Skip to content

පටුනට යන්න

පෙනුම ගැනම සිතමින් සිටිනවා නම් . . .

පෙනුම ගැනම සිතමින් සිටිනවා නම් . . .

පෙනුම ගැනම සිතමින් සිටිනවා නම් . . .

අපෙන් වැඩිදෙනෙකු කණ්ණාඩියකින් අප දෙසම බලන විට අපේ පෙනුමේ අඩු පාඩු තැන් තිබෙන බව අපට පෙනී යයි. එවිට අපි කරන්නේ ඇඳුම හදාගෙන, කොණ්ඩය නැවත පීරගෙන, රූපලාවන්‍ය ද්‍රව්‍යයන් ටිකක් ආලේප කරගෙන දවසේ වැඩ ඇරඹීමයි. අපේ පෙනුම ගැන එලෙස සැලකිලිමත් වීම සාමාන්‍ය මෙන්ම සුදුසු දෙයක්. ඒත් වෛද්‍යවරුන් පවසන පරිදි සමහරුන් තමන්ගේ පෙනුම ගැන අන්තයටම සැලකිලිමත් වීමට යෑමෙන් සිදු වන්නේ එය රෝගයක් (body dysmorphic disorder) බවට පත්වීමයි ද මර්ක් මැනූවල් ඔෆ් ඩයග්නෝසිස් ඇන්ඩ් තෙරපි නම් අත්පොතෙහි එම රෝගය නිර්වචනය කරන්නේ මෙලෙසයි. “පෙනුමෙහි තිබෙන දෝෂයක් ගැන වුවමනාවට වඩා සැලකිලිමත් වීමෙන් සිදු වන්නේ අධික මානසික පීඩනයක් ඇතිවීම හෝ සමාජීය හා වෘත්තිමය වැඩකටයුතුවලට හෝ වෙනත් වැදගත් කටයුතුවලටද බාධා ඇතිවීමයි.” * මෙම රෝගයෙන් පෙළෙන්නන් තමන්ට යම් දෝෂයක් තිබේයයි සිතෙහි මවාගත හැකි නිසා හෝ තමන්ට තිබෙන සුළු අඩු පාඩුවක් ලොකු දෙයක් බවට පත් කරගත හැකි නිසා, එම තත්වය සිතින් මවාගත්තු අවලස්සනක් යනුවෙන්ද හඳුන්වා තිබෙනවා.

එක්සත් ජනපදයේ දකුණු ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජේ. කෙවින් ටොම්සන් පවසන්නේ මෙම රෝගය “පොදු ජනගහනයෙන් සියයට එකත් දෙකත් අතර සහ බාහිර රෝගීන් ලෙස ප්‍රතිකාර ලබන මානසික රෝගීන්ගෙන් සියයට 10-15ත් අතර සංඛ්‍යාවකට බලපාන” විරලව පැවතිය හැක්කක් බවයි. කෙසේවෙතත් ඔහු මෙසේද පවසයි. “ඇතැම් පර්යේෂකයන් උපකල්පනය කරන්නේ, වඩාත් පහසුවෙන් ගැටලුව සොයාගැනීමට හැකි කරවන රෝග නිර්ණය කිරීමේ ක්‍රම වැඩිදියුණු වෙමින් පවතින නිසා මෙන්ම ජනයාද පෙනුම ගැන වුවමනාවට වඩා වැඩියෙන් සිතන නිසා මෙම රෝගයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ නඟිමින් පවතින බවයි.” මෙම තත්වය සියලුම වයස් මට්ටම්වල සිටින්නන්ට බලපෑ හැකි නමුත් එය වැඩි වශයෙන් බලපාන්න පටන්ගන්නේ නහඹර වියේදීයි. වැඩිහිටියන් ගැන බලන කල, එය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම එක සමානව බලපාන බවයි පෙනෙන්න තිබෙන්නේ. කෙසේවෙතත් ආහාර ගැනීමේ අක්‍රමිකතාව වැඩියෙන්ම බලපාන්නේ ස්ත්‍රීන්ටයි. මෙම රෝග තත්ව දෙක අතර ඇති ප්‍රධාන වෙනස මෙයයි.

මෙම රෝගයෙන් පෙළෙන්නන් ඔවුන්ගේ පෙනුම ගැන අනවශ්‍යය ලෙස සැලකිලිමත් වන නිසා නිතර නිතර කණ්ණාඩියෙන් බැලීමට පෙලඹිය හැකි අතර ඔවුන්ගෙන් සමහරෙකු සමාජයෙන් ඈත්වීමටද ඉඩ කඩ තිබෙනවා. ඊටත් වඩා දරුණු දෙයක් ගැන මර්ක් අත්පොතේ සඳහන් වෙනවා. “මෙම රෝගය නිසා ඇති වන චිත්ත පීඩාව සහ උදාසීන වීම හේතුවෙන් වරින් වර රෝහල්ගත වීමටද, සිය දිවි නසාගැනීමට තැත් කිරීමටද මඟ පෑදිය හැකියි.” මෙයින් පෙළෙන්නන්ගෙන් සමහරෙක් රුව වඩන සැත්කම් කරගැනීමට තැත් කිරීම පුදුමයක් නෙවෙයි. “මම නං මේක හොඳයි කියන්නේ නැහැ” යයි මෙම රෝගය පිළිබඳව පොතක් ලියා තිබෙන වෛද්‍ය කැත්රින් ෆිලිප්ස් පවසනවා. “ශල්‍යකර්මයක් කළොත් කළාමයි. මේ රෝගයෙන් පෙළෙන වැඩිදෙනෙකුට ශල්‍යකර්මයක් කළාට පස්සේ හැඟෙන්නේ ඉන් පලක් වුණේ නැහැ කියලයි.” *

