Skip to content

පටුනට යන්න

වංචාවකට හසු නොවී සිටීමට නම් . . .

වංචාවකට හසු නොවී සිටීමට නම් . . .

වංචාවකට හසු නොවී සිටීමට නම් . . .

“ඔබට අවංක මිනිහෙක්ව රවටන්න බැහැ.” ඔබ මෙවැනි කියමනක් අසා ඇති. ඒත් බොහෝ කියමන් මෙන් එහිද සත්‍යයක් නැහැ. කවදත් අවංක පුද්ගලයාට තමයි වංචා කරන්නේ. ඔවුන්ට අවංකකම විතරක් මදි ආරක්ෂා වෙන්න. ලෝකයේ ඉන්න සමහර මොළකාරයෝ මිනිසුන්ගේ මුදල් ටික වංචාවෙන් ලබාගැනීමට නොයෙකුත් උපක්‍රම යොදනවා. ඒ පිළිබඳ එක් ලේඛකයෙක් අවුරුදු සියයකටත් වඩා ඉහතදී මෙවන් දෙයක් කියා සිටියා. “වංචා කිරීමට සමහරු කොතරම් දක්ෂ හා සූක්ෂ්ම ලෙස සැලසුම් කර තිබෙනවාද කියතොත් එවන් සැලසුමකට නොරැවටී ඉන්න කෙනෙක් නැහැ.”

වංචාවට දිගු ඉතිහාසයක් තිබෙනවා. එය ආරම්භ වූයේ ඒදන් උයනේදීයි. (උත්පත්ති 3:1-5) අතීතයේ යොදාගත් සැලසුම්වල විවිධ මුහුණුවර තිබෙන අතර වර්තමානයේත් අලුත් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එසේනම් ඔබ ආරක්ෂා වන්නේ කොහොමද? වංචාකරුවන් මිනිසුන්ව රැවටීම සඳහා යොදාගන්නා ක්‍රම සියල්ලම දැනගැනීමට අවශ්‍ය නැහැ. මූලික ආරක්ෂක ක්‍රම කිහිපයක් දැනගෙන සිටීම, ඔබට ප්‍රයෝජනවත් වෙයි.

ඔබේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්න

යම් පුද්ගලයෙක් ඔබේ චෙක් පොත හෝ ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කළා නම් ඔහුට එයින් යම් දේවල් මිල දී ගත හැකියි. ඔහු ඔබේ බැංකු ගිණුමේ තොරතුරු සොරකම් කළා නම් ඔහුට හැකි වෙයි ඔබේ නමින් චෙක්පත් ලියා මුදල් ලබාගැනීමට. ඔහු ඔබේ පෞද්ගලික තොරතුරු සෑහෙන පමණ ලබාගත්තා නම් ඔබ මෙන් පෙනී සිටීමට ඔහුට හැකි වෙයි. ඔබේ අනන්‍යතාව සොරාගත් පසු වංචාකාරයෙකුට ඔබේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගැනීමට, ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් යම් ගෙවීම් කිරීමට සහ ඔබේ නමින් ණය ලබාගැනීමට පවා පුළුවන්. * සමහරවිට ඔබ නොකළ අපරාධයකට පවා ඔබව හසුවීමට ඉඩ තිබෙනවා!

මෙවැනි ආකාරයේ වංචාවන් සිදුවීම වළක්වාගැනීම සඳහා ඔබේ සෑම පෞද්ගලික තොරතුරක්ම, එනම් ඔබේ බැංකු ප්‍රකාශයන් සහ චෙක් පොත්, රියදුරු බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත් වැනි දේ පරෙස්සම් කරගන්න. ඔබේ පෞද්ගලික තොරතුරු හෝ මූල්‍යමය තොරතුරු යම් සාධාරණ හේතුවක් නිසා මිසක කිසිවෙකුටත් දෙන්න එපා. මෙහිදී විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් අංකය හා බැංකු ගිණුමේ තොරතුරු සම්බන්ධව සැලකිලිමත් විය යුතුයි. ඔබ ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් අංකය දිය යුතු එකම අවස්ථාව වන්නේ එයින් යම් ගෙවීමක් කිරීමට තිබෙන විට පමණයි.

