අප වැඩිහිටියන්ට සැලකිය යුත්තේ කොහොමද?
බයිබලයේ දෘෂ්ටිකෝණය
අප වැඩිහිටියන්ට සැලකිය යුත්තේ කොහොමද?
වර්ෂ 2003දී මුළු මහත් යුරෝපා මහාද්වීපයේ ගිම්හාන ඍතුවේ ඇති වූ දැඩි උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණනක් මිය ගියා. යුරෝපා මහාද්වීපයේ එවැනි අසාමාන්‍ය උෂ්ණත්වයක් ඇති වූයේ වසර 60කට පසුවයි. මිය ගිය අයගෙන් වැඩිදෙනෙකු වැඩිහිටි අය. එම වැඩිහිටියන් සමහරෙකුගේ නෑදෑයන් නිවාඩුවට වෙනත් ස්ථානවලට ගොස් තිබූ නිසා ඔවුන් සිටියේ තනිවමයි. රෝහල්වල සහ සාත්තු නිවාසවල සිටින තවත් සමහරුන්ට ඒවායේ කාර්ය මණ්ඩලවලට ඇති වැඩ රාශිය නිසා ඔවුන්ට වැඩි සැලකිල්ලක් පෙන්වා නැහැ. පැරිසියේ පමණක් භාරකාරයෙකු නොමැති මළ මිනි 450ක් තිබූ බව එක් පුවත්පතක (Le Parisien) වාර්තා කළා. කාත් කවුරුත් නොමැති නමක් ගමක් නොදන්නා මේ මිය ගිය අය ගැන එම පුවත්පතෙහි මෙසේ අසා තිබුණා. “අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාව අමතක වීමට තරම් හේතු වී තිබෙන්නේ මොකක්ද?”
ලොව වටා අවුරුදු 65ට වැඩි අයගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ අයුරින් වැඩි වෙමින් තිබෙනවා. සෑම මසකම වැඩිහිටි ජන සංඛ්‍යාවට එකතු වෙන ගණන 7,95,000ක්. වැඩිහිටි අයගේ අවශ්‍යතා ඉටු කිරීම, අද දින විශේෂ අවධානය දිය යුතු කාරණයක් වී තිබෙනවා. “ලොව වටා වැඩිහිටි අයගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන්නේ පෙර නොවූ විරූ ලෙසයි. මේ මගින් ඇති වන අභියෝගයන් හා ඔවුන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් සම්බන්ධයෙන් එක් එක් රටවල් ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියා අපි හොඳින් නිරීක්ෂණය කරන්න අවශ්‍යයි.” එසේ පැවසුවේ එක්සත් ජනපදයේ ජනලේඛන කාර්යාංශයේ ප්‍රජා විද්‍යා වැඩසටහන් අංශයේ සහාය අධ්‍යක්ෂිකා වන නැන්සි ගෝඩ්න්.
අපගේ මැවුම්කරුද වැඩිහිටි අය ගැන සැලකිල්ල දක්වයි. ඔහුගේ වචනය වන බයිබලයේ වැඩිහිටියන්ට සැලකිය යුත්තේ කෙසේද කියා අපට මඟ පෙන්වීම් දී තිබෙනවා.
වැඩිහිටියන්ට ගරු කරන්න
මෝසෙස්ට දුන් දෙවිගේ නීතියෙහි වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳ කාරණය වැදගත් යමක් ලෙස පෙන්වා දුන්නා. එම නීතියෙහි සඳහන් වන්නේ මෙලෙසයි. “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැඟී සිටින්න. මහල්ලාගේ මුහුණට ගෞරව කරන්න.” (ලෙවී කතාව 19:32) පළමුව වැඩිහිටි කෙනෙකුට කරන ගෞරවයක් හැටියටත් දෙවනුව දෙවිට පෙන්වන ගරු බියක් හැටියටත් වැඩිහිටියෙක් ඉදිරියෙහි ‘නැඟී සිටීම’ දෙවිගේ කීකරු නමස්කාරකයන්ගෙන් අපේක්ෂා කළා. වැඩිහිටි අයව සැලකිය යුතු වුණේ ගෞරවය ලැබිය යුතු ප්‍රයෝජනවත් අය හැටියටයි.—හිතෝපදේශ 16:31; 23:22.
