Skip to content

පටුනට යන්න

දරුවන්ටත් දරුවෝ දසත පැතිරුණු ගැටලුවක්

දරුවන්ටත් දරුවෝ දසත පැතිරුණු ගැටලුවක්

දරුවන්ටත් දරුවෝ දසත පැතිරුණු ගැටලුවක්

යොවුන් වියේ ගැබ්ගැනීම් වසංගතයක් මෙන් ලොව පුරා පැතිර තිබෙනවා. මෙම ගැටලුව කොතරම් භයානකද කියා පෙනී යන්නේ එවැනි තත්වයකට මුහුණ දුන් බියපත් වූ යෞවනියක දුටුවොත් පමණයි. ඇය එක පිට එක නොයෙකුත් වෙනස්කම්වලට මුහුණ දෙයි. ඒවා ඇයට පමණක් නොවෙයි, ඇගේ පවුලේ අයටත්, ඒ වගේම ඇයට ආදරය කරන වෙනත් අයටත් තදින් බලපායි.

නහඹර වියේ අය පසු වන්නේ “යොවුන් වියේ ඇති වන හැඟීම්වල උච්චාවස්ථාවට” මුහුණ දෙන අවදියේයි. ඒ අවදියේ තමයි ලිංගික හැඟීම් උත්සන්නව තිබෙන්නේ. (1 කොරින්ති 7:36) එහෙත් යොවුන් වියේ ගැබ්ගැනීම් වළක්වාගැනීමට උපත් පාලන ක්‍රම භාවිත කිරීම විසඳුමයයි සිතීම එහි ඇති භයානකකම සැහැල්ලු කිරීමක්. මෙය සමාජයට මෙන්ම ඊට මුහුණ දෙන පුද්ගලයන්ගේ හැඟීම්වලට බලපාන සංකීර්ණ ප්‍රශ්නයක් බව ලැබී තිබෙන සාක්ෂිවලින් සනාථ වෙනවා.

මෙයට හේතු

බොහෝ යොවුන් මව්වරුන් බෙදුණු පවුල්වල සාමාජිකයන් බව පර්යේෂණවලින් පෙනී යනවා. ඔවුන් බොහෝදෙනෙකු නැවත නැවත කියා සිටියේ “තමන් සාර්ථක පවුලක සාමාජිකයෙකු වූවා නම් ඔවුන් කොතරම් සතුටු වෙනවාද” කියායි. බෙදුණු පවුල්, යොවුන් මව්වරුන් බිහි කිරීමේ තෝතැන්නක් විය හැකි බව මින් පැහැදිලි වෙනවා. යොවුන් මව්වරුන්ට අත හිත දෙන සමාජ සේවා වැඩසටහනකින් හෙළි වූයේ, එම යෞවනියන් බොහෝවිට මව සමඟ නිතරම සණ්ඩු සරුවල් කරගත් බවයි. පියා සමඟ කිසිම සම්බන්ධයක් නොතිබුණු බවත් හෙළි වුණා. වයස අවුරුදු 18දී මවක් වූ ඇනීටාගේ අම්මා තනිව ඇයට අවශ්‍ය දේ සැපයීම සඳහා වෙහෙස මහන්සි වුණත්, ඇගේ තාත්තා නැති අඩුව ඇයට තදින්ම දැනුණු බව ඇනීටා මතක් කරනවා.

වෙනත් යෞවනියන් අවිවාහක මව්වරුන් බවට පත් වන්නේ අතවරයට ලක්වීම නිසයි. ඇතැම් අය අද්දකින්නාවූ කම්පනය නිසා මානසිකව නොයෙකුත් වධ වේදනා විඳින අතර පසු කාලයේදී ඒවා ඔවුන්ගේ නොහොබිනා හැසිරීමටද බලපාන්න පුළුවන්. උදාහරණයකට ජැස්මින් අතවරයට ලක් වූයේ අවුරුදු 15දීයි. ඇය මෙසේ සිහිපත් කරයි: “ඒකෙන් පස්සේ මට මොනවා සිදු වුණත් මම ඒවා ගණන් ගත්තේ නැහැ. අවුරුදු 19දී මට දරුවෙක් ලැබෙන්න හිටියා.” ලිංගික අතවරයකට ලක් වූ කෙනෙකුට තමන් වටින්නේ නැහැයි කියා හැඟෙන්න පුළුවන්. ජැස්මින් පවසන්නේ තමන්ටත් එලෙසම හැඟුණු බවයි. ඇනීටා ඒ හා සමාන අද්දැකීමකට මුහුණ දුන්නා. “මගේ වයස 7ත් 11ත් අතර කාලයේදී යෞවනයෙක් අතින් මම ලිංගික හිරිහැරකම්වලට ලක් වුණා. මට මාවම එපා වුණා. සිදු වූ දේට මම මටම දොස් කියාගත්තා.” අවුරුදු 17දී ඇය ගැබ්ගත්තා.

