Skip to content

පටුනට යන්න

දරුවන්ට අවශ්‍ය වන්නේ කෙබඳු ආකාරයේ පියෙක්ද?

දරුවන්ට අවශ්‍ය වන්නේ කෙබඳු ආකාරයේ පියෙක්ද?

දරුවන්ට අවශ්‍ය වන්නේ කෙබඳු ආකාරයේ පියෙක්ද?

දරුවන්ට අවශ්‍ය වන්නේ තමන්ට ආදරය කරන, තමන්ට මිත්‍රත්වයක් ඇති කරගත හැකි, වගකීම් ඉසිලිය හැකි වැඩිහිටියන් බවට පත්වීම සඳහා තමන්ට උදව් කිරීමට සෑම උත්සාහයක්ම දරන පියෙකුවයි. නමුත් දරුවන්ට අවශ්‍ය වන්නේ මේ ආකාරයේ පියෙකුය යන කාරණයට එතරම් අවධානයක් දී නැහැ.

දරුවන්ව මෙලොවට බිහි කරන්නේ මව්වරුන් බව ඇත්තයි. ඒ වගේම හොඳ මවක් දරුවෙකුට සිටීමේ වැදගත්කම කොහෙත්ම අඩුවෙන් තක්සේරු කරන්නට බැහැ. නමුත් පියාද මෙහිලා මව හා සමානව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද විල්සන් ක්වෝටලි යන පොතේ සඳහන් කරන්නේ මෙහෙමයි. “අමෙරිකානු සමාජයේ දරුණු ගැටලු බොහොමයකට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දරුවන්ට ලැබිය යුතු පිය සෙනෙහස අඩුවීමය.” තවද ලෝකයේ අනික් රටවලටද මෙය බලපා ඇති බව අපට සටහන් කළ හැකියි.

යෞවනයන් බොහෝදෙනෙකුගේ හැසිරීම පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයකදී නිගමනය කරන ලද දෙය ජර්නල් ඩා ටාර්ඩේ නමැති බ්‍රසීලියානු පුවත්පතේ පළ වුණා. එහි පැවසුවේ, යෞවනයන්ගේ කලහකාරී බව, නොහික්මුණු හැසිරීම, පාසැලේදී හොඳ ප්‍රතිඵල නොලැබීම සහ ඉගෙනීමට උනන්දුවක් නැතිකම වැනි ගැටලුවලට බොහෝවිට “හේතුව වී ඇත්තේ, පිය සෙනෙහස නොලැබීම” බවයි. මාර්චෙල්ලෝ බර්නාර්ඩි විසින් රචිත ලි ඉම්පර්ෆෙටි ජෙනිටෝරි (අසම්පූර්ණ දෙමාපියෝ) නමැති ඉතාලි පොතේ අවධාරණය කරන්නේ දරුවන්ට සාර්ථකව වැඩීම සඳහා දෙමාපියන් දෙදෙනාවම එක සේ ඔවුන්ට අවශ්‍ය බවයි.

පවුල් ජීවිතය දියුණු කළ හැකියි

යම් පියෙකුගේ නොසැලකිලිමත්කම නිසා පවුලක යම් තරමකට හෝ බොහෝදුරට ගැටලු ඇති වී තිබුණත්, මින් අදහස් කරන්නේ පවුල් ජීවිතයේ යම් යම් කාරණා නිවැරදි කරගෙන එය දියුණු කළ නොහැකි බව නොවේ. එය කරන්නේ කෙසේද? පියෙක් මේ සම්බන්ධයෙන් කුමක් කළ යුතුද?

දරුවන්ට තමා පවුලකට අයිතිය යන හැඟීම තිබීම අවශ්‍ය බව පැහැදිලියි. එනම්, පවුලේ යම් කෙනෙක් තමාගේ දුක සැප සොයා බලන්නට ඉන්නවා යන හැඟීම දරුවන් තුළ සැමවිටම තිබිය යුතුයි. එම අවශ්‍යතාව සපුරාලන්නේ නැති විට, දරුවන්ගේ ජීවිතවලට ඉන් ඇති වන බලපෑම අහිතකරයි. බොහෝවිට අද දින සිදු වන්නේ මේ දේමයි. එහෙත්, යම් පවුලක පියෙක් නොසිටියද මේ ගැන බලාපොරොත්තු නැති කරගන්නට අවශ්‍ය නැහැ. “ස්වකීය ශුද්ධ වාසස්ථානයෙහි සිටින දෙවි පියා නැත්තාට පියෙක්ද වැන්දඹුවන්ට නඩු අසන්නෙක්ද වන්නේය” * කියා ගීතාවලිය 68:5හි පවසනවා.

