Skip to content

පටුනට යන්න

භේදවලට නිමාවක්

භේදවලට නිමාවක්

භේදවලට නිමාවක්

අප තුළ භේද ඇති කිරීමේ නැඹුරුවාවක් තිබෙන බව අපට දැනගත හැකිද? උදාහරණයක් හැටියට යම් පුද්ගලයෙක් ගැන අප නොදැන සිටියද ඔහුගේ හෝ ඇගේ සමේ වර්ණය, ජාතිය, ජනවර්ගය හෝ ගෝත්‍රය අනුව ඔහු හෝ ඇය මොන වගේ කෙනෙක්ද කියා අප විවිධ නිගමනවලට එළඹෙනවාද? එසේත් නැත්නම් ඔහුට හෝ ඇයට ආවේණික වූ ගුණාංග සැලකිල්ලට ගනිමින් එක් එක් පුද්ගලයාව අගය කරන්න අපට හැකිද?

යේසුස්ගේ කාලයේ යුදයේ හා ගලීලයේ විසූ ජනයා “සමරිතානුවරුන් සමඟ . . . කිසි ගනුදෙනුවක්” කළේ නැත. (යොහන් 4:9) “සමරිතානුවෙක් කවදාවත් මගේ දෑසට නොපෙනේවා” කියා තල්මුඩය නමැති යුදෙව් ග්‍රන්ථයේ සඳහන් වේ. සමරිතානුවන් සම්බන්ධයෙන් බොහෝ යුදෙව්වන් තුළ තිබූ හැඟීම එයින් පැහැදිලිව පෙනී යයි.

යේසුස්ගේ ප්‍රේරිතයන් තුළ පවා සමරිතානුවන් සම්බන්ධයෙන් වෛරයක් තිබූ බව පෙනෙන්න තිබේ. එක්තරා අවස්ථාවකදී සමරිතානුවන්ගේ ගමකට ඔවුන් ගිය විට ඔවුන්ව සාදරයෙන් පිළිගත්තේ නැත. තමන්ව පිළි නොගත් මේ මිනිසුන්ව විනාශ කර දමන පිණිස අහසින් ගිනි වැටෙන්න අණ කරන්නද කියා යාකොබ් සහ යොහන් ඇසූහ. ඔවුන්ට තරවටු කරමින් යේසුස් පෙන්වා දුන්නේ ඔවුන්ට තිබූ ආකල්පය හොඳ එකක් නොවූ බවයි.—ලූක් 9:52-56.

පසුව යේසුස් ඔවුන්ට උපමා කතාවක් පැවසුවේය. එයින් කියවෙන්නේ යෙරුසලමේ සිට යෙරිකෝවට යන අතරේදී සොරුන් විසින් පහර දෙනු ලැබූ මිනිසෙකු ගැනයි. ඒ මිනිසා අසලින් භක්තිවන්ත යුදෙව්වන් දෙදෙනෙකු ගමන් කළද ඔහුට උපකාර කළේ නැත. එහෙත් ඔහු අසලින් ගිය සමරිතානුවරයෙක් ඔහු ළඟ නතර වී, ඔහුගේ තුවාල වෙළුම් පටිවලින් බැන්දේය. ඔහුගේ තුවාල සුව කරගැනීම සඳහා ඔහුට ප්‍රතිකාර ලබා දීමට ඒ සමරිතානුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේය. ඒ සමරිතානුවරයා සැබෑ අසල්වැසියෙකු විය. (ලූක් 10:29-37) තමන් තුළ තිබෙන එම වෛරය නිසා අනිත් අය තුළ තිබෙන හොඳ ගුණාංග දකින්න බැරි බව තේරුම්ගැනීමට යේසුස්ගේ එම උපමා කතාව ඔහුට සවන් දුන් අයට උපකාරවත් වූවා කියා සිතිය හැකියි. වසර කිහිපයකට පසු යොහන් සමාරියට ගොස් එහි බොහෝ ගම්වල දේශනා කළේය. සමහරවිට කලින් ඔහු විනාශ කර දමන්න කැමති වූ ගමටද ගියා විය හැකියි.—ක්‍රියා 8:14-17, 25.

රෝම හමුදාවේ හේවායන් සියයකට අණ දෙන්නෙකු වූ කොර්නේලියස් ළඟට ගොස් යේසුස් ගැන කතා කරන්න කියා දේවදූතයෙක් ප්‍රේරිත පේතෘස්ට මඟ පෙන්වූ අවස්ථාවේදී අපක්ෂපාතීව කටයුතු කිරීමට ඔහුටද සිදු විය. පේතෘස් යුදෙව්වන් නොවන අය සමඟ ඇසුරු කිරීමට පුරුදුව සිටියේ නැත. එමෙන්ම යුදෙව්වන් බොහෝදෙනෙකු රෝම හේවායන්ට කැමැත්තක් දැක්වූයේ නැත. (ක්‍රියා 10:28) එහෙත් අන්‍යජාතීන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් දෙවිගෙන් මඟ පෙන්වීමක් ලැබී තිබෙන බව පේතෘස් තේරුම්ගත් විට ඔහු මෙසේ පැවසුවේය. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.”—ක්‍රියා 10:34, 35.