තවත් යෞවනියන් මෙම ප්‍රශ්නයට මැදි වන්නේ ඔවුන් තමන් ගැන පමණට වඩා විශ්වාස කරන නිසා සහ ඔවුන් තුළ තිබෙන කුතුහලය නිසයි. කලින් ලිපියේ සඳහන් වූ නිකෝල් මෙසේ පිළිගනී. “මං හිතුවා මං හැම දෙයක්ම දන්නවා කියලා. මට ඕනෑම දෙයක් කරන්නත් පුළුවන් කියලා. එහෙම හිතන්න ගිහින් අන්තිමේදී ළමයෙකුත් හම්බ වෙලයි නතර වුණේ.” යෞවන වයසේම අවිවාහක මවක් වූ කැරල් ලිංගිකව එක් වෙන්න තීරණය කළේ කුතුහලය නිසයි. “මං හිතුවේ එහෙම කළේ නැත්නම් ජීවිතය මට නියම විදිහට භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ කියලයි.”

ලිංගිකව එක්වීමෙන් ඇති වන ප්‍රතිවිපාක නොදැන සිටීමත් තවත් හේතුවක්. “සම්බන්ධයක් පවත්වද්දී සිදු විය හැකි දේ ගැනත්, ගැබ්ගන්නේ කොහොමද කියලත්” බ්‍රිතාන්‍යයේ සමහරක් යෞවනියන්ට “පැහැදිලි වැටහීමක් නැති” බව සමාජ විද්‍යාඥයන් වන කැරන් රෝලිංසන් සහ ස්ටීවන් මකේ පවසනවා. බොහෝවිට පෙනී යන කාරණයක් වන්නේ ලිංගික එක්වීමක ප්‍රතිඵලයක් ලෙස ගැබ්ගැනීමක් සිදු විය හැකි බව ඇතැම් යෞවනියන් නොදන්නා බවයි. “උපත් පාලන ක්‍රම පාවිච්චි නොකර ගැබ්ගත්” යොවුන් මව්වරුන්ගෙන් වැඩිදෙනෙකුට “තමන් ගැබ්ගත් බව දැනගත් විට එය ලොකු කම්පනයක් හෝ පුදුමයක් වූ බව” එක්තරා සමීක්ෂණයකින් හෙළි වෙනවා.

එහෙත් යොවුන් වියේ ගැබ්ගැනීම් සිදුවීමට ප්‍රධානතම හේතු සාධකය නම් සදාචාර ප්‍රමිතිවල ලොකු පෙරළියක් සිදුවීමයි. අප ජීවත් වන්නේ “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන” සමාජයකයි. (2 තිමෝති 3:1-4) ඕස්ට්‍රේලියානු විද්වතුන් වන එල්සා බර්න්ස් සහ කැත් ස්කොට් කියන්නේ “සමාජය, ආගම සහ ආර්ථිකය තුළ යම් වෙනස්කම් සිදුවීම හේතුවෙන්, විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට එරෙහිව පනවා ඇති තහංචි ලිහිල් වී” ඇති බවයි. අතීතයේ විවාහ නොවී දරුවෙකු බිහි කිරීම සමාජය සැලකුවේ ලොකු කැළලක් ලෙසයි. නමුත් දැන් ඒ දෙස බලන විදිහ වෙනස්. ඇතැම් රටවල යෞවනියකට දරුවෙකු සිටීම සලකන්නේ ලොකු ආඩම්බරයක් හෝ ගෞරවයක් හැටියටයි.

සිහින බොඳ වී යන විට

යෞවනියන් ආදරය ගැන සොඳුරු සිහින මවමින් සිටියත් යොවුන් වියේදීම මවක් වීමට සිදු වන විට ඒ සිහින සියල්ල බොඳ වී යනවා. යෞවනියන් තමන් ගැබ්ගෙන සිටින බව දැනගත් විට ඔවුන් වියවුල් තත්වයකට පත් වෙනවා. සමහරුන්ට දැනෙන්නේ මහත් කම්පනයක්. එක්සත් ජනපදයේ ළමා හා නව යොවුන් වියේ ගැටලු හදාරන ආයතනයක් පවසන්නේ “එවන් තත්වයකට පත් වන කෙනෙකු සාමාන්‍යයෙන් කෝපයෙන්, සිත්තැවුලෙන් හා සිදු වූ දේ පිළිගැනීමට අපහසුතාවකින් සිටින” බවයි. සිදු වූ දේ පිළි නොගැනීම අවදානම් සහිත දෙයක් විය හැකියි. මන්ද අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට එවැනි යෞවනියක පසුබට වීමට ඉඩ තිබෙන බවයි.