ඇතැම් අවස්ථාවලදී මෙම රෝගී තත්වය බාල වියේදීම මතු විය හැකියි. “තමාගේ දත් කහ පාට බවත්, බඩ ‘ලොකු බවත්’ කොණ්ඩෙත් හරි නැහැ කියා සිතූ” හය-හැවිරිදි පිරිමි ළමයෙක් පිළිබඳව ජෝර්ජ් ස්ට්‍රීට් ජර්නල් * වාර්තා කරනවා. “ඔහු දැක්වූ ‘අඩු පාඩු’ එකක්වත් අන් අය දුටු සැණින් දකින්න තිබුණ ඒවා නොවෙයි. ඔහු සෑම උදෑසනකම පැයක් පමණ ඔහුගේ කොණ්ඩය පීරන අතර ‘හරියට’ පීරුණේ නැත්නම් වතුරෙන් හිස තෙමා නැවතත් ඔහු මුල ඉඳලාම කොණ්ඩය සකස් කරයි. මේ නිසා ඔහු බොහෝවිට පාසැලට යන්නේ ප්‍රමාද වෙලයි.” දිනක් වෛද්‍යවරයෙකුගේ සායනයට ගිය විට, එහි තිබූ පුටුවක දිලිසෙන තහඩුවෙන් පවා තමාගේ හැඩ රුව බැලීමට ඔහු බිම දණගැහැව්වා.

ඔබේ ආකල්පය වෙනස් කිරීමට ලෝකයට ඉඩ නොදෙන්න

විලාසිතා සඟරාවලින්, පුවත්පත්වලින් හා රූපවාහිනි වෙළඳ දැන්වීම්වලින් සම්මතයයි සැලකිය යුතු රූ සපුව පිළිබඳ දර්ශන ජනයාගේ ඉහටත් උඩින් යන තරමටම තිබෙනවා. දැන්වීම් ප්‍රචාරකයන්ගේ තර්කය හරිම සරලයි: එක්තරා රූපයක් සම්මතය ලෙස දක්වන්න. එවිට ජනයා එම පෙනුම ලබාගැනීමට තමන් දහඩිය මහන්සියෙන් හම්බ කළ දේ වැය කරාවි. මීට අමතරව පවුලේ අය හෝ මිතුරන්ද අනුවණ ලෙස යම් දේවල් පැවසීම හේතුවෙන් ඇති වන බලපෑම නිසා ඇතමුන් තමන්ගේ පෙනුම ගැන තිබෙන සමබර ආකල්පය නැති කරගැනීමට පටන්ගැනීම පුදුමයක් නෙවෙයි. * එය එසේ වුවත්, පෙනුම ගැන අසමබර ආකල්පයක් ඇතිවීම පෙනුම ගැන අනවශ්‍ය ලෙස සැලකිලිමත් වීමට යෑමෙන් ඇති වන මානසික රෝගයට වඩා බෙහෙවින් වෙනස් විය හැකියි.

ඇත්තෙන්ම ඔබ ලස්සන නැති නිසා හෝ කඩවසම් නැති නිසා අන් අය ඔබ ගැන උනන්දුවක් දක්වන්නේ නැතැයි සිතනවා නම් එය අසාමාන්‍ය මෙන්ම අසත්‍ය දෙයකි. මිනිසුන් සාමාන්‍යයෙන් මිතුරන්ව තෝරාගන්නේ ශාරීරික පෙනුම අනුව නෙවෙයි. මිත්‍රත්වයක් ඇතිවීමට පෙනුමත් හේතුවක් විය හැකි බව සැබෑවක් වුවත් ශක්තිමත් බැඳීමක් ඇතිවීමට ඉවහල් වන්නේ පෞද්ගලිකත්වය, සදාචාර ප්‍රමිති සහ සාරධර්මයි. අපි හැම කෙනෙක්ම යම් පැතිවලින් පොතකට සමානයි. එහි තිබෙන්නේ දුටු සැණින් සිත ඇදී යන පිටකවරයක් විය හැකි වුවත් එහි අඩංගු තොරතුරු නිරස නම් වැඩි වේලාවක් යෑමට කලින් පාඨකයන් එම පොත පැත්තකට දමාවි. එහෙත් පිටකවරය කුමක් වුවත් එහි සිත්ගත් කරුණු අඩංගු වී ඇත්නම් ජනයා එම පොත ළඟ තබාගෙන කියවයි. එසේනම් ඔබ සතු ගුණාංග වෙත අවධානය යොමු නොකරන්නේ මන්ද? දෙවිගේ වචනය වන බයිබලය ඔබට දිරිගන්වන්නේ එලෙස කිරීමටයි.—හිතෝපදේශ 11:22; කොලොස්සි 3:8; 1 පේතෘස් 3:3, 4.

