Skip to content

පටුනට යන්න

දික්කසාදයද විසඳුම?

දික්කසාදයද විසඳුම?

බයිබලයේ දෘෂ්ටිකෝණය

දික්කසාදයද විසඳුම?

බ්‍රිතාන්‍යයේ පූජකයෙක් ආගමික වතාවන් සිදු කිරීම සඳහා රැස්ව සිටි පිරිස සාදරයෙන් පිළිගනියි. එම පූජකයා ඉදිරිපිට යුවළක් තම හිතෛෂි මිත්‍රයන් හා දරුවන් සමඟ සිටියි. මේ සැරසෙන්නේ තවත් ප්‍රීතිමත් විවාහ උත්සවයකටද? කොහෙත්ම නැහැ! මෙම උත්සවය, ඔවුන්ගේ විවාහයට ආයුබෝවන් කියන්න සැලසුම් කළ එකක්. දැන් දික්කසාදය කොතරම් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලාද යත්, සමහර පල්ලිවල ඒ සඳහා විශේෂ ආගමික උත්සවයන්ද පවත්වනවා!

ඔබ දික්කසාද වෙන්න කල්පනා කරමින් සිටිනවාද? දික්කසාද වෙලා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියා ඔබ සිතනවාද? ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ සතුටින් කල් ගෙවීම සඳහා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග තිබෙනවාද?

‘ඔවුහු එක මාංසයක් වන්නෝය’

පළමුවෙනි යුවළ විවාහ වූ විට දෙවි මෙසේ ප්‍රකාශ කළා. පුරුෂයෙක් ‘තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔවුහු එක මාංසයක් වන්නෝය.’ (උත්පත්ති 2:24) විවාහය සදාකාලික බන්ධනයක් හැටියටයි සැලකිය යුතුව තිබුණේ. අන්න ඒ නිසයි පසු කාලයකදී යේසුස් දික්කසාද වීම සඳහා තිබෙන එකම ශුද්ධ ලියවිලිමය පදනම “වේශ්‍යාකම” පමණයි කියා සඳහන් කළේ. මෙහිදී නිර්දෝෂ පාර්ශ්වයට නැවත වෙනත් විවාහයක් කරගැනීමට නිදහස තිබෙනවා.—මතෙව් 19:3-9. *

මෙය විවාහය තුළ තිබිය යුතු බැඳීම හොඳින් කාවද්දනවා. නමුත් ඔබේ විවාහ දිවිය තුළ තිබෙන ප්‍රශ්න එසේ මෙසේ ප්‍රශ්න නෙමෙයි නම් . . .?

දික්කසාද වීමද නැණවත්ම දේ?

“ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ” කියා යේසුස් කී විට එමගින් ඔහු අපගේ ක්‍රියාකලාපය කිරා මැන බැලීම සඳහා ප්‍රතිපත්තියක් දුන්නා. (මතෙව් 11:19) වර්තමානයේ සුළු සුළු දේවල් නිසා සිදු වන බොහෝ දික්කසාද හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රතිඵලයන්ගෙන් කුමක්ද කියාපාන්නේ?

“දික්කසාදයකින් ලැබෙන වාසි ගැන අනවශ්‍ය ලෙස වර්ණනා කර තිබෙනවා.” එසේ පැවසුවේ යුග දිවියේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන යුවළයන් ගැන සමීක්ෂණ සිදු කළ ප්‍රවීණයන් කණ්ඩායමක ප්‍රධානියා ලෙස කටයුතු කළ චිකාගෝ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය ලින්ඩා වෙට්. වසර 11ක් පුරා පුද්ගලයන්ගේ ප්‍රතිචාරයන් නිරීක්ෂණය කිරීමෙන් පසු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් ආගිල් ඊට සමාන අදහසක් ඉදිරිපත් කළා. “සමාජයේ අඩුවෙන්ම සන්තෝෂය අද්දකින්නේ දික්කසාද වූ අය හෝ වෙන් වුණ අයයි.” එසේ වන්නේ කොහොමද?

දික්කසාදය මගින් සමහර ප්‍රශ්න විසඳීමට ඉඩ කඩක් ලැබිය හැකි නමුත් එමගින් වෙනත් බැරෑරුම් ප්‍රශ්න ගැටලු රාශියක් ඉස්මතු වෙන්නත් පුළුවන්. ඇත්තෙන්ම පර්යේෂණවලින් පෙන්වන්නේ දික්කසාදය මගින් මානසික අවපීඩනය අඩු කරන්නේවත් කෙනෙකුගේ ආත්ම ගරුත්වය ඉහළ දමන්නේවත් නැති බවයි.