සමහර වංචාකාරයන් එවැනි තොරතුරු සෙවීමට කුණු කසළ පවා පිරික්සයි. එම නිසා ඔබේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ඉවත දමන කඩදාසි වැනි දේ නිකම් විසි කරනවා වෙනුවට පුලුස්සා හෝ ඉරා දමන්න. මෙයට ඔබ අවලංගු කළ චෙක්පත්, බැංකු හා බ්‍රෝකර් ගාස්තු ගෙවීම් කළ රිසීට්පත් වගේම කල් පිරුණු ක්‍රෙඩිට් කාඩ්, රියදුරු බලපත්‍ර හා ගුවන් ගමන් බලපත්‍රද ඇතුළත් වෙනවා. ඒ වගේම තැපෑලෙන් එන ඔබ අයැදුම් නොකළ ක්‍රෙඩිට් කාඩ් අයැදුම්පත්ද විනාශ කර දමන්න. මන්ද මෙම අයැදුම්පත් තුළ ඔබේ තොරතුරු තිබෙන අතර වෙනත් කෙනෙක් එයින් අයුතු ප්‍රයෝජන ගත හැකියි.

බුද්ධිමත් වන්න

බොහෝ වංචාවන්ට මූලිකව යොදාගන්නා ක්‍රමයක් වන්නේ ආයෝජනයකින් සිතාගත නොහැකි තරමේ ප්‍රතිලාභ ලැබෙන බවට දෙන පොරොන්දුවයි. වංක ලෙස ඉක්මනින්ම මුදල් ඉපයීමේ ඉතාමත් ප්‍රසිද්ධම ක්‍රමය තමයි පිරමිඩ ක්‍රමය. මෙම කූට උපක්‍රමයේ විවිධ මුහුණුවර තිබුණත් සාමාන්‍යයෙන් යොදාගන්නා ක්‍රමය නම් ආයෝජකයන් විසින් තවත් ආයෝජකයන් පිරිසක් බඳවාගැනීමේ ක්‍රමයයි. අලුත් ආයෝජකයන්ව බඳවාගත් අයට කොමිස් මුදලක් ලැබෙනවා. * දම්වැල් ලිපි ක්‍රමය (chain letters) තුළදීත් සිදු වන්නේ මෙයමයි. එනම් ලැයිස්තුවක මුල් පෙළේ ඉන්න අයට මුදල් එවන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබේ නම ලැයිස්තුවේ මුලට ගිය විට ඩොලර් දහස් ගණනක් ඔබට ලැබෙන බවට පොරොන්දු වෙනවා.

පිරමිඩ ක්‍රම හැමවිටම අසාර්ථක වෙනවා. මන්දයත් අලුත් සාමාජිකයන්ව දිගින් දිගටම බඳවාගැනීම කළ නොහැකි දෙයක් නිසා. මෙය ගණනය කර බලන්න. පුද්ගලයන් පස්දෙනෙකු පිරමිඩ ක්‍රමයක් ආරම්භ කරනවා. මෙම එක් එක් පුද්ගලයා තව පස්දෙනෙකු බැගින් බඳවාගන්නවා. එවිට එහි පුද්ගලයන් 25දෙනෙකු සිටිනවා. මෙම 25දෙනා පස්දෙනා බැගින් බඳවාගත් විට පුද්ගලයන් සංඛ්‍යාව 125 දක්වා තවත් ඉහළ නඟිනවා. බඳවාගැනීම නවවන මට්ටමට යන විට පුද්ගලයන් මිලියන දෙකක් තවත් පුද්ගලයන් මිලියන නවයකට වඩා බඳවාගත යුතුයි! මෙම පිරමිඩ ක්‍රමය ආරම්භ කරන අය මෙම බඳවාගැනීම යම් අවස්ථාවකදී නතර කළ යුතුයි කියා හොඳාකාරවම දන්නවා. මෙම නතර කළ යුතු ස්ථානය ළඟා වෙමින් තිබෙනවා කියා ඔවුන්ට දැනෙන විට ඔවුන් මුදල් ටික රැගෙන පලා යනවා. ඔබගේ මුදල් ඔබට නැතිවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔබ බඳවාගත් අය ඔවුන්ගේ නැති වුණ මුදල ඔබෙන් ඉල්ලා සිටිය හැකියි. මතක තියාගන්න, පිරමිඩ ක්‍රමයේදී සිදු වන්නේ ඔබ මුදල් උපයන විට තව කෙනෙකුට මුදල් අහිමි වීමයි.

