුවත් වයසින් මුහුකුරා ගිය අය වුවත් වඩාත් හිතකර දේ වන්නේ දේවානුභාවයෙන් ලියැවුණු මෙම උපදේශය පිළිපැදීමයි. “අපි හිස උදුම්මා නොගනිමු. එකිනෙකා සමඟ තරඟකාරිත්වයක් ඇති කර නොගනිමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.” “එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.”—ගලාති 5:26 [5:25, පැ.අ.]; 6:4; NW.
එම උපදෙස් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ කිරීමට දෙමව්පියන්ට හැක්කේ කෙසේද? එක් ක්‍රමයක් නම්, පෞද්ගලික ඉලක්ක තැබීමට හා අන්‍යයන් සමඟ සංසන්දනය නොකර තමාගේම ප්‍රගතිය මැන බැලීමට දරුවන්ව දිරිගැන්වීමයි. නිදසුනකට, ඔබේ පුතාට මෑතකදී ගණිත පරීක්ෂණයක් හෝ අක්ෂර වින්‍යාසය පිළිබඳ පරීක්ෂණයක් තිබුණා නම්, ඔහුගේ ලකුණු මට්ටම කලින් පරීක්ෂණයකදී ඔහුට ලැබුණු ප්‍රතිඵල සමඟ සංසන්දනය කරන්න කියා ඔහුට කියන්න. ඉන්පසු, ඔහුට නිසි ප්‍රශංසාව හෝ දිරිගැන්වීම ලබා දෙන්න. මෙලෙස, ඔබට පුළුවන් අන්‍යයන් සමඟ ඔහුව සංසන්දනය නොකර, අත් කරගත හැකි ඉලක්ක තැබීමට, පෞද්ගලිකව තම දියුණුව මැන බැලීමට හා දුර්වලතා සකස් කරගැනීමට ඔහුට උපකාර කරන්න.
නමුත් දැන් කාලයේ සමහර දක්ෂ යෞවනයන් අනිත් ළමුන්ගේ හාස්‍යයට ලක් වේය යන බිය නිසා තම දක්ෂතා සඟවනවා. “දක්ෂ ශිෂ්‍යයන්ව ඒ තරම් ගණන් ගන්නේ නැහැ” කියා ඇතැම් යෞවනයන් සිතනවා. මේ කාරණයේදීත් ආත්මික දෘෂ්ටියක් තබාගැනීම ප්‍රයෝජනවත් වෙනවාද? ඇයි නැත්තේ? කොලොස්සි 3:23හි (න.අ.) පවසන දේ සලකා බලන්න. “ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, ස්වාමීන් උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න.” දෙවිව සතුටු කරන පිණිස වෙහෙස මහන්සි වී වැඩ කිරීමට වඩා උතුම් චේතනාවක් තිබිය හැකිද? එවැනි ශ්‍රේෂ්ඨ ආකල්පයක් තිබෙන කෙනෙකුට, ආශ්‍රිතයන්ගෙන් එල්ල වන අහිතකර බලපෑම්වලට එරෙහිව සිටීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා.
දරුවන් තුළ කියවීමට රුචියක් ඇති කරන්න
කියවීමට හෝ ලිවීමට දන්නේ නැත්නම් හොඳ ලෞකික හෝ ආත්මික අධ්‍යාපනයක් ලබාගත නොහැකියි. ළදරු වියේ සිටම දරුවන්ට හඬ නඟා කියවීමෙන් දෙමව්පියන්ට පුළුවන් ඔවුන් තුළ කියවීමට රුචියක් ඇති කරන්න. ඩැෆ්නි සෝදුපත් කියවන්නියක්. ඇගේ ළමා කාලයේදී දෙමව්පියන් නිතරම ඇය සමඟ ඉඳගෙන පොත් පත් කියෙව්වා. අද ඇය ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඇය මෙසේ පැහැදිලි කරනවා. “පොත පතට ඇලුම් කරන්න ඔවුන් මට ඉගැන්නුවා. ඒ හින්දා, පාසැල් යන්නත් කලින් මම කියවන්න ඉගෙනගත්තා. මගේ දෙමව්පියන් ගවේෂණය කරන හැටිත් මට ඉගැන්නුවා. ඒ නිසා මගේ හිතට එන ප්‍රශ්නවලට තනියෙන් පිළිතුරු සොයන්න මම ඉගෙනගත්තා. එයාලා දුන්න පුහුණුවේ වටිනාකම මිල කරන්න බැහැ. අද වන තුරුත් මම එයින් ප්‍රයෝජන ලබනවා.”