ඔබ “සාර්ථක විවාහ දිවියක්” ගත නොකළද ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ දිගටම විසීමෙන් ප්‍රයෝජන නෙළාගත හැකියි. එසේ කිරීමට අදිටන් කරගෙන සිටින බොහෝ අය සන්තෝෂය සොයාගෙන තිබෙනවා. මහාචාර්ය වෙට් මෙසේ සඳහන් කරනවා. “හුඟාක් ප්‍රශ්න කාලයත් සමඟ විසඳෙන අතර විවාහක අයට ක්‍රමානුකූලව සන්තෝෂය අත් කරගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.” ඇත්තෙන්ම කියනවා නම්, “කිසි සතුටක් නැති” ජීවිත ගත කළ නමුත් දික්කසාද වීමෙන් වැළකී සිටි දහදෙනෙකුගෙන් අටදෙනෙක් වසර පහකට පමණ පසුව ඔවුන්ට තමන් “ප්‍රීතිමත් විවාහයක්” ගත කරමින් සිටින බව හැඟුණායයි තවත් අධ්‍යයනයකින් පැහැදිලි වුණා. එසේනම්, කොතරම් දරුණු ප්‍රශ්න තිබුණත් යුවළක් දික්කසාද වීමට ඉක්මන් නොවීම සුදුසුයි.

ප්‍රායෝගික පියවර

දික්කසාද වීමට අදහස් කරන අය තමන් විවාහයෙන් බලාපොරොත්තු වන දේ යථාර්ථවාදීද කියා තමන්ගෙන්ම අසාගත යුතුයි. ආදරය කරන දෙදෙනෙක් අන්තිමේදී රටටම කියලා මඟුලක් අරගෙන ඉතාමත් සතුටෙන් සාමයෙන් ජීවත් වෙන ආකාරයේ චිත්‍රයක් මවාගන්න තමයි ජනමාධ්‍යය උල්පන්දම් දෙන්නේ. එවන් චිත්‍රයක් මනසේ මවාගෙන යුග දිවියට ඇතුල් වෙන අය එම දේවල් ඉටු නොවෙන විට බලාපොරොත්තු සුන් තත්වයට පත් වෙන අතර එය මුලපුරන්නේ ගැටුම්වලටයි. විවාහය තුළ ඇති වන මෙම පීඩාකාරී තත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී පසුව ඇති වන සිත් වේදනා නිසා හැඟීම්වලට වහල්ව ක්‍රියා කිරීමට පටන්ගනියි. කාලයක් යන විට ආදරය පෑල දොරින් පලා යයි. කෝපය සහ වෛරය විතරයි ඉතුරු වෙන්නේ. මෙවන් තත්වයකදී තිබෙන එකම විසඳුම දික්කසාදය කියලයි සමහරෙකු හිතන්නේ.—හිතෝපදේශ 13:12.

ඔබේ ආකල්පයට බලපෑම් කිරීමට ඍණ සිතුවිලිවලට ඉඩ දෙනවා වෙනුවට තම විවාහ බැඳීම ගෞරවයෙන් සලකන අයව ඇසුරු කරන්න. ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ, “එකිනෙකාව සනසවමින්ද එකිනෙකාව ගොඩනංවමින්ද සිටින්න” කියායි. (1 තෙසලෝනික 5:11) විවාහ ජීවිතයේ ගැටලු අද්දකින අයට අනිවාර්යයෙන්ම සෙසු ක්‍රිස්තියානීන්ගෙන් දිරිගැන්වීමක් අවශ්‍යයි.

දේවගුණාංග තිබීමේ වැදගත්කම

“දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න” කියා ප්‍රේරිත පාවුල් අවවාද කරනවා. (කොලොස්සි 3:12) කටුක අවස්ථාවලදී විවාහ ජීවිතේ එකමුතුකම රැකගැනීමට දේවගුණාංග උපකාරවත් වෙනවා.

පාවුල් කියූ මේ දේ සලකා බලන්න. “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න.” (කොලොස්සි 3:13) “සමාව දීම තමයි සන්තෝෂය හා බැඳී තිබෙන ප්‍රධානම ගුණාංගය” කියා මිචිගන් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥයෙකු වන ක්‍රිස්ටෆ පීටසන් පවසනවා.

කරුණාවන්තකම, මෘදුකම සහ සමාව දීම ‘එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්’ ඇති කරන ප්‍රේමයට මං පාදනවා. (කොලොස්සි 3:14) ඔබ කාලයක් ආදරයෙන් සන්තෝෂයෙන් සිටි බවට සැකයක් නැහැ. එදා ඔබේ හිතේ උපන් ආදරය නැවත ඇති කරගත හැකිද? ඔබේ තත්වය කොතරම් දුෂ්කර වුණත් අධෛර්යය වෙන්න එපා. බලාපොරොත්තුවක් තියෙනවා. එකට සිට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා විට ඔබ හිතනවාට වඩා ප්‍රීතියක් ස්ථිර වශයෙන්ම අත් කරගත හැකි වේවි. ඔබේ විවාහය රැකගැනීමට ඔබ දරන වෑයම මගින් විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි සතුටට පත් වන බව ස්ථිරයි.—හිතෝපදේශ 15:20.

[පාදසටහන]

^ 6 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාව විසින් පරදාර සේවනයේ නියැලුණු සහකාරියකව හෝ සහකරුවෙකුව දික්කසාද කරනවාද නැද්ද කියා තීරණය කිරීමට නිර්දෝෂ පාර්ශ්වයට තිබෙන අයිතියට ගරු කරනවා. වර්ෂ 1999 මැයි 8 පිබිදෙව්! කලාපයේ 9-12 දක්වා පිටු බලන්න.