Skip to content

පටුනට යන්න

වෙරි වෙන තුරු බීම වැරදිද?

වෙරි වෙන තුරු බීම වැරදිද?

යෞවන අය අසති . . .

වෙරි වෙන තුරු බීම වැරදිද?

“අපි රෑ එළි වෙනකං පාටියක බිව්වා. මගේ යාළුවෙකුයි මමයි රෑ එකට විතර අරක්කු බෝතලයකුත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. අපි ගෙදරට පයින් එන ගමනුත් බිව්වා. ඊට පස්සේ මොනවා වුණාද කියලා මට මතක නැහැ. මට මතක තියෙන්නේ එළිය වැටීගෙන එන එක විතරයි. අපි ඇවිදගෙන ඇවිත් තියෙන්නේ වැරදි පාරක කියලා පස්සෙයි තේරුණේ. අපි ඇවිදලා තිබුණේ අධිවේගී පාරකයි. අපිව වාහනයකට හැප්පුණේ නැති එක නම් හරි පුදුමයි.”—ක්ලේ.  *

විනෝදයට වෙරි වෙන තුරු බීම අද යෞවනයන් අතර බහුලව දැකිය හැකියි. අමෙරිකා එක්සත් ජනපදයේ එක් ආයතනයක් පළ කළ වාර්තාවකට අනුව බොහෝ සාදවලදී පිරිමින් එක දිගටම මත්පැන් වීදුරු පහක් හෝ ඊට වැඩි ගණනක්ද ගැහුණු අය වීදුරු හතරක් හෝ ඊට වැඩි ගණනක්ද පානය කරනවා.

වෙරි වෙන තුරු මත්පැන් පානය කිරීම ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් වී තිබෙන බව සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙනවා. එක් අධ්‍යයනයකට අනුව එංගලන්තයේ, ස්කොට්ලන්තයේ හා වේල්ස්හි අවුරුදු 13ත් 14ත් අතර වයස් කාණ්ඩවල සිටින සිසුන්ගෙන් සියයට 25ක් අඩුම තරමින් මත්පැන් වීදුරු පහක්වත් එක දිගට බීගෙන බීගෙන යනවා. අවුරුදු 15ත් 16ත් අතර වයස් කාණ්ඩවල සිටින සිසුන්ගෙන් සියයට 50ක් පමණ පැවසුවේ ඔවුන්ද එසේ එක දිගට මත්පැන් වීදුරු පහක්වත් පානය කර තිබෙන බවයි.

එක්සත් ජනපදයේ කළ සමීක්ෂණයකදී හෙළි වුණේ එහි සිටින සිසුන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙක් මෙම සමීක්ෂණයට පෙර සති දෙකක් ඇතුළත අඩුම තරමින් එක වතාවක් හෝ විනෝදයට වෙරි වෙන තුරු මත්පැන් පානය කර තිබෙන බවයි. එක්සත් ජනපදයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව අවුරුදු 12 සිට 20 දක්වා වයස් කාණ්ඩවල සිටින අයගෙන් මිලියන 10.4ක් මද්‍යසාර අඩංගු බීම පානය කරනවා. ඔවුන්ගෙන් මිලියන 5.1ක් වෙරි වෙන තුරු බොන අය වන අතර මිලියන 2.3ක් අධික ලෙස මත්පැන් පානය කරනවා. මෙසේ අධික ලෙස බොන අය අඩුම තරමින් මාසයකට පස් වතාවක්වත් වෙරි වෙන තුරු බොනවා. ඕස්ට්‍රේලියාවේ කළ අධ්‍යයනයකින් හෙළි වුණේ එහි සිටින තරුණයන්ට වඩා තරුණියන් මත්පැන් පානය කරන බවයි. එක් වතාවකදී මොවුන් මත්පැන් වීදුරු 13ත් 30ත් අතර ප්‍රමාණයක් පානය කළ අවස්ථාද තිබූ බව හෙළි විය!