එහෙත් දරුවන්ට හඬ නඟා කියවීමෙන් “විගස ප්‍රතිඵල නෙළාගන්න පුළුවන්යයි නොසිතන්න” කියා කලින් සඳහන් කළ හෝල්ට් අවවාද කරනවා. “දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද කියවන දෙයින් වින්දනයක් ලැබිය යුතුයි. එසේ නොවුණොත් එයින් හානියක් වෙනවා මිසක ප්‍රයෝජනයක් නම් නොවෙයි. . . . තමන්ට ශබ්ද නඟා කියවනවාට කැමති දරුවන්ට වුණත් . . . තම දෙමව්පියන් ඉන් සතුටක් නොලබන බව දැනුණොත් ඔවුන්ද ඉන් සතුටක් නොලබයි.” දරුවන් තමන්ට කියවන පොත් පත් නැවත නැවත කියවන මෙන් ඇවිටිලි කරන්න පුළුවන් නිසා හෝල්ට් දෙමව්පියන්ට යෝජනා කරන්නේ දරුවන්ට පොත් තෝරාගනිද්දී, තමන්ද ප්‍රිය කරන පොත් තෝරාගන්න කියායි. ලෝ වටා සිටින මිලියන සංඛ්‍යාත දෙමව්පියන් තම දරුවන්ට ශබ්ද නඟා කියවීමට කැමති පොත් දෙකක් තිබෙනවා. එනම්, උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු සහ මගේ බයිබල් කතන්දර පොත යන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි. දරුවන් සඳහාම සකස් කර ඇති මෙම ප්‍රකාශන දෙකේ විචිත්‍රවත් පින්තූරු ගණනාවක් තිබෙනවා. එම ප්‍රකාශන මගින් කල්පනා ශක්තිය අවදි කරනවා වගේම දේවප්‍රතිපත්තිද උගන්වනවා.
මුල් සියවසේ ක්‍රිස්තියානියෙක් වූ තිමෝති ඉතා ආශීර්වාද ලත් යෞවනයෙක්යයි පැවසිය හැකියි. ඔහුගේ මව හා ආච්චි ඔහුගේ අධ්‍යාපනය ගැන මහත් උනන්දුවක් දැක්වූ අතර ඔහුගේ ආත්මික අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. (2 තිමෝති 1:5; 3:15) පසු කලෙක, තිමෝති වගකීම් ඉතා හොඳින් ඉටු කරන, විශ්වාසවන්ත වැඩිහිටියෙක් බවට පත් වුණා. එවැනි ගුණාංග ලෞකික අධ්‍යාපනයක් තුළින් පමණක් ඇති කළ නොහැකියි. (පිලිප්පි 2:19, 20; 1 තිමෝති 4:12-15) අද ලෝ වටා තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලද තිමෝති හා සමාන යහපත් ගුණාංග ඇති තරුණ තරුණියන් බොහෝදෙනෙක් සිටිනවා. ඒ සඳහා ස්තුතිය පළ කළ යුත්තේ ආත්මික මනසක් තිබෙන ඔවුන්ගේ ප්‍රේමණීය දෙමව්පියන්ටයි.
උද්‍යෝගයෙන් උගන්වන්න!
ඉගෙනීමට උනන්දුවක් නම් පොතේ සඳහන් වන ආකාරයට, අන්‍යයන් තුළ ඉගෙනීමට ආශාවක් ඇති කිරීමට කැමැත්තෙන් සිටින ගුරුවරුන් තුළ තිබිය යුතු දෙයක් තිබෙනවා. “එක වචනයකින් විස්තර කරනවා නම්, එය උද්‍යෝගයයි. තමන් උගන්වන විෂයට ගොඩක් ප්‍රිය කරන බව උද්‍යෝගිමත් ගුරුවරුන් ඔවුන්ගේ ඉරියව්වලින් පවා ශිෂ්‍යයන්ට කියාපානවා. ඔවුන් උගන්වන විටත් එම උද්‍යෝගය පැහැදිලිව දැකගත හැකියි.”