“මම ගොඩක් භය වුණා.” එසේ පවසන්නේ තම “සිහිනය” සැබෑ කරගැනීමට උත්සාහ දැරූ නමුත්, අවසානයේදී ගැබ්ගත් එල්වින්යා නම් යෞවනියයි. ගැබ්ගත් බොහෝ යෞවනියන්ට තම ප්‍රශ්නය ගැන විවෘතව කතා කිරීමට කෙනෙක් නැහැ. එසේත් නැත්නම් ඔවුන් ඒ ගැන කතා කරන්න ලජ්ජයි. ඔවුන් තුළ තැවීමක් හා බියක් ඇතිවීම නිසා ඔවුන් මානසිකව වැටීම පුදුමයක් නෙවෙයි. ඇත්තෙන්ම ගැබ්ගත් යෞවනියන් බොහෝදෙනෙක් දරුණු ලෙස මානසික පීඩනයකින් පෙළෙනවා. ජැස්මින් පවසන්නේ “මට ජීවත් වුණත් එකයි, මැරුණත් එකයි” කියායි. *

යෞවනියක් මුලදී කොහොම ප්‍රතික්‍රියා කළත්, ඇගේත්, ඇගේ දරුවාගේත් අනාගතය ගැන යම් යම් තීරණ ගැනීමට ඇයට අනිවාර්යයෙන්ම සිදු වෙයි. යෞවනියන්ට ඥානවන්තව එයාකාරයේ තීරණ ගත හැකි ආකාරය ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.

[පාදසටහන]

^ 12 ඡේ. දිවි නසාගැනීමට ඇති වන පෙලඹීමෙන් වැළකීමට උපකාරවත් වන තොරතුරු සඳහා 2001 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ “ඔබේ ජීවිතය රැකගත යුතු සම්පතකි” යන ලිපි මාලාව බලන්න.

[7වන පිටුවේ කොටුව]

යොවුන් වියේ ගැබ්ගැනීම් පිළිබඳ කනගාටුදායක තොරතුරු

පහත දැක්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ දත්ත වුවද, මෙවැනි දරුණු තත්වයකට ලෝ පුරා යොවුන් වියේ ගැබිනි මව්වරුන් මුහුණ දෙන බව එමගින් කියාපානවා.

● යෞවනියන් 10දෙනෙකුගෙන් හතරදෙනෙක්ම අවුරුදු 20ක් වෙන්නත් කලින් ගැබ්ගන්නවා. ඒ අනුව බලද්දී අවුරුද්දකට 9,00,000කට වඩා වැඩි යෞවනියන් සංඛ්‍යාවක් ගැබ්ගන්නවා.

● යොවුන් මව්වරුන්ගෙන් සියයට 40ක් පමණ අවුරුදු 18න් පහළ අයයි.

● නිසි වයසේ විවාහ වන මව්වරුන්ගේ දරුවන්ට වඩා යොවුන් මව්වරුන්ගේ දරුවන් අතවරවලට ලක්වීමට හා අන් අයගෙන් සැලකිල්ලක් නොලැබෙන තත්වයට පත්වීමට තිබෙන ඉඩ කඩ වැඩියි.

● අවුරුදු 18ට අඩු මව්වරුන් 10දෙනෙකුගෙන් 4දෙනෙක් පමණයි පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ.

● යොවුන් මව්වරුන්ට ලැබෙන දරුවන්ගේ පියවරුන් සියයට 80ක්ම එම මව්වරුන්ව විවාහ කරගැනීමට කැමති වන්නේ නැහැ.

● දරුවා ලැබුණාට පස්සේ දරුවාගේ පියා සමඟ විවාහ වී සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ යොවුන් මව්වරුන්ගෙන් සියයට 30ක් පමණයි. අවුරුදු 25දී පමණ විවාහ වන ස්ත්‍රියකට වඩා යොවුන් වියේදීම විවාහ වන යෞවනියකගේ විවාහය අසාර්ථක වීමට ඇති හැකියාව දෙගුණයක් බව ගණන් බලා තිබෙනවා.