අද දින ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටියත් එම ප්‍රතිපත්තිය මගින් යෙහෝවා සිතන ආකාරය හා ඔහු වැදගත් ලෙස සලකන්නේ කුමනාකාරයේ දේවල්ද කියා පෙන්නුම් කරනවා. ඇත්තවශයෙන්ම යෙහෝවා වැඩිහිටියන්ට ගෞරවය හා සැලකිල්ල දක්වන බවට කිසි සැකයක් නැහැ. මෙම ප්‍රතිපත්ති පළමුවන ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වටහාගත්තා. ඒ බවට සාක්ෂි බයිබලයේ ක්‍රියා පොතෙහි දැකගත හැකියි. එවකට යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් අතර අවශ්‍යතා තිබූ වැන්දඹුවන් සිටියා. ඒ අයගෙන් වැඩිදෙනෙක් වැඩිහිටියන් බව කිව හැකියි. ප්‍රේරිතවරු මෙම ස්ත්‍රීන්ට දිනපතා පිළිවෙළකට ආහාර ලැබෙනවාද කියා සොයා බැලීමට “හොඳ නමක් දිනාගෙන ඇති පුරුෂයන්” හත්දෙනෙකුව පත් කළා. එම සේවාව, සභාවේ අනිවාර්යයෙන්ම ‘කළ යුතු කාර්යයක්’ හැටියටයි ඔවුන් සැලකුවේ.—ක්‍රියා 6:1-7.
‘පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැඟී’ සිටීමේ ප්‍රතිපත්තිය ක්‍රිස්තියානි සභාවත් අනුගමනය කළ යුතු බව ප්‍රේරිත පාවුල් පෙන්නුවා. ඔහු තරුණ ක්‍රිස්තියානි අවේක්ෂකයෙක් වූ තිමෝතිට දුන්නේ මෙවන් උපදෙසක්. ‘වැඩිහිටි පුරුෂයෙකුව දැඩි ලෙස විවේචනය නොකරන්න. උපදෙස් දීමේදී ඔහුව පියෙකු මෙන්ද වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් මෙන්ද සලකන්න.’ (1 තිමෝති 5:1, 2) තරුණ වියේ පසු වූ තිමෝතිට වැඩිහිටි ක්‍රිස්තියානීන් කෙරෙහි යම් අධිකාරියක් තිබුණද වැඩිහිටි පුරුෂයෙකුට නිග්‍රහ කරන්න එපා කියා ඔහුට කියා තිබුණා. ඔහු වැඩිහිටි පුරුෂයෙකුට පියෙකුට මෙන් ගෞරවයෙන් සැලකිය යුතු වුණා. සභාවේ සිටි වැඩිහිටි ස්ත්‍රීන්ටද එවැනිම ගෞරවයක් දිය යුතු වුණා. ඇත්තෙන්ම පාවුල් එක්තරා ආකාරයකින් තිමෝතිට සහ සභාවේ අනෙකුත් අයට අවවාද කරමින් සිටියේ ‘පැසුණු හිසකෙස් ඇත්තා ඉදිරියෙහි නැඟී සිටින්න’ කියායි.
