Skip to content

පටුනට යන්න

ඔබේ පෙනීම සොරාගන්න ග්ලෝකෝමාව

ඔබේ පෙනීම සොරාගන්න ග්ලෝකෝමාව

ඔබේ පෙනීම සොරාගන්න ග්ලෝකෝමාව

මෙම වාක්‍යයේ අවසාන වචනය දෙස මොහොතක් බලා සිටින්න. ඔබේ ඇස් කරකවන්නේ නැතිව මේ ලිපියේ ඉහළ, පහළ හා දෙපැත්තේ තිබෙන දේවල් දකින්න ඔබට පුළුවන්ද? ඔබට පුළුවන් කියා අපි සිතන්නෙමු. ඔබට මේ හැකියාව ලැබී තිබෙන්නේ පර්යන්ත දෘෂ්ටිය (යමක් බලන අතරතුරේදී එය අවට තිබෙන දේවල් දැකීමේ හැකියාව) කියා හඳුන්වනු ලබන දෙය නිසයි. ඔබේ වම් හෝ දකුණු පැත්තේ සිට ඔබ දෙසට යම් පුද්ගලයෙක් පැමිණෙනවා නම්, ඔහුව දැකගන්න ඔබට පුළුවන් වන්නේ එම දෘෂ්ටි හැකියාව නිසාය. ඔබ පාරේ යන විට යම් දේවල් මඟහැර යන්න හා බිත්තිවල හැප්පෙන්නේ නැතිව ඇවිදින්න ඔබට උපකාරවත් වන්නෙත් එම හැකියාවයි. ඔබ වාහනයක් පදවාගෙන යන විට පාර හරහා යම් කෙනෙක් පනින්න සූදානමින් සිටින බව දකින්නත් ඒ ගැන කල්පනාකාරී වීමටත් ඔබට හැක්කේද පර්යන්ත දෘෂ්ටිය නිසයි.

එහෙත් ඔබට මේ ලිපිය කියවන්න පුළුවන් වුණත් නොදැනුවත්වම පාහේ ඔබේ පර්යන්ත දෘෂ්ටිය ටිකෙන් ටික දුර්වල වී යනවා විය හැකියි. ලොව පුරා මිලියන 66ක් විවිධ ප්‍රභේදවලින් යුත් අක්ෂි රෝගයක් වන ග්ලෝකෝමාවෙන් පෙළෙන බවට ගණන් බලා තිබේ. එම සංඛ්‍යාවෙන් මිලියන පහකට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම අන්ධ වී සිටිති. මේ අනුව, නිත්‍ය අන්ධභාවයට බලපාන තුන්වන හේතුව වන්නේ ග්ලෝකෝමාවයි. “දියුණු රටවල ග්ලෝකෝමාව ගැන ජනයාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කෙරේ. එහෙත් එම රටවල පවා මෙම රෝගයෙන් පෙළෙන අයගෙන් අඩකටත් වඩා වැඩිදෙනෙකුට ග්ලෝකෝමාව තිබෙන බවට හඳුනාගෙන නැත” කියා එක් වෛද්‍ය සඟරාවක සඳහන් වේ.

ග්ලෝකෝමාව වැලඳිය හැක්කේ කාටද? මෙම රෝගය හඳුනාගත හැක්කේ කෙසේද? එමෙන්ම මෙයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

ග්ලෝකෝමාව යනු කුමක්ද?

අපි මුලින්ම අපේ ඇස ගැන විස්තර ටිකක් දැනගැනීම අවශ්‍යයි. එක් විවරණිකාවක මෙසේ සඳහන් වේ. “අපේ ඇසේ හැඩය මෙලෙස පිහිටා තිබෙන්නේ ඇස තුළ පවතින පීඩනය නිසයි. බැලූනයක් වාතයෙන් පිරී තිබෙන්නාක් මෙන් ඇස තුළ ඇති මෘදු පටක තරලයකින් පිරී තිබේ.” අම්මය රසය කියා හඳුන්වනු ලබන මේ තරලය රුධිර වාහිනිවල සිට ඇස තුළට ගමන් කරන්නේ ඇස ඇතුළේ තිබෙන ප්‍රතියෝජක දේහය මගිනි. “මේ තරලය ඇසේ සජීවි කොටස්වලට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් ඇස ඇතුළේ සංසරණය වේ. මේ තරලය පෙරනයක් හා සමාන දැලක් හරහා ආපසු රුධිරයට එකතු වේ.”

