Skip to content

පටුනට යන්න

ඔරිගාමි කොළවලින් පාන දස්කම් විස්කම්

ඔරිගාමි කොළවලින් පාන දස්කම් විස්කම්

ඔරිගාමි කොළවලින් පාන දස්කම් විස්කම්

ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්

කොළ කැබැල්ලකින් අපූරු කොකෙක් නිර්මාණය වී ඇත. උගේ පියාපත් අලංකාර ලෙස විහිදී තිබේ. උගේ ශෝභමාන සිරුරෙන් දිග සිහින් බෙල්ලක් උඩට මතු වී ඇති අතර ඒ මත දැකුම්කලු හිසක් මෙන්ම දිග හොටක්ද ඇත. පුදුමය වන්නේ හතරැස් කොළ කැබැල්ලක් ඉතා නිවැරදි ලෙස පියවර 12කින් නැවීමෙන් මෙම කොකා නිර්මාණය වී තිබීමයි.

කොළ කැබැල්ලක් රැගෙන එය ලස්සන ලස්සන හැඩවලට නැවීම හා දිගහැරීම ජපානයේ පවතින කලාවක් වන අතර එය ඔරිගාමි ලෙස හැඳින්වේ. එහි අදහස “නැවූ කොළය” යන්නයි. ජපානයෙහි ඔරිගාමිවල මූලාරම්භය හරියටම දන්නේ නැති වුවත් වැදගත් ලියකියවිලි නොයෙක් අලංකාර ක්‍රමවලට නැවූ පුරාණ අවදිය දක්වා එය දිව යන්නක් බව සොයාගෙන තිබෙනවා. මෙම කොළ නැවීමේ ක්‍රියාව විනෝදයක් ලැබිය හැකි දෙයක් බවට පත් වී ඇත්තේ ඉඩෝ යුගයේදී (1603-1867) බව සැලකේ. නැවීමේ අලුත් ක්‍රම බිහි වී ඇත්තේ ඒ කාලයේදීයි. දෙමාපියන් තම දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් මෙම කලාව උගන්වා තිබෙන නිසා එය පරම්පරාවෙන් පරම්පරාවට එන කලාවක් වී ඇත. ළමා වියේදී තම මව මොහොතක් කල්පනා කර විගස කොළය නමමින් තමන්ට අලංකාර දේවල් සාදා දුන් විට තමන් පුදුමයෙන් ඒ දෙස බලා සිටි ආකාරය බොහෝ ජපන් ජාතිකයන් මතකයට නඟන්නේ ඉමහත් සතුටකිනි.

නිර්මාණය කරන හැඩවලට අනුව ඔරිගාමි වර්ග දෙකකට බෙදා ඇත. එකක් සම්ප්‍රදායික ඔරිගාමි ක්‍රමයයි. ඒ කොළයකින් කොක්කු, ගෙම්බෝ, බෝට්ටු, බැලුම් බෝල, කෘමීන් හා පැළෑටි සෑදීමේ ක්‍රමයයි. අනෙක නිර්මාණශීලී ඔරිගාමි ක්‍රමයයි. ඒ සියවස් ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායික ක්‍රමයට වඩා වෙනස් එකකි. මේ ක්‍රමයේදී ලොකු ඩයිනොසෝරයින්, විසිතුරු ලෙස සෑදූ අමුතු අමුතු කෘමීන් සහ වෙනත් සියුම් නිර්මාණයන් බිහි කෙරේ.

නවීන කාලයේදී ගෘහ නිර්මාණ ශිල්පය වැනි වෘත්තිමය ක්ෂේත්‍ර ගණනාවක නානා මාදිලියේ ප්‍රයෝජනවත් දේවල් නිර්මාණය කිරීමට මෙම කලාවේ ක්‍රම අදාළ කරගෙන තිබේ. වෛද්‍ය ක්ෂේත්‍රය පවා මහලු මෙන්ම ආබාධිත අය සඳහා ප්‍රතිකාරයක් වශයෙන් දිය හැකි ව්‍යායාමයක් ලෙස මෙම කලාව යොදාගෙන ඇත.

ඔබම එකක් සාදන්න

ඔබට මෙය කළ හැක්කේ කෙසේද? සම්ප්‍රදායික ඔරිගාමි ක්‍රමය අමාරු නැත. එයට විශේෂ ආම්පන්න හෝ පුහුණුවක් අවශ්‍ය නොවේ. හොඳ අවධානයක් මෙන්ම ඔබ නිරීක්ෂණය කරන දෙය මතක තබාගැනීමේ හැකියාව තිබුණොත් ප්‍රමාණවත්. ඒ සඳහා භාවිත කරන විශේෂ කොළ වර්ගයක් හා නැවීමේ නීති නම් අවශ්‍යයි. දැඩි ඉවසීමකින් නිවැරදිව කොළය නවන ඕනෑම කෙනෙකුට එයින් අලංකාර හැඩයක් නිර්මාණය කළ හැකියි.