තරුණ තරුණියන් බොහෝදෙනෙක් මත්පැන් පානය කරන්න පුරුදු වෙන්නේ වෙනත් යෞවනයන්ගේ බල කිරීම නිසයි. පර්යේෂණ කටයුතුවල නියැලෙන තැනැත්තියක් වන කැරල් ෆැල්කොව්ස්කි මෙසේ සඳහන් කරනවා. ‘තරඟෙට මත්පැන් පානය කිරීම දැන් දැන් වැඩි වෙමින් පවතිනවා. හුඟදෙනෙක් කණ්ඩායම් හැටියට එකතු වී සතුටු සාමීචියේ යෙදෙමින් වෙරි වෙන තුරු බොනවා.’

වෙරි වෙන තුරු බීමෙන් සිදු වෙන අනතුරු

සමහරුන් අධික ලෙස මත්පැන් පානය කිරීම සෙල්ලමක් ලෙස සැලකිය හැකියි. ඒත්, එය නම් හරිම භයානක සෙල්ලමක්! මත්පැන් අධික ලෙස ශරීරගත වූ විට මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. වමනය, සිහිසුන් වීම, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි ලක්ෂණද දැකිය හැකියි. සමහරවිට මරණය පවා සිදුවීමට ඉඩ තිබෙනවා. දහහත් හැවිරිදි කිම්, “ඕන තරම් බොන්න පුළුවන්” සාදයකට ගියා. ඒ සාදයේදී ඇය මත්පැන් වීදුරු 17ක් බිව්වා. ටික වේලාවකට පසු ඇයට සිහිය නැතිව ගියා. පසුව ඇගේ අක්කා ඇවිත් ඇයව ගෙදර අරං ගියා. පසුදා උදෑසන ඇගේ මව ඇගේ කාමරයට ගිය විට ඇය මිය ගොස් සිටියා.

මේ විදිහට අධික ලෙස මත්පැන් පානය කළා කියා ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නේ නැහැ. ඒ වුණත් ඒ විදිහට මත්පැන් පානය කිරීම ඔබේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරයි. “මද්‍යසාරය නිසා ඔබේ සිරුරේ ඕනෑම ඉන්ද්‍රියකට බරපතළ හානි සිදු විය හැකියි” කියා මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකු පවසනවා. “මද්‍යසාරය නිසා ස්නායු පද්ධතියට, අක්මාවට හා හෘදයට විශාල හානි සිදු විය හැකියි” කියා ඔහු තවදුරටත් පවසනවා. එක්තරා සඟරාවක පළ වූ ලිපියක මෙසේ සඳහන් වෙනවා. “නව පර්යේෂණවලින් පෙනී යන්නේ මත්පැන් පානය කරන යෞවනයන් අනතුරුවලට අත වනන බවයි. අවුරුදු තිහ වන තුරු මොළය වර්ධනය වේ. මේ නිසා නහඹර වියේදී මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකුගේ මානසික ශක්තිය සැලකිය යුතු ප්‍රමාණයකින් හීන විය හැකියි.” දිගු කාලයක් තිස්සේ මත්පැන් පානය කිරීම නිසා කුරුලෑ ඇති වෙනවා. අකලට හම රැළි ගැසෙනවා. මහත් වෙනවා. ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි සිදු වෙනවා. මත්පැන් නැතුවම බැරි තත්වයකට පත් වන අතර මත්ද්‍රව්‍යවලට පවා ඇබ්බැහි වෙනවා.

අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා තවත් අනතුරුද සිදු විය හැකියි. වෙරි වී සිටින විට ඔබ අන් අයගේ අනිසි සැලකිලිවලට ලක් විය හැකියි. අන් අයගෙන් ගුටි කයි. අතවරයට පවා ලක් වීමට ඉඩ තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබද අන් අයට අනතුරක් වෙන ආකාරයෙන් හැසිරෙන්න ඉඩ තිබෙනවා. හොඳ සිහි කල්පනාවෙන් සිටින අවස්ථාවක ඔබ සිතන්නේවත් නැති දේවල් බීමත්ව සිටින විට කරන්න පුළුවන්. ඔබ වෙරි වී සිටින විට “ඔබේ ඇස් අන් දේවල් බලන්නේය; ඔබේ සිත හිතුවක්කාර දේවල් කතා කරයි” කියා බයිබලය අනතුරු අඟවනවා. (හිතෝපදේශ 23:33) හිත මිතුරන් නැති වී යෑම, ඉගෙනීම දුර්වල වීම, අපරාධ සිදු කිරීම හා දිලිඳුකම අධික මත්පැන් පානයේ තවත් වේදනාකාරී ප්‍රතිඵල කිහිපයක්. *හිතෝපදේශ 23:21.

බොන්න කියා කරන දැඩි බලපෑම්

ඉහත සඳහන් කළාක් මෙන් අධික මත්පැන් පානය අනතුරුදායක වුණත් බොහෝ රටවල මත්පැන් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්. ඒ වගේම විවිධ ක්‍රමවලින් මත්පැන් පානයට දිරි දෙනවා. පුවත්පත්, සඟරා හා වෙනත් ජනමාධ්‍යවල මත්පැන් පානය කිරීම සිත්ගන්නාසුලු දෙයක් ලෙස පෙන්වනවා. යෞවනයන් අධික මත්පැන් පානයට වැඩියෙන්ම යොමු වෙන්නේ මිතුරන්ගෙන් ඇති වෙන දැඩි බලපෑම් නිසයි.

මත්පැන් පානය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ කළ සමීක්ෂණයකට හවුල් වුණ යෞවනයන්ගෙන් සියයට 36ක් පැවසුවේ තමන් මත්පැන් බොන්න ප්‍රධානතම හේතුව “අනිත් අය කරන දේවල් තමාටත් කරන්න තියෙන වුවමනාව නිසයි.” පාලනයකින් තොරව පවතින “බියර් පාටියකදී” ලජ්ජාශීලී පුද්ගලයෙක් පවා ඔහුගේ මිතුරන්ගේ බල කිරීම නිසා මත්පැන් පානය කිරීමෙන් පසු විනෝදකාමී හා විස්මිත දේවල් කළ හැකියි. වෙරි වෙන තුරු අධික ලෙස මත්පැන් පානය කළ කේටිව නිවසට රැගෙන ආවේ සිහිය නැතිවයි. “බොන්න කේටි බොන්න. දැන් ඔයා පොඩි ළමයෙක් නෙමෙයි. එක දිගට බීගෙන බීගෙන යන්න පුරුදු වෙන්න” කියා ඇයව දිරිමත් කළේ ඇගේ මිතුරන් විසිනුයි.

විනෝදයෙන් කාලය ගත කරන්න හා අනිත් අයත් එක්ක පෑහි සිටින්න තිබෙන ආශාව හරිම ප්‍රබලයි. මේ ආශාව මොන තරම් ප්‍රබලද කියනවා නම් අධික මත්පැන් පානය අනතුරුදායක බවට සාක්ෂි පෙනෙන්න තිබුණත් වෙරි වෙන තුරු මත්පැන් පානය කිරීම බහුලව දැකිය හැකියි.

ඔබ කරන තේරීම කුමක්ද?