එහෙත් සෑම දෙමාපියෙක්ම හෝ ගුරුවරයෙක්ම උද්‍යෝගයෙන් පිරි
අය නොවෙයි කියා පිළිගත යුතුයි. ඒ නිසා, බුද්ධිමත් ශිෂ්‍යයන් ඉගෙනගැනීම තමන්ගේම වගකීමක් ලෙස භාරගනිමින් ස්වෝත්සාහයෙන්ම ඒ සඳහා උනන්දුවක් වර්ධනය කරගන්නවා. ඇත්තෙන්ම කියනවා නම්, ඉහත සඳහන් පොතේ සඳහන් වන ආකාරයට, “අපේ දරුවන්ගේ මුළු ජීවිත කාලය පුරාම කවුරුහරි ඔවුන් ළඟ ඉඳගෙන ඔවුන්ට පාඩම් කරන්න, උසස් ගණයේ වැඩ කරන්න හා සිතන්න උගන්වන්න යන්නේ නැහැ. විශේෂ නිපුණතා වර්ධනය කරගැනීම සඳහා අමතර වෑයමක් දරන ආකාරය ඔවුන්ට කියා දෙන්න යන්නේ නැහැ.”මෙයින්ද අවධානය යොමු වන්නේ පාසැල වෙතට නොව දරුවන් නිවසේදී ඉගෙනගන්නා සාරධර්ම වෙතටයි. දෙමව්පියෙනි, ඔබ ඉගෙනගැනීම පිළිබඳව උද්‍යෝගිමත් වෙනවාද? ආත්මික සාරධර්මවලට මුල් තැන දෙන, ඉගෙනගැනීම සඳහා හිතකර පරිසරයක් ඔබේ නිවසේ තිබෙනවාද? (එපීස 6:4) ඔබේ ආදර්ශය සහ ඔබ උගන්වන දේවල් දරුවන් පාසැල් අධ්‍යාපනය අවසන් කළ පසුත් ගෙදරින් ගිය පසුත් ඔවුන් කෙරෙහි බලපාන බව මතක තබාගන්න.—7වන පිටුවේ ඇති “ඉගෙනගැනීමේදී හොඳ ප්‍රතිඵල නෙළාගන්නා පවුල්” නමැති කොටස බලන්න.
එකිනෙකා දේවල් අවබෝධ කරගන්නා අයුරු වෙනස් බව තේරුම්ගන්න
මේ ලෝකයේ එකම විදිහට හිතන, එකම විදිහට දේවල් අවබෝධ කරගන්නා දෙදෙනෙකු නැහැ. එම නිසා, උගන්වන දේ පහසුවෙන් අවබෝධ කරගැනීම සඳහා යොදාගන්නා යම් ක්‍රමයක් එක් අයෙකුට සාර්ථක විය හැකි නමුත් එය වෙනත් කෙනෙකුට සාර්ථක නොවන්නට ඉඩ තිබෙනවා. එකිනෙකාගේ මනස තේරුම්ගැනීම (සිංහලෙන් නැත) නමැති තම පොතෙහි වෛද්‍ය මෙල් ලෙවින් මෙසේ සඳහන් කරනවා. “සෑම දරුවෙකුටම එකම විදිහට සැලකීම ඇත්තෙන්ම අසාධාරණයි. මන්ද ඉගෙනගැනීමේදී එකිනෙකට වෙනස් අවශ්‍යතාවන් ඔවුන්ට
තිබෙනවා. එම අවශ්‍යතා ඉටු වන අයුරින් ඉගෙනගන්න දරුවන්ට අයිතියක් තිබෙනවා.”නිදසුනකට, සමහර අයට පින්තූරු හෝ රූප සටහන් මගින් වඩාත් පහසුවෙන් කාරණා අවබෝධ කරගන්නත් මතක තබාගන්නත් පුළුවන්. වෙනත් අය හොඳින් ඉගෙනගන්නේ කියවීමෙන් හෝ සවන් දීමෙනුයි. ඒ සෑම ක්‍රමයක්ම යොදාගෙන ඉගෙනගන්න කැමති පිරිසකුත් සිටිනවා. ලෙවින් මෙසේ පැහැදිලි කරනවා. “ඉගෙනගන්නා දේවල් මතක තබාගැනීමට හොඳම ක්‍රමය වන්නේ එම තොරතුරු යම් පරිවර්තනයකට ලක් කිරීමයි. පින්තූරු හා රූප සටහන් මගින් ඉගෙනගන්නා දේ වචනයට නඟන්න. වාචිකව ඉගෙනගන්නා දේ රූපයට නඟන්න.” මෙලෙස ඉගෙනගැනීම වඩාත් ඵලදායී වන අතර එයින් වැඩි තෘප්තියක්ද ලැබෙනවා.