උපකාර ලැබිය හැකි අන්දම

මීට පෙර ලිපියේ සඳහන් වූ ලිඩියා නම් පෝලන්ත ජාතික දැරිය මුහුණ දුන් අද්දැකීමෙන් එක් දෙයක් පැහැදිලිව පෙනී ගියා. එය නම්, සාර්ථකත්වය සඳහා දෙවිගේ උපකාරය අතිශයින් වැදගත් බව මෙන්ම එය කෙනෙකුට ලබාගත හැකි බවයි. ඇගේ පවුලේ අයගේ ජීවිතය මොන වගේ තත්වයකද තිබුණේ? එම පවුල දෙවිගේ උපකාරය ලබාගත්තේ කොහොමද?

ලිඩියා පැවසූ දේට එකඟ වෙමින් ඇගේ පියා වන ෆ්‍රැන්චිෂෙක් පිළිගත්තා ඇය කුඩා අවදියේදී තමා තම පවුලේ අයව නොසැලකූ බව. “අපේ දරුවන් මොනවාද කරන්නේ කියා මම පොඩ්ඩක්වත් හොයලා බැලුවේ නැහැ. මම එයාලට ආදරය පෙන්නුවේ නැහැ. ඒ නිසා අප අතර කිසිම බැඳීමක් තිබුණෙත් නැහැ.” ඉතින් මේ විදිහට, ලිඩියාට වයස අවුරුදු 14ක් වන විට, ඇයයි ඇගේ නංගියි මල්ලීයි නොහික්මුණු ලෙස හැසිරෙන සාදවලට යමින් සිටි බවත්, දුම්පානය කළ බවත්, මත්පැන් පානය කළ බවත්, සණ්ඩු දබරවලට පැටලුණු බවත් ඔහු දැනගෙන සිටියේ නැහැ.

අන්තිමේදී ෆ්‍රැන්චිෂෙක් වටහාගත්තා තමන්ගේ දරුවන්ට සිදු වෙමින් තිබුණු විපත ගැන. ඒ නිසා ඔහු ඒ ගැන යමක් කිරීමට සිතුවා. “මම උපකාරය ඉල්ලා දෙවිට යාච්ඤා කළා” යයි ඔහු කියනවා. වැඩි කල් යන්නට මත්තෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුගේ නිවසට පැමිණියා. ඔහු සහ ඔහුගේ බිරිඳ බයිබලය පාඩම් කිරීමට එකඟ වුණා. කාලයක් ගත වන විට, මේ දෙමාපියෝ බයිබලයේ තිබෙන ඉගැන්වීම් තමන්ගේ ජීවිතවලට අදාළ කරගන්නට පටන්ගත්තා. දරුවන්ට මේ නිසා ඇති වුණු බලපෑම මොකක්ද?

ෆ්‍රැන්චිෂෙක් පැහැදිලි කරන්නේ මෙහෙමයි. “මගේ දරුවන් දැක්කා මම මත්පැන් බීම නවත්වලා හොඳ තාත්තා කෙනෙක් වෙනවා. ඔවුන්ට වුවමනා වුණා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වඩාත් හොඳින් දැනගන්නට. ඒ වගේම බයිබලය පාඩම් කරන්නටත් ඔවුන්ගේ නරක ආශ්‍රය නවත්වන්නටත් පටන්ගත්තා.” ඔහුගේ පුතා වන රාෆාවූ තම පියා ගැන කිව්වේ මෙහෙමයි. “මම ඔහුට මිතුරෙකුට වගේ ඇලුම් වුණා.” ඔහු තවදුරටත් මෙසේ කියනවා. “වීදි කල්ලි මට එකපාරටම එපා වුණා. අපි ආත්මික කටයුතුවල ඇලී ගැලී වැඩ කෙරුවා.”