භේද තුරන් කිරීමට කරන සටන

භේද ඇති කිරීම නිසා යේසුස් ඉගැන්වූ මූලික ප්‍රතිපත්තියක් කඩ වේ. එම ප්‍රතිපත්තිය නම් මෙයයි. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12) තමන් උපත ලැබූ ස්ථානය, තමන්ගේ සමේ පාට හෝ තමන් හැදී වැඩුණු පරිසරය නිසා තමන්ව කොන් කරනවා දකින්න කැමති වන්නේ කවුද? භේද ඇති කිරීම නිසා සියලුදෙනාව එක හා සමානව සලකන දෙවිගේ ප්‍රමිතිද කඩ වේ. යෙහෝවා, “මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස, . . . එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.” (ක්‍රියා 17:26) මේ නිසා සියලුම මිනිස්සු සහෝදරයෝ වෙති.

එපමණක්ද නොව දෙවි විනිශ්චය කරන්නේ එක් එක් පුද්ගලයාවයි. යම් කෙනෙකුගේ දෙමාපියන් හෝ මුතුන්මිත්තන් කළ දේවල් නිසා දෙවි ඒ තැනැත්තාව හෙළාදකින්නේ නැත. (එසකියෙල් 18:20; රෝම 2:6) යම් ජාතියක් වෙනත් ජාතියක අයව අසාධාරණ ලෙස පාලනය කළද එයට හවුල් නොවන එම ජාතියේ සිටින පුද්ගලයන්ට වෛර කිරීමට එම අසාධාරණ පාලනය හේතුවක් නොවේ. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වූයේ ‘ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න’ කියාය.—මතෙව් 5:44, 45.

මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන්ට ඔවුන් තුළ තිබූ භේද ඇති කිරීමේ නැඹුරුවාව නැති කර දමා, අද්විතීය ජාත්‍යන්තර සහෝදරත්වයක් ඇති කරගැනීමට එම ඉගැන්වීම් උපකාරවත් විය. විවිධ සංස්කෘතිවලට අයත්ව සිටියද ඔවුන් එකිනෙකාට කතා කළේ සහෝදරයන් කියාය. එකිනෙකාව සැලකුවේ සහෝදරයන් සහෝදරියන් හැටියටය. (කොලොස්සි 3:9-11; යාකොබ් 2:5; 4:11) මෙවන් වෙනසක් කිරීමට බලයක් තිබූ එම ප්‍රතිපත්තිවලට අදත් එවන් වෙනසක් කිරීමේ හැකියාව තිබේ.

අද දින භේද තුරන් කිරීමට කරන සටන

කරුණු හරි හැටි නොදැන කලින්ම යම් නිගමනවලට පැමිණීම, අප හැම කෙනෙකුගේම අතින් සිදු විය හැකි දෙයකි. එහෙත් එම නිගමනවල ප්‍රතිඵලයක් හැටියට භේද ඇතිවීමට ඉඩ නොදිය යුතුය. “පූර්ව නිගමනවලට එළඹීම නිසා භේද ඇති වෙන්නේ අලුත් තොරතුරු දැනගත් පසුවත් තමන් කලින් සිතූ දේවල් වෙනස් කර නොගන්නා විට පමණයි” කියා එක් පොතක (The Nature of Prejudice) සඳහන් වේ. බොහෝ අවස්ථාවලදී, මිනිසුන් එකිනෙකාව දැන හඳුනා ගන්න විට භේද තුරන් කර දැමිය හැකියි. කෙසේවෙතත් එම පොතේම මෙසේද සඳහන් වේ. “බොහෝදුරට ආකල්පවල වෙනසක් කිරීමට හැක්කේ මිනිසුන්ට එකට එකතු වී දේවල් කිරීමට මං උදා කර දෙන සම්බන්ධතාවලට පමණයි.”

