Skip to content

පටුනට යන්න

මම විවාහයට පෙර ලිංගික ඇසුරෙන් වළකින්නේ කොහොමද?

මම විවාහයට පෙර ලිංගික ඇසුරෙන් වළකින්නේ කොහොමද?

යෞවන අය අසති . . .

මම විවාහයට පෙර ලිංගික ඇසුරෙන් වළකින්නේ කොහොමද?

“මම අවුරුදු 19දී පාසැලේ පිරිමි ළමයෙක් සමඟ ලිංගිකව එක් වුණා. මට දැනුණු ලජ්ජාව හා දුක විස්තර කරන්න වචන නැහැ. ඊට පස්සේ මට හැඟුණේ මගේ කිසිම වටිනාකමක් නැහැයි කියලයි.”–ලේසී. *

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියා බයිබලයේ අණ කර තිබෙනවා. (1 කොරින්ති 6:18) කෙසේවෙතත්, බයිබලයේ තිබෙන වචනවලට කීකරු වී විවාහ වන තෙක් ලිංගික ඇසුරක් පැවැත්වීමෙන් අද වැළකී සිටින්නේ යෞවනයන් කිහිපදෙනයි. සමහර අය ලේසී මෙන් තමන්ගේ ආශාවන්වලට වහල් වී සිටිනවා. අවසානයේදී මොවුන්ට ඉතිරි වන්නේ ඉමහත් දුකක් හා වධ දෙන හෘදය සාක්ෂියක් පමණයි.

කෙනෙකු තුළ ඇති වන ලිංගික ආශාව පාලනය කිරීම පහසු දෙයක් නෙවෙයි කියන එක පිළිගන්න ඕනේ. නව යොවුන් වියයි, වර්ධනයයි (සිංහලෙන් නොමැත) යන පොතේ පවසන පරිදි මල්වර වීමත් සමඟම ඇති වන හෝමෝනවල වෙනස්කම් “ලිංගික පෙලඹීම වැඩි කිරීමට” අනිවාර්යයෙන්ම හේතු වෙයි. “සමහර අවස්ථාවලදී මගේ මනසට ලිංගික කාරණා පිළිබඳ සිතුවිලි ඉබේම පහළ වෙනවා” කියා පෝල් පිළිගත්තා.

“නව යොවුන් වියේ ළමුන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ හෝමෝන මගින් බව පැවසීම වරද පමණට වඩා සැහැල්ලු කිරීමක්” යයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වන හව්අර්ඩ් ක්‍යුලීන් පවසනවා. සමාජීය සාධකද මෙවැනි හැසිරීම්වලට බලපාන බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම සම වයසේ යාළුවන්ගේ බලපෑම ලොකු පෙලඹීමක් ඇති කරන්න පුළුවන්.

පැට්‍රීෂියා හර්ෂ් නම් කර්තෘවරියගේ වෙන් වූ රොත්තක් නම් පොතේ (සිංහලෙන් නොමැත) පවසන්නේ මෙසේයි. “යෞවන අය තමන්ටම සමාජයක් ගොඩනඟා ගෙන තියෙනවා. . . . ඒ සමාජය සම වයසේ යාළුවන්ගේ එකතුවකට වඩා අනිත් අයගෙන් [වැඩිහිටියන්ගෙන්] වෙන් වුණු තැනක්. එහි තිබෙන්නේ එයටම ආවේණික වූ සාරධර්ම, ආචාර ධර්ම හා නීතියි.” කෙසේනමුත් අද බොහෝ යෞවනයන් පිළිපදින මෙම “ආචාර ධර්ම හා නීතිවලින්” කෙරෙන්නේ ලිංගික පෙලඹීම් පාලනය කරනවා වෙනුවට ඒවා පිනවීමට උනන්දු කිරීමයි. ඒ නිසා බොහෝදෙනෙකුට විවාහයට පෙර ලිංගික ක්‍රියාවන්වල යෙදීමට යම් පීඩනයක් ඇති විය හැකියි.

ඒ කොහොමවෙතත් ක්‍රිස්තියානි යෞවනයෝ වේශ්‍යාකම හා බැඳි සියලුම ක්‍රියාවලින් වැළකී සිටීමට ප්‍රඥාවන්ත ලෙස අධිෂ්ඨාන කරගෙන තිබෙනවා. ඒකට හේතුව, ඔවුන් දන්නවා දෙවි ඒවා “මාංසයේ ක්‍රියා” ලෙස සලකමින් හෙළාදකින බව. * (ගලාති 5:19) ඔබ ඉමහත් පීඩනයකට ලක් වන විට ඔබේ නිර්මලකම රැකගන්නේ කොහොමද?

