Skip to content

පටුනට යන්න

කෘමී ලෝකයේ අසිරිය

කෘමී ලෝකයේ අසිරිය

කෘමී ලෝකයේ අසිරිය

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසිනි

අපි නිවර්තන කලාපීය වැසි වනාන්තරයකට පය තබමු. එහි දැවැන්ත ගස් අතර රන් රිදී වර්ණයෙන් මෙන්ම මරකත, රතු කැට හා නිල් කැට මෙන් දිලිසෙන කෘමී වර්ගයක් සැඟවී ඇත. ඒ නම් මිනිසාගෙන් බොහෝදුරට සැඟවී ජීවත් වන කුරුමිණියෝය.

කුරුමිණියන් ගැන සිතද්දී ඔබේ මනසට නැඟෙන්නේ කෙබඳු චිත්‍රයක්ද? පයට පෑගෙන, එහෙ මෙහෙ දුවන, අවලස්සන, අඳුරු පැහැති පෙනුමක් ඇති කෘමී ජාතියක්ද? ඇත්තම කියනවා නම්, කුරුමිණියන් තරම් විවිධ වර්ගයන්ගෙන් යුත් වර්ණවත් ජීවී විශේෂයක් නොමැති තරම්ය. සත්ව ලෝකයේ ගිනස් වාර්තා පොතට අනුව පෘථිවි ග්‍රහයා මත දැනට සොයාගෙන ඇති සත්ව විශේෂ අතුරින් තුනෙන් එකක් පමණ සෑදී තිබෙන්නේ කොලියොප්ටෙරා නමැති කෘමී ගෝත්‍රයෙනි. කොලියොප්ටෙරා යනු එම ගෝත්‍රය සඳහා භාවිත කරන විද්‍යාත්මක නාමයයි. දැනට එම ගෝත්‍රයේ වර්ග 4,00,000කට කිට්ටු සංඛ්‍යාවක් සොයාගෙන ඇත. අලුත් සත්ව විශේෂයක් සොයාගැනීමට ඔබ කැමැත්තක් දක්වනවා නම්, කුරුමිණි වර්ග සෙවීමට වෑයමක් දැරීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගත හැකි වේ. කෘමී විද්‍යාඥයෙකු වන ආචාර්ය ටෙරි අර්වින් පවසන්නේ විද්‍යාවෙන් තවමත් සොයාගෙන නැති කුරුමිණි වර්ග මිලියන ගණනක් සිටිය හැකි බවය. අර්වින් එක් අවස්ථාවකදී නිවර්තන කලාපයේ විශාල ගස් 19ක් පරීක්ෂා කිරීමෙන් කුරුමිණි වර්ග 1,200ක් පමණ සොයාගත් අතර එය ඇත්තෙන්ම පුදුම දනවන්නකි.

අසිරිමත් විවිධත්වයක්

කුරුමිණි වර්ග විශාල සංඛ්‍යාවක් සිටින බව මින් පැහැදිලි වේ. එපමණක්ද නොව කුරුමිණි වර්ග ප්‍රමාණයෙන් හා හැඩයෙන්ද විවිධය. නැෂනල් ජියොග්‍රැෆික් සඟරාවට අනුව ඇතැම් කුරුමිණි වර්ග “කොතරම් විශාලද කිවහොත් උන්ව එකතු කළ අය උන්ව අල්ලාගත්තේ තුවක්කුවලට වැලි පතරොම් දමා උන්ට වෙඩි තැබීමෙනි. තවත් වර්ග මී මැස්සන්ගේ මුඛ ප්‍රදේශයේ එල්ලී යෑමට තරම් කුඩාය. ඇතැම් කුරුමිණි වර්ග හොරෙන් කෞතුකාගාරවලට ඇතුල් වී ප්‍රදර්ශනය සඳහා තබා ඇති කුරුමිණියන් කා දමයි.”

ප්‍රදර්ශනය සඳහා එකතු කරන කුරුමිණියන් මිල අධික විය හැක. සාමාන්‍යයෙන් කුරුමිණියෙකුගේ වටිනාකම තීරණය වන්නේ උන්ගේ වර්ණය හා උන් කොතරම් දුර්ලභද යන සාධක මතය. මීට කදිම උදාහරණයකි ගොම කුරුමිණියෝ. උන් කොළ හා රතු හෝ දිලිසෙන රිදී හෝ රන් ඇතුළු නොයෙකුත් වර්ණවලින් යුක්තය. නිදසුනකට දීප්තිමත් රතු පැහැති ගොම කුරුමිණියෙකුගේ වටිනාකම අමෙරිකානු ඩොලර් 200ක් පමණ විය හැක. අනික් අතට, රන්වන් පැහැයෙන් යුත් ගොම කුරුමිණියෙකුගේ වටිනාකම ඒ වගේ දෙගුණයක් විය හැක.