ඔබට වඩාත් පහසුවෙන් ඉගෙනගත හැකි ක්‍රමය කුමක්ද කියා සොයා බැලීමට අත්හදා බැලීම් කිහිපයක් කරන්න සිදු වේවි. පූර්ණ කාලීන ක්‍රිස්තියානි දේවසේවකයෙකු වන හැන්ස්, ඒ තරම් අධ්‍යාපනයක් නොලැබූ වයසක මනුෂ්‍යයෙක් වන ජෝර්ජ් සමඟ බයිබල් පාඩමක් පැවැත්වුවා. කාරණා වටහාගැනීම හා මතක තබාගැනීම ජෝර්ජ්ට අභියෝගයක් වුණා. ඒ නිසා, ඔහුට ප්‍රධාන කරුණු තේරුම් කර දීමට හැන්ස් සරල රූප සටහන් භාවිත කළා. “ඒකෙන් පස්සේ හැම දෙයක්ම වෙනස් වුණා. ජෝර්ජ් හොඳින් කරුණු අවබෝධ කරගත්තා, මතක තබාගත්තා. ඔහුටම ඒ ගැන පුදුම හිතුණා! ඔහුගේ මනස ක්‍රියාත්මක වන ආකාරය තේරුම්ගත්තාට පස්සේ තමයි මටත් වැටහුණේ ඔහු ඇත්තෙන්ම දක්ෂ පුද්ගලයෙක් කියලා. ඔහුගේ ආත්ම විශ්වාසය ටිකෙන් ටික වර්ධනය වුණා. ඊට පස්සේ, ඔහු පාඩම කරන දවස එන තෙක් ඉතා උනන්දුවෙන් බලා සිටියා.”
ඉගෙනගැනීමට වයස බාධාවක් නොවෙයි
“මොළයට කළ හැකි දේ රඳා පවතින්නේ එය භාවිතයට ගන්නවාද නැද්ද යන කාරණය මතය” කියා මොළයේ අභ්‍යන්තරයට ගමනක් නමැති පොතෙහි සඳහන් වෙනවා. “භාවිතයට නොගත්තොත් එහි හැකියාවන් මොට වෙනවා. ඉක්මනින්ම අලුත් දේවල් උරාගැනීමට හැකියාවක් එය සතුයි.” එහි තවදුරටත් පවසන්නේ මෙසේයි. “හැත්තෑ ගණන් හෝ අසූ ගණන් දක්වාම දිගටම ව්‍යායාම් කර තිබෙන අයට හොඳ කායික ශක්තියක් පවත්වාගත හැකි වන්නා සේම, මනස ක්‍රියාශීලීව තබාගැනීමෙන් වියපත් වූ මොළය කෙරෙහි එවැනිම බලපෑමක් ඇති කළ හැකි බව පර්යේෂකයන් පෙන්වා තිබෙනවා. වයසට යෑමත් සමඟම, ආපසු යථා තත්වයට පත් කළ නොහැකි වන සේ මනස ක්‍රමක්‍රමයෙන් පරිහානියට ලක් වී ව්‍යාකූල තත්වයකට පත් වන බව බොහෝ කලක් තිස්සේ විශ්වාස කරන දෙයක්. එහෙත් බොහෝදුරට එවැන්නක් සිදු වන්නේ එවැන්නක් අපේක්ෂා කරමින් මොළය භාවිතයට නොගන්නා විටයි කියා එම පර්යේෂණවලින් පැහැදිලි වෙනවා. තවද, වයසට යෑමත් සමඟ මොළයේ විශාල සෛල ප්‍රමාණයක් විනාශ වන බව කලින් විශ්වාස කළත් එය සත්‍යයක් නොවෙයි.” මනස දරුණු ලෙස පරිහානියට ලක් වී ඇත්නම් එය හෘදයේ ආබාධිත තත්වයක් හෝ වෙනයම් රෝගී තත්වයක් ඇති බවට ඉඟියක් සපයනවා.