● යොවුන් මව්වරුන්ට ඉපදෙන දරුවන් බොහෝවිට නියමිත කාලයට කලින් ඉපදෙන බවත්, ඉපදෙන විට එම දරුවන්ගේ බර අඩු බවත් සොයාගෙන තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස මේ දරුවන් අන්ධ වීමට හෝ බිහිරි වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම ළදරු මරණවලටද වැඩියෙන් ගොදුරු විය හැකියි. තවද පෙණහලුවල ආබාධ, විවිධ මානසික රෝග, මොළයේ වෙනත් ආබාධ, වචන කියවීමට තිබෙන අපහසුතා සහ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වීම වැනි රෝග ලක්ෂණද ඔවුන් තුළ වැඩියෙන් දක්නට තිබෙනවා.

[හිමිකම් විස්තර]

Taken from Not Just Another Single Issue: Teen Pregnancy Prevention’s Link to Other Critical Social Issues, The National Campaign to Prevent Teen Pregnancy, February 2002 යන ලේඛනයෙනි.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යොවුන් වියේදී ගැබ්ගැනීම්—දස දෙසින්

බ්‍රසීලය: “වර්ෂ 1998දී වයස අවුරුදු 19ට අඩු යෞවනියන් 6,98,439දෙනෙක් බ්‍රසීලයේ රජයේ රෝහල්වල දරුවන් බිහි කළ බවට වාර්තා වෙනවා. . . . මින් 31,857දෙනෙක්ම වයස අවුරුදු 10ත් 14ත් අතර දැරියන්. ඇත්තටම ඒ වයස නම් දරුවෙකු ලැබීමට කොහොමටවත් සුදුසු වයසක් නෙවෙයි කියන එක ගැන ඔබ එකඟ වෙනවාට සැකයක් නැහැ.”—බ්‍රසීලයේ 1999, අගෝස්තු 25වෙනි දා පළ වූ, Folha de S. Paulo පුවත්පතෙන්.

බ්‍රිතාන්‍යය: “බටහිර යුරෝපයේ යොවුන් වියේ මව්වරුන් වැඩියෙන්ම සිටින්නේ බ්‍රිතාන්‍යයේයි. . . . 1997දී එංගලන්තයේ ගැබ්ගත් යෞවනියන්ගේ සංඛ්‍යාව 90,000ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් දරුවන් බිහි කළේ දළ වශයෙන් පහෙන් තුනක් (56,000ක්) පමණයි. ඒ වගේම 1997දී සිටි යොවුන් මව්වරුන්ගෙන් සියයට 90ක්ම (50,000ක් පමණ) විවාහ නොවූ අයයි.”—2002දී පළ වූ Lone Parent Families නම් පොත ඇසුරෙන්.

මැලේසියාව: “වර්ෂ 1998 සිට අවිවාහක මව්වරුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. මෙයින් බොහෝ මව්වරුන් අවුරුදු 16ත් 19ත් අතර අයයි.”—2002 අප්‍රියෙල් 1වෙනි දා New Straits Times–Management Times නම් ප්‍රවෘත්ති පත්‍රය ඇසුරෙන්.

රුසියාව: “පසුගිය අවුරුද්දේ රුසියාවේ උපන් දරුවන්ගෙන් තුනෙන් එකක්ම වාගේ ඉපදුණේ විවාහ නොවූ මව්වරුන්ටයි. මෙම මව්වරුන්ගෙන් සියයට 40ක්ම යොවුන් අයයි. අවිවාහක මව්වරුන්ගේ සංඛ්‍යාව අවුරුදු දහයකින් දෙගුණයක් වී ඇති බව පෙනේ. රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම තත්වය දෙවන ලෝක යුද්ධයේ පැවති තත්වය හා සැසඳිය හැකියි.”—2001 නොවැම්බර් 29වෙනි දා The Moscow Times ප්‍රවෘත්ති පත්‍රය ඇසුරෙන්.

අමෙරිකා එක්සත් ජනපදය: “මෑතක සිට යොවුන් වියේ ගැබ්ගැනීම්වල අඩුවක් දක්නට තිබුණද තවමත් යෞවනියන් 10දෙනෙකුගෙන් 4දෙනෙක් වයස අවුරුදු 20 වෙන්න කලින් එක වතාවක් හෝ ගැබ්ගන්නවා.”—Whatever Happened to Childhood? The Problem of Teen Pregnancy in the United States, 1997 සඟරාව ඇසුරෙන්.

[5වන පිටුවේ පින්තූරය]

බෙදුණු පවුල් යොවුන් මව්වරුන් බිහි කිරීමේ තෝතැන්නක්

[6වන පිටුවේ පින්තූරය]

ලිංගිකව එක්වීමෙන් ඇති වන ප්‍රතිවිපාකය ගැබ්ගැනීමක් බව ඇතැම් යෞවනියන් දන්නේ නැහැ

[6වන පිටුවේ පින්තූරය]

ගැබ්ගැනීමක් යෞවනියටත් ඇගේ පවුලේ අයටත් තදින් බලපායි