Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

කුණු ගොඩත් වටිනවා

“කුරුල්ලන් හා ක්ෂීරපායී සතුන් බොහෝමයක් කෑම සොයා යන්නේ කුණු ගොඩවල් ගාවටයි. කුණු ගොඩවල් නොතිබුණා නම් සමහර ප්‍රදේශවල සිටින ඇතැම් සතුන් වඳ වී යන්නත් ඉඩ තිබෙනවා” කියා ජීව විද්‍යාඥ විල්ෆ්‍රීට් මියර් පවසනවා. කුරුලු විශේෂ 70ක් හා ක්ෂීරපායී සතුන් විශේෂ 50ක් පමණ කුණු කසළ ආහාරයට ගන්නවා කියා ලොව පුරා කළ අධ්‍යයනයකින් හෙළි වූ බව එක්තරා පුවත්පතක (Der Spiegel) වාර්තා වුණා. කුණු ගොඩවල් ගාව ආහාර දාම ඇති වෙලා. පල් වෙන කුණු ගොඩේ කෘමීන් වැජඹෙනවා. කුරුල්ලන් හා කුඩා ක්ෂීරපායී සතුන් මෙම කෘමීන්ව ආහාරයට ගන්නවා. උන්ද උකුස්සෝ, ගිජු ලිහිණියෝ වැනි පක්ෂීන්ගේ හා වෙනත් මාංස භක්ෂක සතුන්ගේ ගොදුරු බවට පත් වෙනවා. ස්වභාවයෙන්ම ලජ්ජාශීලී සමහර පක්ෂීන් පුදුමයට මෙන් කුණු මඩින යන්ත්‍රවල මහා ඝෝෂාවටවත් කුණු ගොඩවල් ළඟට යන එන වෙනත් සතුන්ට හා මිනිසුන්ටවත් භය නැහැ.

අලි හොරු

දැන් මිනිස්සු විතරක් නෙවෙයි අලිත් මංකොල්ල කන්න පුරුදු වෙලා කියා බැංකොක් පෝස්ට් නම් පුවත්පතේ සඳහන් වුණා. බැංකොක්වල නැඟෙනහිරින් පිහිටි කැලෑවල සිටින අලි, බඩගින්න නිසා පාරට බැහැලා උක් ගස් ප්‍රවාහනය කරන ට්‍රක් රථ හරස් කරගෙන උක් හොරකම් කරනවා. ඇං ලුයි නායි සත්වෝද්‍යානයේ අලි 130ක් පමණ සිටිනවා. නමුත් පෑවිල්ල නිසා උන්ට අවශ්‍ය තරම් ආහාර සොයාගැනීමට නොහැකියි. ඒ හින්දා උන් කැලෑවෙන් එළියට ඇවිත් කෑම සොයනවා. සත්වෝද්‍යානයේ ප්‍රධානියා වන යූ සේනාතම් කියා සිටින්නේ සමහර අලි උක් වතුවලට කඩා වදිනවා කියලයි. අලි ගැන අනුකම්පාවක් දැනිලා සමහර ට්‍රක් රියැදුරන් පාරේ උක්ගස් දමා යනවා. සමහර අලි ඒවා කනවා.

