Skip to content

පටුනට යන්න

හොඳ පියෙකු වන අන්දම

හොඳ පියෙකු වන අන්දම

හොඳ පියෙකු වන අන්දම

ඉකොනමිස්ට් යන සඟරාවේ ලිපියක පවුල් ජීවිතයේ පිරිහීම ගැන මේ වගේ උනන්දුමත් ප්‍රකාශයක් කර තිබුණා. “දරුවන් හදන එක ලෙහෙසියි. නමුත් හොඳ පියෙක් වෙන එක නම් ලෙහෙසි නැහැ.”

ජීවිතයේ හුඟාක් දේවල් කරන එක අමාරු වුණත්, අමාරුම සහ වැදගත්ම දේ තමයි හොඳ පියෙක් වෙන එක. හැම පියෙකුම කැමති විය යුතුයි, හොඳ පියෙක් වෙන්න. නැත්නම් ඔහුගේ පවුලේ දරුවන්ගේ ශුභසාධනය සහ සතුට තියෙන්නේ අවදානම් තත්වයකයි.

එය එතරම් අමාරු වීමට හේතුව

සරලව කියතොත්, හොඳ පියෙකු වීම ලෙහෙසි පහසු දෙයක් නොවීමට එක් හේතුවක් තමයි, දෙමාපියන්ට වගේම දරුවන්ටත් උරුම වෙලා තියෙන අසම්පූර්ණකම. ‘මනුෂ්‍යයාගේ බාල කාලයේ පටන් ඔහුගේ හෘදයේ කල්පනා නපුරුව තිබේ’ යයි බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 8:21) මේ අනුව බයිබල් ලේඛකයෙක් පිළිගත්තේ, “මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය” කියායි. (ගීතාවලිය 51:5; රෝම 5:12) උරුම කරගත් අසම්පූර්ණකම නිසා නපුරු දේ කිරීමට ඇති වන නැඹුරුවාව, කෙනෙකුට හොඳ පියෙකු වීමට තිබෙන එක බාධාවක් පමණයි.

මේ ලෝකය හෙවත් මේ සමාජ ක්‍රමයත් මීට තිබෙන විශාල බාධාවක්. ඒ ඇයි? බයිබලයේ පැහැදිලි කරනවා වගේ, “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්.” මේ දුෂ්ටයාව හඳුන්වා තිබෙන්නේ ‘සාතන් වන යක්ෂයා’ කියලයි. ඒ වගේම සාතන්ව “මේ සමාජ ක්‍රමයේ දෙවි” හැටියටත් හඳුන්වලා තිබෙනවා. එසේනම්, තමා වගේම තම අනුගාමිකයන්ද ‘මේ ලෝකයේ කොටසක්’ නොවිය යුතුයි කියා යේසුස් පැවසීම ගැන පුදුම වෙන්නට දෙයක් නැහැ.—1 යොහන් 5:19; එළිදරව් 12:9; 2 කොරින්ති 4:4; යොහන් 17:16.

හොඳ පියෙකු වීමට අතිශයින් වැදගත් දේ නම්, අප උරුම කරගෙන තිබෙන අසම්පූර්ණකම් ගැන නිතරම කල්පනාවෙන් සිටීම. ඒ වගේම සාතන් වන යක්ෂයා ගැනත් ඔහුගේ පාලනය යටතේ තිබෙන ලෝකය ගැනත් අප එලෙසම කල්පනාවෙන් සිටීම අවශ්‍යයි. මේ බාධකයන් නිකම්ම සිතෙන් මවාගත් මනඃකල්පිත දේවල් නම් නොවේ. ඒවා ඇත්තටම පවතින දේවල්! නමුත් ඒවා සමඟ සටන් කර ඒවායින් ජයගෙන හොඳ පියෙකු වීමට ඉගෙනගන්න නම් යමෙකු යා යුත්තේ කොතැනටද?