ජීවිතයේ සැඳෑ සමයේදී මනස යම් තාක් දුරට පරිහානියට ලක් වන බව ඇත්තයි. එහෙත් එය බොහෝවිට ඒ තරම් දරුණු ලෙස සිදු නොවෙයි. මොළය ක්‍රියාශීලීව තබාගන්නා
විට එය පරිහානියට ලක් නොවන බව පර්යේෂකයන් කියා සිටිනවා. ඊට අමතරව, යමෙකු නිතිපතා ව්‍යායාමයේ යෙදෙනවා නම් මොළය තවත් හොඳින් ක්‍රියා කරනවා. “යමෙක් ඉගෙනගැනීමේ ක්‍රියාකාරකම්වල වැඩි වැඩියෙන් යෙදෙන වන විට ඔහු ඉගෙනගන්න තව තවත් දක්ෂ වෙනවා. නිරතුරුවම ඉගෙනගන්න අයගේ ඉගෙනගැනීමේ හැකියාව තවත් දියුණු වෙනවා” කියා මහලු වියේදී ඉගෙනගැනීම—වියපත් වූ ජනයාට අත්හදා බැලිය හැකි අලුත් දෙයක් (සිංහලෙන් නැත) නම් පොතේ සඳහන් වෙනවා.ඕස්ට්‍රේලියාවේ අවුරුදු 60ත් 98ත් අතර වූ පුද්ගලයන්ව යොදාගෙන අවුරුදු 20ක් පුරා සිදු කළ එක්තරා අධ්‍යයනයකින් එම කාරණය සනාථ වුණා. ඊට සහභාගි වූ බොහෝදෙනෙකුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කර බලද්දී, ඔවුන් අද්දැක තිබුණේ අවුරුද්දට සියයට එකක පමණ පහත බැසීමක් පමණයි. එහෙත් “සමහරදෙනෙක් කිසිම පහත බැසීමක් අද්දැක තිබුණේ නැහැ. මේ අතරේ අනූ ගණන්වල පසු වන අයත් සිටි” බව වාර්තාවේ සඳහන් වුණා. “මොවුන් බොහෝදුරට, අත්හදා බැලීමක් වශයෙන් පවත්වනු ලැබූ විධිමත් අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගි වෙමින් විදේශ භාෂාවක් හැදෑරූ හා/හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙනගත් අයයි.”
මේ ලිපියේ කලින් සඳහන් කළ ජෝර්ජ් දේවවචනය ඉගෙනගන්න පටන්ගත්තේ ඔහුට වයස අවුරුදු 70ක් ඉක්ම ගොස් තිබියදීයි. ඒ වගේම, අසූ ගණන්වල පසු වන වර්ජිනියා මෙන්ම දැන් මිය ගොස් සිටින ඇගේ ස්වාමිපුරුෂයා වන රොබට් බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තේ ඔවුන්ගේ මහලු වයසේදීයි. වර්ජිනියා මෙසේ පවසනවා. “රොබට්ගේ පෙනීම හොඳටම දුර්වල වෙලා තිබුණත් ඔහු රාජ්‍ය ශාලාවේදී බයිබලය මත පදනම් වූ කෙටි කතා දුන්නා. ඔහු කතා දුන්නේ කටපාඩම් කරගත් කෙටි කටුසටහන් යොදාගෙනයි. මම නම් කලින් කියවන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් දැන් මම කියවන්න ගොඩක් ආසයි. අදත් මම උදේ පාන්දර නැඟිටලා පිබිදෙව්! සඟරාවක් සම්පූර්ණයෙන්ම කියෙව්වා.”
ජෝර්ජ්, රොබට් සහ වර්ජිනියා වියපත් වූ අය ගැන සාමාන්‍යයෙන් පවතින වැරදි මත බිඳ හෙළමින් තමන්ගේ මනස ක්‍රියාශීලීව තබාගත් වයෝවෘද්ධයන් තුන්දෙනෙක් පමණයි. ඔවුන් වගේ තවත් බොහෝදෙනෙක් සිටිනවා. මොළයේ රඳවාගත හැකි දැනුම් සම්බාරය ගැන සිතා බලද්දී අවුරුදු 70ක් හෝ 80ක් තුළ ඉගෙනගන්නා දේවල් ඉතා අල්ප බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. එය ටොනික් මූඩියකට අල්ලන තරම් සුළු වතුර ප්‍රමාණයක් විශාල වතුර පීප්පයකට දමනවා හා සමානයි. මොළයට මේ තරම් විශාල ධාරිතාවක් තිබෙන්නේ මන්ද? ඒ පිළිබඳව දැනගැනීමට ඊළඟ ලිපිය කියවා බලන්න.