එමෙන්ම අප වයසට යද්දී අපේ පෙනුම වෙනස් වන බව අවංකවම අපට පිළිගන්න සිදු වෙනවා. ජීවිතය, මිත්‍රත්වය හා සතුට රැඳෙන්නේ සොඳුරු යොවුන් පෙනුම මත නම් අප සියල්ලන් ඉදිරියේ තිබෙන්නේ මොන තරම් කනගාටුදායක අනාගතයක්ද! එහෙත් අපේ තත්වය ඊට වඩා බෙහෙවින් වෙනස් විය හැකියි. ඒ කෙසේද?

සදහටම පවතින සුන්දරත්වය

හිතෝපදේශ 16:31 [NW] මෙසේ පවසයි. “ධර්මිෂ්ඨ මඟෙහි සිටින කෙනෙකුගේ පැසුණු හිස අලංකාර ඔටුන්නකි.” යෙහෝවා දෙවිට මහලු විය තෙක්ම සේවය කරන්නන් දෙවිගේ ඇස් හමුවේ මෙන්ම ඔහුගේ දෘෂ්ටිය දරන සියල්ලන් හමුවේ අවලස්සන වන්නේ නැහැ. ඇත්තවශයෙන්ම ඔවුන්ගේ උද්‍යෝගය හා භක්තිවන්තකම නිසා ඔවුන්ගේ පැසුණු හිස ඔවුන්ට අලංකාරයේ ඔටුන්නකි. එවැනි අගනා පුද්ගලයන්ට අපේ ප්‍රේමය හා ගැඹුරු ගෞරවය හිමි විය යුතුයි.—ලෙවී කථාව 19:32.

ඊට අමතරව යෙහෝවා පොරොන්දු වූ පරිදි, ඉදිරියේදී පැමිණෙන නව ලෝකයේදී ඔහුට පක්ෂපාතව සිටි බාල මහලු සැමගේ උරුම වූ පාපයේ බලපෑම් ඉවත් කරයි. තමන් ශාරීරික පරිපූර්ණත්වයට පැමිණෙන තෙක්ම ගත වෙන සෑම දිනකදීම තමන්ගේ ශරීරය අලුත් වන බව ඔවුන් දකීවි; ඔවුන්ට දැනේවි. (යෝබ් 33:25; එළිදරව් 21:3, 4) එය මොන තරම් හද දනවන ප්‍රස්තාවක් වේවිද! ඔවුන් අතරේ සිටීමට ඔබ කැමතිද? එසේනම්, සදහටම පවතින සුන්දරත්වය කෙරෙහි අවධානය යොමු කර තබාගන්න. ඔබේ ආකල්ප මේ ලෝකයේ පවතින පටු මෙන්ම අන්තවාදී අදහස්වලින් යටපත් වී යන්න ඉඩ නොහැරීමට වගබලා ගන්න. එසේ ඉඩ නොදීමෙන් ඔබ වැඩි සතුටක් ලබන කෙනෙක් වන අතර වඩාත් ආකර්ෂණීය පෞද්ගලිකත්වයක්ද ඔබට තිබේවි.—හිතෝපදේශ 31:30.

[පාදසටහන්වල]

^ 2 ඡේ. “සිරුරේ පෙනුම ගැන වුවමනාවට වඩා සැලකිලිමත් වීම මානසික රෝග ගණනාවක තිබෙන පොදු ලක්ෂණයක්” කියා ද මෙඩිකල් ජර්නල් ඔෆ් ඕස්ට්‍රේලියා පවසයි. විෂාදය, අනවශ්‍ය ලෙස දේවල් ගැන සැලකිලිමත් වීමේ ආබාධය, ඇනරෙක්සියා නර්වෝසා වැනි ආහාර ගැනීමේ අක්‍රමිකතා ඉන් සමහරක් වෙයි. එම නිසා මෙම රෝගය හඳුනාගැනීම අසීරු දෙයක් විය හැකියි.

^ 4 ඡේ. මෙම සඟරාවේ 2002 සැප්තැම්බර් 8 කලාපයේ “යෞවන අය අසති . . . මම රුව වඩන සැත්කමක් කරගත යුතුද?” යන ලිපිය කරුණාකර බලන්න. ඇත්තෙන්ම දරුණු මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුට මනෝ වෛද්‍යවරයෙකුගේ උපකාරය අවශ්‍ය විය හැක.

^ 5 ඡේ. අ.එ.ජ., රෝඩ් අයිලන්ඩ්හි බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයක්.

^ 7 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නම් පොතෙහි “පෙනුම කෙතරම් වැදගත්ද?” යන පරිච්ඡේදය බලන්න.