Skip to content

පටුනට යන්න

යෞවනියන්ට උපකාරය හා ආරක්ෂාව දිය හැකි අයුරු

යෞවනියන්ට උපකාරය හා ආරක්ෂාව දිය හැකි අයුරු

යෞවනියන්ට උපකාරය හා ආරක්ෂාව දිය හැකි අයුරු

අවිවාහක යෞවනියක් ගැබ්ගත් විට එය දරාගන්න බැරි තරම් දුකක්. ඇය තවමත් සිටින්නේ ළමා වියේ. ඒත් මේ ප්‍රශ්නය ලොව පුරා පැතිර පවතිනවා. බොහෝදෙනෙකුට එය යම් ආකාරයකින් බලපානවා. දෙවි ආඥා කරන්නේ “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියායි. (1 කොරින්ති 6:18) දෙවි මෙවැනි දෙයක් කිරීමට ආඥා කිරීම කොතරම් සාධාරණද කියා පැහැදිලි වන්නේ යොවුන් ගැබ්ගැනීම්වලින් ඇති වන අහිතකර ප්‍රතිඵල දකින විටයි.

කොහොමවුණත් යම් අවස්ථාවලදී දෙවිගේ ආඥා ගැන දැනුවත් වී සිටින යෞවනියක් වුණත් ඒවා හිතා මතා නොසලකාහරින්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඇය අනාචාරයේ යෙදීම නිසා අන්තිමේදී ගැබ්ගනියි. මෙවැනි අවස්ථාවකදී සැබෑ ක්‍රිස්තියානීන් ක්‍රියා කරන්නේ කොහොමද? හිතුවක්කාර ලෙස ක්‍රියා කළ එවැනි යෞවනියක් තමන් කළ දේ ගැන පසුතැවිලි වී ඇති බව දකින විට, ඇගේ දෙමාපියන් හා ක්‍රිස්තියානි සභාවේ අනිකුත් සාමාජිකයන් ඇයට ප්‍රේමණීය ලෙස උදව් උපකාර කළ යුතුයි.

නැවතත් නිකෝල්ට සිදු වූ දේ ගැන සලකා බලන්න. ඇගේ දෙමාපියන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්. ඔවුන් ඇයවත් පුහුණු කළේ ඒ මාර්ගයේ යන්න. ඉතින් විවාහ නොවී ඇය ගැබ්ගත් විට එය සියලුදෙනාටම ලොකු කම්පනයක් වුණා. එහෙත් නිකෝල් මෙසේ මතක් කරනවා. “සභාවේ අය ගෙදර ඇවිල්ලා මට උනන්දු කළා බයිබලය පාඩම් කරන්නත් යෙහෝවාට ළං වී සිටින්නත් කියලා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනාචාරය කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. නමුත් එම වරද කරන අය බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් “මුළුමනින්ම වෙනස් වන්න” ඔවුන්ට පුළුවන් බව ඔවුන් විශ්වාස කරනවා. (රෝම 12:2) වරදකරුවන් පසුතැවිලි වුණොත් දෙවි ඔවුන්ට සමාව දෙන බවට ඔවුන්ට ස්ථිර විශ්වාසයක් තිබෙනවා. (එෆීස 1:7) ඔවුන්ට ස්ථිර තවත් දෙයක් නම්, දරුවාගේ දෙමාපියන් අතින් වරදක් සිදු වුණත්, ඊට දරුවා වග කිව යුතු නැති බවයි. ඒ නිසා ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් එවැනි දරුවෙකුව කොන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අනිකුත් දරුවන්ට සලකනවා හා සමානව ඔහුට හෝ ඇයට ආදරයෙන්, කරුණාවෙන් හා දයාවෙන් සලකනවා.—කොලොස්සි 3:12.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත් අවිවාහක මවකගේ අද්දැකීම සලකා බලන්න. තමා සමඟ කළ බයිබල් සාකච්ඡාවට ඉතා උනන්දුවෙන් සහභාගි වූ ඇය ජීවිතයේ ලොකු ලොකු වෙනස්කම් සිදු කළා. ඇය සාක්ෂිකරුවන් ගැන පැවසුවේ මෙසේයි. “ඔවුන් මං ගැනත් මගේ දරුවන් ගැනත් ඇත්තටම උනන්දුවක් දැක්වූවා. මට අවශ්‍ය උපකාරත් සැපයුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ දේවසේවයෙහි හවුල් වීමට සුදුසුකම් ලැබුවාට පස්සේ, මගේ දරුවා බලාගන්න ඔවුන් ඉදිරිපත් වුණා. යෙහෝවා කෙරෙහි සැබෑ ප්‍රේමයක් වර්ධනය කරගන්න උපකාර කිරීම සඳහා ඔවුන්ට කළ හැකි හැම දෙයක්ම ඔවුන් කළා.”

ආරක්ෂා කරගැනීමට කළ හැකි දේ

හොඳම දේ නම් එවැනි කරදරයකට වැටීමෙන් ආරක්ෂා වීමට යෞවනියන්ට උපකාර කිරීමයි. ඒ සඳහා තම දරුවන්ට ප්‍රේමයෙන් හා සෙනෙහසින් පිරුණු වාතාවරණයක් පවුල තුළ ඇති කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් උත්සාහ කරනවා. ඒඩ්ස් හැදෙයි කියා හෝ ගැබ්ගනියි කියා හෝ දරුවන්ව භය කර යහමඟ යවන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වෑයම් කරන්නේ යෙහෝවා දෙවි සහ ඔහුගේ නීති කෙරෙහි සැබෑ ඇල්මක් ඔවුන්ගේ සිත්වල පැලපදියම් කරන්නයි. (ගීතාවලිය 119:97) දරුවන්ට ලිංගික කාරණා ගැන නිවැරදි අවබෝධයක් ලබා දිය යුතු බව ඔවුන් පිළිගන්නවා. ඊටත් වඩා ළදරු වියේ පටන් බයිබලයේ සඳහන් සදාචාර ප්‍රමිති දරුවන්ට ඉගැන්වීමේ වැදගත්කම ඔවුන් තේරුම්ගෙන සිටිනවා. (2 තිමෝති 3:15) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවලින්ද අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. නමුත් තම දරුවන් සමඟ පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කරන්නත් සාක්ෂිකාර දෙමාපියන්ට උනන්දු කර තිබෙනවා. මේ සඳහා යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු වැනි පොත් පත් ප්‍රයෝජනවත් වෙයි. එවැනි පොත් සකස් කර තිබෙන්නේ තම දරුවන්ට සදාචාරය සම්බන්ධයෙන් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමට දෙමාපියන්ට අත්වැලක් හැටියටයි. *

අනාචාරයෙන් පිරී තිබෙන සමාජයක බයිබලයේ තිබෙන ස්ථිර සදාචාර ප්‍රමිති අනුගමනය කිරීම හණමිටි අදහසක් වගේ පෙනෙන්න පුළුවන්. නමුත් එවැනි දෙයක් අනුගමනය කිරීමෙන් මිලියන ගණනක් යෞවනියන්ව යොවුන් ගැබ්ගැනීම් නමැති කටුක අද්දැකීමෙන් බේරාගත හැකි වෙයි.

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[12වන පිටුවේ පින්තූරය]

සැබෑ ක්‍රිස්තියානීන් අවිවාහක මව්වරුන්ට කරුණාවෙන් හා අනුකම්පාවෙන් සලකනවා