[4, 5වන පිටුවේ කොටුව⁄පින්තූරය]
අන්තර්ජාලය හා රූපවාහිනිය ප්‍රයෝජනවත්ද හානිකරද?
“අන්තර්ජාලය භාවිත කිරීමේදී වාසි පැත්තකුත් අවාසි පැත්තකුත් තිබෙනවා” කියා එකිනෙකාගේ මනස තේරුම්ගැනීම නම් පොතේ සඳහන් වෙනවා. අන්තර්ජාලයෙන් තොරතුරු සොයාගැනීමට ඉගෙනගැනීම ඉතා ප්‍රයෝජනවත් විය හැකියි. නමුත් සමහර ශිෂ්‍යයන් කිසි තේරුමක් නැතුව ඔහේ “තොරතුරු රැස් කරගන්නවා. එහෙත් ඒ ලබාගන්නා තොරතුරු ගැන ඔවුන්ට හරි අවබෝධයක් නැහැ. ඔවුන් දන්නා දේ සමඟ එම තොරතුරු සම්බන්ධ කරගන්නේවත් නැහැ. මේ විදිහට තොරතුරු රැස් කරගැනීම, නිකම්ම යාන්ත්‍රිකව ඉගෙනගන්නා තවත් ක්‍රමයක් බවට පත් විය හැකියි. සමහරවිට එය අනුන්ගේ දක්ෂතා සූරාකෑමටද මඟ පෑදිය හැකියි.”
රූපවාහිනිය නැරඹීම සඳහා අධික කාලයක් යොමු කරන විට ගැටලු විසඳීමට හා සවන් දීමට යමෙකුට තිබෙන හැකියාව දුර්වල විය හැකි අතර ඔහුගේ නිර්මාණශීලීත්වය මොට වෙන්නත් පුළුවන්. එය යමෙකුගේ චරිතය ගොඩනැංවීම සඳහා කොයිම විදිහකින්වත් දායක වන්නේ නැහැ. “සිගරට්වලින් ඇති කළ හැකි අහිතකර බලපෑම් ගැන එහි පැකැට්ටුවල සඳහන් කර තිබෙන්නාක් මෙන් රූපවාහිනිවලත් එවැනිම අනතුරු ඇඟවීමක් සඳහන් කළ යුතුයි” කියා ඉගෙනීමට උනන්දුවක් නම් පොතේ සඳහන් වෙනවා.
“(කියවීම හා කතා බහ කිරීම තුළින්) හොඳ භාෂා හුරුවක් ඇති කිරීම, ප්‍රේමය දැක්වීම හා නිතර නිතර ඔවුන්ව ආදරයෙන් තුරුලු කරගැනීම” දරුවන්ට වැඩියෙන්ම අවශ්‍ය වන දේවල් හැටියට දැක්විය හැකියයි තවත් පොතක සඳහන් වෙනවා.
[7වන පිටුවේ කොටුව⁄පින්තූර]
ඉගෙනගැනීමේදී හොඳ ප්‍රතිඵල නෙළාගන්නා පවුල්
මතු දැක්වෙන ආකල්ප හා පුරුදු ඇති කරගැනීමෙන් ඔබේ පවුලට පුළුවන් ඉගෙනීම සාර්ථක කරගන්න:
▪ දරුවන් ඉදිරියේ නිතරම උසස් මෙන්ම සාධාරණ ඉලක්ක තැබීම. එය ප්‍රේමණීයව කළ යුතුයි
▪ සාර්ථකත්වයට මඟ වෙහෙස මහන්සි වී වැඩ කිරීමයි යන ආකල්පය තබාගන්න
▪ අක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමෙන් වැළකීම
▪ දරුවන් සතියකට පැය කිහිපයක්ම නිවසේ සිට දේවල් ඉගෙනගත යුතුයි. ඔවුන්ව වෙනත් ක්‍රියාකාරකම්වලද යෙදවිය යුතුයි. පාසැලෙන් දෙන ගෙදර වැඩ, විනෝදය සඳහා කියවීම, විනෝදාංශවල යෙදීම, පවුලක් වශයෙන් එකතු වී විශේෂ වැඩක යෙදීම, ගෙදර දොරේ වැඩකටයුතු පුහුණු කිරීම හා පවරා ඇති විවිධ වගකීම් ඉටු කිරීම වැනි දේවල් මීට ඇතුළත් වෙනවා
▪ පවුල් කවය එකිනෙකාට සහයෝගය දක්වන, එකිනෙකාගේ ප්‍රශ්න විසඳන ඒකකයක් සේ සැලකීම
▪ නිවසේදී පිළිපැදිය යුතු ස්ථිර නීති රීති පැනවීම. ඒවා පැහැදිලිව තේරුම්ගෙන ඇති බව සහතික විය යුතුයි
▪ දෙමාපියන් හා ගුරුවරුන් අතර හොඳ අදහස් හුවමාරුවක් තිබීම
▪ ආත්මික ගුණාංග වර්ධනය කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් දීම
[පින්තූරය]
දෙමව්පියෙනි, ඔබ ඔබේ දරුවන් තුළ කියවීමට රුචියක් ඇති කරනවාද?