බයිබල් ආදර්ශයන් සිතට ගන්න

ඉහත සඳහන් බාධක ජයගැනීම පිණිස උපකාර ලබාගැනීමට යම් පියෙකුට යා හැකි තැනක් තමයි, බයිබලය. එහි ඉතා කදිම ආදර්ශ දකින්නට තිබෙනවා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි” කියා තම අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට උගන්වද්දී යේසුස් අපට ඉතාම හොඳම ආදර්ශය කවුද කියා පෙන්නුවා. අපගේ ස්වර්ගික පියා ගැන විස්තර කරමින් “දෙවි ප්‍රේමයය” කියා බයිබලය සරල ලෙස කියනවා. යම් මිනිස් පියෙකුට මේ ප්‍රේමණීය ආදර්ශය අනුකරණය කළ හැක්කේ කොහොමද? ප්‍රේරිත පාවුල් උදක්ම ඉල්ලා සිටියේ මෙහෙමයි. “දෙවිව අනුකරණය කරන්නන් වන්න. . . . ඔබත් ප්‍රේමයෙන් යුක්තව ගමන් කරන්න.”—මතෙව් 6:9, 10; 1 යොහන් 4:8; එෆීස 5:1, 2.

ඔබ පියෙක් නම්, දෙවි තම පුත් යේසුස් සමඟ කතා කළ එක් අවස්ථාවකින් ඔබට ඉගෙනගත හැකි දේ සලකා බලන්න. මතෙව් 3:17 අපට කියන්නේ යේසුස්ගේ බව්තීස්මයේදී, දෙවිගේ හඬ ස්වර්ගයේ සිට ඇසුණා කියායි. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි” යන හඬ නිකුත් වුණා. අපට මෙයින් ඉගෙනගත හැක්කේ මොකක්ද?

පළමුව අපි මෙහෙම ගනිමු. නිකම් හිතන්න, යම් පියෙක් මහත් ආඩම්බරයකින් ‘මේ තමයි මගේ පුතා’ හෝ ‘මේ තමයි මගේ දුව’ කියා යමෙකුට කියද්දී ඒ දරුවාට හෝ දැරියට හැඟෙන්නේ කොහොමද කියලා. කුඩා දරුවන්ට තම දෙමාපියන්ගේ අවධානය ලැබෙනකොට ඔවුන්ට හරි සතුටුයි. ඔවුන් හොඳින් හැදී වැඩෙනවා. දරුවන්ට දෙමාපියන්ගේ දිරිගැන්වීම සහ අගය කිරීම ලැබෙනකොටත් ඒ වගේමයි. ඒ විතරක් නෙවෙයි, දරුවෙක් තම පියාගේ අගැයීම හා ප්‍රශංසාව දිනාගන්නට තව තවත් උත්සාහ කරලා යම් යම් දේවල් කරන්න පෙලඹෙනවා.

දෙවනුව, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය” කියා කියද්දී යේසුස් ගැන තමාට හැඟුණ විදිහ දෙවි ප්‍රකාශ කළා. තම පියාගේ මුවින් පිට වූ ඒ සෙනෙහෙබර වදන් ඇසෙනකොට යේසුස්ගේ හදවතට මහත් ප්‍රීතියක් දැනුණා විය යුතුයි. ඒ විදිහටම ඔබත් ඔබේ දරුවන්ට ඔබේ වචනවලින්, ඔබේ කාලය හා අවධානය දීමෙන් සහ සැලකිල්ල දැක්වීමෙන් ඔවුන්ට ආදරය පෙන්වනකොට ඔවුන්ටත් එය මහත් දිරිගැන්වීමක් වෙනවා.

තුන්වෙනි කාරණය තමයි, දෙවි තම පුත්‍රයාට, “ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි” කියා කීම. (මාක් 1:11, නව අනුවාදය) මේකත් පියෙක් කළ යුතු වැදගත්ම දෙයක්. ඒ කියන්නේ ඔහු තම දරුවන් ගැන සතුටු වන බව ඔවුන්ට පැවසීමයි. දරුවා වැරදි කරන බව ඇත්තයි. අපි අතිනුත් වැරදි සිදු වෙනවා. නමුත් ඔබ පියෙකු වශයෙන් ඔබේ දරුවන් කරන හෝ කියන හොඳ දේවල් ගැන සතුට පළ කරන්න අවස්ථාවල් පාදගන්නවාද?

