Skip to content

පටුනට යන්න

“යෙහෝවා, ඔබ මාව අත්හැරියේ නැහැ!”

“යෙහෝවා, ඔබ මාව අත්හැරියේ නැහැ!”

“යෙහෝවා, ඔබ මාව අත්හැරියේ නැහැ!”

පැවසුවේ නෙලි ලෙන්ස්

“ඔයාලා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද?” මම ඒ ප්‍රශ්නය ඇසුවේ අපේ නිවසට ආ පුද්ගලයන් දෙදෙනෙකුගෙන්. “ඔව්” කියා ඔවුන් උත්තර දුන්නා. එතකොට මම කිව්වා, “මමත් යෙහෝවාගේ සාක්ෂිකාරියක්!” කියලා. එතකොට මට වයස අවුරුදු 13යි. මම රාජ්‍ය ශාලාවට ගියේ නැහැ. මගේ දෙමාපියන් සාක්ෂිකරුවන් නෙමෙයි. එහෙමනම් ඇයි මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් කියලා කිව්වේ?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොහිටින්න අද මම ජීවතුන් අතර නැහැ. මගේ අම්මා කැනඩාවේ කියුබෙක්හි මොන්ට්‍රියෙල් කියන නගරයේ ජීවත් වෙද්දී තමයි ඇයට මාව ලැබෙන්න හිටියේ. ඒ වෙන විට ඇය වයස අවුරුදු දහහතක දැරියක්. ඇගේ පවුලේ අය ගබ්සාවක් කරන්න කියා ඇයට පෙරැත්ත කළා. ඇය එයට එකඟ වුණා.

මගේ අම්මා ගබ්සාව කරගන්න යෑම සඳහා වැඩ කරන ස්ථානයෙන් නිවාඩුවක් ඉල්ලා තියෙනවා. ඇගේ ප්‍රධානියා යෙහෝවාගේ සාක්ෂිකාරියක්. එයාට කොහොමහරි දැනගන්න ලැබිලා තියෙනවා අම්මාට නිවාඩුවක් අවශ්‍ය ඇයි කියලා. ජීවිතය කොයි තරම් වටිනවාද කියලා ඈ කෙටියෙන් මගේ අම්මාට කියා දීලා. (ගීතාවලිය 139:13-16) අම්මා සායනයට යන ගමන් ඇගේ ප්‍රධානියා කියූ දේ ගැන කල්පනා කළා. ගබ්සාව නොකර ඉන්න ඇය තීරණයක් ගත්තා. මම 1964දී ඉපදුණාට පස්සේ අම්මා මාව අනාථ නිවාසයකට භාර දුන්නා.

බයිබල් සත්‍යය මට මුලින්ම ලැබුණ ආකාරය

මට වයස අවුරුදු දෙකක් විතර වෙද්දී මගේ අම්මා දෙවෙනි ස්වාමිපුරුෂයා සමඟ ඇවිත් මාව අනාථ නිවසෙන් අරගෙන ගියා. සෙන් මාර්ගරට් ඩ්‍යු ලැක් මැසන් නගරයේ ඉන්නකොට එයාලා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. සභාවේ රැස්වීම්වලටත් ගියා. ඒත් වැඩි කාලයක් යන්න කලින් අපි බෝබ්‍රියැන් නගරයට ගියා. එහිදී මගේ දෙමාපියන් කරමින් සිටි බයිබල් පාඩම නැවැත්තුවා.

අවුරුදු කිහිපයක් ගියාට පස්සේ එයාලා ආයෙත් පාඩම් කරන්න පටන්ගත්තා. පාරාදීස පොළොවක් ගැන බයිබලයේ තියෙන බලාපොරොත්තුව ගැන ඒ අය කතා කරනකොට මම අහගෙන හිටියා. (ලූක් 23:43) මට යෙහෝවා ගැන ලොකු ප්‍රේමයක් ඇති වුණා.