යම් හේතුවක් නිසා මේ දැල අවහිර වුවහොත් ඇසේ පීඩනය වැඩි වනු ඇත. අවසානයේදී එසේ පීඩනය වැඩිවීම නිසා ඇසේ පිටුපස තිබෙන සියුම් ස්නායු තන්තුවලට හානි සිදුවීමට පටන්ගනී. මෙය ග්ලෝකෝමාවේ බහුලව දකින්න තිබෙන වර්ගය වන අතර ග්ලෝකෝමාවෙන් පෙළෙන අයගෙන් සියයට අනූවක්ම පෙළෙන්නේ මේ රෝගී තත්වයෙනි.

ඇසේ පීඩනය දවසේ විවිධ වේලාවන්වලදී වෙනස් වන අතර මෙයට හෘද ස්පන්දනය, ඔබ පානය කරන ද්‍රව ප්‍රමාණය සහ ඔබ සිටින ඉරියව්ව හා තවත් විවිධ හේතු බලපායි. එම ස්වාභාවික හේතුවලින් ඔබේ ඇසට හානියක් සිදු නොවේ. ඇසේ “සාමාන්‍ය” පීඩනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා ඇසේ පීඩනය වැඩි වූ පමණින් ග්ලෝකෝමාව ඇති වේ කියා පැවසිය නොහැකියි. කෙසේවෙතත් ඇසේ පීඩනය වැඩිවීම ග්ලෝකෝමාවේ එක් රෝග ලක්ෂණයකි.

ග්ලෝකෝමාවේ තවත් වර්ගයක්ද තිබේ. මෙය ඇති වන්නේ කලාතුරකිනි. බහුලව දක්නට ලැබෙන වර්ගය වගේ නොවෙයි, මේ රෝගී තත්වයේදී ඇසේ පීඩනය ක්ෂණිකව වැඩි වෙයි. මෙහිදී ඇසේ දැඩි වේදනාවක් ඇති වන අතර පෙනීමද අපැහැදිලිය. වමනයද ඇති වෙයි. රෝග ලක්ෂණ පහළ වූ මුල් පැය කිහිපය ඇතුළත ප්‍රතිකාර කළේ නැත්නම් බොහෝවිට ඇස් අන්ධ වේ. ග්ලෝකෝමාවේ තවත් වර්ගයක් තිබෙන අතර මෙය ඇති වන්නේ ඇසේ ගෙඩියක් හටගැනීම හෝ ඇසේ සුද මතුවීම හෝ ඇසට සිදු වන තුවාල වැනි වෙනත් හේතූන් නිසයි. ග්ලෝකෝමාවේ හතරවන වර්ගයට හේතුව උපතේදී සිදු වන ආබාධයි. මේ රෝගී තත්වයෙන් පෙළෙන්නේ සුළු පිරිසකි. මේ තත්වය ඇති වන්නේ උපතේදී හෝ උපතෙන් ටික වේලාවකට පසුවයි. මෙවැනි බිලිඳෙකුගේ අක්ෂි ගෝලය විශාල වන අතර ආලෝකය දෙස බැලීමද ඔහුට අසීරුය.