ප්‍රතිජීවක එපා

ගොවිපොළවල ඇති කරන සතුන්ට කිසිම ලෙඩක් නැති විට උන්ට විශාල පරිමාණයෙන් ප්‍රතිජීවක ලබා දීමේ අන්තරාව ගැන දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දිගු කලක් තිස්සේ අනතුරු අඟවා තියෙනවා. ස්පාඤ්ඤයේ පුවත්පතක් වන ABCහි පවසන්නේ “ගොවිපොළවල ඇති කරන සතුන්ව ඉක්මනින් ලොකු කිරීම” සඳහා උන්ගේ කෑමට නිතරම වාගේ මෙම ඖෂධ එකතු කරනවා කියායි. ඩෙන්මාර්ක්හි මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වුණේ ප්‍රතිජීවක නොමැතිව සතුන්ව ඇති කිරීමේ වාසියක් තිබෙන බවයි. සතුන්ගේ කෑමට ප්‍රතිජීවක එකතු නොකළ විට කුකුළන්ගේ වර්ධනයේ වෙනසක් සිදු වුණේ නැහැ. ඒ වගේම, ඌරන් ඇති කිරීම සඳහා වැය වූ මුදල වැඩි වුණත් එය වැඩි වුණේ සියයට 1කින් පමණයි. WHO ඩෙන්මාර්ක්හි ජනයාගේ මෙම වෑයම ප්‍රශංසාවට ලක් කර ඇති අතර අනිත් රටවලටද උනන්දු කරන්නේ ඔවුන්ව ආදර්ශයට ගන්න කියායි. එසේ කිරීම “මහජනයාගේ සෞඛ්‍යයට හිතකර වන” බවත් පුවත්පතේ තවදුරටත් සඳහන් වී තිබුණා.

චෙස් ක්‍රීඩකයන්ගේ හොර වැඩ

“ගොඩක් චෙස් ක්‍රීඩකයන් චෙස් නීති ගණනකට ගන්නේ නැහැ” කියා ජර්මන් පුවත්පතක් (Frankfurter Allgemeine Zeitung) වාර්තා කරනවා. ඉතා දක්ෂ, අද්දැකීම් ලත් චෙස් ක්‍රීඩකයෙකුව පරාජයට පත් කළ ආධුනික ක්‍රීඩකයෙක් සම්බන්ධ අද්දැකීම මෙයට හොඳ නිදසුනක්. නමුත් පසුව දැනගන්න ලැබුණා ඔහුගේ දිගු කෙස් වැටිය අස්සේ මයික්‍රෆෝනයක්, හෙඩ්ෆෝනයක් හා කැමරාවක් සඟවා තිබුණ බව. ඔහු වෙනත් කාමරයක සිටි චෙස් ක්‍රීඩකයෙක් සමඟ පරිගණකයක් මාර්ගයෙන් අදහස් හුවමාරු කරගනිමින් සිටියා. තවත් අය, වැසිකිළියට ගිහින් දොර වසාගෙන ඉතා කුඩා පරිගණකයක් අතට ගෙන ගත යුතු ඊළඟ පියවර ගැන සොයා බලනවා. අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කරන අයත් හොර වැඩ කරනවා. සමහර අය අන්තර්ජාලය ඔස්සේ වෙනත් කෙනෙක් සමඟ තරඟ වදින ගමන් තමන්ගේ පරිගණකයේ තිබෙන චෙස් ක්‍රීඩා වැඩසටහනක් උදව්වට ගන්නවා. අන්තර්ජාලයේ ක්‍රීඩා කරන අය තවත් උපක්‍රමයක් පාවිච්චි කරනවා. පුද්ගලයන් දෙදෙනෙක් තරඟ වදින බව පෙන්වීමට එකම පුද්ගලයා නම් දෙකක් ඇතුළත් කරනවා. ඊටපස්සේ, හැමවිටම එක් කෙනෙකුට පැරදෙන්න සලස්වන අතර අනිත් කෙනාට ශ්‍රේණිගත වීම්වලට අනුව ක්‍රමානුකූලව ඉහළ ස්ථානයක් හිමි කරගන්න සලස්වනවා. එම පුවත්පතේ තවදුරටත් පෙන්වන්නේ මෙහෙමයි. “බොහෝදෙනෙකුට අවශ්‍ය වෙලා තියෙන්නේ ජයග්‍රාහකයාට ප්‍රදානය කරන මුදල් ලබාගැනීමට නෙවෙයි. හැමවිටම වාගේ ඔවුන් මේ වගේ හොර වැඩ කරන්න පෙලඹෙන්නේ අනුන් ඉදිරියේ කැපිලා පේන්න, එහෙමත් නැත්නම් ප්‍රසිද්ධිය ලබන්න තිබෙන ආශාව නිසයි.”