මෙම ප්‍රශ්න සලකා බලන්න. මත්පැන් පානය සම්බන්ධයෙන් ඔබ ගන්න තීරණය කුමක්ද? ඔබ කරන්නේ ඔබේ යාළුවන් කරන දෙයමද? රෝම 6:16හි බයිබලය පවසන මේ දෙය මතක තියාගන්න. “යමෙකුට කීකරු වන පිණිස ඔබ දාසයන් මෙන් ඔහුට භාර වන්නේ නම්, ඔබ ඔහුට කීකරු වන නිසා ඒ තැනැත්තාට දාසයන් වන බව දන්නේ නැද්ද?” ඔබ කරන හැම දෙයක්ම පාලනය කරන්න ඔබේ යාළුවන්ට ඔබ ඉඩහරිනවා නම්, ඔබ ඔවුන්ගේ දාසයෙක් වෙනවා. බයිබලය ඔබගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අනිත් අය කරන දෙය කරනවා වෙනුවට ඔබම හොඳින් හිතා මතා තීරණ ගන්න කියායි. (හිතෝපදේශ 1:4) ඔබ අතින් බරපතළ වැරදි සිදුවීම වළක්වාගන්න උපකාරවත් වන උපදෙස්ද බයිබලයේ සඳහන් වෙනවා. මත්පැන් සම්බන්ධයෙන් එහි පවසන දෙය සලකා බලන්න.

මත්පැන් පානය කරන්න එපා, යෞවනයන් සමඟ විනෝදයෙන් කාලය ගත කරන්න එපා කියා බයිබලයේ පවසන්නේ නැහැ. කොහොමවුණත් පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම ගැන නම් එහි අනතුරු අඟවනවා. “මිදි යුෂ සරදම් කරන්නෙකි. සුරා පානය කෝලාහල කරන්නෙකි. එයින් මුළා වන කවරෙක් නමුත් ඥානවන්ත නොවේ” කියා හිතෝපදේශ 20:1හි සඳහන් වෙනවා. ඔව්, මත්පැන් පානය නිසා යම් කෙනෙක් සරදමට ලක් විය හැකියි. කලහාකාරී ලෙස හැසිරිය හැකියි. ඇත්තයි, එයින් කෙටි වේලාවකට වින්දනයක් ලැබෙන්න පුළුවන්. නමුත් පමණ ඉක්මවා මත්පැන් පානය කළ විට එය ඔබට ශාරීරික හා චිත්තවේගීය තුවාල රැසක් ඇති කරමින් ඔබව “සර්පයෙක් මෙන් හපා කයි.”—හිතෝපදේශ 23:32.

මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් දෙයක් වන්නේ බොහෝ රටවල මත්පැන් පානය කිරීමට අවසර දෙන අවම වයස් මට්ටමක් තිබීමයි. ක්‍රිස්තියානීන් එවැනි නීතිවලට කීකරු වෙනවා. (තීතස් 3:1) එම නිතී තිබෙන්නේ ඔබේම ආරක්ෂාව සඳහායි.

මත්පැන් සම්බන්ධයෙන් ඔබේ සැලකිල්ලට යොමු විය යුතු අතිවැදගත් දෙයක් තිබෙනවා. එය නම් අධික මත්පැන් පානය නිසා ඔබේ ආත්මිකත්වයට සිදු විය හැකි හානියයි. යෙහෝවා දෙවි කැමති වන්නේ ඔබ ඔහුට “ඔබේ මුළු මනසින්” සේවය කරනවා දකින්න මිසක් අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා නිකරුණේ හානි කරගත් මනසක් ඇතිව ඔහුට සේවය කරනවා දකින්න නොවෙයි. (මතෙව් 22:37) දේවවචනය ‘සීමාව ඉක්මවා වයින් පානය කිරීම’ පමණක් නොවෙයි, ‘තරඟෙට මත්පැන් බීමද’ හෙළාදකිනවා. (1 පේතෘස් 4:3) මෙයින් පෙනී යන්නේ හුදෙක් විනෝදය පතා වුණත් වෙරි වෙන තුරු මත්පැන් පානය කිරීම අපේ මැවුම්කරුගේ අප්‍රසාදයට ලක් වෙන බවයි. යමෙක් අධික ලෙස මත්පැන් පානය කරනවා නම් දෙවි සමඟ කිට්ටු සබඳතාවක් පවත්වාගන්න ඔහුට බැහැ.