හොඳ ආශ්‍රිතයන් තෝරාගන්න

සමාජයෙන් ඇති වන පීඩන ඔබට වැරදි දේ කිරීමට බලපෑම් කළද හොඳ යහළුවන්ට පුළුවන් හොඳ බලපෑමක් වෙන්න. එය බයිබලයේ පවසන ආකාරයට “ඥානවන්තයන් සමඟ හැසිරෙන්න. එවිට ඔබත් ඥානවන්තයෙක් වන්නෙහිය” යන උපදෙස හා ගැළපේ. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තාවක පෙන්නුම් කළේ “දෙමව්පියන්, වෙනත් සැලකිල්ල දක්වන වැඩිහිටියන් සහ යහළුවන් සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගන්නා” සහ “ශක්තිමත් පෞද්ගලිකත්වයක් ගොඩනඟා ගැනීමටත් සීමාවන් තේරුම්ගැනීමටත් උපකාර ලබා තිබෙන නව යොවුන් වියේ දරුවන් . . . ලිංගික ක්‍රියාවල යෙදීමට දක්වන ප්‍රවණතාව අඩු” බවයි.

ඔබගේ දෙමව්පියන් සමඟ හොඳ සම්බන්ධතාවක් පැවැත්වීම ඇත්තවශයෙන්ම ඵලදායකයි. “ලිංගික ඇසුරක් පැවැත්වීමට මට තිබුණු පීඩනයට එරෙහි වීමට ඇත්තටම මගේ දෙමව්පියන් මට උදව් කළා” යයි ජෝසෆ් තම මතකය අවදි කළා. දේවවචනය පාවිච්චි කරමින් ඔබ තුළ ශක්තිමත් පෞද්ගලිකත්වයක් ගොඩනැඟීමට හා ඔබේ සීමාවන් දැනගෙන කටයුතු කරන ආකාරය කියා දීමට ඔබේ දේවභයැති දෙමව්පියන්ට පුළුවන්. (එෆීස 6:2, 3) ඔබේ නිර්මලකම පවත්වාගැනීමට ඔබ ගන්නා උත්සාහයන්වලදී ඔවුන්ට උපකාර කළ හැකියි.

ඇත්තයි, දෙමව්පියන් සමඟ ලිංගික කාරණා ගැන කතා කිරීම මුලින්ම එතරම් පහසු වන්නේ නැහැ. නමුත් ඔවුන් ඔබට හැඟෙන ආකාරය කොතරම් හොඳින් තේරුම්ගන්නවාද කියා දැනගත්තාම ඔබට පුදුම හිතේවි. ඔවුනුත් එක කාලයක් නව යොවුන් විය පසු කළා කියා අමතක කරන්න එපා! ඒ නිසා සොන්යා අනෙක් යෞවනයන්ට මෙහෙම උපදෙසක් දෙනවා. “ඔබේ දෙමව්පියන් ළඟට යන්න. ඔවුන් සමඟ ලිංගික කාරණා ගැන කතා කරන්න අදි මදි කරන්නවත් ලජ්ජා වෙන්නවත් එපා.”

ඔබේ දෙමව්පියන් බයිබල් ප්‍රතිපත්ති පිළිපදින්නේ නැති අය නම්? ඔබ ඔබේ දෙමව්පියන්ට ගෞරවය කළ යුතුයි. එහෙත් ඔබේ පවුල් කවයෙන් පිට කෙනෙකුගෙන් යම් මඟ පෙන්වීම් ලබාගැනීමට ඔබට සිදු විය හැකියි. මුලින් අදහස් දැක්වූ පෝල් පවසන්නේ “මම මේ කාරණය සම්බන්ධයෙන් විවාහ වූ, මේරූ ක්‍රිස්තියානි යුවළයන්ගෙන් බොහෝ උපකාර ලබාගන්නවා” කියායි. ඒ හා සමානව යෞවනියක් වන කෙන්ජේගේ මව ඇදහිලිවන්තියක් නොවෙයි. කෙන්ජේ මෙසේ පවසයි. “යම් උපදෙස් අවශ්‍ය වූ විට මම ආත්මික දිරිගැන්වීම් ලබා දෙන්න පුළුවන් මේරූ ක්‍රිස්තියානීන්ගේ සහය පතනවා.” නමුත් ඇය මෙසේද අනතුරු අඟවනවා. “මගේම ආගමික විශ්වාසයන් තියෙනවා කියා පැවසුවත් උසස් සදාචාර ප්‍රතිපත්තිවලට වැඩි ගරුත්වයක් දක්වන්නේ නැති අයගෙන් උපකාර පතන්නේ නැහැ.”

සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානි සභාව තුළ පවා සිටින අපේ ආශ්‍රිතයන් ගැන කල්පනාකාරී විය යුතුයි. බයිබලයේ අපට මතක් කර දෙන පරිදි ඕනෑම ලොකු කණ්ඩායමක වුවත් ගෞරවය රැකෙන ලෙස හැසිරෙන්නේ නැති අයත් බොහෝවිට සිටිය හැකියි. (2 තිමෝති 2:20) ඔබගේ සභාවේ සිටින සමහර යෞවනයන් ඇත්තටම ‘තමන් සැබවින්ම කෙබඳු අයදැයි සඟවන්නාවූ අය’ බව ඔබට දැනගන්න ලැබුණා නම් ඔබ කුමක් කළ යුතුද? (ගීතාවලිය 26:4NW) එවැනි අය සමඟ ළඟින් ආශ්‍රය කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට නිර්මලකම රැකගැනීමට ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානයට සහයෝගය දෙන මිත්‍රයන් තෝරාගන්න.

අහිතකර බොරු ප්‍රචාර ප්‍රතික්ෂේප කරන්න

ඒ වගේම දස දෙසින් ගලා එන කාමුක හැඟීම් අවුස්සන රූප හා ඉඟි ඇතුළත් පොත් පත්, සඟරා, පසුබිම් දර්ශන ඇතුළත් ගීත අඩංගු වීඩියෝ පටි, වීඩියෝ ක්‍රීඩා, චිත්‍රපට හා අන්තර් ජාලය වැනි මාධ්‍යයන්ගෙන් ඔබව ආරක්ෂා කරගැනීමට ඔබ පියවර ගත යුතුයි. විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වීම ආකර්ෂණීය, විනෝදාත්මක මෙන්ම කිසිම අවදානමක් නැති යමක් ලෙස මාධ්‍ය තුළින් නිරූපණය කරයි. නමුත් ප්‍රතිඵලය කුමක්ද? කලින් අදහස් දැක්වූ කෙන්ජේ මෙසේ පිළිගත්තා. “මම චිත්‍රපටයක් නැරඹුවා. ඒකේ ලිංගික හැසිරීම සැලකුවේ සාමාන්‍ය දෙයක් ලෙසයි. ඒ වගේම සමලිංගික සේවනය පිළිබඳව ඉඟි ඇතුළත් කර තිබුණා. මට මේක කොච්චර බලපෑවාද කියනවා නම් යෙහෝවා මේ වගේ දේවල් කොච්චර බැරෑරුම් විදිහට සලකනවාද යන්න මට අමතක වෙන්නත් පටන්ගත්තා.”

සත්‍ය කාරණය මෙයයි. ප්‍රසිද්ධ විනෝදාස්වාද තුළින් බොහෝවිට විවාහයට පෙර ලිංගික ඇසුරෙන් ඇති විය හැකි අනවශ්‍ය ගැබ් ගැනීම්, නොමේරූ වයසේදී සිදු වන විවාහ හා ලිංගිකව බෝ වෙන රෝග වැනි අහිතකර බලපෑම් දක්ෂ ලෙස වසන් කරනවා. ඒ නිසා “නපුරට යහපතය, යහපතට නපුරය කියන්නාවූ” අයට රැවටෙන්නට එපා.—යෙසායා 5:20.

හිතෝපදේශ 14:15හි වදන් මතක තබාගන්න. “මෝඩයා සැම වචනම විශ්වාස කරයි. එහෙත් බුද්ධිමත් අය තමාගේ හැසිරීම හොඳ හැටි සොයයි.” ඔබ පොතක් කියවන විට, අන්තර් ජාලය බලන විට හෝ රූපවාහිනිය නරඹන විට ලිංගික ආශාවන් ඇති කරන අදහස් හෝ ඒවාට පොලඹවන කාමුක රූප දුටු විට වහාම පියවර ගන්න! ඒ පොත වහන්න, පරිගණකය නිවා දමන්න හෝ රූපවාහිනි නාලිකාව මාරු කරන්න. ඊටපස්සේ ඔබේ සිතුවිලි යම් යහපත් දෙයකට යොමු කරන්න. (ෆිලිප්පි 4:8) එසේ කිරීමෙන් ඔබ තුළ වැරදි ආශාවන් වර්ධනය වීමට පෙර ඒවාට නැවතීමේ තිත තියන්න ඔබට පුළුවන්.—යාකොබ් 1:14, 15.