නයිජීරියාවේ ජීවත් වන ජෝන් එහි වාසය කරන ඉබෝ ජනවර්ගයට අයත් කෙනෙකි. එහි සිටින හව්සා ජනවර්ගය ගැන ඔහුට තිබූ අසාධාරණ හැඟීම් නැති කරගත් ආකාරය ගැන ඔහු මෙසේ පවසයි. “විශ්වවිද්‍යාලයේදී මට හව්සා ජනවර්ගයට අයත් ශිෂ්‍යයන්ව හමු වුණා. කාලයක් යන විට ඔවුන් මගේ මිතුරන් බවට පත් වුණා. ඔවුන්ට හොඳ ප්‍රතිපත්ති තිබුණු බව මට තේරුණා. එක් හවුල් ව්‍යාපෘතියකදී මම හව්සා ජනවර්ගයට අයත් ශිෂ්‍යයෙක් එක්ක වැඩ කළා. අපි හොඳ මිතුරන් වගේ වැඩ කළා. මාත් එක්ක කලින් වැඩ කළ ඉබෝ ජනවර්ගයට අයත් මගේ කලින් මිතුරා එයාගේ වැඩ කොටස හරියට කළේ නැහැ.”

භේද තුරන් කිරීමට අවියක්

යුනෙස්කෝ ආයතනය මගින් පළ කළ වාර්තාවකට (Against Racism) අනුව “අලුත් ආකාරවලින් බිහි වන වර්ග භේදයට, අසාධාරණ ලෙස සැලකීමට හා සමාජයෙන් කොන් කිරීමට එරෙහිව කරන සටනේදී අධ්‍යාපනය ප්‍රබල අවියක් විය හැකියි.” මේ කාරණය සම්බන්ධයෙන් ලබාගත හැකි හොඳම උපකාරය ලැබෙන්නේ බයිබල් අධ්‍යාපනයෙන් බව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. (යෙසායා 48:17, 18) මිනිසුන් බයිබලයේ ඉගැන්වීම් අදාළ කරගන්න විට අන් අය දෙස සැකයෙන් බලනවා වෙනුවට ඔවුන්ට ගරු කරන අතර ප්‍රේමය නමැති සිසිල් දිය දහරින් වෛරයේ ගිනි සිළු නිවා දැමේ.

තමන් අතර භේද තුරන් කිරීමට බයිබලය තමන්ට උපකාරවත් වී තිබෙන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද්දැක තිබේ. වෙනත් සංස්කෘතීන්වලට හා ජනවර්ගවලට අයත් ජනයා සමඟ එකට එකතු වී දේවල් කිරීමේ අවස්ථාව මෙන්ම ඒ සඳහා පෙලඹීමක්ද බයිබලය ඔවුන්ට ලබා දෙයි. මේ ලිපි මාලාවේ පළමුවන ලිපියේ සඳහන් කළ ක්‍රිස්ටිනා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකි. ඇය මෙසේ පවසයි. “රාජ්‍ය ශාලාවේදී පවත්වන අපේ රැස්වීම්වලින් මා තුළ ආත්ම විශ්වාසයක් ඇති කරනු ලබනවා. රාජ්‍ය ශාලාවේ සිටින විට කිසිම කෙනෙක් මට වෙනස් විදිහට සලකන්නේ නැති නිසා එහි සිටිද්දී මට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක්.”

ජැස්මින්ද යෙහෝවාගේ සාක්ෂිකාරියක්. වෙනත් වර්ගයකට අයිති නිසා ඇය මුලින්ම අසාධාරණකම්වලට ගොදුරු වූයේ වයස අවුරුදු නවයේදීයි. ඇය මෙසේ සිහිපත් කරයි. “සෑම බ්‍රහස්පතින්දා රාත්‍රියකදීම මම රාජ්‍ය ශාලාවට යන නිසා සතියේ දවස්වලින් මට සාමකාමී බවක් දැනුණේ බ්‍රහස්පතින්දා දවස්වලයි. රාජ්‍ය ශාලාවට එන අය මට ප්‍රේමයෙන් සලකනවා. මාව කොන් කරනවා වෙනුවට මම විශේෂ කෙනෙක් බවට හැඟීමක් ඔවුන් මා තුළ ඇති කරනවා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ස්වේච්ඡාවෙන් හවුල් වන විවිධ ක්‍රියාකාරකම්වලදී වෙනස් පසුබිම්වලින් පැමිණෙන අයව ඇසුරු කිරීමේ අවස්ථාව උදා වේ. සයිමන් උපත ලැබුවේ බ්‍රිතාන්‍යයේය. එහෙත් ඔහුගේ දෙමාපියන් කැරිබියානු දූපත්වලින් එරටට පැමිණි අයයි. ඔහු ඉදි කිරීමේ සමාගම්වල මේසන්වරයෙකු හැටියට වැඩ කළ කාලයේදී හුඟාක් අසාධාරණකම්වලට ලක් විය. එහෙත් ඔහු ස්වේච්ඡා සේවකයෙක් හැටියට ඔහුගේ ආගමේ සිටින සහෝදරයන් සමඟ වැඩ කළ කාලයේදී එවැනි දෙයක් ඔහු අද්දැක්කේ නැත. මේ ගැන ඔහු මෙසේ විස්තර කරයි. “මම රටවල් ගණනාවක මගේ සෙසු සාක්ෂිකරුවන් එක්ක වැඩ කරලා තියෙනවා. එක් එක් කෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න අපි ඉගෙනගත්තා. විවිධ රටවලින් පැමිණි ඔවුන්ගෙන් සමහරදෙනෙක් සමඟ මම කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්තා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සර්ව සම්පූර්ණ අය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසා භේද ඇති කිරීමේ නැඹුරුවාවට එරෙහිව දිගටම සටන් කිරීමට ඔවුන්ට සිදු වේ. දෙවි සියලුදෙනාටම එක සමානව සලකන බව දැන සිටීම, මෙම සටන දිගටම කරගෙන යෑමට ඔවුන්ට මහත් ශක්තියක් වී තිබේ.—එෆීස 5:1, 2.