යම් කෙනෙක් ඔබට මහන්සි නොවී මුදල් හම්බ කරගැනීමේ ක්‍රමයක් හඳුන්වා දෙනවාද? එසේ නැතහොත් යම් ආයෝජනයකින් විශාල ප්‍රතිලාභයක් ලබා දෙන බවට පොරොන්දු වෙනවාද? අවවාදාත්මක අනතුරු ඇඟවීම මෙයයි. අදහාගත නොහැකි තරමේ වාසියක් ලැබෙන ව්‍යාපාර කටයුත්තක් ඔබට හඳුන්වා දෙනවා නම් එය බොහෝදුරට හොර ජාවාරමක් වෙන්න පුළුවන්. වෙළඳ දැන්වීම් සහ ප්‍රතිලාභ ගැන එක් එක් අය කියන කතා විශ්වාස කිරීමට ඉක්මන් වෙන්න එපා. එසේ නැතහොත් “මේක නම් වෙනස් දෙයක්” කියා සිතන්න පෙලඹෙන්න එපා. ව්‍යාපාර කරන පුද්ගලයන් සල්ලි නිකම් දෙන්නේවත් ඔබව පොහොසත් කිරීම සඳහා ඔවුන්ගේ රහස් බෙදාගන්නේවත් නැති බව මතක තියාගන්න. යම් කෙනෙක් කියා සිටිනවා නම් ඔබට යම් වාසියක් අත් කර දීමට ඔහු ළඟ විශේෂ දැනුමක් තිබෙනවා කියා ඔබෙන්ම මෙසේ අසන්න. ‘ඇයි එයා ඒ දැනුම පාවිච්චි කරලා පොහොසතෙක් වෙන්නේ නැත්තේ? ඒක මට දෙන්න ඇයි ඔය තරම් මහන්සි වෙන්නේ?’

ඔබ තරඟයකින් දිනුමක් ලබා තිබෙනවා කියා හෝ ඔබට තෑග්ගක් තිබෙනවා කියා හෝ කවුරුහරි ඔබට කිව්වොත් කලබල වෙන්න එපා. ඒක උගුලක් වෙන්න පුළුවන්. හුඟදෙනෙක් මේ උගුලට අසු වෙනවා. ඒ පිළිබඳව එක් උදාහරණයක් සලකා බලන්න. එංගලන්තයේ සිටින එක් කාන්තාවකට ඇය තෑග්ගක් දිනාගෙන තිබෙනවා කියා පවසමින් ඇයට කැනඩාවෙන් ලිපියක් ආවා. නමුත් එම තෑග්ග ලබාගැනීමට පෙර යම් සැකසීම් කටයුතු සඳහා ඇය ඩොලර් 25ක් එවිය යුතුයි කියා එහි සඳහන් වී තිබුණා. ඇය එම මුදල යැවූ පසු ඇයට කැනඩාවෙන් දූරකථන ඇමතුමක් ලැබුණා. එම ඇමතුම මගින් ඇයට දැනුම් දුන්නේ ඇය ලොතරැයි දිනුම් ඇදීමකින් තුන්වන ත්‍යාගය වශයෙන් ඩොලර් 2,45,000ක් දිනාගෙන ඇති බවයි. කළ යුතු තවත් සැකසීම් සඳහා ඒ මුදලින් යම් ප්‍රමාණයක් ගෙවිය යුතු බව ඇයට දැනුම් දෙනු ලැබුවා. එම නිසා ඇය ඩොලර් 2,450ක් යැව්වා. නමුත් ඇයට කිසිවක් ලැබුණේ නැහැ. “නොමිලේ ලැබෙන තෑග්ගකට” ඔබ යම් ගෙවීමක් කළ යුතු නම් එය වංචාවක්. ඔබෙන්ම මෙසේ අසන්න. ‘මම මෙම තරඟයට ඇතුල් වෙලා නැති නිසා මට දිනුමක් ලැබෙන්නේ කොහොමද?’