වරදට පොලඹවනසුලු තත්වයන්ගෙන් පරෙස්සම් වන්න

ඔබ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ සමීප ඇසුරක් පවත්වන කෙනෙක්ද? එහෙමනම් ඔබ කල්පනාකාරී විය යුතු හේතුවක් තිබෙනවා. “සිත සැම දේටම වඩා වංචා සහිතය. ඉතා රෝගාතුරය” කියා අපට බයිබලය අනතුරු අඟවනවා. (යෙරෙමියා 17:9) අත් ඇල්ලීම, සිපගැනීම වැනි සෙනෙහස ප්‍රකාශ කරන ක්‍රම අවසානයේදී නුසුදුසු ලිංගික ඇසුරක් දක්වා පහසුවෙන් දුර දිග යා හැකියි. ඒ නිසා ඔබ විරුද්ධ ලිංගයේ කෙනෙකුව ආශ්‍රය කිරීමේදී ඔබේ ආරක්ෂාව සඳහා තවත් කෙනෙකුව කැටුව යෑමට හෝ එසේත් නැත්නම් කණ්ඩායමක් මැද එවැනි ආශ්‍රයක් භුක්ති විඳීමට සැලසුම් කරන්න. වැරදි පෙලඹවීම්වලට මඟ පෑදිය හැකි හුදෙකලා අවස්ථා මඟහරින්න.

ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් විවාහ ගිවිසගෙන සිටින නිසා අත් ඇල්ලීම සිපගැනීම වැනි සෙනෙහසේ ප්‍රකාශයන් කිරීම වැරදි නැති බව ඔබට හැඟෙන්න පුළුවන්. ඒ වුණත් WHO වාර්තාවක අනතුරු අඟවන්නේ “විවාහයට පෙර ලිංගික ඇසුර පැවැත්වීම තදින් හෙළාදකින සමාජවල පවා විවාහය සිදුවීමට ඔන්න මෙන්න කියා තියෙද්දී බහුතරයක් කාන්තාවන් මෙම උගුලට අසු වන බවයි.” * ඒ නිසා ඔබ සෙනෙහෙවන්ත හැඟීම් පෑමේදී සීමාවන් දමාගැනීමෙන් අනවශ්‍ය සිත් වේදනාවලින් ඔබවම ආරක්ෂා කරගත හැකියි.

බොහෝ යෞවනයන් විශේෂයෙන්ම යෞවනියන්ට ලිංගික ක්‍රියාවන්වල යෙදීමට බල කරනවා කියා දැනගත්තාම ඔබ කම්පනයට පත් වෙනවා වෙන්න පුළුවන්. එක් අධ්‍යයනයකට අනුව, “අමෙරිකා එක්සත් ජනපදයේ නව යොවුන් වියේ ගැහැනු දරුවන්ගෙන් සියයට 60ක්ම අවුරුදු 15ක් වෙන්නත් කලින් ලිංගිකව එක් වුණේ කැමැත්තෙන් නෙවෙයි.” බලහත්කාරකම් කරන්නන් බොහෝවිට අහිංසකයන් මෙල්ල කිරීමට තම බලය පාවිච්චි කරනවා. (දේශනාකාරයා 4:1) උදාහරණයක් ලෙස දාවිත් රජගේ පුත් අම්නොන් ඔහුගේ සුළු සහෝදරී වන තාමර්ට “ආදරය කළේය.” ඔහු කූට උපක්‍රමයකින් තමා සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමට ඇයට බල කළ බව බයිබලය පවසයි.—2 සාමුවෙල් 13:1, 10-16.