විනෝදය පතා වෙරි වෙන තුරු මත්පැන් පානය කිරීමේ පුරුද්දට ඔබ වැටී තිබෙනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඉක්මනින්ම ඔබේ පියා හෝ මව සමඟ, එසේ නැත්නම් මේරූ ක්‍රිස්තියානියෙකු සමඟ මේ ගැන කතා කරන්න. * උපකාරය පතා යෙහෝවාට යාච්ඤා කරන්න. “දෙවි අපේ සරණ හා ශක්තියද දුකේදී ඉතා ළං වූ පිහිටක්ද වන්නේය.” (ගීතාවලිය 46:1) බොහෝ අවස්ථාවලදී වෙරි වෙන තුරු මත්පැන් පානය කරන්නේ යාළුවන්ගෙන් එල්ල වන දැඩි පීඩනය නිසයි. බාල වයසේ පසුවන්නන් මත්පැන් පානය කිරීමටද හේතුව එයයි. එනිසා ඔබේ ආශ්‍රිතයන් ගැන පරෙස්සම් වන්න. ඔබ විනෝදය සඳහා තෝරාගෙන තිබෙන දේවල් ගැන දෙවරක් සිතා බලන්න. මෙසේ කිරීම ඒ තරම් ලෙහෙසි නැහැ. ඒ වුණත් යෙහෝවාගේ උපකාරය ඇතුව ඔබට පුළුවන් සාර්ථක වෙන්න.

[පාදසටහන්වල]

^ 3 ඡේ. එක්සත් ජනපදයේ කළ අධ්‍යයනයකින් හෙළි වුණේ වෙරි වෙන තුරු නිතර මත්පැන් පානය කරන අය එසේ නොකරන අයට වඩා පාසැල් නොයෑම, පාසැලේ වැඩකටයුතුවලදී දුර්වල ශිෂ්‍යයෙකු වීම, තුවාල සිදු කරගැනීම හා දේපොළවලට හානි කිරීම අතින් අට ගුණයකින් වැඩි බවයි.

^ 11 ඡේ. සමහර අවස්ථාවලදී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපකාරය අවශ්‍ය විය හැකියි.

^ 21 ඡේ. මෙහි සඳහන් සමහර නම් වෙනස් කර ඇත.

[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වෙරි වෙන තුරු බීම ඛේදජනක සංඛ්‍යා වාර්තා

එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන සිසුන් වෙරි වෙන තුරු මත්පැන් පානය කිරීම නිසා අද්දකින කනගාටුදායක ප්‍රතිඵල මතු දැක්වෙන සංඛ්‍යා වාර්තාවලින් හෙළි වෙයි.

මරණ: බීමත්ව රිය පැදවීම ඇතුළුව මත්පැන් පානය නිසා සිදු වන වෙනත් අනතුරු නිසා සෑම වසරකම වයස අවුරුදු 18ත් 24ත් අතර සිසුන් 1,400ක් මිය යනවා.

තුවාල: මත්පැන්වල බලපෑම නිසා වයස අවුරුදු 18ත් 24ත් අතර සිසුන් 5,00,000ක් හදිසි අනතුරුවලට ගොදුරු වෙනවා.

පහර දීම්: වයස අවුරුදු 18ත් 24ත් අතර සිසුන් 6,00,000ක් මත්පැන් පානය කර තිබෙන වෙනත් සිසුන් අතින් පහර කෑම්වලට ලක් වෙනවා.

ලිංගික අඩන්තේට්ටම්: වයස අවුරුදු 18ත් 24ත් අතර සිසුන් 70,000කට වැඩිදෙනෙක් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වෙනවා. එසේ නැත්නම් පෙම්වතා අතින් දූෂණයට ලක් වෙනවා. මේවාට හේතුව මත්පැන් පානය කර සිටීමයි.

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: එක්සත් ජනපදයේ මත්පැන් අනිසි භාවිතය පිළිබඳ ජාතික ආයතනය

[23වන පිටුවේ පින්තූරය]

යාළුවන් ඔබට වෙරි වෙන තුරු මත්පැන් පානය කරන්න දැඩි බලපෑම් ඇති කළ හැකියි