විශ්වාසවන්ත අයත් සමඟ පමණක් ගනුදෙනු කරන්න

ඔබට වංක පුද්ගලයන්ව හඳුනාගන්න පුළුවන් කියා ඔබ සිතනවාද? පරෙස්සමින්! වංචාකාරයන් අන් අයගේ විශ්වාසය දිනාගන්නේ කොහොමද කියා හොඳ හැටි දන්නවා. තමන් වංචාවෙන් රැවටීමට බලාපොරොත්තු වන පුද්ගලයන් තුළ තමන් කෙරෙහි විශ්වාසයක් ඇති වන ආකාරයට කටයුතු කිරීමට ඔවුන් හරි දක්ෂයි. අවංකව හෝ වංකව වෙළඳාමක් කරන අය දන්නා කාරණයක් වන්නේ වෙළඳාම් කිරීමට පෙර පාරිභෝගිකයා තුළ වෙළෙන්දා කෙරෙහි විශ්වාසයක් ඇති කළ යුතු බවයි. මෙයින් අදහස් කරන්නේ නැහැ ඔබ සෑම කෙනෙකුවම අවිශ්වාස කළ යුතුයි කියා. නමුත් වංචාවකට හසු නොවී සිටීමට යම් තාක් දුරකට සැක කිරීම අවශ්‍යයි. ඔබේම අද්දැකීම් මගින් කෙනෙකුගේ අවංකකම තක්සේරු කරනවාට වඩා බොහෝ වංචා කිරීම්වලදී පැහැදිලිව දකින්න තිබෙන මෙම ඉඟි දෙක ගැන සැලකිලිමත් වෙන්න. පළමු එක, අදහාගත නොහැකි තරමේ වාසියක් ලැබෙන ව්‍යාපාර කටයුත්තක් ඔබට හඳුන්වා දෙනවා නම් එය බොහෝදුරට හොර ජාවාරමක් වෙන්න පුළුවන්. දෙවන එක විකුණන්න ආ වෙළෙන්දා ඉක්මනින්ම යම් දෙයක් මිල දී ගන්න කියා ඔබට පෙරැත්ත කිරීම.

අදහාගත නොහැකි තරම් දීමනා ඉදිරිපත් කරන දැන්වීම් ඕනෑ තරමක් අන්තර්ජාලයේ දැකගන්නට තිබෙනවා. අන්තර්ජාලය වටිනා භාණ්ඩ හා සේවා ඉදිරිපත් කළත් එය වංචාකාරයන්ට ඉක්මනින්ම හා නිර්නාමිකව වංචනික දේවල් කිරීමට ඉඩ ලබා දෙනවා. ඔබට ඊ-මේල් පහසුකම් තිබෙනවාද? එහෙමනම් ඔබ අයැදුම් නොකළ වෙළඳ ඊ-මේල් ලැබී තිබෙනවා දැක ඇති. මෙම ඊ-මේල් මගින් නොනැවතී භාණ්ඩ හා සේවාවන් ගැන තොරතුරු ඔබට ලැබුණත් මේවායින් බොහොමයක් වංචනික ඒවායි. ඔබ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමට අයැදුම් නොකළ ඊ-මේල් පතකට මුදල් ගෙවූ විට ඔබට සමහරවිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබට යමක් ලැබුණත් ඔබ දුන් මුදලට සරිලන වටිනාකමක් එහි නොතිබෙන බව සහතිකයි. හොඳම දේ ඔබ අයැදුම් නොකළ ඊ-මේල් මගින් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී නොගැනීමයි.