යේසුස් තම ස්වර්ගයේ පියාගෙන් හොඳින් ඉගෙනගත්තා. යේසුස් පොළොව මත ජීවත් වෙනකොට තමාගේ වචනවලින් හා ක්‍රියාවලින් හොඳට පෙන්නුවා, තමාගේ පියාණන්ට පොළොවේ වෙසෙන ඔහුගේ දරුවන් ගැන හැඟෙන්නේ කොහොමද කියලා. (යොහන් 14:9) යේසුස් ඉතාමත් වැඩ බහුලව සහ පීඩනය යටතේ සිටිද්දී පවා ඔහු වාඩි වෙලා දරුවන් සමඟ කතා බහ කරන්න කාලයක් වෙන් කළා. “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න” කියා ඔහු සිය ගෝලයන්ට පැවසුවා. (මාක් 10:14) පියවරුනි, ඔබටත් යෙහෝවා දෙවිගේ වගේම යේසුස්ගේ ආදර්ශය වඩාත් හොඳින් අනුගමනය කරන්න පුළුවන්ද?

හොඳ ආදර්ශයක් වීම අතිශයින් වැදගත්

ඔබ ඔබේ දරුවන්ට හොඳ ආදර්ශවත් පියෙකු විය යුතු බව නම් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු දෙයක්. ඔබ දෙවිගේ හික්මවීම පිළි නොගෙන ඔබේ ජීවිතය ඒ අනුව හැඩගස්වා ගන්නේ නැත්නම්, “ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න” ඔබ ගන්නා උත්සාහය සාර්ථක වෙයි කියා කියන්න බැහැ. (එෆීස 6:4) ඒ වුණත්, ඔබේ දරුවන්ව රැකබලා ගැනීමට දෙවි දී තිබෙන අණ පිළිපදින්න තියෙන ඕනෑම බාධකයක් දෙවි දෙන උපකාරය සමඟින් ජයගන්නට ඔබට පුළුවන්.

කලින් සෝවියට් සමූහාණ්ඩුවේ විසූ වික්ටර් ගූට්ෂ්මිඩ්ට් නම් යෙහෝවාගේ සාක්ෂිකරුවාගේ ආදර්ශය සලකා බලන්න. වර්ෂ 1957 ඔක්තෝබර් මාසයේදී ඔහු තම ඇදහිල්ල ගැන කතා කළ නිසා වසර දහයක සිර දඬුවමකට ඔහුව යටත් කළා. ඔහුට සිදු වුණා ඔහුගේ භාර්යාව වන පෝලිනාවත් තම කුඩා දැරියන් දෙදෙනාවත් දමා යන්නට. තම පවුලේ අයට ලිපි ලියන්නට හිරගෙදරදී ඔහුට ඉඩ ලැබුණා. හැබැයි, දෙවි ගැන හෝ ආගම ගැන කිසිම දෙයක් ලියන්න තහනම් කරලයි තිබුණේ. මේ වගේ අසීරු තත්වයකදී වුණත්, වික්ටර් අදිටන් කරගත්තා තමා හොඳ පියෙකු හැටියට කරන්න පුළුවන් උපරිමය කරනවා කියලා. ඔහු දැනගෙන හිටියා දෙවි ගැන දරුවන්ට ඉගැන්වීම හරිම වැදගත් කියලා. ඉතින් ඔහු මොකක්ද කළේ?

“මම යං නැචුරලිස්ට් සහ නේචර් යන සෝවියට් සඟරාවල යම් තොරතුරු සොයාගත්තා. ඉතින් තැපැල්පත් අරන් ඒවායේ මම සතුන්ගේ පින්තූරු ඇඳලා ස්වභාවධර්මය ගැන යම් කතන්දරයක් හා යම් අද්දැකීමක් ඒකෙ සඳහන් කළා” කියා වික්ටර් පවසනවා.

පෝලිනා කියන්නේ මෙහෙමයි. “මේ තැපැල්පත් හමු වුණු හැටියේ අපි විගසින්ම ඒවා බයිබල් විෂයන් සමඟ සම්බන්ධ කරනවා. උදාහරණයකට, ඒ තැපැල්පත්වල පරිසරයේ අලංකාර දේවල්, වනාන්තර එහෙම නැත්නම් ගංගාවල් ගැන සඳහන් වෙලා තියෙනකොට, මම යෙසායා 65වන පරිච්ඡේදය කියවනවා.” එහි තිබෙන්නේ පොළොව පාරාදීසයක් බවට පත් කිරීමට දෙවි දී ඇති පොරොන්දුවයි.