මෙයින් අදහස් කරන්නේ නැහැ ලිංගික අතවර හා බල කිරීම් වැළැක්විය නොහැකියි කියා. අවදානම් තත්වයන් ගැන කල්පනාකාරී වීමෙන්, වරදට පොලඹවනසුලු තත්වයන්ගෙන් වැළකී සිටීමෙන් හා අවදානමක් තියෙන විට ඉක්මන් පියවර ගැනීමෙන් ඔබේ ආරක්ෂාව සඳහා ඔබට බොහෝ දේ කළ හැකියි. *

ඔබේ සිත ‘එකඟ කරන්න’

අපි විශ්වාස කරනවා මෙම ලිපියේ සාකච්ඡා කර තිබෙන යෝජනා ඔබ නිර්මලකම පවත්වාගැනීම සඳහා කරන පොරබැදීම සාර්ථක කරගැනීමට උපකාරවත් වෙයි කියා. කෙසේවෙතත් මේ කාරණය මතක තබාගන්න. එනම් අවසානයේදී ඔබේ හැසිරීමට බලපාන්නේ ඔබේ හදවතේ තියෙන දේයි. යේසුස් පැවසුවේ “වේශ්‍යාකම් . . . නික්මෙන්නේ සිතින්ය” කියායි. (මතෙව් 15:19) ඒ නිසා ඉතා වැදගත් වූ මෙම කාරණය සම්බන්ධයෙන් ‘අඩ සිතක්’ (ඇල්මැරුණු ස්වභාවයක්) හෝ ‘දෙසිත්’ (කුහකකම) ඇති කෙනෙකු මෙන් ක්‍රියා කිරීමට ඇති වන පෙලඹවීමට විරුද්ධව ඔබ ක්‍රියා කළ යුතුයි.—ගීතාවලිය 12:2, NW; 119:113.

ඔබට කවදා හෝ ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානය දුර්වල වන බවක්, එසේත් නැත්නම් ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවක් ඇති වෙනවායයි හැඟුණොත් දාවිත් අයැදුවා මෙන් “ඔබගේ නාමයට භය වෙන පිණිස මාගේ සිත එකඟ කළ මැනව” කියා යාච්ඤාවෙන් අයැදින්න. (ගීතාවලිය 86:11) ඊටපස්සේ බයිබලය හා බයිබලයේ තොරතුරු අඩංගු ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් හා අදාළ කරගැනීමෙන් ඔබගේ යාච්ඤාවට එකඟව ක්‍රියා කරන්න. (යාකොබ් 1:22) ලිඩියා පවසන්නේ “‘වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර කෙනෙකුටවත් දෙවිගේ රාජ්‍යයේ උරුමයක් නොලැබෙන’ බව නිතරම මතක් කරගැනීම මට ලිංගික දේවලට ආකර්ෂණය වීමෙන් වැළකීමට උපකාරවත් වී තිබෙනවා” කියායි.—එෆීස 5:5.

විවාහයට පෙර ලිංගික ඇසුරෙන් වැළකීම පහසු දෙයක් නොවිය හැකියි. නමුත් යෙහෝවාගේ උපකාරය ඇතුව ඔබට නිර්මලකම රැකගැනීමටත් ඔබට මෙන්ම අන් අයටත් අද්දැකීමට සිදු විය හැකි බොහෝ සිත්තැවුල් හා වේදනාවන්ගෙන් වැළකී සිටීමටත් හැකියි.—හිතෝපදේශ 5:8-11, 14.

[පාදසටහන්වල]

^ 3 ඡේ. නම් වෙනස් කර තිබෙනවා.

^ 21 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොතේ 29වෙනි පරිච්ඡේදය බලන්න.

^ 23 ඡේ. මේ කාරණය සම්බන්ධයෙන් යෝජනා “යෞවනයෝ අසති. . . ” යන ලිපි මාලාව යටතේ 1995 අගෝස්තු 22 සඟරාවේ පළ වූ “ලිංගික හිරිහැරකම්වලින් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?” (සිංහලෙන් නොමැත) සහ 2004 ජූලි 8 සඟරාවේ පළ වූ “මගේ පෙම්වතා මට කරන හිරිහැර නවත්වාගන්නේ කොහොමද?” යන ලිපිවල පළ වුණා.

[15වන පිටුවේ පින්තූරය]

ඔබේ හැඟීම් ගැන දෙමව්පියන් සමඟ කතා කිරීම ඔබට නිර්මලකම පවත්වාගැනීමට උපකාරයක් විය හැකියි

[16වන පිටුවේ පින්තූරය]

හොඳ මිත්‍රයන්ගෙන් යුත් කණ්ඩායමක් සමඟ සිටින විට විරුද්ධ ලිංගයේ කෙනෙකුව ඇසුරු කිරීම ආරක්ෂාවක්