දූරකථනය හරහා භාණ්ඩ හා සේවාවන් ඔබට ඉදිරිපත් කරන අයගෙන් පරෙස්සම් වීමටත් මෙම උපදෙස් අදාළයි. දූරකථන හරහා කරන මෙම වෙළඳ ගනුදෙනු බොහොමයක් නීත්‍යනුකූල වුණත් සෑම වසරකම පුද්ගලයන්ගෙන් ඩොලර් බිලියන ගණනක මුදල් වංචා මෙම ක්‍රමය හරහා සිදු වෙනවා. ඔබට දූරකථන ඇමතුමක් දුන් කෙනෙකු සමඟ කතා කළ පමණින් එම වෙළඳ කටයුතු නීත්‍යනුකූලද කියා දැනගැනීමට කිසිම හැකියාවක් නැහැ. වංචාකාරයෙකු සමහරවිට බැංකු නියෝජිතයෙකු හෝ ක්‍රෙඩිට් කාඩ්පත් ආයතනයේ නියෝජිතයෙක් ලෙස පෙනී සිටිය හැකියි. යම් කෙනෙක් ඔබේ ගිණුමක් තිබෙන බැංකුවෙන් හෝ යම් ආයතනයකින් ආ බව පවසා ඔබේ තොරතුරු ඉල්ලා සිටියි නම් ඒ පුද්ගලයා ගැන සැක සිතීම සාධාරණයි. මන්ද ඔබ දැනටමත් එම ආයතනවලට ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දී තිබෙනවා. එවැනි දෙයක් සිදු වුණා නම් ඔබ එම පුද්ගලයාගේ දූරකථන අංකය අසන්න. එම අංකය ඔබ ගනුදෙනු කරන බැංකුවේ හෝ ආයතනයේ අංකයක්ද කියා සැක හැර දැනගත් පසු එම අංකයට කතා කරන්න.

හොඳම දේ ඔබට දූරකථනයෙන් කතා කළ නොදන්නා කෙනෙකුට ඔබේ ක්‍රෙඩිට් කාඩ් අංකය හෝ වෙනත් පෞද්ගලික තොරතුරු නොදීමයි. යම් කෙනෙක් ඔබට අවශ්‍ය නැති යම් භාණ්ඩයක් විකිණීමට දූරකථනයෙන් කතා කළා නම් ඔබට කාරුණිකව මෙසේ පවසන්න පුළුවන්. “සමාවෙන්න. මම දන්නේ නැති අයත් එක්ක දූරකථනයෙන් කිසිම ගනුදෙනුවක් කරන්නේ නැහැ” කියා කාරුණිකව පවසා දූරකථනය තබන්න. ඔබට වංචා කිරීමට මාන බලන නන්නාඳුනන කෙනෙකු සමඟ අනවශ්‍ය සංවාදයක නියැලෙන්න ඔබට කිසිදු අවශ්‍යතාවක් නැහැ.

විශ්වාසවන්ත අය හා ව්‍යාපාර සමඟ පමණක් ගනුදෙනු කරන්න. ඔබට දූරකථනය හෝ අන්තර්ජාලය ඔස්සේ අවාසියක් නොවන අයුරින් වෙළඳ කටයුතු කළ හැකි නීත්‍යනුකූල සමාගම් බොහොමයක් තිබෙනවා. හැකියාවක් තිබේ නම් වෙනත් ආයතනයක් මාර්ගයෙන් ඔබ ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන සමාගමේ අලෙවි කටයුතු කරන පුද්ගලයන්, සමාගම සහ එහි මූල්‍ය ආයෝජන පිළිබඳව සොයා බලන්න. එම සමාගම නීත්‍යනුකූල සමාගමක්ද කියා දැනගැනීමට ආයෝජන පිළිබඳ තොරතුරු ලබාගෙන පරෙස්සමින් එම තොරතුරු කියවන්න. යම් තීරණයක් ගැනීමට ඉක්මන් වෙන්නත් එපා. යම් තීරණයක් ගන්න කියා වෙනත් කෙනෙකුට ඔබට යම් බලපෑම් කිරීමටත් ඉඩ දෙන්න එපා.

ලියා තබන්න

හැම වංචාවක්ම, වංචාවක් ලෙසම ආරම්භ වන්නේ නැහැ. අවංක ව්‍යාපාරයක් වුවත් අසාර්ථක වීමට පුළුවන්. එවන් දෙයක් සිදු වූ විට කලබලයට පත් වන එම ව්‍යාපාරය පවත්වාගෙන යන අය තම අලාභය පියවීම සඳහා වංචනික ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට ඉඩ තිබෙනවා. ව්‍යාපාරයන් කරගෙන යන විධායක නිලධාරීන් ලැබෙන ආදායම් සහ ලාභ පිළිබඳ බොරු වාර්තා පෙන්වා ව්‍යාපාරය බංකොලොත් වූ පසු ඉතිරිව තිබෙන මුදල් ටික රැගෙන පලා ගිය ආකාරය පිළිබඳ සිද්ධීන් ඔබ අසා ඇති බවට කිසිම සැකයක් නැහැ.