වික්ටර්ගේ දියණියක් වන යුලියා මෙසේ කියනවා. “ඊටපස්සේ අම්මා අපි සමඟ යාච්ඤා කරනවා, ඊටපස්සේ අපි හරියට අඬනවා. අපි වැඩිවියට පත් වෙනකොට මේ කාඩ්පත් අපේ ජීවිතයට විශාල බලපෑමක් කෙරුවා.” පෝලිනා කියන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, “මගේ දුවලා කුඩා කාලයේ ඉඳන්ම දෙවිට ප්‍රේම කළා” කියලයි. දැන් එම පවුලේ තත්වය කොයි වගේද?

වික්ටර් මෙහෙම විස්තර කරනවා. “දැන් මගේ දියණියන් දෙදෙනාම ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සමඟ විවාහ වෙලා. ඒ දෙදෙනාම ඔවුන්ගේ දරුවන් සමඟ ඉතා විශ්වාසවන්තව දෙවිට සේවය කරමින් ඉන්නවා.”

හොඳ ආදර්ශයක් තැබීමට නම්, සහජ හැකියාවන් විතරක් නොවේ, හුඟාක් උත්සාහ කිරීමත් හරිම වැදගත්. තමන්ගේ පියා ඇත්තටම කුමක් කරන්නද උත්සාහ කරන්නේ කියා දකින විට දරුවන්ගේ හදවත් ඒ මගින් පෙලඹෙන බව නිසැකයි. පූර්ණ කාලීන දේවසේවය තුළ වසර ගණනාවක් සේවය කළ එක් පුතෙක් තමාගේ පියා ගැන කිව්වේ මෙහෙමයි. “සමහර වෙලාවට තාත්තා වැඩට ගිහිල්ලා ආවේ හරිම මහන්සියෙන්. ඒ වුණාට ඔහු අපි සමඟ වරද්දන්නේ නැතුව බයිබල් පාඩම කළා. මේ නිසා මේකෙ තියෙන බැරෑරුම්කම මම පැහැදිලිව දැක්කා.”

එහෙමනම් හොඳ පියෙකු හැටියට වචනයෙන් වගේම ක්‍රියාවෙන්ද හොඳ ආදර්ශයක් තැබීම බොහොම වැදගත් දෙයක්. මෙහෙම කියන බයිබල් හිතෝපදේශයේ ඇති සත්‍යතාව වටහාගන්නට ඔබට වුවමනා නම්, ඔබ එසේ හොඳ ආදර්ශයක් තැබීම අවශ්‍යමයි. “ළදරුවෙකු යා යුතු මාර්ගයේ ඔහු පුහුණු කරන්න. එවිට වයස්ගත වූ කල ඔහු එයින් අහක්ව නොයන්නේය.”—හිතෝපදේශ 22:6.

ඒ නිසා, මෙය මතක තබාගන්න. ඔබ කියන දේ විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ඔබ කරන දේත් වැදගත්. ඒ කියන්නේ ඔබ තබන ආදර්ශය. ළදරු අධ්‍යාපනය ගැන එක්තරා කැනේඩියානු විශේෂඥයෙක් මෙහෙම ලීවා. “අපි කැමති විදිහට දරුවන් හැසිරෙනවා දකින්න තියෙන හොඳම ක්‍රමය තමයි, අපිත් ඒ විදිහටම හැසිරෙන එක.” ඇත්තෙන්ම, ඔබේ දරුවන් ආත්මික කාරණා අගය කරනවා දකින්න ඔබට වුවමනා නම්, ඔබත් එසේම කිරීම හරිම වැදගත්.

ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්න!

ඔබ හොඳ ආදර්ශයක් තබන බව ඔබේ දරුවන්ට පෙනී යා යුතුයි. ඒ සඳහා ඔබ දරුවන් සමඟ කාලය ගත කළ යුතුයි. ඉන් අදහස් කරන්නේ නිකම් ඉඩ ලැබෙන වෙලාවක කාලයක් ගත කිරීම නොවේ. දරුවන් සමඟ හුඟාක් කාලය ගත කළ යුතුයි යන්නයි. “ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න” යන බයිබලයේ අවවාදයට අවනත වීම හරිම ඥානවන්ත දෙයක්. ඒ කියන්නේ අඩු වැදගත්කමකින් යුත් දේවල් අත්හැර ඔවුන් සමඟ කාලය ගත කිරීමයි. (එෆීස 5:15, 16) ඇත්තෙන්ම, ඔබට ඔබේ දරුවන්ට වඩා වැදගත් දෙයක් තියෙනවාද? පුළුල් තිරයක් තියෙන රූපවාහිනියක්, නවීන පන්නයේ මෝටර් රථයක්, ලස්සන නිවසක්, නැත්නම් ඔබේ රැකියාව ආදිය ඔබට ඔබේ දරුවන්ට වඩා වැදගත්ද?