[හිමිකම් විස්තර]
දරුවන් තුළ ඉගෙනීමට උනන්දුවක් හා ඇල්මක් ඇති කිරීම නම් පොත ඇසුරෙන්.
[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]
ඉගෙනීම වඩා ඵලදායී, ප්‍රීතිමත් අද්දැකීමක් කරගැනීමට යෝජනා
උනන්දුමත් වෙන්න. යම් විෂයක් මහත් උද්‍යෝගයකින් හදාරනවා නම් එය වඩාත් පහසුවෙන් ඉගෙනගන්න ඔබට පුළුවන්. උද්‍යෝගිමත් මනස්—දරුවන් තුළ ඉගෙනීමට ඇල්මක් ඇති කිරීම (සිංහලෙන් නැත) නම් පොතේ ඒ පිළිබඳව මෙසේ සඳහන් කරනවා. “දරුවන් යමක් කැමැත්තෙන්ම ඉගෙනගන්නා විට එම තොරතුරුවල වටිනාකම ඔවුන් හොඳින් තේරුම්ගන්නා බව පර්යේෂකයන් ස්ථිර ලෙස සොයාගෙන තිබෙනවා. එම තොරතුරු ගැඹුරින් මනසට කාවදින අතර දිගු කාලයක් පුරා මනසේ රැඳී පවතිනවා. වඩාත් කැපවීමකින් ඉගෙනගන්නා එම දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවද වැඩියි. අභියෝගයන් භාරගැනීමට ඔවුන් වැඩි කැමැත්තක්ද දක්වනවා.”
සැබෑ ජීවිතයට සම්බන්ධ කරගන්න. කර්තෘවරයෙක් මෙන්ම ගුරුවරයෙක් වන දෙවන රිචඩ් එල්. වීවර් මෙසේ ලියනවා. “පන්ති කාමරයේ ඉගෙනගන්නා දේ හා ඔබේ දෛනික ජීවිතයේ අද්දැකීම් අතර ඍජු සම්බන්ධයක් තිබෙන විට ඔබේ තේරුම්ගැනීමේ ශක්තිය පිබිදෙනවා. එය හරියට විදුලි ධාරාවක් බල්බයකට සම්බන්ධ වූ විගස එය පත්තු වෙනවා හා සමානයි.”
තේරුම්ගැනීමට වෑයම් කරන්න. යමෙක් ඉගෙනගන්නා දේ තේරුම්ගැනීමට උත්සාහ කරන විට ඔහුගේ කල්පනා ශක්තිය වගේම මතක ශක්තියද තියුණු වෙනවා. දේවල් කටපාඩම් කර ඉගෙනගැනීමේ යම් ප්‍රයෝජනයක් තිබුණද හොඳ අවබෝධයකින් ඉගෙනගැනීම තරම් හොඳ ක්‍රමයක් නැහැ. “ඔබ රැස් කරගන්නා සියල්ලට තේරුම්ගැන්මද එකතු කරගන්න. එය උසස් කොට සලකන්න. එවිට එයද ඔබව උසස් කරන්නේය.”—හිතෝපදේශ 4:7, 8, NW.