පුවත්පත්, දැන්වීම් කොළ හෝ සැරසිලි කොළ වැනි ඕනෑම කොළයක් භාවිත කිරීමට ඔබට හැකියි. ඔබ සෑදීමට කැමති දේ අනුව කොළයේ වර්ගය, වර්ණය හා ප්‍රමාණය තීරණය කිරීමට පුළුවනි. කෙසේවුවත්, ඔබට වුවමනා වන්නේ ඇත්තෙන්ම ලස්සන යමක් සෑදීමට නම් කොළයේ වර්ණය ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබේ නිර්මාණයේ අලංකාරය රඳා පවතින්නේ කොළය නවන ආකාරය මත පමණක් නොව ඔබ තෝරාගන්න කොළයේ වර්ගයද අනුවය. වඩාත්ම සුදුසු වන්නේ ඔරිගාමි සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද කොළ භාවිත කිරීමයි. අතින් සාදන ලද වාෂි නම් ජපන් කඩදාසි කොළය භාවිත කිරීමට සමහරවිටඔබ කැමති විය හැකියි. *

හැමවිටම වගේ කොළය හරි හතරැස් වීම වැදගත්. කොළයේ ඉහළ වම් කොන සහ පහළ දකුණු කොන එක් කරමින් කොළය තුන්මුලසට නැවීමෙන් එය හතරැස්ව තිබේදැයි පරීක්ෂා කළ හැකිය. දාර සියල්ල එහෙට මෙහෙට නොවී සමානව තිබේ නම් කොළය හරියට කපා ඇත.

ලස්සන නිර්මාණයක් කිරීමට නම් කොළයේ සෑම කොනක් මෙන්ම සෑම දාරයක්ම සමානව සිටින සේ කොළය නැමිය යුතුයි. එමෙන්ම, නමද්දී හොඳින් තද කර නැමීමද අවශ්‍යයි. ත්‍රිකෝණාකාරව කොළය දෙකට නැමීම සඳහා ඉහත සඳහන් ලෙස කොන් දෙක එකිනෙක මත තබා මාපටැඟිල්ල සහ දබරැඟිල්ලෙන් අල්ලාගෙන අනික් අතෙන් නැමුම් පාර සිටින සේ කොළයේ නැමුම තද කරන්න. ඍජුකෝණාස්‍රාකාරව කොළය දෙකට නමන විට ඉහළ කොන් දෙක එක පිට එක තබාගෙන දාර දෙක අල්ලාගෙන නැමුම් පාර සිටින සේ හොඳින් තද කරන්න.

සමහර හැඩයන් ගැනීම සඳහා කොළය නමා දිගහැර නැමුම් පාරක් සකසාගෙන ඊළඟ පියවරට යා යුතු වේ. සමහර අවස්ථාවලදී විවිධ හැඩයන් ගැනීම සඳහා කොළය අඹරා කැරළි සෑදීමට, රැළි කිරීමට, රෝලක් මෙන් සකස් කිරීමට, ඇඟිලි දෙකකින් කොළයේ තැනින් තැන තද කිරීමට, ඇතුළට එබීමට, එයට පිඹීමට හා එය අනෙක් අතට හැරවීමටද සිදු වේ.

ඕනෑම තැනකදී, ඕනෑම වෙලාවක මේවා සෑදිය හැකියි. මෙම කලාව ඉගෙනගැනීමෙන් පසු ඔබට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කොළ පමණි. ඔබේ ඇඟිලි පමණක් භාවිත කර කලක් තිස්සේ නිර්මාණය කර ඇති හැඩයන් ගණනාවක්ම මැවීමට හෝ ඔබේම නව නිර්මාණයක් බිහි කිරීමට ඔබට හැකියි. රූප සටහනක් දෙස බලමින් මෙම කලාව ඉගෙනගැනීමට ඔබ වෑයම් කරනවා නම් සමහරවිට කලකිරීමක් ඇති විය හැකියි. එහෙත් මෙම කලාව දන්න කෙනෙක් ඔබට හමු වේ නම් ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගෙන කොළවලින් දස්කම් විස්කම් පෑමට ඉගෙනගන්න.

[පාදසටහන]

^ 9 ඡේ. වර්ෂ 1992 මැයි 8 පිබිදෙව්! කලාපයේ “වාෂි ජපානයේ අතින් සාදන ලද පැරණි කඩදාසි” නම් ලිපිය බලන්න.