ඒත්, එක දවසක් අම්මා මට කිව්වා එයාලා සාක්ෂිකරුවන් සමඟ දැන් පාඩම් කරන්නේවත් ආයෙත් රාජ්‍ය ශාලාවට යන්නේවත් නැහැ කියලා. එහෙම කියපු හැටියේම මම සතුටු වුණා. අවුරුදු අටක ළමයෙක් හැටියට සමහර වේලාවට රැස්වීම් ටිකක් දිග වැඩියි කියලා මට හිතුණා. එදා හවස යාච්ඤාවෙන් යෙහෝවාට කතා කරන්න මට ඕනේ වුණා. ඒත් යෙහෝවා මට ඇහුම්කන් දෙයිද කියලා මගේ හිත මට වද දුන්නා.

ඊළඟ ඉරිදා හවස මම දැක්කා යෙහෝවාගේ සාක්ෂිකරුවන් වූ අපගේ අසල්වාසීන්, එයාලාගේ රාජ්‍ය ශාලාවේ රැස්වීමට යනවා. මම අඬමින් දෙවිගෙන් ඇහැව්වා, “එයාලගේ ළමයින්ට රැස්වීම්වලට යන්න පුළුවන් නම් ඇයි මට යන්න බැරි?” කියලා. එදා මට එහෙම සිතුණත් පසු කාලයකදී ගීතාවලිය 33:18, 19හි සඳහන් ‘බලව, යෙහෝවාට භය ඇත්තන් සහ ඔහුගේ කරුණාව බලා සිටින්නන් කෙරෙහි . . . ඔහුගේ ඇස් යොමු කොට තිබේ’ යන වදන් මගේ ජීවිතයේදී සත්‍යයක් වූ ආකාරය ඔබ දකීවි.

නැවත රාජ්‍ය ශාලාවට

සති තුනකට පසුව මම අපේ අසල්වැසි නිවසකට ගියා. ඒ ළමයින්ගේ අම්මා වන ලිලියන්ට මම කිව්වා මට රැස්වීම්වලට යන්න ඕනේ කියලා. මගේ අම්මා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ කිසිම සම්බන්ධයක් තියාගන්න කැමති නැති නිසා එය කරන්න බැරි දෙයක් කියා ඇය මට පැහැදිලි කළා. ඒත් මම පෙරැත්ත කළා. එනිසා ඇය මාත් සමඟ ඇවිත් එයාලාත් එක්ක මාව රැස්වීම්වලට අරගෙන යන්නද කියා අම්මාගෙන් ඇහැව්වා. අම්මා ඊට එකඟ වුණාම, මට පුදුමත් හිතුණා. රැස්වීම්වලින් හොඳ ප්‍රතිපත්ති ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා අම්මා කිව්වා. කොහොම කොහොමහරි මම හැම ඉරිදාම රැස්වීමට ගියා.

අවුරුදු තුනක් විතර මට රැස්වීම්වලට සහභාගි වෙන්න පුළුවන් වුණා. ඒත් මට අවුරුදු 11ක් වෙනකොට මගේ දෙමාපියන් දික්කසාද වුණා. අම්මයි මායි වෙන තැනක පදිංචියට ගියා. ආයෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ තිබූ සියලුම සම්බන්ධකම් නැති වුණා.

බලාපොරොත්තු නොවූ හමුවීමක්

එක දවසක් මම අපේ ගෙදර පඩි පෙළ උඩ ඉඳගෙන ඉන්නකොට එඩී බෙසන් සහ ඩොන් ෆිෂ කියන සාක්ෂිකරුවන් දෙන්නා මගේ ළඟට ඇවිත් මගේ දෙමාපියන් ගෙදර ඉන්නවාද කියලා ඇහැව්වා. මම නැහැයි කිව්වාම එයාලා යන්න ගියා. මම පස්සෙන් දුවගෙන ගියා. එතකොට තමයි මේ ලිපිය ආරම්භයේ සඳහන් දෙබස ඇති වුණේ.

මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් කියා කිව්වහම ඔවුන් දෙන්නා පුදුම වුණා. පුදුම වෙන එක තේරුම්ගන්න පුළුවන්. මගේ තත්වය පැහැදිලි කර එදා හවස ආයෙත් එන්න කියලා මම එයාලාගෙන් ඉල්ලුවා. සාක්ෂිකරුවන් අපිව බලන්න ඒවි කියලා මම මගේ අම්මට කිව්වාම එයා හොඳටම කලබල වුණා. ඒ අයව අපේ නිවසට වැද්දගන්නේ නැහැයි කියා ඈ කිව්වා. එයාලා එන්න කලින් ඇය ගෙදරින් පිට වෙන්න සූදානම් වුණා. මම අඬලා අම්මට කිව්වා ඉන්න කියලා. ඇය යන්න ලෑස්ති වෙනකොටම දොරේ සීනුව නාද වුණා. එඩී බෙසන් ඇවිත් හිටියා. අම්මා බයිබල් පාඩමක් කරන්න කැමති වුණාම මට දැනුණ සතුට කොච්චරද කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද?

මට ආයෙත් සභා රැස්වීම්වලට යන්න පුළුවන් වුණා! අවුරුද්දක් යන්නත් කලින් අම්මා ආයෙත් පාඩම නැවැත්තුවා. මේ වතාවේ මට සාක්ෂිකරුවන් සමඟ මොනම සම්බන්ධයක්වත් තියාගැනීම තහනම් කෙරුවා. ඇයට සොයාගන්න පුළුවන් වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හැම ප්‍රකාශනයක්ම ඇය විසි කළා. මම කොහොමහරි බයිබලයකුත්, ගීතිකා පොතකුත්, මුරටැඹ වෙළුම් දෙකකුත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත් දෙකකුත් සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය * නමැති මාතෘකාවෙන් යුත් පොතකුත් හංගගත්තා. මම ගොඩාක් යෙහෝවාට ආදරේ නිසා, දැන් මම මොනවාද කරන්න ඕනේ කියලා මගේ අන්තිම පාඩමේදී මම එඩී බෙසන්ගෙන් ඇහැව්වා. මට තනියම පාඩම කරන්නත් නිතරම යාච්ඤා කරන්නත් ඔහු දිරිගැන්නුවා. යෙහෝවා මාව බලාගන්න බවට විශ්වාසයක් ඔහු මා තුළ ඇති කළා. එතකොට මට වයස අවුරුදු 14ක් විතර ඇති.

මගේම “රැස්වීම්” පැවැත්වීම

එදායින් පසු මම හැම ඉරිදාවකම මගේ කාමරයට ගිහිල්ලා මම රැස්වීමට සහභාගි වෙනවා වගේ රඟපානවා. පටන්ගන්නකොටත් අවසන් කරනකොටත් “ත්‍යාගය දෙස නෙත් යොමන්න” කියන ගීතිකාව ගායනා කළා. එම ගීතිකාව විතරයි මට මතක තිබුණේ. අදටත් මේ ගීතිකාව ගයනකොට මගේ ඇස්වලට කඳුළු එනවා. ඒ වගේම මා ළඟ තිබුණ මුරටැඹ වෙළුම්වලින් ලිපියක් පාඩම් කළා. මම මගේ “රැස්වීම” යාච්ඤාවකින් අවසන් කළා. මේ නිසා මම සාක්ෂිකරුවන්ව ඇසුරු නොකළත් යෙහෝවා මා ළඟ ඉන්නවා කියලා මට හැඟුණා.

මට අවුරුදු 17ක් වෙනකොට අම්මයි මායි පදිංචිය සඳහා මොන්ට්‍රියෙල් නගරයට ගියා. ඒ කාලය ගෙදර ඉතාමත් දුෂ්කර සහ සැනසීමක් නොතිබුණු කාලයක්.

මාව අත්හැරියේ නැහැ!