අවධානය කැඩෙන්න දෙන්න එපා. “අවධානය යොමු කරන්නේ නැතුව ඉගෙනගත නොහැකි” බව අවධානය යොමු කිරීමට ඔබේ දරුවාට උගන්වන්න (සිංහලෙන් නැත) යන පොතෙහි පැහැදිලි කරනවා. “[එය] කොතරම් වැදගත්ද කිව්වොත් එය බුද්ධිය වර්ධනය කරගැනීම සඳහා මූලික අවශ්‍යතාවක් ලෙස විස්තර කර තිබෙනවා. එය බුද්ධියට සමාන බවත් පැවසෙනවා.” අවධානය යොමු කරන්න ඉගෙනගන්න පුළුවන්. ඊට උපකාරවත් වන එක් දෙයක් වන්නේ මුලදී අධ්‍යයනය කිරීම සඳහා කෙටි කාල පරිච්ඡේදයන් වෙන් කිරීමයි. ඉන් පස්සේ ක්‍රමක්‍රමයෙන් කාල සීමාව වැඩි කරන්න.
වෙනත් වචනවලින් විස්තර කරන්න. “දක්ෂම ශිෂ්‍යයන් වන්නේ උගන්වන දේ වෙනත් වචනවලින් විස්තර කිරීමට හැකියාව තිබෙන අයයි” කියා වෛද්‍ය මෙල් ලෙවින් එකිනෙකාගේ මනස තේරුම්ගැනීම නම් තම පොතෙහි පවසනවා. යමක් වෙනත් වචනවලින් විස්තර කරද්දී, එම තොරතුරු එක් එක් කොටස්වලට බෙදා එය කෙටි වාක්‍යවලින් පැහැදිලි කරනු ලබයි. මෙසේ වඩාත් පහසුවෙන් තොරතුරු තේරුම්ගැනීමටද මතක තබාගැනීමටද හැකි වෙනවා. දක්ෂ ලෙස සටහන් ගන්නෝ මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් තමන්ට ඇසෙන දේ එලෙසම නොලියා එහි අදහස කෙටියෙන් ලියාගන්නවා.
සම්බන්ධ කරන්න. මොළය (සිංහලෙන් නැත) නම් පොතේ පීටර් රසල් මතක ශක්තිය පිළිබඳව ලියා තිබෙනවා. ඔහු මතකයන් සමාන කර තිබෙන්නේ එකිනෙකට සම්බන්ධ වී තිබෙන කොකුවලටයි. මෙලෙස, අලුත් මතකයන් අතීත මතකයන් සමඟ කොකු හා සමානව එකිනෙක සම්බන්ධ වෙනවා. කෙටියෙන් කිව්වොත්, අලුතින් ඉගෙනගන්නා තොරතුරු දන්නා දේ සමඟ පැහැදිලිව සම්බන්ධ කරද්දී ඔබේ මතක ශක්තිය තියුණු වෙනවා. එවැනි සම්බන්ධ කිරීම් කරන්න කරන්න ඔබේ මතක ශක්තිය තව තවත් ප්‍රබල වෙනවා.
චිත්‍රයක් මවාගන්න. විචිත්‍රවත් රූප පහසුවෙන් අමතක වෙන්නේ නැහැ. ඉතින්, හැකි නම් ඉගෙනගන්නා තොරතුරු පිළිබඳව ඔබේ මනසේ චිත්‍රයක් අඳින්න. මතක ශක්තිය පිළිබඳ ප්‍රවීණයන් මේ ක්‍රමය යොදාගන්නවා. ඔවුන් බොහෝවිට යමක් මතක තබාගැනීම සඳහා ඒ දේ අතිශයෝක්තියෙන් කියාපාන හෝ විකට ලෙස දක්වන රූපයක් මනස තුළ මවාගන්නවා.
සාරාංශ කරන්න. පැය 24ක් ඇතුළත අප ඉගෙනගන්නා දෙයින් සියයට 80ක් පමණ අපට අමතක වෙන්න පුළුවන්. පාඩම් කර අවසන් වූ විගසම තොරතුරු සාරාංශ කිරීමෙන් අපේ මතක ශක්තිය දියුණු කරගත හැකියි. ඉන්පසු ඒ දේ නැවත නැවත, එනම් දවසක්, සතියක්, මාසයක් හා මාස හයක් ගෙවුණු පසුත් සාරාංශ කළොත් අපේ මතක ශක්තිය සියයට සියයක් දක්වාම වැඩි කරගන්න පුළුවන්.
[8වන පිටුවේ පින්තූර]
දරුවන්ට ඉගෙනගැනීමට උපකාර කිරීම සඳහා දෙමව්පියන් හා ගුරුවරුන් එකට වැඩ කළ යුතුයි
[10වන පිටුවේ පින්තූර]
ඉගෙනගැනීමට වයස බාධාවක් විය යුතු නැහැ