Skip to content

පටුනට යන්න

යොවුන් වියේ මවක් වීමේ අභියෝගයට මුහුණ දීම

යොවුන් වියේ මවක් වීමේ අභියෝගයට මුහුණ දීම

යොවුන් වියේ මවක් වීමේ අභියෝගයට මුහුණ දීම

යොවුන් මවක් වෙද්දී වැඩිහිටියෙකු වගේ බැරෑරුම් තීරණ ගන්න සිදු වෙනවා. එක් යොවුන් මවක් පැවසුවේ තමාට “අවුරුදු 40ක ගැහැනු කෙනෙක්” වගේ හැඟෙන බවයි. “මට ළමා කාලයක් තිබුණේම නැහැ” කියා ඇය තවදුරටත් පවසයි. මින් පැහැදිලි වන්නේ තමා ගැබ්ගෙන ඇති බව යෞවනියක් දැනගන්නා විට ඇයට පුදුම භයක් හා කනස්සල්ලක් ඇති වන බවයි.

යොවුන් ඔබත් ගැබ්ගෙන සිටිනවා නම්, ඔබටත් ඒ හා සමානව හැඟෙනවා ඇති. එහෙත්, ඔබට කිසි දෙයක් කර කියා ගන්න බැහැයි කියන සිතිවිලිවලින් යටපත් වෙන්න එපා. බයිබලය පවසන්නේ මෙවැනි දෙයක්. “හුළඟ සලකන්නා නොවපුරන්නේය. වලාකුළු බලා සිටින්නා නොකපන්නේය.” (දේශනාකාරයා 7:8; 11:4) ගොවියෙකු කාලගුණය ගැන අනවශ්‍ය විදිහට සිත සිතා සිටියොත් ඔහුට තමාගේ වැඩය ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඔබත් ඕනෑවට වඩා සිත සිතා සිටින්න එපා. කවදාහරි ඔබටත් ඉදිරිය ගැන සිතා ඔබේ වගකීම් කරට ගෙන වැඩ කරන්න සිදු වෙයි.—ගලාති 6:5.

ඉතින් මොනවාද ඔබට කරන්න තිබෙන්නේ? දරුවාව ගබ්සා කරන්න කියලා සමහර අය ඔබට කියන්න පුළුවන්. ගබ්සා කිරීම දෙවිගේ නීතියට පටහැනි බව බයිබලයේ පැහැදිලිව සඳහන් කරනවා. එමනිසා නැවත දෙවිගේ අනුමැතිය දිනාගන්න කැමති අයට එවැනි දෙයක් කළ නොහැකියි. (නික්මයාම 20:13; 21:22, 23; ගීතාවලිය 139:14-16) දෙවිට නූපන් දරුවෙකුගේ ජීවිතය වුණත් වටිනවා. දෙමාපියන් විවාහ නොවුණත් ඒ දරුවාගේ ජීවිතයේ වටිනාකම අඩු වන්නේ නැහැ.

දරුවාගේ තාත්තා සමඟ විවාහ වී ඔහු සමඟ දරුවා හදා වඩා ගැනීම ගැන කියන්න පුළුවන් මොකක්ද? විවාහ වුණොත් අඩුම තරමින් සිදු වූ කැලල යම් දුරකට අඩු වෙන්න පුළුවන්. එහෙත් තම දරුවා හදාගැනීමේ වගකීම කරටගන්න යෞවන පියෙකු කැමති වුණත්, ඔහු හා විවාහ වීම අනිවාර්යයෙන්ම ඥානවන්ත දෙයක් කියා පැවසිය නොහැකියි. * යෞවනයෙකුට දරුවෙකු ජාතක කරන්න හැකියාව තිබුණත්, හොඳ ස්වාමිපුරුෂයෙකු හා පියෙකු වීමට අවශ්‍ය මේරූකම ඔහුට තිබෙනවා කියා සිතන්නේ කොහොමද? අනික ඔහුට භාර්යාවක් හා දරුවෙක් නඩත්තු කරන්න තරම් ආදායමක් තිබේවිද? මෙම යෞවනයා ඔබේ ආගමම අදහන කෙනෙක් නෙවෙයි නම්, එවැනි කෙනෙක් සමඟ විවාහ වීම ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වෙන්න යන බයිබල් උපදෙස නොසලකාහැරීමක් වෙයි. (1 කොරින්ති 7:39) විවාහ වීමට ඉක්මන් වීමෙන් සමහරවිට විවාහය වැඩි කල් නොපවතින බවත්, තිබෙන ප්‍රශ්නවලට තවත් ප්‍රශ්න එකතු වන බවත් බොහෝදුරට අද්දැකීම්වලින් පෙනී යනවා.