ෆ්‍රැන්චිෂෙක් දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා. ඔහු නොකඩවාම ඔහුගේ පවුලේ එක් එක් කෙනාගේ ආත්මික ප්‍රගතිය ගැන උනන්දු වෙනවා. ඔහුගේ භාර්යාව සහ ලිඩියා පුරෝගාමීන්, එනම් පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියන්. රාෆාවූ සහ ඔහුගේ නංගි වන සිල්වියාද බයිබලය පාඩම් කරමින් ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙමින් ඒ වගේම තම ඇදහිල්ල ගැන අනුන් සමඟ කතා කිරීමෙහිලා පූර්ණ ලෙස හවුල් වෙමින් සිටිනවා.

ඔහු තමා ඉගැන්වූ දේ පිළිපැද්දා

ආරම්භක ලිපියේ උපුටා දක්වනු ලැබූ ස්පාඤ්ඤයේ 21 හැවිරිදි යෞවනිය වන මැකරීනා ගැන මතක් කරගන්න. ඇගේ පියා වන ලුවිස්ට සිදු වූ දේ සලකා බලන්න. ලුවිස්ගේ ජීවිතය සකස් වුණෙත් මත්පැන්වලට ඇබ්බැහි වූ තම පියාගේ ජීවිත රටාව ලෙසමයි. මැකරීනා පැවසූ විදිහට, පියා මිතුරන් සමඟ දවස් ගණනාවකට අතුරුදහන් වුණා. එපමණක්ද නොවෙයි, ඔහු තමාගේ බිරිඳට සැලකුවේ හරියට සේවිකාවකට වගෙයි. තමාගේ වටිනා සහකාරිය ලෙසට නොවේ. ඔවුන්ගේ විවාහය තිබුණේ කඩාකප්පල් වෙන තත්වයකයි. මැකරීනා සහ ඇගේ නංගිලා මල්ලිලා මානසික වශයෙන් දැඩි පීඩනයකට හසු වෙලයි සිටියේ.

එහෙත්, කාලයක් ගත වුණාම, ලුවිස් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නට කැමති වුණා. ඔහු මෙසේ විස්තර කරනවා. “මම මගේ බිරිඳ සහ දරුවන් සමඟ කාලය ගත කරන්නට පටන්ගත්තා. අපි එකට එකතු වෙලා කතා බහ කළා. එකට ආහාර ගත්තා. එකට බයිබලය පාඩම් කෙරුවා. ඒ වගේම අපි එකට ගෙදර දොරේ වැඩ කළා. එකට විනෝද වුණා.” මැකරීනා මෙසේ කියනවා. “මට දැනුණා පවුලේ අය ගැන අවංක ලෙස උනන්දු වන කරුණාවන්ත තාත්තා කෙනෙක් දැන් අපිට ඉන්නවා කියලා.”

ලුවිස් තමාගේ පවුලේ අයට දිරිගැන්වූයේ දෙවිට සේවය කිරීමටයි. ඒ විතරක් නෙවෙයි තමා ඉගැන්වූ දේ තමා විසින්ම පිළිපැද්දා. මැකරීනා පැහැදිලි කරන්නේ මෙසේයි. “ඔහු දියුණු වෙමින් තිබුණු ව්‍යාපාරයෙන් ඉවත් වුණා. ඒ මොකද කියනවා නම්, ඒකට හුඟාක් කාලය මිඩංගු වුණා. ඔහුට වුවමනා වුණා පවුලේ කාරණාවලට වැඩි අවධානයක් දෙන්න.” ඉන් ඇති වුණු බලපෑම සුවිශේෂයි. “තාත්තාගේ ආදර්ශයෙන් මම ඉගෙනගත්තා සරල ඇසක් තබාගෙන ආත්මික දේවලට මුල් තැන දෙන්නේ කොහොමද කියලා” යනුවෙන් මැකරීනා පවසයි. ඇය දැන් පුරෝගාමියෙකු ලෙස සේවය කරනවා. ඇගේ මව, නංගි සහ මල්ලී ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාශීලී සාමාජිකයන්.