තම දරුවන් කුඩා කාලයේදී ඔවුන් වෙනුවෙන් යම් පරිත්‍යාගයන් කිරීමට පියෙක් අපොහොසත් වුණොත් ඔහුට පසුව තැවෙන්න සිදු වේවි. දුරාචාරමය ක්‍රියාවලට හසු වුණු හෝ කිසිම ආත්මිකත්වයක් නැති ජීවිතයකට නතු වුණු දරුවන් සිටින පියවරුන්ට බොහෝවිට ඇති වන්නේ මහත් සිත් වේදනාවන්. තම කුඩා දරුවන්ට ඇත්තටම පියෙකුගේ සෙනෙහස අවශ්‍ය වේලාවේදී ඔවුන් සමඟ කාලය ගත කරන්න බැරි වුණු එක ගැන ඔවුන් දැන් තැවෙනවා.

මෙය මතක තබාගන්න. ඔබ කරන තේරීම්වල ඵලවිපාක ගැන ඔබට සිතන්නට තිබෙන්නේ ඔබේ දරුවන් කුඩා අවදියේදීයි. බයිබලය කියන්නේ දරුවන් “යෙහෝවා දෙන උරුමයක්ය” කියලයි. ඒ කියන්නේ දෙවි ඔවුන්ව ඔබට භාර දීලා තියෙනවා. (ගීතාවලිය 127:3) ඉතින් කිසිවිටෙකත් අමතක කරන්න එපා, ඔවුන් ගැන දෙවිට ගණන් දෙන්න ඔබට සිදු වෙනවා කියලා!

උපකාර ලබාගන්න පුළුවන්

හොඳ පියෙක් තම දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර ලබාගන්න යුහුසුළු වෙනවා. මානෝවාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න යනවා කියලා එක් දේවදූතයෙක් මානෝවාට කිව්වාම ඔහු දෙවිට මෙහෙම යාච්ඤා කළා. “නැවත අප වෙත ඇවිත් උපදින්නාවූ දරුවාට අප විසින් කළ යුතු දේ අපට ඉගැන්නුවාවේ.” (විනිශ්චයකාරයන් 13:8, 9) අද දින සිටින දෙමාපියන්ට වගේම මානෝවාටත් අවශ්‍ය වූයේ කිනම් උපකාරයක්ද? අපි දැන් බලමු.

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි සරසවියේ ගුරුවරයෙකු වන බ්‍රෙන්ට් බර්ගොයින් මෙසේ නිරීක්ෂණය කළා. “යමෙකුට තම දරුවෙකුට දිය හැකි හොඳම ත්‍යාගය තමයි, ඔහුට හෝ ඇයට යම් සාරධර්මවලින් යුත් ප්‍රතිපත්ති මාලාවක් උගන්වන එක.” එවන් ප්‍රතිපත්ති මාලාවක් ඉගැන්වීමේ වැදගත්කම අපට ජපානයේ ඩේලි යුමියූරි පුවත්පතේ වාර්තාවකින් දැකගන්න පුළුවන්. එහි මෙසේ පැවසුවා. “[එක්] අධ්‍යයනයක පෙන්වන හැටියට, ජපන් ජාතික දරුවන්ගෙන් සියයට 71කටම බොරු කියන්න එපා කියා ඔවුන්ගේ පියවරුන් විසින් ඔවුන්ට උගන්වා නැහැ.” එය කනගාටුදායක තත්වයක් නේද?

විශ්වසනීය සාරධර්ම පද්ධතියක් ලබාගත හැක්කේ කාගෙන්ද? මානෝවා උපකාරය ලබාගත් තැනැත්තාගෙන්මයි. එනම් දෙවිගෙන්මයි! උපකාර දීම සඳහා දෙවි තම ඒකජාතක පුත්‍රයා වූ යේසුස්ව ගුරුවරයෙකු වශයෙන් එව්වා. බොහෝදෙනෙකු යේසුස්ව හැඳින්වූයේ ගුරුවරයා කියායි. දැන් අපට උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොතෙන් යේසුස්ගෙන් යම් පාඩම් ඉගෙනගන්න පුළුවන්. මේ පොත කුඩා දරුවන්ට ඉගැන්වීම සඳහා භාෂා බොහොමයකින් ලබාගත හැකියි.

