පිය සෙනෙහස නොලබන දරුවෝ දිනෙන් දින උග්‍ර වන ගැටලුවක්
පිය සෙනෙහස නොලබන දරුවෝ දිනෙන් දින උග්‍ර වන ගැටලුවක්
පියවරුන් විසින් අත්හරිනු ලබමින් තිබෙන දරු පවුල් ගණන එන්ට එන්ටම වැඩි වෙමින් තිබෙනවා. එක්දහස් නවසිය අනූව දශකයේ අවසාන භාගයේ, එක්තරා පුවත්පතක (USA Today) එක්සත් ජනපදය හැඳින්වූයේ, “පියවරුන් නැති දරුවන් වැඩියෙන්ම සිටින රට” වශයෙනුයි. ඇත්තෙන්ම, දරුවන්ට පිය සෙනෙහස නොලැබීම ලෝකය පුරාම දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා.
වර්ෂ 2000දී බ්‍රසීලයේ කරන ලද එක් ජනසංගණනයකින් හෙළි වූයේ දරු පවුල් මිලියන 44.7කින් මිලියන 11.2කම මූලිකත්වය හෙබවූයේ මව විසින් බවයි. නිකරගුවාවේ දරුවන්ගෙන් සියයට 25ක් ජීවත් වූයේ තමාගේ මව සමඟ පමණයි. කොස්ටාරිකාවේ තමාගේ නීත්‍යනුකූල පියා විසින් භාරගනු නොලැබූ දරුවන්ගේ ප්‍රතිශතය 1990 ගණන්වලදී සියයට 21.1 සිට සියයට 30.4 දක්වා ඉහළ ගිහින්.
මෙම රටවල්වලින් ගැනුණු මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙන්වන්නේ ලෝකය පුරා දක්නට ලැබෙන එක්තරා ප්‍රවණතාවක සුළු ඉඟියක් පමණයි. පිය සෙනෙහස නොලබන දරුවන් පිළිබඳ ගැටලුවේ තවත් පැත්තක් ගැන සලකා බලන්න.
ගෙදර හිටියත් නැහැ වගේ
“තාත්තා, ආයෙ කවදාද ගෙදර එන්නේ?” යන කොටුව කරුණාකර බලන්න. දැන් 23 වියේ පසු වන නාවෝ කියන්නේ මෙහෙමයි. “මම බාලාංශ පන්තියේ ඉගෙනගන්න ඉස්සර වෙලා, තාත්තාව දැක්කේ බොහොම කලාතුරකින්. එක දවසක් ගෙදරින් යනකොට, ‘තාත්තා, ආයෙ ගෙදර එනවා නේද?’ කියලා මම ඔහුගෙන් බොහොම බැගෑපත් විදිහට ඇහැව්වා.”
නාවෝ සහ ඇගේ පියා අතර තිබූ සම්බන්ධයට සමාන පවුල් සම්බන්ධතා ගැන එක්තරා පෝලන්ත ජාතික ලේඛකයෙකු වන පියෝටර් ෂෙකෙවිච් නමැත්තා මෙහෙම ලිව්වා. “පියා පවුලේ වැදගත්ම සාමාජිකයෙක්. එහෙත්, බොහෝ පවුල්වලට පිය සෙනෙහස නොලැබේ.” බොහෝ පියවරු තමන්ගේ පවුල සමඟ ජීවත් වන බවත් ඔවුන්ට කෑම බීම, ඉඳුම් හිටුම් සපයන බවත් ඇත්තයි. නමුත් එක්තරා ප්‍රංස සඟරාවක් වන කැපිටල් සඟරාවේ පැවසුවාක් මෙන්, “බොහෝ පියවරුන් තමන්ගේ දරුවන්ට නිකම් කෑම බීම දීලා ඉන් සෑහීමට පත් වෙනවා. ඔවුන් දරුවන්ට ගුරුහරුකම්ද දිය යුතුයි කියා හිතන්නේ නැහැ.”
බොහෝවිට තත්වය මේකයි. පියා තමාගේ දරුවන් එක්ක ජීවත් වෙනවා. නමුත් දරුවන්ගේ ජීවිතවලට සම්බන්ධ වෙලා නැහැ. ඔහුගේ සිත තියෙන්නේ වෙනත් තැන්වල. “පියා ගෙදර හිටියත් නැහැ වගේ.”