දුම්රිය විධායක නිලධාරියාගේ තීරණය

දරුවන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ශුභසිද්ධියට දායක වන තීරණ ගන්නා පියෙකුවයි. මීට ඉහත ලිපියේ සඳහන් වූ ටකෙෂි ටමුරා නමැති ජපන් ජාතික විධායක නිලධාරියාගේ පුතා නරක ඇසුරට වැටී මහත් ගැටලුවලට මැදි වෙන්නට ගියා. ඒ 1986දී. ඒ අවුරුද්දේදී ටකෙෂි තීරණය කළා, ජපන් ජාතික දුම්රිය සේවයේ වගකීම් දරන එම තනතුර අත්හැර දැමීමට. ටකෙෂි තමා ගත් තීරණය ගැන, දැන් වසර 18කට පසුව කුමක්ද හිතන්නේ?

“ඒ තමයි මම මගේ ජීවිතයේ ගත්ත හොඳම තීරණය” කියා ඔහු මෑතකදී පැවසුවා. “මගේ පුතා එක්ක කාලය ගත කරමින් බොහෝ දේවල් කළා. ඔහු සමඟ බයිබලය පාඩම් කළා. එය මහත් බලපෑමක් ඇති කළා. අපි යාළුවෝ වුණා. ඔහු තමාගේ නරක යාළුවන්ව අත්හැරලා නරක හැසිරීම නැවැත්වුවා.”

ටකෙෂිගේ බිරිඳ යෙහෝවාගේ සාක්ෂිකාරියක් බවට පත් වුණේ ඊට වසර කිහිපයකට පෙරයි. බයිබලය ගැඹුරින් අධ්‍යයනය කරන්නටත් පවුලේ කාරණාවලට වැඩි අවධානයක් දෙන්නටත් ටකෙෂි පෙලඹුණේ තම බිරිඳගේ ආදර්ශවත් හැසිරීම නිසයි. අන්තිමේදී ඔහුත්, ඔහුගේ පුතා සහ ඔහුගේ දියණිය යන සියල්ලන්ම සාක්ෂිකරුවන් බවට පත් වුණා. ටකෙෂි සහ ඔහුගේ පුතා දැන් තමන් ආශ්‍රය කරන සභාවල වැඩිමහල්ලන් හැටියට සේවය කරනවා. ඔහුගේ බිරිඳ සහ දියණිය පුරෝගාමීන්.

පියවරුන්ටත් උපකාර අවශ්‍යයි

තමන් දරුවන් ගැන නොසලකාහරිමින් තිබෙන බව තේරුම්ගත්තත් බොහෝ පියවරුන් දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් ඔවුන් කුමක් කළ යුතුද කියා. ස්පාඤ්ඤ පුවත්පතක් වන ලා වෑන් ගුවාර්ඩියා නමැති පුවත්පතේ මෙවන් ශීර්ෂ පාඨයක් පළ වුණා. “[ස්පාඤ්ඤ ජාතික] දෙමාපියන්ගෙන් සියයට 42ක් පිළිගත්තේ තම නහඹර වියේ දරුවන්ව ඇති දැඩි කරන්නේ කෙසේද යන්න ඔවුන් නොදන්නා බවයි.” ළමා වියේ දරුවන් හා බිලිඳුන් සිටින පියවරුන් සම්බන්ධයෙන් කියන්නට ඇත්තේද එයමයි. හුඟදෙනෙක් හිතන්නේ නැහැ කුඩා අයට තාත්තාගේ ආදරය, කැපවීම හා අවධානය එතරම්ම අවශ්‍යයි කියලා. නමුත් එය අවශ්‍යයි.

හොඳ පියෙකු තුළ තිබිය යුතු වෙනත් ගතිලක්ෂණ ගැන තවත් ඉගෙනගන්නට තිබෙන්නේ මොනවාද? පියවරුන් සඳහා හොඳම ආදර්ශය දී තිබෙන්නේ කවුරුන්ද? ඔවුන්ගෙන් අපට ඉගෙනගන්නට පුළුවන් කුමක්ද? අපගේ අන්තිම ලිපියෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකියි.

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ “තනි මාපිය පවුල්වලට සාර්ථක විය හැක!” යන පරිච්ඡේදය බලන්න.

[21වන පිටුවේ පින්තූර]

තම දරුවන්ට අවශ්‍ය දේ සැපයූ පියවරු

ෆ්‍රැන්චිෂෙක් සහ ඔහුගේ පවුල

ලුවිස් සහ ඔහුගේ පවුල

ටකෙෂි සහ ඔහුගේ පවුල