දරුවාව වෙනත් කෙනෙකුට හදාගන්න දීම ගැන කියන්න පුළුවන් මොකක්ද? ඇත්තවශයෙන්ම මෙය ගබ්සා කිරීමට වඩා හොඳ දෙයක්. ඒ වුණත්, ඔබට යම් අමාරුකම්වලට මුහුණ දෙන්න සිදු වුණත් ඔබේ දරුවාව හදා වඩා ගැනීම ගැන ඔබට සිතා බැලිය හැකියි. ඒ ප්‍රස්තාව ඔබ අතෙයි.

අභියෝගවලට මුහුණ දීම

සහකරුවෙකු නැතුව දරුවෙකු හදා වඩා ගැනීම ඇත්තටම අභියෝගයක්. ඒත්, ඔබට හැකි උපරිමයෙන් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් හා දෙවිගෙන් ලැබෙන ශක්තිය හා මඟ පෙන්වීම මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමෙන් එම අභියෝග රාශියට සාර්ථකව මුහුණ දෙන්න ඔබට පුළුවන්. ඔබට ගත හැකි සමහරක් පියවර මෙන්න.

දෙවිට නැවතත් ළං වෙන්න. විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වීම දෙවිගේ උසස් සදාචාර ප්‍රමිතිවලට විරුද්ධව ක්‍රියා කිරීමක් බව තේරුම්ගන්න. ඔව්, එය දෙවිට විරුද්ධව කරන පාපයක්. (ගලාති 5:19-21; 1 තෙසලෝනික 4:3, 4) එමනිසා මුල්ම පියවර හැටියට පසුතැවිලි වී දෙවිගෙන් සමාව ඉල්ලීම ඉතාමත් වැදගත්. (ගීතාවලිය 32:5; 1 යොහන් 2:1, 2) දෙවිගෙන් පිහිට පතන්න තරම් ඔබ වටින්නේ නැහැයි කියා ඔබට හිතෙන්න පුළුවන්. නමුත්, තමන් කළ වැරදිවලට පසුතැවිලි වන අයට සමාව දෙන්න හා ඔවුන්ට පිහිට වෙන්න යෙහෝවා පොරොන්දු වෙනවා. (යෙසායා 55:6, 7) යෙසායා 1:18හි යෙහෝවා පවසන්නේ මෙසේයි. “ඔබේ පව් රතු පාට [බරපතළ වන] නමුත් ඒවා හිම මෙන් සුදු වන්නේය [මකා දමනු ලබන්නේය].” ඒ වගේම බයිබලය වැරදි කරන්නන්ට උනන්දු කරන්නේ සභාවේ පත් කර සිටින වැඩිමහල්ලන් දේවවචනය තුළින් ලබා දෙන උපකාරයෙන් ප්‍රයෝජන ගන්න කියායි.—යාකොබ් 5:14, 15.