ඇත්තෙන්ම වැඩිහිටියන්ට ගෞරවය පෙන්වීම සඳහා දෙවිට නමස්කාර කරන අයට නීතියක් අවශ්‍ය නැහැ. බයිබලයේ සඳහන් යෝසෙප්ගේ උදාහරණය සලකා බලන්න. ඔහු තම මහලු පියාව මිසරයට ගෙන්වාගැනීමට තමන්ට කළ හැකි සෑම දෙයක්ම කළා. එමගින් අවුරුදු 130ක් වයසැති යාකොබ්ව ඔහු ජීවත් වෙමින් සිටි දේශයේ පැතිර තිබූ සාගතයෙන් බේරාගත්තා. අවුරුදු 20කට වඩා අධික කාලයකට පසු යෝසෙප් තම පියාව දුටු විගස “ඔහුගේ බෙල්ල වැලඳගෙන බොහෝ වේලා හැඬීය.” (උත්පත්ති 46:29) වැඩිහිටියන්ට දයාවෙන් හා ගෞරවයෙන් සැලකීම සම්බන්ධයෙන් දෙවි ඊශ්‍රායෙලිතයන්ට නීතියක් දෙන්නත් බොහෝ කලකට පෙර සිටි යෝසෙප්, එලෙස කටයුතු කිරීමෙන් තමාට දෙවිගේ දෘෂ්ටිය තිබූ බව ඔප්පු කළා.
යේසුස් පවා තම සේවා කාලය තුළ වැඩිහිටියන් ගැන සැලකිලිමත් වුණා. ආගමික චාරිත්‍ර පැවැත්වීම සඳහා තම මහලු දෙමාපියන්ගේ වගකීම් පැහැරහැරීම වරදක් නොවෙයි කියා සිතූ ආගමික නායකයන්ව යේසුස් තදින් හෙළාදැක්කා. (මතෙව් 15:3-9) යේසුස් තම මෑණියන්වද ආදරයෙන් රැකබලා ගත්තා. ඔහු වධකණුවේ අපමණ වේදනා මැද සිටින විට පවා තම මහලු මෑණියන්ව, තමන් ආදරය කළ ප්‍රේරිතවරයා වන යොහන්ට භාර දීමෙන් තම මව් ගැන සැලකිල්ල පෙන්වුවා.—යොහන් 19:26, 27.
දෙවි තමන්ගේ පක්ෂපාත අයව අත්හරින්නේ නැහැ
ගීතිකාකරු මෙසේ යාච්ඤා කළා. “මහලු වයසේදී මා අහක් නොකළ මැනව. මාගේ ශක්තිය අඩු වූ කල මා අත්නෑරිය මැනව.” (ගීතාවලිය 71:9) දෙවිට සේවය කරන මහලු වියේ පසු වන අයට තමන්ගෙන් කිසි ප්‍රයෝජනයක් නැහැයි කියා හැඟී ගියත් දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ව ‘අහක දමන්නේ’ නැහැ. යෙහෝවා තමන්ව අත්හැර තිබෙනවා කියා ගීතිකාකරුට හැඟුණේ නැහැ. මහලු වියේ පසු වන විට පෙරට වඩා ඔහුගේ මැවුම්කරු කෙරෙහි රඳා සිටිය යුතු බව ඔහු තේරුම්ගත්තා. යෙහෝවා එවැනි පක්ෂපාත අයට ජීවිත කාලය පුරාම පිහිට වෙමින් ඔවුන්ට සලකනවා. (ගීතාවලිය 18:25) බොහෝවිට එවැනි සැලකිල්ලක් ඔවුන්ට දක්වන්නේ සෙසු ක්‍රිස්තියානීන්.
ඉහත සාකච්ඡා කළ දේවල් සලකා බලද්දී යමක් පැහැදිලි වෙනවා. එනම්, දෙවිට ගෞරව කරන්න කැමති සියල්ලන්ම වැඩිහිටි අයටද ගෞරව කළ යුතුයි යන කාරණය. අපගේ මැවුම්කරුට වැඩිහිටි අයව ඇත්තෙන්ම වටිනවා. ඔහුගේ ස්වරූපයෙන් මවා තිබෙන අපිත් ‘පැසුණු හිස’ පිළිබඳ දෙවිගේ ආකල්පය දිගටම තබාගනිමු.—ගීතාවලිය 71:18.
[19වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීන් වැඩිහිටි අයට ගෞරවයෙන් සලකනවා