ඉගෙනීමට වයස බාධාවක්ද?

“[කෙන්යාවේ එක්තරා ප්‍රාන්තයක ප්‍රාථමික පාසැලක] වයස අවුරුදු හයේ දරුදැරියන් ඉගෙනගන්නා පන්තියක හැම ශිෂ්‍යයෙකුටම වඩා කැපිලා පේන ශිෂ්‍යයෙක් ඉන්නවා” කියා නයිරෝබිහි ඩේලි නේෂන් නම් පුවත්පතේ වාර්තා කරනවා. මෑතකදී, පළමුවෙනි ශ්‍රේණියට 84 හැවිරිදි මනුෂ්‍යයෙක් ඇතුළත් වෙලා. “ඒ ඔහුට බයිබලය කියවන්න තියෙන ආශාව නිසයි.” ඔහුගේ මුණුපුරන් හා මිනිපිරියන් ඊට වඩා ඉහළ ශ්‍රේණිවල ඉගෙනගනිමින් සිටියත් ඔහු ඒ පන්තියට සහභාගි වෙනවා. ඔහු මෙසේ කියා තිබුණ බව නේෂන් පුවත්පතේ වාර්තා වුණා. “සමහර අය මට බයිබලය ගැන ගොඩක් දේවල් කියලා දෙනවා. මම දන්නේ නැහැ ඒ කියලා දෙන දේවල් ඇත්තද කියලා. ඉතින් මං හිතුවා, මමම ඒ ශුද්ධ පොත කියවලා බැලුවොත් හොඳයි කියලා.” පාසැල් නිල ඇඳුමකින් සැරසී, පාසැලට අවශ්‍ය අනිත් ආම්පන්න රැගෙන යන ඔහු වෑයම් කරන්නේ හැකි තරම් දුරට පාසැලේ නීති රීති සමුදායට කීකරු වෙන්නයි. හැබැයි ඔහුට යම් තරමක නිදහසක් දීලා තිබෙනවා. අනිත් ශිෂ්‍යයන් ව්‍යායාම්වල යෙදෙන විට හෝ දුව පැන සෙල්ලම් කරන විට “වැඩිය මහන්සි නොවී එහාට මෙහාට ඇවිද ඇවිද විවේකීව ඉන්න ඔහුට ඉඩ දීලා තියෙනවා.”

2003 භූමිකම්පා මාරාන්තිකයි

“එක්සත් ජනපදයේ භූ විද්‍යාව හා සම්බන්ධව සමීක්ෂණ පවත්වන ආයතනය (USGS) වාර්තා කළේ, 1990 සිට මේ දක්වා භයානකම භූමිකම්පා සිදු වුණේ 2003 වසරේදී කියායි. එම භූමිකම්පා 2002දී ඇති වුණ භූමිකම්පාවලට වඩා 25 ගුණයක් දරුණු වූවා” කියා එම ආයතනය කියා සිටියා. “වර්ෂ 2002දී ලෝ වෙසෙන ජනයාගෙන් 1,711ක් භූමිකම්පා හේතුවෙන් මිය ගියා.” නමුත් ගිය අවුරුද්දේ ඒ හේතුවෙන් 43,819ක් මිය ගියා! එම සංඛ්‍යාවෙන් 41,000ක් මිය ගියේ ඉරානයේ. ඒ දෙසැම්බර් 26වන දා බෑම් නුවරේ 6.6ක ප්‍රබලත්වයක් තිබූ භූමිකම්පාවක් ඇති වූ විටයි. දරුණුතම භූමිකම්පාව ඇති වුණේ සැප්තැම්බර් 25වන දින ජපානයේ හොකයිඩෝ නුවරේදීයි. එයට 8.3ක ප්‍රබලත්වයක් තිබූ අතර “දරුණු” භූමිකම්පාවක් හැටියට ගණන් ගත හැකි වූ එකම භූමිකම්පාව එයයි. වාර්තාවේ හෙළි කළ පරිදි, “USGS ආයතනය විසින් දවසකට භූමිකම්පා 50ක් . . . සොයාගනු ලබනවා. සාමාන්‍යයක් හැටියට ගත්තොත්, ලෝ වටා සෑම වසරකම (7.0 සිට 7.9 දක්වා වූ ප්‍රබලත්වයක් ඇති) විශාල භුමිකම්පා 18ක්ද (8.0 හෝ ඊට වැඩි ප්‍රබලත්වයක් ඇති) දරුණු භූමිකම්පාවක්ද සිදු වෙනවා. සෑම වසරකදීම භූමිකම්පා මිලියන ගණනක් ලොව පුරා ඇති වෙනවා. නමුත් ඉන් බහුතරයක්ම ඒ තරම් ප්‍රබල නොවන නිසා හා ඉතා පිටිසර පළාත්වල සිදු වන නිසා ඒ පිළිබඳව අපට දැනගන්නට ලැබෙන්නේ නැහැ.”