ඔබ වංචාවෙන් හා වරදවා වටහාගැනීමෙන් ආරක්ෂා වීම සඳහා යම් විශාල ආයෝජනයක් කිරීමට පෙර සියලු තොරතුරු ලිඛිතව ලබාගන්න. ඔබ ඕනෑම ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ආයෝජනයට අදාළ සියලු නියමයන් හා කරනු ලබන පොරොන්දු පිළිබඳව ලිඛිත ප්‍රකාශයන් ලබාගන්න. යම් ආයෝජනයක් ශක්තිමත් ලෙස පෙනෙන්නට තිබුණත් සැලසුම් කළ විදිහටම දේවල් සිදු වෙයි කියා සහතික වීමට කිසිවෙකුටත් බැරි බව තේරුම්ගන්න. (දේශනාකාරයා 9:11) ඇත්තටම අවදානමක් නැති කිසි ආයෝජනයක් නැහැ. ඒ නිසා ගිවිසුම අත්සන් කරන විට ව්‍යාපාරය බංකොලොත් වූ විට දෙපාර්ශ්වයේම යුතුකම් සහ වගකීම් මොනවාදැයි පැහැදිලිව සටහන් කරගන්න.

අප කෙටියෙන් සාකච්ඡා කළ තොරතුරු දැනගැනීමෙන් හා එහි මූලික ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් වංචාවකට හසුවීමට තිබෙන අවදානම්සහගත තත්වයකින් ඔබට ගැලවිය හැකියි. පුරාණ බයිබල් ආප්තෝපදේශයක වටිනා උපදෙසක් දී තිබෙනවා. එහි සඳහන් වන්නේ, “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි. එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි” කියායි. (හිතෝපදේශ 14:15) වංචාකාරයෝ කොටු කරගන්නේ ඔවුන්ගේ හැම වචනයක්ම විශ්වාස කරන අද්දැකීම් අඩු පුද්ගලයන්වයි. කනගාටුවට කාරණයක් වන්නේ මනුෂ්‍යයන් හුඟදෙනෙක් වංචනික සිදුවීම්වලින් ආරක්ෂා වීම සඳහා ක්‍රියාමාර්ගයන් නොගැනීමයි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. වර්ෂ 2001 මාර්තු 22 පිබිදෙව්! සඟරාවේ 19-21 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

^ 9 ඡේ. පිරමිඩ ක්‍රමය යනු කුමක්ද කියා නිර්වචනය කර තිබෙන්නේ මෙසේයි. “එය විවිධ මට්ටම්වලින් සමන්විත වෙළඳ ව්‍යාපෘතියකි. එහිදී පුද්ගලයන් ඇතුල් වීමේ ගාස්තුවක් ගෙවා තවත් පුද්ගලයන්ව එයට බඳවාගනු ලබන අතර එම පුද්ගලයන්ද එලෙස තවත් අයව බඳවාගනියි.” එවැනි යෝජනා ක්‍රම විසින් කිසිම භාණ්ඩයක් නිපදවන්නේවත් සේවාවක් සපයන්නේවත් නැහැ.

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අදහාගත නොහැකි තරමේ වාසියක් ලැබෙන ව්‍යාපාර කටයුත්තක් ඔබට හඳුන්වා දෙනවා නම් එය බොහෝදුරට හොර ජාවාරමක් වෙන්න පුළුවන්