ග්ලෝකෝමාව පෙනීම සොරාගන්න ආකාරය

ග්ලෝකෝමාව නිසා ඔබට නොදැනීම ඔබේ එක් ඇසක පෙනීම සියයට අනූවකින් අඩු විය හැකියි. මෙය සිදු වන්නේ කෙසේද? අප සියලුදෙනාගේම ඇස් දෙකේ පිටුපස අන්ධ බිංදුව කියා හඳුන්වනු ලබන ස්ථානයක් තිබේ. ස්නායු තන්තු එකට එකතු වී දෘෂ්ටි ස්නායුව සෑදී තිබෙන්නේ දෘෂ්ටිවිතානය පිහිටා තිබෙන මේ ස්ථානයේය. ආලෝකය හඳුනාගන්න සෛල මෙහි නැත. කිසිවක් නොපෙනෙන එම ස්ථානය නිසා ඇසට හසුවන රූපයේ ඇතැම් කොටස් අප දකින්නේ නැහැ. එහෙත් එම නොදකින කොටස් මොනවාදැයි හඳුනාගෙන ඒවා අපිට නොපෙනෙන්න සලස්වන්න මොළයට හැකියාවක් තිබෙනවා. හැබැයි, ග්ලෝකෝමාව නොදැනීම හටගන්නේද මොළයට තිබෙන ඒ හැකියාව නිසාමයි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ අක්ෂි විශේෂඥයෙකු වන අයිවන් ගෝල්ඩ්බර්ග් පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසුවේය. “ග්ලෝකෝමාව පෙනීම සොරාගන්නේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතුවයි. බහුලව දක්නට තිබෙන ග්ලෝකෝමා වර්ගය හටගන්නේ සෙමින්. කිසිම අනතුරු ඇඟවීමක් ලබා නොදෙමින් අඛණ්ඩව වර්ධනය වන මෙම රෝගී තත්වය නිසා ඇස මොළයට සම්බන්ධ කරන ස්නායුවලට හානි සිදු වේ. ඇතැම්විට ඔබේ ඇස්වලින් කඳුළු ගලන්න හෝ නොගලන්න පුළුවනි. ඇස් තෙත්ව හෝ වියළිව තිබිය හැකියි. අකුරු කියවන්න, ලියන්න තරම් පැහැදිලි පෙනුමක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවනි. මේ කිසිම දෙයක් ග්ලෝකෝමාවට සම්බන්ධ නැත. කිසිම අපහසුතාවකින් තොරව පැහැදිලි පෙනුමක් තිබියදී පවා ඔබට ග්ලෝකෝමාව වැලඳී තිබෙන්න ඉඩ ඇත.”

ග්ලෝකෝමාව හඳුනාගැනීම

එක් පරීක්ෂණයක් කිරීමෙන් පමණක්ම ග්ලෝකෝමාව හඳුනාගත නොහැකි වීම කනගාටුදායකය. විශේෂ උපකරණයක් භාවිත කරමින් ඇසේ පීඩනය පරීක්ෂා කර බැලීමට අක්ෂි විශේෂඥයෙකුට පුළුවනි. එම උපකරණය යොදාගනිමින් ස්වච්ඡමණ්ඩලය පිහිටා තිබෙන ඇසේ ඉදිරි කොටස ඉතා පරෙස්සමින් තද කරනු ලැබේ. එසේ තද කිරීමෙන් සිදු වන්නේ ස්වච්ඡමණ්ඩලය සමතලා වීමයි. මේ කාර්යය කිරීමට යොදන ශක්තියේ ප්‍රමාණය මැනගැනීමෙන් ඇසේ පීඩනය කොතෙක්ද කියා නිශ්චය කරගත හැකියි. විශේෂිත උපකරණ පාවිච්චි කරමින් ඇස මොළයට සම්බන්ධ කරන ස්නායුවල තිබෙන හානි වූ පටක හඳුනාගැනීමෙන් ග්ලෝකෝමාව වැලඳී තිබෙන බව අඟවන ලක්ෂණ සොයා බැලීමට අක්ෂි විශේෂඥයෙකුට හැකියි. වෛද්‍ය ගෝල්ඩ්බර්ග් මෙසේ පවසයි. “ඇසේ පිටුපස තිබෙන ස්නායු තන්තු හෝ රුධිර වාහිනි අසාමාන්‍ය හැඩයකින් යුක්තද කියා අපි පරීක්ෂා කර බලන්නෙමු. ඒවායේ හැඩය අසාමාන්‍ය නම් ස්නායුවලට හානි සිදු වෙමින් තිබෙන බව එයින් පෙනේ.”

