Skip to content

පටුනට යන්න

වංචාව දසත පැතිර තිබෙන ගැටලුවක්

වංචාව දසත පැතිර තිබෙන ගැටලුවක්

වංචාව දසත පැතිර තිබෙන ගැටලුවක්

ස්වාමිපුරුෂයෙකු තුළ තිබිය යුතුයි කියා කැරන් බලාපොරොත්තු වූ දේ ඒ සැටියෙන්ම වේන්ට තිබුණා. ඔහුට තිබුණේ සිත් බඳනා පෙනුමක් හා කාරුණික කතා විලාසයක්. “එයා වගේ කෙනෙක්ව ලැබෙන්න කියලා තමයි මම යාච්ඤා කළේ. මගේ හිතේ තිබුණෙත් ඒ වගේ කෙනෙක් ගැන. අපිව දැක්ක හැමෝම වගේ හිතුවේ අපි දෙන්නා හොඳට ගැළපෙනවා කියලා. මට වඩා කෙනෙක් එයාට මේ ලෝකේ තවත් නැති විදිහටයි එයා කටයුතු කළේ.” කැරන් තම පෙම්වතා ගැන කීවේ එලෙසයි.

නමුත් ගැටලුවක් තිබුණා. ඕස්ට්‍රේලියාවේ රහස් ඔත්තු සේවය භාරව කටයුතු කරන තුන්වන නිලධාරියා තමා බව වේන් කැරන්ට කියා සිටියා. ඔහුට එයින් අයින් වීමට අවශ්‍ය වුණත් ඔවුන් එයට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ගේ සේවාවන් ගැන සෑම තොරතුරක්ම ඔහු ළඟ තිබෙනවා. ඔහු එම සේවයෙන් ඉවත් වුවහොත් ඔහුව මරා දමයි! ඔහුත් ඇයත් එකතු වී මේ සඳහා යම් සැලසුමක් යෙදුවා. ඒ තමයි විවාහ වී තම දේපොළ විකුණා ඕස්ට්‍රේලියාව අත්හැර කැනඩාවට පලා යෑමයි. කැරන් ඇගේ නිවස සහ ඈ සතුව තිබූ සෑම දෙයක්ම විකුණා ලැබුණ මුදල් වේන්ට භාර දුන්නා.

විවාහය සැලසුම් කළ ලෙස සිදු වුණා. වේන් රටෙන් පැනගත්තා. නමුත් කැරන්ව අත්හැර දමා ගියා. ඇයගේ බැංකු ගිණුමේ ඉතුරු වූ ඩොලර් හයක් සමඟ ඈ තනි වුණා. වංචා කිරීම සඳහා ගෙතූ බොරු වැලකට ඈ හසු වී ඇති බව වැටහීමට ඇයට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. හරියට නළුවෙකු චරිතයක් රඟපානවා හා සමානව වේන් ඇයගේ සිත දිනාගැනීම සඳහා ඊට ගැළපෙන අයුරින් ඉතාමත් ලස්සනට රඟපෑමක් කර තිබුණා. ඔහුගේ පසුබිම, ආශාවන්, පෞද්ගලිකත්වය, ඇයට පෙන්වූ ආදරය වැනි දේවල් ඇගේ විශ්වාසය දිනාගැනීමට කළ බොරු මවාපෑමක්. ඒ බොරු මවාපෑම නිසා ඇයට අමෙරිකානු ඩොලර් 2,00,000කට වඩා අහිමි වුණා. එක් පොලිස් නිලධාරියෙක් මෙවන් දෙයක් ප්‍රකාශ කළා. “ඇය සම්පූර්ණයෙන්ම මානසිකව වැටිලා. ඇයට සිදු වුණ මුදල් වංචාව අමතක කළත් මේ වගේ දෙයකින් කෙනෙකුට ඇති වන වේදනාව කොයි තරම්ද කියලා හිතලා බලන්න.”

“මගේ ඔළුව හොඳටම අවුල් වෙලා. ඔහු කළේ බොරු මවාපෑමක්” කියා කැරන් පවසනවා.