ලිංගික ඇසුර නතර කරන්න. එසේ නතර කිරීමට නම් ඔබේ දරුවාගේ පියා සමඟ ඔබේ සම්බන්ධය නතර කර දැමීමට සිදු වෙනවා. ඒ සම්බන්ධය දිගටම තබාගත්තොත්, අවිවාහක වූ ඔබ අතින් නැවතත් දෙවි පිළිකුල් කරන ක්‍රියාවක් සිදුවීමට තිබෙන ඉඩ කඩ වැඩියි. දෙවිගේ නීතිවලින් වැඩි බුරුලක් නොලැබුණත්, ඒවා තිබෙන්නේ අපේම ආරක්ෂාව සඳහා බව අමතක කරන්න එපා. මෙම ලිපි මාලාවේ කලින් සඳහන් කළ නිකෝල් මෙසේ සිහිපත් කරයි. “දෙවි කියන දේ හරියි කියලත්, ඔහු බලන්නේ අපේම යහපත කියලත් මට තේරුණේ පස්සේ.”—යෙසායා 48:17, 18.

ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න. ඇත්තයි, ඔබේ දෙමාපියන් ඔබ සමඟ අමනාප වෙයි කියා ඔබට බියක් දැනෙන එක සාධාරණයි. ඔබට දරුවෙකු ලැබෙන්න සිටින බව දැනගත් විට ඔවුන්ට ශෝකයක් හා කනස්සල්ලක් ඇති වෙයි. ඔබේ දෙමාපියන් හැටියට ඔවුන්ගේ යුතුකම් පැහැරහැරියා කියා සිතන්නත්, ඔබ කළ ක්‍රියාවට ඔවුන් වග කිව යුතු බව සිතන්නත් පුළුවන්. එහෙත්, ඔබේ දෙමාපියන් ඇත්තටම දෙවි කෙරෙහි භක්තියක් ඇති අය නම්, දැනෙන වේදනාව හා ශෝකය ඇතැම්විට කාලයත් සමඟ තුනී වී යයි. ඔවුන් ඔබගේ දෙමාපියන් වන නිසා, ඔබ අතින් යම් වැරදි සිදු වුණත් ඔවුන් තවමත් ඔබට ආදරෙයි. ඔබේ පසුතැවිල්ල දැක අකීකරු පුත්‍රයාගේ පියාව අනුකරණය කරමින් ඔබට ප්‍රේමණීය ලෙස සමාව දීමට ඔවුන් පෙලඹෙනවාට සැකයක් නැහැ.—ලූක් 15:11-32.

ස්තුතිවන්ත වන බව පෙන්වන්න. සාමාන්‍යයෙන් දෙමාපියන්ගෙන් හා නෑදෑ හිතමිතුරන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙනවා. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඔබේ දෙමාපියන් කටයුතු සැලසුම් කරන්න පුළුවන්. ඇතැම්විට දරුවා ලැබුණාට පසු, ළදරුවා බලාගන්නා සැටිත් ඔබට කියා දෙයි. ළදරුවාව බලාගන්නත් ඔවුන් ඉදිරිපත් විය හැකියි. නිකෝල් ඇගේ මව ගැන පවසන්නේ මෙසේයි. “බබා හම්බවුණේ මටයි. හැබැයි බබාව බලාගන්න අම්මා මට ගොඩාක් උදව් කළා.” ඔබේ හිතමිතුරන්ගෙනුත් එයාකාර උදව් පදව් ලැබෙන්න පුළුවන්. ඔවුන් එසේ කරන්නේ ළදරුවාට අවශ්‍ය ඇඳුම් සහ වෙනකුත් දේවල් ඔබට ලබා දීමෙනුයි. (හිතෝපදේශ 17:17) ඔබට මෙලෙස කරුණාව පෙන්වන විට, බයිබලයේ උපදෙස් පිළිපදිමින් ඔබත් ‘ස්තුතිවන්ත වන බව පෙන්වන්න.’ (කොලොස්සි 3:15) ඔබ ස්තුතිය පළ කරනවා නම්, එවැනි අය කළ කාරුණික ක්‍රියා ඔබ සැහැල්ලුවට ගත්තේ නැති බව ඔවුන්ට දැනෙයි.