එක දවසක් අම්මා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්ට ඔබට හැක යන පොත යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගත්තා. මම ගෙදර ආ විට මේසය උඩ එම පොත තියෙනවා දැක්කා. මම එය රැගෙන බැලුවා. එම පොතේ යෙහෝවා යන දෙවිගේ නම තියෙනවා දැක්කාම මට ඇඬුණා. “යෙහෝවා, ඔබ මාව අත්හැරියේ නැහැ!” කියා පවසමින් මම නිහඬව යාච්ඤා කළා.

මට මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ ආශ්‍රය කරන්න අවශ්‍ය වුණා. ඒත් මේක කොහොමද කරන්නේ? අපේ එක අසල්වැසියෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඇති කියලා මගේ අම්මා කිව්වා. ඉතිං මම වැඩට යන ගමන් අපේ අසල්වැසියාගේ නිවසට ගිහිල්ලා දොරේ සීනුව නාද කළා. ඔහු නිදිමතේ ඇවිල්ලා දොර ඇරියා. මම යෙහෝවාගේ සාක්ෂිකාරියක්. මට බව්තීස්ම වෙන්න ඕනේ කිව්වාම ඔහු ගොඩක් පුදුම වුණා! මාත් සමඟ බයිබලය පාඩම් කිරීමට ඔහු යොසා මීරන් කියන සහෝදරියව එව්වා. අම්මා ආයෙත් මම බයිබලය පාඩම් කරනවාට විරුද්ධ වුණා. සාක්ෂිකාරියක් වෙන්න නම් අවුරුදු දහඅටක් වෙනකම් මම ඉන්න ඕනේ කියා ඇය කිව්වා.

මුල් තැන දෙන්නේ මගේ ආශාවටද? නැත්නම් යෙහෝවාටද?

මගේ ගෙදර තත්වය එන්න එන්නම දරුණු වෙනවා කියලා මගේ වැඩපොළේ ස්වාමියාට තේරුණා. ඔහු මට නිතර, ඔහුත් ඔහුගේ භාර්යාවත් සමඟ සති අන්තය ගත කිරීමට ආරාධනා කළා. අපි හුඟාක් අවස්ථාවල අශ්වයන්ගේ පිට උඩ ගියා. මොකද මම අශ්වයන්ට හුඟාක් ආසයි. මේ විදියට ඔවුන් සමඟ කාලය ගත කරද්දී මට දෙමාපියන්ගේ අඩුව දැනුණේ නැහැ.

මගේ ස්වාමියාත් ඔහුගේ භාර්යාවත් මට හුඟාක් ආදරයෙන් සැලකුවා. ඔවුන් කැමති වුණා මම ඔවුන්ගේ ගෙදර ඇවිල්ලා නතර වෙනවාට. මගේ ස්වාමියා මට දෙන්න හැදුවේ මම කවදත් ආස කරන දේ. ඒ තමයි ප්‍රේමයෙන් පිරුණු පවුල් ජීවිතයක්. නමුත් කොන්දේසියක් පිටයි. ඒ, මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කිරීම නතර කරනවා නම් විතරයි. ඔවුන් කළ යෝජනාව ගැන හිතා බලන්න මට සතියක් කල් දුන්නා. ඒත් මට ඒ ගැන හිතන්න දවසක්වත් ඕනේ වුණේ නැහැ. මම එයාලට මගේ උත්තරය ඉක්මනින්ම කිව්වා. යෙහෝවා මාව කවදාකවත් අත්හැරියේ නැහැ. මට ඔහුව අත්හරින්නත් බැහැ.

දෙවිට සේවය කිරීම

ගෙදර මට ප්‍රශ්න තිබුණ නිසා මගේ දෙවෙනි තාත්තා ළඟට මම ගියා. මගේ බයිබල් පාඩම කරගෙන යන්න කියා ඔහු මට උනන්දු කළා. වර්ෂ 1983 දෙසැම්බර් 17වෙනි දා මට වයස අවුරුදු 19ක් වන විට මම බව්තීස්ම වුණා. මගේ බව්තීස්ම දවසේ එඩී බෙසනුත් ඇවිත් හිටිය එක ගැන මම හුඟාක් සතුටු වුණා. දැන් මමත් යෙහෝවාගේ සාක්ෂිකාරියක් කියන එක ගැන නම් ඔහුට කිසිම සැකයක් නැහැ!