මෙහෙම සඳහන් කරන්නේ ෆැමී ක්‍රේටිඒන් යන ප්‍රංශ සඟරාවේ. එහෙමනම්, අද දින බොහෝ පියවරුන් සම්බන්ධව අප සලකා බැලුවොත්, ඔවුන් ගෙදර හිටියත් ඔහුගේ මනස හා සිත වෙනත් තැනක තිබෙන බවයි පෙනෙන්නේ. ඒ ඇයි?ඉහත සඳහන් වූ සඟරාවේ පැහැදිලි කළා වගේ මීට මූලික හේතුව නම්, “පියෙකුගේ හෝ ස්වාමිපුරුෂයෙකුගේ නියම වගකීම තේරුම්ගැනීමට ඔහු අපොහොසත් වීමයි.” බොහෝ පියවරුන්ගේ අදහසට අනුව, හොඳ පියෙක් කියන්නේ හොඳ වැටුපක් ගෙදර ගෙන එන කෙනෙකුටයි. පෝලන්ත ජාතික ලේඛක යූසෙෆ් ඔගස්ටින් සඳහන් කරන විදිහට “බොහෝ පියවරුන් සිතන්නේ තමන් පවුලේ අය වෙනුවෙන් මුදල් උපයන නිසා තමන් හොඳ පියවරුන්” බවයි. නමුත් මුදල් ඉපයීම පියෙකුගේ වගකීමේ එක් කොටසක් විතරයි.
මෙහිදී එක දෙයක් සත්‍යයයි. ඒ තමයි, දරුවන් තමන්ගේ පියාගේ වටිනාකම මනින්නේ ඔහු උපයන මුදල් ප්‍රමාණයෙන්වත්, ඔහු ඔවුන්ට දෙන තෑගිවල වටිනාකමෙන්වත් නොවේය යන කාරණය. ඒ වෙනුවට, දරුවන්ට ඇත්තටම වුවමනා වන්නේ තෑගි බෝග ලැබීමට වඩා වැඩි දෙයක්. ඒ තමයි, ඔවුන්ගේ පියාගේ ආදරය, කාලය සහ අවධානය. ඒවා තමයි ඔවුන්ට සැබවින්ම වැදගත් වන්නේ.
ඔබවම සෝදිසි කර බලන්න
අධ්‍යාපනය සඳහා වූ ජපන් මධ්‍යම කවුන්සිලයේ එක්තරා වාර්තාවකට අනුව, “පියවරුන් තමන්ගේ ජීවන රටාව ගැන ආත්ම සෝදිසියක් කර බැලිය යුතුයි. මන්ද ඔවුන් ඕනෑවට වඩා තමන්ගේ රැකියාවටම කොටු වෙලා.” මෙහිදී ප්‍රශ්නය වන්නේ, පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් යම් වෙනස්කම් කරන්නට කැමති වෙයිද යන්නයි. ජර්මානු පුවත්පතක [ගීස්නර් ඇල්ගමයින් ] පළ වූ අධ්‍යයනකට අනුව, සම්මුඛ සාකච්ඡාවට භාජන කරන ලද වැඩිදෙනෙක් කියා සිටියේ තමන්ගේ දරුවන්ට වඩා තම රැකියාවට මුල් තැන දුන් බවයි.
තම පියාගේ සැලකිල්ල තමන්ට ලැබෙන්නේ නැතැයි සිතන කුඩා දරුවන්ගේ සිත් තදින් පෑරෙන්න පිළිවන්. විසිඑක්වැනි වියේ පසු වන ලිඩියාට, තමා කුඩා අවදියේ පෝලන්තයේ ජීවත් වූ කාලයේ තම පියා කොයි වගේ කෙනෙක්දැයි යන්න ගැන විවිධ මතකයන් තිබෙනවා. ඇය විස්තර කරන්නේ මෙහෙමයි. “ඔහු කවදාවක්වත් අපි එක්ක කතා කළේ නැහැ. අපි හිටියේ අපේම ලෝකවල. මම මගේ විවේක කාලවලදී රාත්‍රි සමාජ ශාලාවලට ගියා කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ.” එවැනිම අද්දැකීමක් තමයි ස්පාඤ්ඤයේ 21 හැවිරිදි මැකරීනාට තියෙන්නේ. ඇය බාල අවදියේ ඇගේ පියා, “සති අන්තවල ඔහුගේ මිතුරන් සමඟ විනෝද ගමන් ගියා. වතා කිහිපයක්ම ඔහු දවස් ගානක් යනකම් ගෙදර ආවේ නැහැ” කියා ඇය පවසනවා.