දෘෂ්ටි ක්ෂේත්‍ර පරීක්ෂාව කියා හඳුන්වනු ලබන පරීක්ෂණයක් මගින්ද ග්ලෝකෝමාව සොයාගත හැකියි. මේ ගැන වෛද්‍ය ගෝල්ඩ්බර්ග් මෙසේ පැහැදිලි කරයි. “පරීක්ෂාවට ලක් කරනු ලබන තැනැත්තා සුදු පැහැති ආලෝකය තිබෙන බොකුටු හැඩැති ගෝලයක් ඇතුළට එබී බලයි. මෙහි ඇතුළේ තිබෙන ආලෝකයට වඩා දීප්තිමත් සුදු පැහැති තිත් මෙන් දිලිසෙන ආලෝකයක් දකින්න සලස්වයි. පරීක්ෂණයට ලක් වන තැනැත්තා මේ කුඩා සුදු පැහැති තිත් දුටු විට බොත්තමක් තද කරයි.” එම දීප්තිමත් තිත් දෘෂ්ටි ක්ෂේත්‍රයේ කෙළවරට වෙන්න තිබෙන විට, ඒවා හඳුනාගැනීමට නොහැකි වුණොත්, ග්ලෝකෝමාව තිබෙන බවට එය ලක්ෂණයක් වේ. මේ අමාරු ක්‍රියාවලිය වඩාත් පහසු කළ හැකි නව උපකරණ සෑදීමට පර්යේෂණ කෙරේ.

ග්ලෝකෝමාව වැලඳිය හැක්කේ කාටද?

පෝල් හතළිස් ගණන්වල පසු වන නිරෝගි අයෙකි. ඔහු මෙසේ පවසයි. “මම ඇස් පරීක්ෂා කරගෙන, අලුත් කණ්ණාඩියක් ගන්න දෘෂ්ටි විශේෂඥයෙක් ළඟට ගියා. ග්ලෝකෝමාව හැදුණු අය මගේ පවුලේ ඉන්නවාද කියලා ඔහු මගෙන් ඇහැව්වා. මම මේ ගැන හොයලා බලද්දී මට දැනගන්න ලැබුණා, මගේ නැන්දා කෙනෙකුටයි මාමා කෙනෙකුටයි මේ රෝගය වැලඳිලා තිබුණා කියලා. ගිහිල්ලා ඇස් දොස්තර කෙනෙකුව හම්බ වෙන්න කියලා ඔහු මට කිව්වා. ඒ දොස්තර මාව පරීක්ෂා කර බලලා කිව්වා, මට ග්ලෝකෝමාව හැදිලා තියෙනවා කියලා.” වෛද්‍ය ගෝල්ඩ්බර්ග් මෙසේ පැහැදිලි කරයි. “ඔබේ මවට හෝ පියාට ග්ලෝකෝමාව වැලඳී තිබෙනවා නම් ඔබටත් එය වැලඳීමේ හැකියාව තුන් ගුණයේ සිට පස් ගුණයක් දක්වා වැඩි විය හැකියි. ඔබේ සොහොයුරෙකුට හෝ සොහොයුරියකට එය වැලඳී තිබෙනවා නම් ඔබටත් එය වැලඳීමට තිබෙන ඉඩ කඩ පස් ගුණයේ සිට හත් ගුණයක් දක්වා වැඩි විය හැකියි.”

