Skip to content

පටුනට යන්න

යොවුන් වියේදීම අම්මා කෙනෙක් වෙලා

යොවුන් වියේදීම අම්මා කෙනෙක් වෙලා

යොවුන් වියේදීම අම්මා කෙනෙක් වෙලා

“මම යාළු වෙලා හිටියේ කඩවසම් කොල්ලෙක් එක්ක. ඔහුට සල්ලි තිබුණා. අපිට හිතේ හැටියට හැම තැනම ගිහින් විනෝද වෙන්න පුළුවන් වුණා. මට එක මාසයක් මාස් ශුද්ධිය හැදුණේ නැහැ. මට තරු පෙනුණා. මම දැනගත්තා මොකක් හරි වෙනසක් වෙලා කියලා. මම කොහොමද මේ ගැන අම්මට කියන්නේ? මට එතකොට අවුරුදු 16ක් විතරයි. මට එහෙම වුණේ කොහොමද? මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා.”—නිකෝල්.

දැන් නිකෝල්ට * වයස 35ක් විතර ඇති. ඇය ඕනෑම දෙයකට මුහුණ දෙන්න ශක්තිය ඇති, කඩිසර මවක්. ඇයට දැන් දරුවන් තුන්දෙනෙක් සිටිනවා. ඇගේ වැඩිමල් දරුවාට අවුරුදු 20යි. අවුරුදු ගණනාවකට කලින් ඇය සිටියේ ඉතා අසරණ වූ තත්වයකයි. ඇයට බොහෝ අභියෝග තිබුණා. බැරෑරුම් තීරණ ගන්නට සිදු වුණා. එමෙන්ම අනාගතයද අවිනිශ්චිත තත්වයකයි තිබුණේ. ඇය ඒ තත්වයේ සිටි යෞවනියන් මිලියන ගණනක් අතරින් එක් කෙනෙක් විතරයි.

ඇගේ යහළුවන් ඇඳුම් පැළඳුම් හා පන්තියේ විෂයන්වලට හොඳ ලකුණු ලබාගන්නේ කොහොමද කියා ළත වෙද්දී නිකෝල්ගේ ඔළුවේ වැඩ කළේ වෙන වෙන දේවල්. නිකෝල් දැන් ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ. නමුත් ඒ කාලයේ ඇයට මහත් කෝපයකුත්, බියකුත් දැනුණා. ඒ විතරක් නෙමෙයි යථාර්ථයට මුහුණ දෙන්නත් ඇයට බැරි වුණා. ඒ නිසා ඇයට ලොකු අසරණකමකුත් දැනුණා. කෙසේවෙතත් නිකෝල්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන් වූ තත්වයකට පත් වුණේ නැහැ. ඇගේ පවුලේ අය හරිම ප්‍රේමණීයයි. ඇගේ දෙමාපියන් උසස් සාරධර්ම ඇගේ සිතට කාවද්දන්න උත්සාහ කළා. මේවා ටික කලකට අමතක කිරීම නිසා ඇයට ප්‍රතිවිපාක විඳින්න සිදු වුණ බව ඇත්තයි. එනමුත් ඒ උසස් සාරධර්මම නැවතත් මතක් කිරීමෙන් ඇයට හැකි වුණා පසු කාලයකදී සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කරන්න. “කිසිදා බලාපොරොත්තු අත්හරින්න එපා” කියා තමන්ටම කියාගනිමින් ඇය ධෛර්යයෙන් යුතුව ජීවිතයට මුහුණ දුන්නා.

අභාග්‍යයකට මෙන් සෑම යොවුන් මවකටම තම පවුලෙන් අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒ වගේම එවැනි ප්‍රශ්නයකට ධෛර්යයෙන් මුහුණ දෙන්න සෑම කෙනෙකුටම ශක්තියක්ද නැහැ. සමහර අය අතවරයකට ලක්වීම නිසා ඒ අමිහිරි මතකයන් සමඟ තනිව පොරබදනවා. තවත් සමහරුන් ආර්ථික ප්‍රශ්නවලින් සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා.

ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ යොවුන් වියේ මව්වරුන්ගේ දරුවන්ට මෙම ප්‍රශ්න අහිතකරව බලපාන බවයි. මෙම විෂය ගැන පළ වූ එක් පොතක (Teen Moms—The Pain and the Promise) සඳහන් වන පරිදි “නිසි වයසේදී ලැබෙන දරුවන්ට වඩා යොවුන් මව්වරුන්ගේ දරුවන් ඉපදෙන විට ඔවුන්ගේ බර අඩුයි. ළමා වියේදී රෝග වැලඳීමට හෝ මිය යෑමට තිබෙන ඉඩ කඩද වැඩිය. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරද නොලැබේ. කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන්ද ඔවුහු පෙළෙති. සාහසික දේවල් දකින්නත් ඒවාට මුහුණ දෙන්නත් ඔවුන්ට සිදු වේ. ඔවුන්ගේ වර්ධන වේගයද බාල වේ.” ඒ විතරක්ම නොවෙයි, නිසි වයසේ විවාහ වන මව්වරුන්ගේ දැරියන්ට වඩා යොවුන් මව්වරුන්ගේ දැරියන් යොවුන් වියේදීම මව්වරුන් වීමේ ඉඩ කඩ වැඩියි.

යොවුන් වියේදීම ගැබ්ගැනීම කොතරම් ප්‍රචලිතද? යොවුන් මව්වරුන්ට තම දරුවන්ව සාර්ථකව හදා වඩා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කොහොමද? අපගේ යෞවනියන්ව එවැනි කරදරයකට වැටීමෙන් ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද? මෙම ප්‍රශ්නවලට ඊළඟ ලිපි පිළිතුරු දෙයි.

[පාදසටහන]

^ 3 ඡේ. මෙම ලිපි මාලාවේ සමහර නම් වෙනස් කර තිබේ.