දිග ස්පර්ශක සහිත ඇතැම් කුරුමිණියන්ගේ ශරීරවල ඉතා අලංකාර මෙන්ම වර්ණවත් රටා දක්නට ලැබේ. තවත් කුරුමිණි වර්ග කුඩා දේදුනු මෙන් දිදුලයි. දිලිසෙන කොළ හා නිල් පැහැයෙන් යුත් මෙම කුරුමිණි වර්ගය වර්ණවත් පැණි කුරුල්ලන්ව සිහියට නංවයි. කුරුමිණියන්ව වටිනා කෘමී වර්ගයක් ලෙස සලකන්නේ උන්ගේ වර්ණ නිසාම නොවේ. ශාක කොටස් සහ සතුන්ගේ අසූචි අනුභව කිරීමෙන් පරිසරය පිරිසිදුව තබාගැනීමේ අතිවැදගත් කාර්යයටද උන් හවුල් වන නිසාවෙනි.

කුරුමිණියෝ—ආභරණ ලෙස

ඉතා අලංකාර වූ මෙම කුරුමිණියන් තවත් පිරිසකගේ දැඩි අවධානයට ලක් වී ඇත්තේ වෙනත් හේතුවක් නිසාය. අමෙරිකානු මහද්වීපවල ඇතැම් කාන්තාවන් මාල සාදන්නේ පක්ෂාවරණ ලෙස හැඳින්වෙන කුරුමිණියන්ගේ අලංකාරවත් මතුපිට පියාපත් යුගළ කිහිපයක්ම එකට ඇමිණීමෙනි. මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවල මැණික් කුරුමිණියා යනුවෙන් හඳුන්වන කුරුමිණි වර්ගයක් දක්නට ලැබේ. මෙම කුරුමිණි වර්ගය පණපිටින් අල්ලා උන්ගේ පක්ෂාවරණවලට විවිධ වර්ණයන්ගෙන් යුත් කුඩා පබලු හා වීදුරු කැබලි අලවා උන්ව සරසනු ලැබේ. පක්ෂාවරණයට කුඩා අලංකාර දම්වැලක්ද සවි කෙරේ. දම්වැලේ අනික් කෙළවර උන්ව ආභරණයක් සේ පළඳින පුද්ගලයාගේ ඇඳුමට සවි කරනු ලැබේ.

කුරුමිණියන් ගැන හැදෑරීමට ඔබ උනන්දුවක් දැක්වුවත් නැතත්, මැණික් බඳු මෙම කෘමී වර්ගය මිහිපිට ජීවීන්ගේ අසිරිමත් අලංකාරයට හා සංකීර්ණත්වයට කදිම සාක්ෂියක් බවට නම් ඔබ එකඟ වනවා නොඅනුමානය.

[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කොළ කන කුරුමිණියෝ

ඇතැම් කුරුමිණි වර්ග අලංකාර වුවත් බෝග වගාවන් වනසන කරදරකාරී කෘමීන් ලෙසද සැලකිය හැක. නිදසුනකට, කොළ කන කුරුමිණියෝ ශාක හා බෝග වර්ග රාශියක්ම සහමුලින්ම විනාශ කර දමති.

කොළ කන කුරුමිණි වර්ග 25,000ක් පමණ ඇති බවට සොයාගෙන ඇතත් ගොවීන් වැඩිදෙනෙකුගේ ප්‍රධාන සතුරා බවට පත්ව ඇත්තේ කොලරාඩෝ අර්තාපල් කුරුමිණියා යනුවෙන් හැඳින්වෙන කුරුමිණි වර්ගයයි. උතුරු අමෙරිකාවේ පදිංචිකරුවන්ගේ අර්තාපල් වගාවන්වලට තර්ජනයක් ලෙස මෙම කුරුමිණි වර්ගය මුලින්ම හඳුනාගත්තේ 1859දීය. විසිවන සියවසේ මුල වන විට මෙම කුරුමිණි වර්ගය යුරෝපයට පැමිණි අතර, උන් දැන් යුරෝපය පුරාද ආසියාව පුරාද පැතිර ගොසිනි.

කොලරාඩෝ අර්තාපල් කුරුමිණියා පළිබෝධ නාශකවලට සාර්ථකව ඔරොත්තු දෙන නිසා මිනිසා උන්ව සලකන්නේ දැවැන්ත සතුරෙකු ලෙසය. කොළ කෑමට මහත් රුසියෙකු වන මෙම කුරුමිණියන් මර්දනය කිරීමට වර්තමානයේ නොයෙකුත් කෘෂිකාර්මික ක්‍රම, සතුරු කෘමී වර්ග හා රසායනික පළිබෝධ නාශක උපයෝගි කරගෙන ඇත.