වෛද්‍ය කෙවින් ග්‍රීනිජ් ග්ලෝකෝමාව වැලඳීමට බලපාන වෙනත් හේතු ගෙනහැර දක්වමින් මෙසේ පවසයි. “ඔබ අවුරුදු 45කට වැඩි කෙනෙක්ද? නැත්නම් අප්‍රිකානු සම්භවයක් තිබෙන කෙනෙක්ද? ඔබේ පවුලේ කෙනෙකුට ග්ලෝකෝමාව වැලඳී තිබෙනවාද? ඔබට දුර පෙනෙන්නේ නැද්ද? ඔබ දියවැඩියාවෙන් පෙළෙනවාද? කලකට ඉහතදී ඔබේ ඇසට අනතුරක් වී තිබෙනවාද? ඔබ කෝටිසෝන් හෝ ස්ටෙරොයිඩ අඩංගු බෙහෙත් පාවිච්චි කරනවාද? මේ ප්‍රශ්නවලින් එකකට හෝ ඔබ ඔව් කියා උත්තර දෙනවා නම් ඔබට ග්ලෝකෝමාව වැලඳී තිබෙනවාද කියා සොයා බැලීමට අවුරුද්දකට වතාවක් ඔබේ ඇස් පරීක්ෂා කරවාගන්න.” ග්ලෝකෝමාව වැලඳීමේ අවදානමක් ඔබට නැති වුණත් ඔබ අවුරුදු 45කට අඩු කෙනෙක් වුණත් අවුරුදු හතරකට වතාවක් මෙසේ ඇස් පරීක්ෂා කරවාගැනීම හොඳයි. ඔබ අවුරුදු 45කට වැඩි කෙනෙක් නම් අවුරුදු දෙකකට වතාවක් ඔබේ ඇස් පරීක්ෂා කරවාගන්න.

ප්‍රතිකාර කිරීම

ග්ලෝකෝමාව වැලඳී තිබූ පෝල්ට දිනකට වරක් විශේෂ බෙහෙතක් ඇසට දමන්න කියා පවසා තිබේ. පෝල් මෙසේ පවසයි. “මම ඇසට දමන බෙහෙත මගින් අක්ෂි ගෝලය තුළ අම්මය රසය නිපදවීම වළක්වනවා.” ලේසර් කිරණ යොදාගනිමින්ද පෝල්ට ප්‍රතිකාර කරන ලදි. මෙහිදී ලේසර් කිරණ යොදාගනිමින් ඔහුගේ ඇසේ ඉදිරි කොටසේ ඉතා කුඩා සිදුරු දහයක් සාදන ලදි. ඒ සිදුරු සාදනු ලබන්නේ සාමාන්‍යයෙන් අම්මය රසය රුධිරයට එකතු වන ස්ථානය අසලය. ඔහු තවදුරටත් මෙසේද පවසයි. “ලේසර් කිරණ යොදාගෙන මගේ ඇසට ප්‍රතිකාර කළ මුල් අවස්ථාවේදී මට ලොකු භයක් දැනුණා. මේ හින්දා මට දැනුණු වේදනා වැඩි වුණා. කොහොමවුණත් දවස් කිහිපයකට පස්සේ මගේ අනිත් ඇසට ප්‍රතිකාර කරන්න ගත්ත අවස්ථාවේදී මම දැනගෙන හිටියා මොකක්ද වෙන්නේ කියලා. ඒ හින්දා මට කලින් වතාවේ තරම් බයක් දැනුණේ නැහැ. දොස්තර මහත්තයා මට සැත්කම කළාද කියලාවත් මට දැනුණේ නැහැ.” මෙම ප්‍රතිකාරය නිසා පෝල්ගේ ඇසේ පීඩනය ස්ථාවර මට්ටමක පවත්වාගැනීමට හැකි වී තිබේ.

පෝල් ඔහුගේ ඇස්වල පවතින තත්වය ගැන හොඳ හැඟීමකින් මෙසේ පවසනවා. “මගේ ඇසේ දෘෂ්ටිවිතානයට ටිකක් හානි වෙලා තියෙනවා. ඒත් මගේ පෙනීම හොඳ මට්ටමක තියෙනවා. මං හිතනවා හැමදාම මගේ ඇසට බෙහෙත් දානවා නම් පෙනීම දිගටම හොඳින් පවත්වාගන්න පුළුවන් කියලා.”