දරුවා හදන්න ඔබත් ඉගෙනගන්න. ඔබ හැමදාමත් ඔබේ පවුලේ අයගෙන් හා මිතුරන්ගෙන් උපකාර ලබාගැනීමට කැමති වෙන එකක් නැහැ. එමනිසා ඔබේ දරුවාව බලාගැනීම සහ පවුලක් රැකබලා ගැනීම යන කාර්යයන් සාර්ථකව කරගැනීමට අවශ්‍ය අද්දැකීම් දැන් සිටම ලබාගන්න. කිසි දෙයක් කර කියා ගත නොහැකි ළදරුවෙක් බලාගැනීමට ඉගෙනගැනීම ලොකු අභියෝගයක්. දරුවාට දිය යුතු කෑම බීම, ඔහුගේ සෞඛ්‍යය සහ වෙනත් අවශ්‍යතාවන් ගැන බොහෝ දේවල් ඉගෙනගැනීමට සිදු වෙනවා. තරුණ ස්ත්‍රීන්ට “ගෙදර වැඩ කරන්නියන්” වීමට උනන්දු කරන්න කියා බයිබලය වයස්ගතව සිටින ක්‍රිස්තියානි ස්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටිනවා. (තීතස් 2:5) මේ අනුව ඔබේ මවගෙන් නැත්නම් ක්‍රිස්තියානි සභාවේ වෙනත් අද්දැකීම් ලත් සාමාජිකාවන්ගෙන් වටිනා පුහුණුවක් ඔබට ලබාගත හැකියි.

මුදල් අරපරෙස්සමින් පාවිච්චි කරන්න. “මුදල ආවරණයක්” හෙවත් ආරක්ෂාවක් වන බව බයිබලයේ පවසයි. (දේශනාකාරයා 7:12) දරුවා ලැබුණාට පසු බොහෝ වියහියදම් දරන්න වෙනවා.

ඇතැම් රටවල අවිවාහක මව්වරුන්ට සහනාධාර සපයන ආයතන තිබෙනවා. එනමුත් බොහෝදුරට මෙවැනි යෞවනියකට තමන්ගේ දෙමාපියන් මත යැපෙන්න සිදු වෙනවා. ඔබත් සිටින්නේ එවැනි තත්වයක නම්, පුළුවන් තරම් ඔබේ වියදම් අඩු කරගැනීම ඥානවන්ත වගේම කරුණාවන්ත දෙයක්. ඔබේ දරුවාට අලුත්ම දේවල් ලබා දෙන්න ඔබ කැමති වෙනවා නිසැකයි. නමුත් “සේල්” එකකින් හෝ කලින් පාවිච්චි කළ ඇඳුම් ආම්පන්න ආදිය විකුණන තැනකින් දේවල් මිල දී ගැනීමෙන් ඔබට මුදල් ඉතිරි කරගන්න පුළුවන්.

ඔබේ අධ්‍යාපනය ගැනත් සැලකිලිමත් වන්න. හිතෝපදේශ 10:14හි පවසන්නේ මෙසේයි. “ඥානවන්තයෝ දැනගැන්ම එකතු කරගනිති.” විශේෂයෙන්ම මෙය බයිබල් දැනුම ලබාගැනීම සම්බන්ධයෙන් සත්‍යයක් වුවත්, අධ්‍යාපනය ලබාගන්න තිබෙන වෙනත් ක්‍රම සම්බන්ධයෙන්ද අදාළයි. ජීවිතය ගැටගසා ගැනීමට රැකියාවක් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගත යුතුයි.

දරුවෙක් බලාගන්නා අතරතුරේදී පාසැල් යෑම ලෙහෙසි පහසු දෙයක් නොවන බව පිළිගත යුතුයි. එහෙත් ඔබ මූලික අධ්‍යාපනයක් නොලැබුවහොත් ප්‍රමාණවත් ආදායමක් නැතුව, සුදුසු ඉඳුම් හිටුම් නැතුව, නිසි පෝෂණයක් නොලබමින්, හැමදාම දුගීකමින්, අනුන්ට අත පාමින් ඔබටත් ඔබේ දරුවාටත් ජීවත් වෙන්න සිදු වෙයි. එමනිසා ඔබේ පාසැල් ගමන අතරමඟ නවත්වන්න එපා. උදාහරණයක් ලෙස නිකෝල්ගේ මව ඇයට බල කර සිටියේ පාසැල් අධ්‍යාපනය සම්පූර්ණ කරන්න කියායි. ප්‍රතිඵලයක් ලෙස නීතිඥයෙකුගේ කාර්යාලයක සහායිකාව ලෙස සේවය කිරීමට අවශ්‍ය පුහුණුව ලබාගන්න ඇය සමත් වුණා.

අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන ප්‍රස්තා ගැන සොයා බැලීම හොඳ අදහසක් නොවේද? පාසැලක අධ්‍යාපනය ලැබීම අමාරු නම්, නිවසේ සිට අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන්ද කියා බලන්න. උදාහරණයකට තැපැල් මාර්ගයෙන් යම් පාඨමාලා හැදෑරීම ඔබට පහසුවක් විය හැකියි.

සාර්ථක වන්න ඔබට පුළුවන්

විවාහ නොවී සිටින යෞවනියකට දරුවෙකු හදා වඩා ගැනීම අභියෝගයක්. නමුත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඔබේ ඉවසීමෙන් හා අධිෂ්ඨාන ශක්තියෙන් මෙන්ම යෙහෝවා දෙවිගෙන් ලැබෙන උපකාරයෙන් ඔබට ප්‍රේමණීය, දක්ෂ, සාර්ථක මවක් විය හැකියි. අවිවාහක මව්වරුන්ගේ දරුවන් යහපත් පුරවැසියන් බවට පත් විය හැකි බවත් අමතක නොකරන්න. ඒ විතරක් නෙවෙයි, ඔබ ලබා දෙන පුහුණුවෙන් ප්‍රයෝජන ගෙන, ඔබේ දරුවා දෙවිගේ මිතුරෙකු වෙනවා දැකීමේ භාග්‍යය ඔබට හිමි වෙන්න පුළුවන්.—එෆීස 6:4.

නිකෝල් මෙසේ අදහස් පළ කරයි. “කොච්චර බාධක තිබුණත්, දෙවිගේ උපකාරයෙන් මට පුළුවන් වුණා මගේ චූටි කෙල්ලට කරුණාවන්ත, අනුන්ට ගරු කරන, වගකීම් ඉසිලිය හැකි යෞවනියක් වීමට උදව් කරන්න. ඇය දෙස බලන හැම මොහොතකම මට මතක් වෙන්නේ ඇය වෙනුවෙන් කොච්චර නිදි මැරුවාද කියලා. නමුත් මගේ හිතට ලොකු සතුටකුත් දැනෙනවා.”

කොහොමනමුත් වැඩිහිටියන් යොවුන් මව්වරුන් සහ ඔවුන්ගේ දරුවන්ට සැලකිය යුත්තේ කොහොමද? අනින් අතට යොවුන් මවක් වීමේ වේදනාකාරී අද්දැකීම ලැබීමෙන් බේරෙන්න යෞවනියන්ට උපකාර කරන්න මඟක් තිබෙනවාද?

[පාදසටහන]

^ 5 ඡේ. යෞවන අවිවාහක පියවරුන් ඉදිරියේ තිබෙන වගකීම් සහ අභියෝග ගැන තොරතුරු 2000 මැයි 8 සහ ජූනි 8 පිබිදෙව්! කලාපවල “යෞවන අය අසති . . . ” යන කොටසින් ලබාගත හැක.

[8, 9වන පිටුවේ පින්තූර]

යොවුන් මව්වරුන් තමන්ගේ දරුවන් හදා වඩා ගැනීමේදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙනවා

[10වන පිටුවේ පින්තූරය]

විවාහ වීමට ඉක්මන් වීම විසඳුමක් නොවෙයි

[10වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට පුළුවන් යෞවනියන්ට දෙවිට නැවතත් ළං වන්න අවශ්‍ය උපකාරය ලබා දෙන්න

[11වන පිටුවේ පින්තූරය]

අවිවාහක මව්වරුන් තම මූලික අධ්‍යාපනය සම්පූර්ණ කිරීම ඥානවන්තයි