[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වංචාවට හසු වූ අයට අවවාදයක්

වංචාවට හසු වූ පුද්ගලයන්ට සාමාන්‍යයෙන් ලජ්ජාවක්, වරදකාරී බවක් සහ තමන් ගැන කෝපයක් ඇති විය හැකියි. ඔබටම දොස් පවරාගන්න එපා. ඔබයි කරදරයකට ඇද වැටුණේ. දොස් කිව යුත්තේ ඔබට වංචා කළ පුද්ගලයාටයි. ඔබෙන් අත්වැරැද්දක් සිදු වූවා නම් එය පිළිගෙන ඔබේ අනාගත වැඩකටයුතුවලට අවධානය දෙන්න. ඔබ මෝඩයෙක් කියා නිගමනය කරන්න එපා. වංචාකාරයෝ ඉතා සාර්ථකව ආණ්ඩුවල උසස් නිලධාරීන්, බැංකු කළමනාකරුවන්, විධායක නිලධාරීන්, මූල්‍ය කළමනාකරුවන්, නීතිඥවරුන් සහ වෙනත් බොහෝ බුද්ධිමත් පුද්ගලයන්ට පවා වංචා කර තිබෙන බව මතක තබාගන්න.

වංචාවකට හසු වන අයගේ නැති වෙන්නේ මුදල් හෝ දේපොළ විතරක් නොව ආත්ම විශ්වාසය හා ආත්ම ගෞරවයත් නැති වෙනවා. තමන්ගේ “මිතුරෙකු” විසින් යම් වංචාවක් සිදු කළ විට එය විශ්වාසය පාවා දීමක් වෙනවා. එවැනි වංචාවකට හසු වූ විට එය වේදනාකාරීයි. ඔබේ දුක තුනීවීමට කාලයට ඉඩ දෙන්න. සිදු වූ දේ පිළිබඳව විශ්වාසය තැබිය හැකි කෙනෙකු සමඟ කතා කරන්න. යාච්ඤාවත් විශාල සහනයක් ලබා දිය හැකියි. (පිලිප්පි 4:6-8) කාලයක් ගියාට පසු ඔබේ මෙම කටුක අද්දැකීම ගැන සිතීම නවත්වන්න සිදු වෙයි. ගිය දේ ගියා. ප්‍රයෝජනවත් ඉලක්ක තබාගෙන ඒවා අත් කරගැනීමට කටයුතු කරන්න.

ඔබේ නැති වූ මුදල් ආපසු සොයා දීම සඳහාද වංචාකාරයෝ උපා යොදයි. ඔවුන් වංචාවට හසු වූ පුද්ගලයන්ට ඔවුන්ගේ මුදල් සොයාගැනීමට උපකාර කිරීමේ මුවාවෙන් දූරකථනයෙන් ඔවුන්ට කතා කළ හැකියි. ඔවුන්ගේ අරමුණ නැවතත් එම පුද්ගලයාට වංචාවක් කිරීමයි.

[18, 19වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සුප්‍රසිද්ධ හොර ජාවාරම් ඊ-මේල් වර්ග හයක්

1. පිරමිඩ ක්‍රමය: මෙය බැලූ බැල්මට පෙනෙන්නේ එතරම් මහන්සියක් නොවී සුළු මුදලකින් විශාල මුදල් ප්‍රමාණයක් උපයාගැනීමේ මඟක් ලෙසයි. ඔබ මුදලක් ගෙවා බැඳුණොත් එක කණ්ඩායමක් ඔබට කොම්පියුටරයක් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් දෙන බවට පොරොන්දු වෙන අතර ඉන්පසු ඔබට සිදු වෙනවා තව අයව එම කණ්ඩායමට බඳවාගන්න. මෙය කරනු ලබන තවත් ආකාරයක් නම් දම්වැල් ලිපි ක්‍රමය (chain letter). මෙය නීති විරෝධීයි. මෙම ක්‍රමයට මුදල් යොදන හුඟදෙනෙකුගේ මුදල් ආපසු ලැබෙන්නේ නැහැ.

2. නිවසේ සිට ව්‍යාපාර කටයුත්තක් ඇරඹීම: මෙහි එක් ක්‍රමයක් නම් ආභරණ, සෙල්ලම් බඩු තැනීම හෝ යම් භාණ්ඩයක කොටස් රැගෙන එකලස් කිරීම වැනි කටයුත්තක් ඔබට භාර දෙනවා. ඔබ ඔබේ මුදල් සහ කාලය වැය කර එම භාණ්ඩය තැනුවත් ඔබට එය විකිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම වැඩය ඔබට භාර දුන් අය තමන් බලාපොරොත්තු වන ප්‍රමිතියට නිෂ්පාදනය සිදු වී නැතැයි කියා අවසානයේදී පවසයි.