නිසි දේ නිසි තැන තැබීම
තම දරුවන්ට ප්‍රමාණවත් කාලය හා අවධානය තමන් විසින් නොදෙන බව පියවරුන් වැඩිදෙනෙක් වටහාගන්නවා වෙන්නට පුළුවන්. නහඹර වියේ පුතෙකු සිටින එක් ජපන් ජාතික පියෙක් පැවසුවේ මෙසේයි. “මගේ පුතා මගේ තත්වය තේරුම්ගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා. වැඩ බහුලව තියෙන වෙලාවලදී වුණත් මම එයා ගැන තමයි හිතන්නේ.” එහෙත්, පියෙකු ගෙදර නැතිවීමට හේතුව දරුවා තේරුම්ගනීවි කියා සිතීමම පමණක් මීට විසඳුමද?
මෙහිදී ස්ථිරවම යමක් පැවසිය හැකියි. එනම්, දරුවෙකුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට සැබෑ පරිත්‍යාගයක් කිරීම අවශ්‍ය බවයි. දරුවන්ට වඩාත්ම අවශ්‍ය දේවල් වන ආදරය, කාලය සහ අවධානය දීම ලෙහෙසි පහසු දෙයක් නම් නොවේ. යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ මෙයයි. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි [හෙවත්, ආහාර] පමණකින් [නොවේය.]” (මතෙව් 4:4) දරුවන්ට කෑම බීම ඉඳුම් හිටුම් දීමෙන් පමණක් ඔවුන්ව සාර්ථකව හදා වඩා ගන්නට බැහැයි කියන එකත් සත්‍යයක්. පියවරුන් වන ඔබට, ඔබේ කාලය හෝ සමහරවිට ඔබේ රැකියාවේ උසස් වීම් වැනි දේවල් බොහෝ සෙයින් වටිනවා වෙන්නට පුළුවනි. එහෙත් ඔබේ දරුවා වෙනුවෙන් ඒවා පරිත්‍යාග කරන්නට ඔබ සූදානම්ද?
වර්ෂ 1986 පෙබරවාරි 10වන දා මෙයිනිචි ඩේලි නිව්ස්හි තමන්ගේ දරුවන් කොතරම් වැදගත්ද කියා අගය කළාවූ පියෙක් ගැන සඳහන් කළා. “ජපන් දුම්රිය සේවයේ (JNR) උසස් විධායක නිලධාරියෙක් තම දරුවන් සමඟ රැඳී සිටීමට අවශ්‍ය නිසා රැකියාවෙන් ඉවත් වෙයි” යනුවෙන් එහි වාර්තා වුණා. අනතුරුව, එම විධායක නිලධාරියා ප්‍රකාශ කළ දෙය එම පුවත්පත මෙසේ උපුටා දැක්වූවා. “ප්‍රධාන අධ්‍යක්ෂකවරයාගේ රැකියාව කවුරුහරි කෙනෙකුට කරන්නට පුළුවන්. නමුත් මගේ දරුවන්ට පියා වෙන්නට පුළුවන් මට විතරයි.”
ඇත්තෙන්ම, හොඳ පියෙකු වීමට තිබෙන පළමු පියවර නම්, දරුවාට අවශ්‍ය වන්නේ කුමනාකාරයේ පියෙක්වදැයි හඳුනාගැනීමයි. එසේනම්, එවන් ආකාර පියෙකු වීම කීමෙන් අදහස් කරන දේ ගැන අපි පරීක්ෂා කර බලමු.
[17වන පිටුවේ කොටුව]
“තාත්තා, ආයෙ කවදාද ගෙදර එන්නේ?”
ඒ, එක් දවසක් ජපන් ජාතික පස් හැවිරිදි දැරියක වූ නාවෝ ඇගේ පියා ගෙදරින් පිටව යන විට ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයයි. ඔහු නිවසේ විසුවත් ඇය ඔහුව දැක්කේ කලාතුරකින්. ඔහු පුරුද්දක් වශයෙන් ගෙදර පැමිණියේ නාවෝ නින්දට ගිය පසුවයි. ඇය අවදි වෙන්නට පෙර ඔහු ගෙදරින් පිටව ගිහින්.