ඇයි මේතරම් බාලාපචාර?

පවුල් ජීවිතය කඩාකප්පල් වීම හේතුවෙන් දරුවන් වැඩි වැඩියෙන් දැන් අපරාධවලට පෙලඹෙන බව ප්‍රවීණයන්ගේ විශ්වාසයයි. වීකෙන්ඩ් විට්නස් නම් දකුණු අප්‍රිකානු පුවත්පතේ පෙන්වන ආකාරයට, අපරාධවලට පෙලඹෙන දරුවන්ගෙන් බහුතරයක්ම දෙකඩ වූ පවුල්වල හෝ දෙමව්පියන් දෙදෙනාම රැකියාවල නිරත වීම හේතුවෙන් දරුවන්ගේ ඕනෑ එපාකම් ගැන බලන්න “වෙලාවක් නැති” පවුල්වල අයයි. අපරාධ විද්‍යාව හදාරන තැනැත්තියක් වන ඉර්මා ලබුෂ්කාන් පෙන්වා දුන් ආකාරයට, නහඹර වියේ බොහෝ දරුවන් “පවුලක්” කියන්නේ මොකක්ද කියන එකවත් දන්නේ නැහැ. “ඔවුන්ට ආදරය අවශ්‍යයි. අනිත් අයගේ පිළිගැනීම අවශ්‍යයි.” ඉතින් ඒ අවශ්‍ය දේ පවුලෙන් නොලැබෙන විට ඔවුන් වෙනත් අයගෙන් එය ලබාගන්න උත්සාහ කරනවා. අපරාධ කල්ලිවලට ඔවුන් පහසුවෙන්ම හසු වෙන්නේ ඔවුන්ට එවැනි පිළිගැනීමක් ලැබෙනවා කියා හැඟෙන නිසයි. මනෝ වෛද්‍යවරියක් වන සිසීලියා ජැන්සන් දෙමව්පියන් ගැන මෙසේ සඳහන් කළා. “ධනය, කීර්තිය, සාර්ථකත්වය පසුපස හඹා යන නිසා පවුලේ සාමාජිකයන්ට මොනවා වෙනවාද කියා ඔවුන් දන්නේ නැහැ.” ලබුෂ්කාන් හා ජැන්සන් යන දෙදෙනාම යෝජනා කරන්නේ “අතීතයේ පවුල් සාමාජිකයන් අනුගමනය කළ සාරධර්ම වෙතට නැවත හැරෙන්න” කියායි. “සතුටින් පිරි සාමාන්‍ය පවුල් ජීවිතයක් තරම් වටිනා දෙයක් තවත් නැහැ” කියා එම වාර්තාවේ අවසානයට සඳහන් වෙනවා.