Skip to content

පටුනට යන්න

මවනු ලැබුවේ සදහටම ඉගෙනගන්නයි

මවනු ලැබුවේ සදහටම ඉගෙනගන්නයි

මවනු ලැබුවේ සදහටම ඉගෙනගන්නයි

“සෑම මිනිසෙකුගේම හිස්කබල තුළ පුදුමදනවන බලාගාරයක් තිබෙනවා. එය කුඩා, කාර්යක්ෂම ඉන්ද්‍රියයක්. ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න කරන්න පෙනී යන දෙයක් වන්නේ එහි ධාරිතාව නිමක් නොමැතිව පුළුල් පරාසයක් දක්වා විහිදී යන බවයි.”—විද්‍යා ලේඛකයන් වන ටෝනි බූසන් සහ ටෙරන්ස් ඩික්සන්.

මිනිස් මොළයට කොයි තරම් ධාරිතාවක් තිබෙනවාද? එය නිරතුරුවම පර්යේෂකයන්ගේ උනන්දුවට ලක් වන සහ ඔවුන්ව ව්‍යාකූල කරවන ප්‍රශ්නයක්. මොළය නම් පොතේ පීටර් රසල් මෙසේ සඳහන් කරනවා. “මොළය ගැන අපේ අවබෝධය වඩ වඩාත් පුළුල් වෙත්ම කලින් තක්සේරු කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ධාරිතාවක් ඊට ඇති බව පෙනෙන්න තිබෙනවා.”

මතකය නිදසුනකට ගන්න. අපේ මොළයට මතකයන් රඳවාගැනීම සඳහා විශාල ධාරිතාවක් තිබෙනවා. රසල් මෙසේ පවසනවා. ‘මතකය කියන දේ ක්‍රමානුකූලව කට දක්වා පිරෙන බඳුනක් වාගේ නොවෙයි. එය නොනවත්වාම දික් වෙන කොකු වැලකට සමාන කිරීම වඩාත් යෝග්‍යයි. කොකු එකිනෙක සම්බන්ධ වන්නාක් මෙන් මතකයන් එකිනෙක සම්බන්ධ වෙනවා. ඔබට මතක තිබෙන සෑම දෙයක්ම තවත් කොකු වැලක්. ඒ කොකුවලට තවත් අලුත් මතකයන් සම්බන්ධ කළ හැකියි. මේ ආකාරයට, ඔබේ මතකය වඩ වඩාත් පුළුල් වෙනවා. ඔබ ඉගෙනගන්නා ප්‍රමාණය වැඩි වන තරමට ඔබේ මොළයේ රඳවාගත හැකි තොරතුරු ප්‍රමාණයද වැඩි වෙනවා.’ නැවත වරක් මෙම ප්‍රශ්නය මතු වෙනවා. භාවිතයට නොගැනෙන මෙතරම් විශාල ධාරිතාවක් මොළයට තිබෙන්නේ ඇයි?

පරිණාමවාදයෙන් මීට සාධාරණ පිළිතුරක් ලබාගත නොහැකියි. පරිණාමවාදය බොහෝ සෙයින් රඳා පවතින්නේ උචිතෝන්නතිය හෙවත් බේරී ජීවත් වන්නේ ශක්තිමත්ම සතාය යන සංකල්පය මතයි. ඒ නිසා, මිනිස් මොළය මෙතරම් විශාල ධාරිතාවක් ඇති වන සේ පරිණාමයට ලක් වූයේ මන්ද යන කාරණය පිළිබඳව තර්කානුකූලව සිතන මිනිසුන් ව්‍යාකූල වී සිටිනවා. මෙය නිදසුනකින් පැහැදිලි කරගනිමු. වැලි අහුරක් දෙකක් ප්‍රවාහණය කිරීම සඳහා ඔබ කවදාවත් විශාල ට්‍රක් රථයක් භාවිත කරනවාද?