භේද තුරන් කිරීම සඳහා කරන සටන ජයගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන බොහෝය. වෙනස් පසුබිම්වල සිටින ජනයා සමඟ අපි පෑහී කටයුතු කරද්දී ජීවිතයේ සතුට භුක්ති විඳිය හැකියි. එමෙන්ම වැඩි කල් යෑමට කලින් දෙවි ඔහුගේ රාජ්‍යය මගින් ධර්මිෂ්ඨකම වාසය කරන නව සමාජයක් බිහි කරනු ඇත. (2 පේතෘස් 3:13) ඒ කාලයේදී භේද කවදාවත් දැකිය නොහැකි වනු ඇත.

[11වන පිටුවේ කොටුව]

මා භේද ඇති කරන කෙනෙක්ද?

ඔබට නොදැනෙන ලෙස අසාධාරණ හැඟීම් ඔබේ සිතේ පැලපදියම් වී තිබිය හැකිද කියා සොයා බැලීම සඳහා පහත සඳහන් ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න.

1. යම් පළාතක ජීවත් වෙන වෙනස් ජනවර්ගයකට හෝ ජාතියකට අයත් අය මෝඩ, අලස හෝ ලෝභ අය කියා මා සිතනවාද? (බොහෝ විහිළු කතා මේ ආකාරයේ අසාධාරණ හැඟීම්වලට හේතු වී තිබේ.)

2. මම මුහුණ දෙන ආර්ථික හා සමාජීය ගැටලුවලට මා දොස් පවරන්නේ වෙනත් රටකින් පැමිණි අයටද, නැත්නම් වෙනත් ජනවර්ගයකට අයත් අයටද?

3. මා ජීවත් වන ප්‍රදේශයේ වෙනත් ජාතියක් ගැන අතීතයේ පටන් පවතින සතුරුකම නිසා එම ජාතියේ සිටින අය ගැන වෛරයක් මට දැනෙනවාද?

4. මට හමු වන පුද්ගලයන්ගේ හමේ පාට, ඔවුන් අයිති සංස්කෘතිය හෝ ඔවුන්ගේ ජනවර්ගය මොකක් වුණත් තනි පුද්ගලයන් වශයෙන් ඒ අය දෙස බැලීමේ හැකියාව මට තිබෙනවාද?

5. මගේ සංස්කෘතියට වඩා වෙනස් සංස්කෘතියකට අයත් අයව දැන හඳුනා ගැනීමට ලැබෙන අවස්ථා මා සතුටින් පිළිගන්නවාද? ඔවුන්ව දැන හඳුනා ගැනීමට මා වෑයම් කරනවාද?

[8වන පිටුවේ පින්තූරය]

භේද පරාජය කළ හැකි ආකාරය ගැන යේසුස් යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව මාර්ගයෙන් අපට ඉගැන්නුවේය

[8වන පිටුවේ පින්තූරය]

කොර්නේලියස්ගේ නිවසේදී පේතෘස් මෙසේ පැවසුවේය. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ”

[9වන පිටුවේ පින්තූරය]

විවිධ පසුබිම්වල සිටින ජනයාව එක්සත් කිරීමට බයිබලයේ ඉගැන්වීම්වලට හැකියි

[9වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඉගෙනගන්න දේවල් ක්‍රියාවට නඟති

[10වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්ටිනා—“රාජ්‍ය ශාලාවේ සිටිද්දී මට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක්”

[10වන පිටුවේ පින්තූරය]

ජැස්මින්—“මම විශේෂ කෙනෙක් බවට හැඟීමක් ඔවුන් මා තුළ ඇති කරනවා”

[10වන පිටුවේ පින්තූරය]

සයිමන්, කිරීම්වල හවුල් වන ස්වේච්ඡා සේවකයෙක්—“එක් එක් කෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න අපි ඉගෙනගත්තා”