හැබැයි මම බව්තීස්ම වුණාට පස්සේ මගේ දෙවෙනි තාත්තා වෙනස් වුණා. මම යාච්ඤා කරනවා ඔහු දැක්කොත් හයියෙන් කතා කරනවා. නැත්නම් මට බඩුවලින් දමලා ගහනවා! ඒ වගේම තවදුරටත් ඉගෙනීමේ කටයුතුවල නිරත වෙන්න කියලා ඔහු මට බල කළා. එසේ කළා නම් පූර්ණ කාලීන සේවකයෙක්, ඒ කියන්නේ පුරෝගාමියෙක් වීමේ මගේ ඉලක්කයට බාධාවක් වීමට ඉඩ කඩ තිබුණා. අන්තිමේදී මට ගෙදරින් යන්න කියලා ඔහු කිව්වා. ඔහු මට ඩොලර් 100ක චෙක්පතක් දී මම එම චෙක්පත මාරු කරන දවසට යෙහෝවා මාව රැකබලා ගන්නේ නැහැයි කියන කාරණය මම තේරුම්ගනීවි කියලා ඔහු කිව්වා.

මම 1986 සැප්තැම්බර් 1වෙනි දා පුරෝගාමි සේවය පටන්ගත්තා. මා ළඟ තවම අර චෙක්පත තියෙනවා. අද වෙන තුරුත් එය මාරු කළේ නැහැ! සමහර අවස්ථාවල කාර් එකක් නැතුව ගම්බද පළාත්වල පුරෝගාමි සේවය කරන එක ලෙහෙසි නැහැ. නමුත් මම සේවය කළ සභාවේ අය මට හුඟාක් උදව් උපකාර කළා.

කාලයක් යන විට කරුණාවන්ත ක්‍රිස්තියානි පුරුෂයෙක් වන රූබන් ලෙන්ස්ව මට මුණගැසුණා. අපි 1989දී විවාහ වුණා. කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රදේශයට අපි පදිංචියට ආවේ 2002දීයි. අද රූබන් එහි මිල්ටන් නගරයේ තිබෙන අපේ සභාවේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා. යෙහෝවා මට දුන් ආශීර්වාදවලින් ලොකුම ආශීර්වාදය තමයි අපේ විවාහය. අපේ දුව එරිකා 1993දී ඉපදුණා. ඒ වෙනකම් මම පුරෝගාමි සේවය කළා. අවුරුදු තුනකට පස්සේ අපේ පුතා මීකා ඉපදුණා. හුඟ කාලයක් තනිකමෙන් හිටිය මට, මං වගේම යෙහෝවාට ආදරය කරන පවුලක් ලබා දීමෙන් යෙහෝවා මට ආශීර්වාද කළා. එය කියන්න බැරි තරම් ආශීර්වාදයක්.

මගේ කුඩා කාලයේදී යම් කාලයක් යෙහෝවාගේ සෙනඟව ආශ්‍රය කරන්න බැරිව ගියත්, දෙවි කෙරෙහි බලා සිටීමවත් පාරාදීස පොළොවක සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුවවත් මම අත්හැරියේ නැහැ. (යොහන් 3:36) යෙහෝවාත් මාව ‘අත්හැරියේ නැති’ එක ගැන මම ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.

[පාදසටහන]

^ 17 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයන්ය.

[15වන පිටුවේ පින්තූරය]

මගේ වැඩපොළේ ස්වාමියාගේ අශ්වයාගේ පිට උඩ ගමන් කරමින්

[15වන පිටුවේ පින්තූරය]

නෙලි ලෙන්ස් තම ස්වාමිපුරුෂයා වන රූබන් සහ දරුවන් වන එරිකා සහ මීකා සමඟ