[පින්තූරය]

කොලරාඩෝ අර්තාපල් කුරුමිණියා, අ.එ.ජ.

[හිමිකම් විස්තර]

Scott Bauer/Agricultural Research Service, USDA

[17වන පිටුවේ කොටුව⁄පින්තූර]

සූර කුරුමිණියෝ

▪ කෘමීන් අතුරින් වැඩිම ආයු කාලයක් ඇත්තේ කුරුමිණියන්ටය. සාමාන්‍යයෙන් කෘමී වර්ග බොහොමයක් ජීවත් වන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයකි. එහෙත් ඇතැම් මැණික් කුරුමිණියන් අවුරුදු 30කට වඩා ජීවත් වන අතර, උන් අතුරින් වාර්තාව හිමි කරගෙන සිටින කුරුමිණියා අවුරුදු 47ක් ජීවත් වී ඇත. සත්ව ලෝකයේ ගිනස් වාර්තා පොතෙහි මෙම තොරතුරුද ඇතුළත්ය. මැණික් කුරුමිණියන් “බිත්තර දමන්නේ ගසක කඳෙහිය. එම ගස කපා දැව වශයෙන් ලෝකයේ වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහණය කළද එම බිත්තරවලින් ඉවතට එන කීටයෝ නොනැසී ජීවත් වෙති. ඇතැම් වර්ගවල කීටයන් සුහුඹුල් (පරිණත) අවස්ථාවට පත් වන්නේ වසර කිහිපයක්ම ගතවීමෙන් අනතුරුවය. එමනිසා සාදා නිම කළ ලී භාණ්ඩවලින් කුරුමිණියන් ඉවතට ඒම දුර්ලභ දසුනක් නොවේ.”

▪ අසිරිමත් කෘමී ලෝකයේ බරින් වැඩිම කෘමීන් වන්නේ නිවර්තන කලාපීය අප්‍රිකාවේ යෝධ කුරුමිණියෝය. ඇතැම් පිරිමි කුරුමිණියන් බරින් ග්‍රෑම් 100ක් පමණය. වෙනත් වචනවලින් කිවහොත් උන් කොස්ඇට මීයෙකු මෙන් තුන් ගුණයක් බරය.

▪ සත්ව ලෝකයේ (සිරුරේ බර සමඟ සසඳද්දී) වැඩිම බරක් උසුලන ජීවියා ලෙස නම් දරන්නේ ඩයිනස්ටිනා උපකුලයේ කුරුමිණියෙකු වන රයිනොසිරස් කුරුමිණියාය. ඉතා සවි සම්පන්න වූ මෙම කුරුමිණියන්ට සිය සිරුරේ බර මෙන් 850 ගුණයක බරක් ඉසිලිය හැක.

[පින්තූරය]

යෝධ කුරුමිණියා, ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ සමූහාණ්ඩුව

[හිමිකම් විස්තර]

Faunia, Madrid

[පින්තූරය]

රයිනොසිරස් කුරුමිණියා, සමක ගිනියාව

[16වන පිටුවේ පින්තූරය]

දිලිසෙන ගොම කුරුමිණියා, මෙක්සිකෝව

[16වන පිටුවේ පින්තූරය]

දිලිසෙන ගොම කුරුමිණියා, හොන්ඩුරාස්

[16වන පිටුවේ පින්තූරය]

දිලිසෙන ගොම කුරුමිණියා, කොස්ටා රීකා

[17වන පිටුවේ පින්තූරය]

දිගු ස්පර්ශක සහිත කුරුමිණියා, ඉන්දුනීසියාව

[17වන පිටුවේ පින්තූරය]

ගොම කුරුමිණියා, තායිලන්තය

[17වන පිටුවේ පින්තූරය]

දිලිසෙන කඳන් විදින කුරුමිණියා, තායිලන්තය

[17වන පිටුවේ පින්තූරය]

දිලිසෙන කඳන් විදින කුරුමිණියා, හංගේරියාව

[17වන පිටුවේ පින්තූරය]

දිලිසෙන ගොම කුරුමිණියා, හොන්ඩුරාස්

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ වම සහ මැද: © David Hawks; දකුණේ: © Barbara Strnadova/Photo Researchers, Inc.

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ වමේ සිට දකුණට: මුල් තුන: Faunia, Madrid; සිව්වැන්න: Gyorgy Csoka, Hungary Forest Research Institute, www.insectimages.org; පස්වැන්න: © Barbara Strnadova/Photo Researchers, Inc.