ලොව පුරා සිදු වන වංචාසහගත ක්‍රියාවන් නිසා බැට කන අයගෙන් කැරන් එක් අයෙක් විතරයි. ඇත්තටම මිනිසුන්ගෙන් කොතරම් මුදල් ප්‍රමාණයක් වංචා කරනවාද කියා හරියටම දැනගැනීමට හැකියාවක් නැහැ. ඒත් ඩොලර් මිලියන සිය ගණනක මුදල් වංචා සිදු වන බවට ගණන් බලා තිබෙන අතර සෑම වසරකම එවැනි ක්‍රියාවන්වල ඉහළ යෑමක් තිබෙනවා. මුදල් අහිමි වෙනවාට අමතරව කැරන් මෙන් වංචාවට ගොදුරු වූ අය බොහෝවිට තමන් විශ්වාස කරන කෙනෙකු තමන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත්තාය යන හැඟීම නිසා මානසික වශයෙන් පීඩා විඳිනවා.

වළක්වාගැනීම තමයි හොඳම දේ

වංචාව යන්න නිර්වචනය කර තිබෙන්නේ, “මුදල් ලබාගැනීම සඳහා බොරු මවාපෑම්, විස්තර නැතහොත් පොරොන්දු යොදාගෙන කරන සැලැස්මක් හෝ සිතා මතා කරන රැවටීමක්” ලෙසයි. කනගාටුවට කාරණයක් වන්නේ, සැලසුම් කර වංචාවක් කළා කියා ඔප්පු කරගත නොහැකි නිසා එවන් දේ සිදු කළ බොහෝදෙනෙකුට දඬුවම් නොලැබීමයි. ඊට අමතරව වංචාකාරයන් හුඟදෙනෙකු නීතිය තමන්ගේ වාසියට හරවාගෙන ඉන් ගැලවී යෑමට උපන් හපන්නු. නඩු මඟට බැසීමට හෝ කොහෙත්ම එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වන සේ, පුද්ගලයන්ට වංචා කිරීමට ඔවුන් දනී. තවද, වංචාකාරයෙකුට එරෙහිව අපරාධ නඩුවක් දැමීම කාලය මෙන්ම මුදල්ද වැය වන කටයුත්තක්. සාමාන්‍යයෙන් එවැනි වංචා සිදු කළ පුද්ගලයන්ව වරදකරුවන් ලෙස නීතිය ඉදිරියට ගෙන එන්නේ ඩොලර් මිලියන ගණනක සොරකමක් නැතහොත් කොයි කාගෙත් අවධානයට හසු වන තරමේ මුදල් සොරකමක් සිදු වූ විටයි. එසේ වුවත් වංචාකාරයෙකුව නීතියේ රැහැනට හසු කර දඬුවම් කරන අවස්ථාව වන විට ඔහු හෝ ඇය සොරාගත් මුදල් වියදම් කර හෝ සඟවා තිබෙන්න පුළුවන්. මේ නිසා වංචාකාරයෙකුට ගොදුරු වූ කෙනෙකුට තමන්ගේ නැති වූ මුදල් සඳහා වන්දියක් ලැබෙන්නේ කලාතුරකින්.

කෙළින්ම කියනවා නම් ඔබට කවුරුන් හෝ වංචා කර ඇත්නම් ඔබගේ නැති වූ දේ ලබාගැනීමට ඔබට කළ හැක්කේ සීමිත දෙයක්. සමහර වේලාවට කිරීමට දෙයක් ඉතුරු වෙලා නැහැ. එම නිසා එවැනි උගුලකට හසු වී මුදල් ආපසු ලබාගැනීමට වෙහෙස වෙනවාට වඩා එවන් උගුලකට හසු නොවී එවැනි දේවල් වළක්වාගැනීම තමයි හොඳම දේ. බොහෝ කාලයකට පෙර ඥානවන්ත මිනිසෙක් ලියූ ලෙස ‘විපත්තිය දැක සැඟවෙන්නේ නුවණ ඇත්තායි. එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබයි.’ (හිතෝපදේශ 22:3) ඔබට වංචාවක් සිදු නොවීම සඳහා ගත හැකි ආරක්ෂක පියවර කිහිපයක් ඊළඟ ලිපියෙහි පැහැදිලි කර තිබෙනවා.