3. සෞඛ්‍යය හා ආහාර පාලන ක්‍රම: ආහාර පාලනය කිරීමෙන් හෝ ව්‍යායාම් නොකර බර අඩු කිරීම, ලිංගික බෙලහීනත්වය සඳහා පෙති සහ හිසකෙස් ගැලවී යෑම වළක්වන ආලේපන වර්ග පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ විශාල වශයෙන් දැකගත හැකියි. මෙම දේවල් සමහරවිට ඉදිරිපත් කර තිබෙන්නේ පාරිභෝගිකයන් විසින් ඒ ගැන කරනු ලබන නොයෙක් වර්ණනාවන්ගෙන්ද යුක්තවයි. මෙම දැන්වීම්වල දැකිය හැකි පොදු වැකි කිහිපයක් නම් මේවායි. “විද්‍යාවේ නව සොයාගැන්මක්,” “ආශ්චර්යවත් සුවවීමක්,” “රහස් වට්ටෝරුවක්” හා “පුරාණ අමුද්‍රව්‍යයක්.” සත්‍යය නම් මෙම නිෂ්පාදන බොහොමයකගෙන් කිසි ප්‍රයෝජනයක් නැතිවීමයි.

4. ආයෝජන අවස්ථා: මෙම ක්‍රමයේදී සාමාන්‍යයෙන් සුළු හෝ කිසි අවදානමක් නැති විශාල ලාභයක් ලැබෙන බවට පොරොන්දු වෙනවා. ඉතාමත් ප්‍රසිද්ධ මෙම ක්‍රමයට ඇතුළත් වන්නේ විදේශ රටක බැංකු ආයෝජනයයි. ආයෝජකයන්ව මුළා කිරීම සඳහා ඔවුන් ආයෝජනය කළ මුදල් හසුරුවන අය මූල්‍යමය ආයතනවල උසස් නිලධාරීන් හඳුනන බවට හා ඒ ආයතන තුළ සිදු වන රහසිගත තොරතුරු තමන් දන්න බවට සහතික වෙනවා.

5. ණය පිළිබඳ වාර්තා සකස් කිරීම: මෙම වංචනික ක්‍රමවලින් ඔබගේ ණය වාර්තාවල තිබෙන අහිතකර තොරතුරු අහක් කර ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක්, වාහන ණයක් හෝ රැකියාවක් සඳහා සුදුසුකම් ලැබීමට සලස්වන බවට පොරොන්දු වෙයි. පොරොන්දුව කුමක් වුවත් එම පොරොන්දු දෙන අයට ඒවා ඉටු කර දෙන්න බැහැ.

6. අඩු මුදලකට විනෝද ගමන්: ඉතාමත් අඩු මුදලකට විනෝද ගමන් යෑම සඳහා ඔබ තේරී පත් වී තිබෙනවා කියා දන්වමින් ඔබට ඊ-මේල් එකක් ලැබෙනවා. ඔබවම මේ සඳහා විශේෂයෙන්ම තෝරාගෙන තිබෙනවා කියා සමහරෙක් කියා සිටිනවා. මෙම දැන්වීම මිලියන ගණනකට යවා තිබෙනවා කියා අමතක කරන්න එපා. නැවතීමේ පහසුකම් හා ආහාර පාන ආදිය ඔවුන් නිවේදනය කර තිබුණු තරම් හොඳ තත්වයෙන් ඔබට ලැබෙන්නේ නැහැ.

[හිමිකම් විස්තර]

Source: U.S. Federal Trade Commission

[17වන පිටුවේ පින්තූරය]

පිරමිඩ ක්‍රමය හැමවිටම අසාර්ථකයි

[19වන පිටුවේ පින්තූරය]

ඔබ මොනයම් ගිවිසුමක් අත්සන් කළත් ආයෝජනයේ කොන්දේසි සහ පොරොන්දු වැනි සියලු දේ ලිඛිතව ලබාගන්න