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු කියන පොතේ දෙවිගේ වචනයේ තියෙන සාරධර්ම විතරක් නොවේ, පින්තූරු 160කින් ප්‍රශ්න සමඟ ඊට අදාළ විස්තරයක්ද ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට, “අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?” යන 22වන පරිච්ඡේදයේ, මෙහි දක්වා ඇති පින්තූරය තියෙනවා. මේ පින්තූරය තියෙන පිටුවේ මෙහෙම දෙයක් සඳහන් වෙනවා. “පිරිමි ළමයෙක් එයාගේ තාත්තාට මෙහෙම කියනවා. ‘නැහැ. මම ගේ ඇතුලේ බෝල ගැහුවේ නැහැ.’ හැබැයි ඇත්තටම එයා ගේ ඇතුලේ බෝල ගැහුවා නම්, එයා ඒක කළේ නැහැයි කියලා කියන එක හරිද?”

ඒ වගේම තවත් වැදගත් පාඩම් මේ වගේ පරිච්ඡේදවලින් ඉගෙනගන්න පුළුවන්. “කීකරුකම ඔයාට ආරක්ෂාවක්,” “වරදට පොලඹවන දේවලට අපි විරුද්ධ වෙමු,” “කරුණාව පෙන්වීම ගැන පාඩමක්,” “කවදාවත් හොරෙක් වෙන්න එපා!,” “හැම සාදයකටම දෙවි කැමතිද?” “දෙවිව සතුටු කරන විදිහ,” “අපි වැඩ කරන්න ඕනෑ ඇයි?” මේවා මේ පොතේ තියෙන පාඩම් 48න් සමහරක්. *

මේ පොතේ පෙරවදනේ මෙහෙම සඳහන් වෙනවා. “දරුවන්ව විශේෂයෙන්ම දිරිගැන්විය යුත්තේ සියලු ප්‍රඥාවේ උල්පත වන අපගේ ස්වර්ගික පියාණන් වන යෙහෝවා දෙවි දෙස බැලීමටයි. උතුම් ගුරුවරයා වන යේසුස් නිතරම කළේ මෙයයි. ඔබහට සදාකාලික ආශීර්වාද ලබාගැනීමට මං විවෘත කරමින් යෙහෝවාව සතුටු කිරීමටත් ඔබේ ජීවිත අඹාගැනීමටත් මෙම පොත ඔබටත් ඔබේ පවුලේ අයටත් මහෝපකාරී වේවා යන්න අපේ අවංක බලාපොරොත්තුවයි.”

එහෙමනම්, ඔබ හොඳ පියෙකු වීමට නම් ඔබ ඔබේ දරුවන්ට හොඳ ආදර්ශයක් තබා ඔවුන් සමඟ කාලය ගත කර බයිබලයේ සඳහන් විදිහට දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට ඔවුන්ට උපකාර කිරීම අවශ්‍ය බවට කිසිම සැකයක් නැහැ.

[පාදසටහන]

^ 34 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන වන මගේ බයිබල් කතන්දර පොත, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු සහ පවුලේ සන්තෝෂයට රහස යන පොත්ද පවුල්වලට උපකාර ලබාගැනීම සඳහා යොදාගන්න පුළුවන්.

[22වන පිටුවේ පින්තූරය]

හිරගෙදර සිටියත්, වික්ටර් ගුට්ෂ්මිඩ්ට් හොඳ පියෙකු වුණා

[22, 23වන පිටුවේ පින්තූරය]

තම ඇදහිල්ල නිසා හිරගෙදර සිටිද්දී වික්ටර් තම දරුවන් සඳහා මේ චිත්‍ර ඇන්දා

[23වන පිටුවේ පින්තූරය]

වික්ටර්ගේ දියණියන් 1965දී

[24වන පිටුවේ පින්තූරය]

පියවරුන් තම දරුවන්ට ඉගැන්වීමේදී ක්‍රියාශීලීව දායක විය යුතුයි