ඔබේ ඇසේ පෙනීම ටිකෙන් ටික දුර්වල වීගෙන යනවාද? ග්ලෝකෝමාව වැලඳී තිබෙනවාද කියා බැලීමට ඔබේ ඇස් කවදාවත් පරීක්ෂා කරවාගෙන නැද්ද? එසේත් නැත්නම් අවදානම් බව පෙන්වන ලක්ෂණවලින් එකක් හෝ ඔබට තිබෙනවාද? එසේනම් ග්ලෝකෝමාව ඔබට තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න කියා වෛද්‍යවරයෙකුගෙන් ඇසීම නැණවත් දෙයකි. වෛද්‍ය ගෝල්ඩ්බර්ග් පවසන්නේ “කල් වේලා ඇතුව නිසි ප්‍රතිකාර ලබා දුන්නොත් ග්ලෝකෝමාව මගින් ඔබේ ඇසට කරන හානිවලින් වැඩි හරියක් වළක්වාගැනීමට පුළුවන්” බවයි. ඔව්, ඇත්තෙන්ම ඔබට පුළුවන් කලට වේලාවට නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මේ රෝගය පාලනය කරගන්න!

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පහත සඳහන් දේවල් ඔබට තිබේ නම් ග්ලෝකෝමාව වැලඳීමේ අවදානම ඔබටත් තිබේ

● ඔබ අප්‍රිකානු සම්භවයක් තිබෙන කෙනෙක් නම්

● ඔබේ පවුලේ කෙනෙකුට ග්ලෝකෝමාව වැලඳී තිබේ නම්

● ඔබට දියවැඩියාව තිබේ නම්

● ඔබට දුර පෙනෙන්නේ නැත්නම්

● ඔබ දිගු කාලයක සිට කෝටිසෝන් හෝ ස්ටෙරොයිඩ අඩංගු ක්‍රීම් වර්ග හෝ ඇදුමට ලබා දෙන ඇතැම් බෙහෙත් වර්ග පාවිච්චි කරන කෙනෙක් නම්

● කලින් ඔබේ ඇසට අනතුරු වී තිබෙනවා නම්

● ඔබ වයස අවුරුදු 45ට වැඩි කෙනෙක් නම්

[පින්තූරය]

ඇස් නිතර පරීක්ෂා කරවාගැනීමෙන් පෙනීම ඉතා දුර්වල වීම වළක්වාගත හැකියි

[21වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

සාමාන්‍ය ග්ලෝකෝමාව

ස්වච්ඡමණ්ඩලය

තාරාමණ්ඩලය

කාචය

දෘෂ්ටිවිතානය

අන්ධ බිංදුව යනු දෘෂ්ටි ස්නායුව සෑදීම සඳහා ස්නායු තන්තු සම්බන්ධ වී තිබෙන තැනයි

දෘෂ්ටි ස්නායු මගින් පෙනීම හා සම්බන්ධ පණිවිඩ මොළය වෙත ගෙන යයි

ප්‍රතියෝජක දේහය තුළ එම තරලය නිෂ්පාදනය කෙරේ

1 අම්මය රසය කියන්නේ ඇසේ කාචය, තාරාමණ්ඩලය හා ස්වච්ඡමණ්ඩලයේ ඇතුළත පෝෂණය කරන පැහැදිලි තරලයකි. මෙම තරලය ඇසේ පිටත පවිත්‍ර කරන කඳුළුවලට සමාන නැත

2 පෙරනයක් හා සමාන දැල මගින් එම තරලය පෙරයි

3 මෙම පෙරනය අවහිර වුණොත් ඇසේ පීඩනය වැඩි වෙයි

4 ඇසේ පීඩනය වැඩි නම් ඇස පිටුපස තිබෙන සියුම් ස්නායු තන්තුවලට හානි සිදු වී ග්ලෝකෝමාව හටගනී. නැත්නම් පෙනීම දුර්වල වේ

[21වන පිටුවේ පින්තූර]

අන්ධ බිංදුව

ඔබට පෙනෙන දේ

සාමාන්‍ය පෙනීම

ග්ලෝකෝමාවේ මුල් අවස්ථාව

ග්ලෝකෝමාව දරුණු වූ අවස්ථාව

[හිමිකම් විස්තර]

අන්ධ බිංදුව දැක්වෙන ඡායාරූප: Atlas of Ophthalmology අනුග්‍රහයෙනි