බයිබලයේ නම් මේ පිළිබඳව සෑහීමට පත් කරවන සරල මෙන්ම තර්කානුකූල පිළිතුරක් ලබා දෙනවා. එහි මුලින්ම සඳහන් වන්නේ අපේ මුල් දෙමව්පියන් වන ආදම් සහ ඒව දෙවිගේ ස්වරූපයෙන් සාදනු ලැබූ බව හා ඔවුන්ට දෙවිගේ උත්කෘෂ්ට ගුණාංග පිළිබිඹු කිරීමේ හැකියාව තිබූ බවයි. ඔවුන්ව සාදනු ලැබුවේ සදාකාලයටම ජීවත් වෙන්නයි කියා එහි ඊළඟට පැහැදිලි කරනවා. ඔවුන්ව මවනු ලැබුවේ සදහටම ඉගෙනගන්නයි කියාත් අපට මෙයින් නිගමනය කළ හැකියි. (උත්පත්ති 1:27; 2:16, 17) මිනිස් පවුල පාපයට වැටීම නිසා දෙවිගේ එම මුල් අරමුණ පරිපූර්ණ ආකාරයකින් අද ඉටු නොවුණත් මිනිස් මොළය මගින් එය මනාව පිළිබිඹු වෙනවා.—රෝම 5:12.

දෙවි පොළොව සඳහා මුලින්ම අරමුණු කළ දේ, එනම් පොළොව පාරාදීසයක් බවට පත් කර එය දේවභයැති පරිපූර්ණ මනුෂ්‍යයන්ගෙන් පූර්ණ කිරීමට වූ අරමුණ ඉටු වන බව නිසැකයි. යෙහෝවා තම ඒකජාතක පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව මිදීමේ මිල පූජාවක් වශයෙන් අප උදෙසා ලබා දුන්නේද අපට සදාකාල ජීවනය අත් කර දීමටයි.—මතෙව් 20:28; යොහන් 3:16.

මනසට හොඳම පෝෂණය

යෙහෝවා අපට දේවානුභාවයෙන් ලියනු ලැබූ ඔහුගේ වචනය වන ශුද්ධ බයිබලයද ලබා දුන්නා. (2 තිමෝති 3:16; 2 පේතෘස් 1:21) මෙම අනර්ඝ පොත ශුද්ධාත්මයේ ආධාරයෙන් සකස් කරනු ලැබුවා. ඒ නිසා මිනිසාට මානසික හා ආත්මික වශයෙන් ලැබිය හැකි හොඳම පෝෂණය ලබාගත හැක්කේ බයිබලයෙන් කියා පැවසුවොත් නිවැරදියි. (ගීතාවලිය 19:7-10) “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි” කියා යේසුස් පවා පැවසුවා.—මතෙව් 4:4NW.

එසේනම්, ඔබ තරුණ වුවත් මහලු වුවත් දෙවිගේ ‘මුඛයෙන් නික්මෙන’ අනර්ඝ ‘වචන’ කියවීමට දිනපතාම කෙටි කාලයක් වෙන් කරගැනීම හොඳ අදහසක් නොවේද? එසේ කරමින් ඉගෙනගන්නා දේ ක්‍රියාවට නංවන අය දැනුත් අනාගතයේදීත් ප්‍රයෝජන ලබන බව නිසැකයි. ඔව්, දෙවිගේ මුල් අරමුණට එකඟව සදාකල් ජීවත් වෙන්න පමණක් නොව සදාකල් ඉගෙනගන්නද ඔවුන්ට පුළුවන්. එය කදිම බලාපොරොත්තුවක් නොවේද?—දේශනාකාරයා 3:11; යොහන් 17:3.

[11වන පිටුවේ පින්තූරය]

දෙවිගේ අරමුණ පිළිබිඹු කරන මිනිස් මොළය නිර්මාණය කරනු ලැබුවේ සදහටම ඉගෙනගැනීමටයි

[12වන පිටුවේ පින්තූර]

ඔබේ මනසට ලබාගත හැකි හොඳම පෝෂණය අඩංගු වී තිබෙන්නේ බයිබලයේයි